
1936 උපත ලද වික්ටර් කොලුපායෙව් ටොම්ස්ක් බහු තාක්ෂණික ආයතනයේ උපාධිය ලැබුවේය. 1965දී ඔහු සිය ප්‍රථම පොත ප්‍රකාශයට පත් කළ අතර 1969 ප්‍රථම විද්‍යා ප්‍රබන්ධය පළ කළේය. 1972 සිට ඔහු දිගටම විද්‍යා ප්‍රබන්ධ පළ කළේය. ඔහුගේ බොහෝ විද්‍යා ප්‍රබන්ධ විදේශ භාෂාවලට පරිවර්තනය කොට ඇත. ඔහු රුසියාවේ ටොම්ස්ක් නගරයේ වාසය කරයි.
"ඒත් ඒවා තවමත් පවතිනවා නම් අපට සලකුණක්වත් දකින්න පුළුවන් වේවි. අපි එක නගරයක් බලමු."
"ඔව් අපි බලමු" පියා පැවසුවේය. නගරවලට කිලෝමීටර් දහයක් උසින් යානය නතර කළ අතර සියලු දෙනාම නිරීක්ෂණ මැදිරියේ සිට පිටතට ඇස් යොමු කළහ.
නගරවල කිසිම සෙලවීමක්වත් දක්නට නැත. ඒ දෙස බලා සිටි ඔවුන්ගේ ඇස් රිදුම් දෙන්නට විය. ඕසා කතා කළාය. "බලන්න අර තිත් වගේ දේවල් හෙලවෙනවා වගේ පේනවා."
"මොකක්ද? කොහෙද?" සෙස්සෝ විමසූහ.
"අර අතන. ඒවා හරියට පුංචි කුරුස වගෙයි."
"ඒ ඔක්කොම ඔයාගෙ හිතේ තියෙන මනස්ගාත" සන්ඩ්‍රෝ පැවසුවේය.
"කොහෙත්ම නැහැ. වීනා තම සොහොයුරියට උපකාරී වූවාය. "ඒවා හෙලවෙනවා. ඒත් හුඟක් හෙමින්."
මිනිත්තු කිහිපයක් බලා සිටීමෙන් පසු ඒවා සෙලවෙන බවට ඔවුහු එකඟ වූහ. මීට අමතරව ඔවුන්ට පෙනී ගියේ ඒවායේ ප්‍රමාණය එහි ඇති ගොඩනැගිලි තරමටම විශාල බවයි. ඒ නිසා ඒ නගරවාසීන් විය නොහැකිය. "ඒ විතරක් නොවෙයි" ඔහු තවදුරටත් කීවේය. "ඒවා ග්‍රහලෝක මතුපිට පාවෙනවා. ඒවායේ සෙවණැල්ල පහතට වැටිල තියෙනවා."
“එතකොට නගරවාසීන් කෝ?“ වීනා නොඉවසිල්ලෙන් විමසුවාය. වෙනත් ග්‍රහලෝකයක ජීවීන් දැක ගැනීමට ඇය බලවත් සේ ආශා කළාය.
“අපි තවත් පහළට බහිමු“ පියා යෝජනා කළේය. යානය ග්‍රහලෝකයේ මතුපිටට මීටර් 500ක් පමණ උසින් නතර විය. යානය නතර කරනු ලැබුවේ පාවෙන කුරුස ඇති ස්ථානයේ මධ්‍යයටයි. දැන් නගරයේ මාවත් පැහැදිලිව දැකිය හැකිය. සෑම තැනකම ඇත්තේ දැඩි නිහඬතාවකි. කිසිදු සෙලවීමක් නැත. වලාකුළු පවා ඒවායේ හැඩය වෙනස් කර නැත.
“කිසිම හෙලවීමක් නැති අමුතු නිහඬතාවක් ඇති ලෝකයක්“ පියා පැවසුවේය. කිලෝමීටර් සිය ගණනකට උඩදී නම් ඒක මනරම් දර්ශනයක්“ “අර බලන්න අර“ වීනා කෑගැසුවාය. “අර අතන ගහක් වැවෙනවා. බලන්න ඒකේ අතු විහිදෙන හැටි“
වීනා පෙන්වූ දිසාවට සියල්ලෝම නෙත් යොමු කළහ.
“අමුතුම ගහක්“ සන්ඩ්‍රෝ පැවසුවේය. “අනික එක ගහකට වඩා තියෙනවා“
“මම නම් මේ වගේ ගස් කවදාවත්ම දැකල නැහැ“ ඕසා කෑගැසුවාය. “අපේ ඇස් ඉදිරිපිටදීම ඒවා වැඩෙනවා“
ඔවුන් දුටු ප්‍රථම ගස ඔවුන්ගේ ඇස් ඉදිරිපිටදීම වැඩෙන්නට විය. එම ගසේ කඳේ සිට අතු සෑම පැත්තටම විහිද ගිය අතර ක්‍රමයෙන් ඒවා නැවී බිමට පහත් විය. ඉන් අනතුරුව සෑම ගසක්ම බිමට පහත් වී ක්‍රමයෙන් නොපෙනී ගියේය.
“එතන කොයිතරම් තියෙනවද බලන්න“ සන්ඩ්‍රෝ මවිතය පළ කළේය. “ඒවා ජීවමානයි. අපි තවත් පහළට බැහැලා කිට්ටු වෙලා බලමු“
“දැන්ම නෙවෙයි“ පියා පිළිතුරු දුන්නේය. “මෙතන තියෙන්නේ නගරයක්“ අපි හුදෙකලා ස්ථානයකට පහළට බහිමු“
කිසියම් හේතුවක් නිසා ඔහු එම ගස්වලට කැමැත්තක් දැක්වූයේ නැත. ඒවා ගස් වැවෙන්නට සුදුසු ස්ථානවල පමණක් නොව නිවාසවල වහල උඩ සහ ගල් ඇතිරූ පාරවල් මැද පවා වැවෙයි.
ඔහු යානාව උතුරු දෙසට හැරෙව්වේය. ඔවුහු අඩක් නටබුන් වූ සහ මුළුමනින්ම නටබුන් වූ නගර වෙතින් සම අමුතු ගස් උඩින් පියාසර කරමින් ඈතට ගියහ.
නැවත වරක් ඔහුට අප්‍රසන්න ගෙරවිලි හඬ සහ කර්කශ කන් බිහිරි කරවන නාදය ඇසිණ. ඔහුගේ හදවත වේදනා ගෙන දෙන්නට විය. තමා ළමයින්ව මෙහි රැගෙන ඒම වරදක්යැයි ඔහුට ක්ෂණිකව සිතිණ. ඔවුනට වඩා හොඳ හෝටල, චන්ද්‍ර උද්‍යාන, කාර්යක්ෂම මග පෙන්වන්නන් සිටින ග්‍රහලෝකයකට යා හැකිව තිබිණ. ඊළඟ වාරයේදී නම් ඔහු නොවැරදීම මෙවැනි අමුතු මියගිය ග්‍රහලෝකයකට නොව වෙනත් ග්‍රහලෝකයකට ඔවුන් රැගෙන යෑමට සිතා ගත්තේය.
අන්තිමේ ඔවුහු හරිත වර්ණයෙන් යුතු තැනිතලා ප්‍රදේශයක් තෝරා ගත්හ. එහි ජලය නිසා හෝ වන සතුන් නිසා හෝ ඇති වූ දිය අගලක් වැනි ස්ථානයක් දක්නට හැකි විය.
එහි වාතය පරීක්ෂා කර බැලූ ඔහුට එම වාතය හුස්ම ගැනීමට සුදුසු බව පෙනී ගියේය. ඔහු ගගනගාමී ඇඳුම නොමැතිව පිටවූවත් ළමයින්ට එම ඇඳුම ඇඟ ලා ගන්නා ලෙස උපදෙස් දුන්නේය. හදිසි අවස්ථාවක් පැන නැඟුණුහොත් භට මුහුණ දීම සඳහා ඔවුහු පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ජෙට් රැගෙන ගියහ. ළමයි උනන්දුවෙන් සහ කුතුහලයෙන් යුතුව සිටියහ. එහෙත් පියා අසහනයෙන් පසු විය. අමුතු ග්‍රහලෝකය පිළිබඳ නොපැහැදිලි උපද්‍රවයක සැකය ඔහු තුළ විය.
අන්තිමේ ඔවුහු ග්‍රහලෝකයේ මතුපිටට ගොඩ බැස්සාහ. ගගනගාමී ඇඳුම් ළමයින්ට බාධාවක් නොවූ බැවින් ඔවුහු එකිනෙකා පසුපස එළවමින් කෑකෝ ගසමින් ප්‍රීතියෙන් දුව පැන ඇවිද්දහ. එහෙත් අවට පරිසරය මුළුමනින්ම අමුතුය. අමුතු දැඩි නිහඬතාව මෙන්ම කිසිදු සුළං හැමීමක් හෝ සෙලවීමක් නොවීම මේ අමුතු තත්ත්වය වැඩි කළේය.
හදිසියේම පියාට දක්නට ලැබුණේ පියාඹා එන ආයත චතුරස්‍රාකාර යමකි. බටහිර පැත්තෙන් පැමිණි එය හෙමිහිට බිමට පහත් විය.
"අර බලන්න" ඔහු කෑගැසුවේය.
උසුළු විසුළු කරමින් සිටි ළමයි එය නතර කර මේ අමුතු දෙය දෙස බැලූහ.
"ඒ මොකක්ද?" ඕසා ඇසුවාය.
"කුරුල්ලෙක්" වීනා යෝජනා කළාය.
"නැහැ" සන්ඩ්‍රෝ කීවේය. "ඒකට අත්තටු නැහැ."
ඒ මොහොතේ පියාට යළිත් කර්කෂ නාදය ඇසිණ. එහෙත් මෙවර එම ශබ්දය ඇසුණේ ඔහුගේම අභ්‍යන්තරයෙනි. අවට පරිසරය පැවති ආකාරයෙන්ම නිහඬය.
ආයත චතුරස්‍රාකාර එය බිමට වැටී ගිලී ගියේය. ඇතුළින් තල්ලු කරන්නාක් මෙන් එය එක්වරම ඉදිමෙන්නට විය. හදිසියේම එය විවෘත වූ අතර අමුතු අංකුර ඉන් පිටතට පැමිණියේය. ඒවා කළු පැහැගත් අතර කුඩා බෝල සහ අක්‍රමවත් ආයත චතුරස්‍රාකාර ඒවා විය. එම අංකුර අමුත්තන්ගේ ඇස් ඉදිරියේම වැඩෙන්නට වූ අතර එය උස ගසක් බවට පත් විය. එය අපට සිහිපත් කළේ අලංකාර පොකුණකි. මොහොතක්වක් නිශ්චලව නොසිටි එය අතුපතර විහිදවමින් දිගටම වැඩෙන්නට වූ අතර අනතුරුව මිය ගියේය. මේ සිත් ඇදගන්නා ක්‍රියාවලිය නිදමින් සිටින නිශ්චල ග්‍රහලෝකයට නොගැළපෙන විශාල වෙනස්කමකි.
එම ගස එයට යා හැකි උපරිම ගිය පසු හැකිලෙන්නට පටන් ගෙන ඉතා කුඩා කැබලිවලට කැඩී ගියේය. කිසිවක් පියාගේ උරහිස මතට වැටුණු අතර ඔහු එය අල්ලා ගත්තේය. එය අමුතු ගසේ කැබැල්ලකි. එය ගලක් මෙන් තද වූ අතර අල්ලා බැලූ විට තද රස්නයෙන් යුතු විය. අත්ල මත තබාගෙන එහි බර බැලූ පියා එය ඔහුගේ සාක්කුවේ දමා ගත්තේය.
"ගහ කෑලිවලට කැඩෙනවා" ළමයි කෑගසමින් එහි කුඩා කැබලි එකතු කරන්නට වූහ.
"අර බලන්න තවත් එකක් එනවා" සන්ඩ්‍රෝ මොර දුන්නේය.
සන්ඩ්‍රෝ පෙන්වූ දිසාව බැලූ ඔවුන්ට තවත් ආයත චතුරස්‍රාකාර යමක් තමන් දෙසට පැමිණෙනු දැක ගත හැකි විය.
"ඒක බීජයක්" පියා පැහැදිලි කළේය. "ඒ අර අමුතු ගහේ බීජයක්. බලන්න එකේ හිස ග්‍රහලෝකේ මතුපිට පෘෂ්ඨයේ ගිලී ගොස් ඉක්මනින්ම එම ස්ථානයේම විශාල විය. අනතුරුව කළු බීජ මතුවී උස ගස් බවට පත් විය. ටික වේලාවකින් සම්පූර්ණ කැලයක් බවට පත් විය. එය උතුරටත් දකුණටත් විහිදී ගිය අතර මීටර් සිය ගණනක පළලින් යුතු විය.
ලබන සතියට...
වික්ටර් කොලුපායෙව් නමැති සුප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ රචකයා විසින් රචිත අමුතු ගස් විද්‍යා ප්‍රබන්ධයේ සිංහල අනුවාදය - 2 කොටස