ඒ මදුරුවා කොහෙන්දෝ-පේසාලෙන් ඇහින්දෝ | සිළුමිණ

ඒ මදුරුවා කොහෙන්දෝ-පේසාලෙන් ඇහින්දෝ

 මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්ව සහතික දිනා සිටින අවස්ථාවක නැවතත් මැලේරියා රෝගය පැතිර යෑමේ අවදානමක් ශ්‍රී ලංකාව තුළ ඇති වීම කනගාටුදායක කරුණකි. ඉන්දීය සම්භවයක් ඇති මොළේ මැලේරියාව ව්‍යාප්ත කරවන ඇනෝපිලස් ස්ටෙෆන්සයි මදුරුවා මන්නාරම පේසාලේ ප්‍රදේශයෙන් මීට මාසයකට ප්‍රථම වාර්තා වීම මැලේරියාව නැවත හිස එසවීමේ අවදානමක් පවතින බවට ඉඟි කරන කාරණයකි. මේ අවස්ථාවේදී ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය කල්පනාවෙන් වැඩ කරන බවට ඔප්පු කරවන කරුණක් ලෙස මේ මදුරුවා සොයාගැනීම පෙන්වා දිය හැකිය. එම ව්‍යාපාරයේ සේවය කරන සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් වන ගයාන් ධර්මසිරි සහ අශාන් කනිෂ්ක මහත්වරුන්ගේ සැලකිලිමත්භාවය හේතුවෙන්ම මේ මදුරු කීටයන් සොයාගැනීමට හැකියාව ලැබී ඇත. මදුරු කීටයන් තවදුරටත් බෝ වීමට ඉඩ නොදී වළක්වා ගැනීමට ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්යමණ්ඩලය පියවර ගැනීම සතුටට කරුණකි. ඩෙංගු මදුරුවා හා සමාන මදුරුවකු ලෙස ඇනෝපිලස් ස්ටෙෆන්සයි මදුරුවා හඳුන්වා දිය හැකිය. ඩෙංගු මදුරුවා හා සමානවම විනාශයක් කරන මේ මදුරුවා රට පුරා ව්‍යාප්ත වීම වළක්වාගැනීමට සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු විශාල පරිශ්‍රමයක් දරමින් සිටිති. මැලේරියාව රෝගය වාහකයකු වන ඇනෝපිලස් ස්ටෙෆන්සයි මදුරුවා සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා පුහුණු පාසලේ ආචාර්ය ආර්.පී. කුලුප්පුආරච්චි මහතා සමඟ කළ සංවාදයකි මේ.

මැලේරියා වර්ග දෙකක් පවතියි. ප්ලැස්මෝඩියම් පල්සිෆාරුම් හා ප්ලැස්මෝඩියම් වයිවැක්ස් ඒ වර්ග දෙක වේ. ඇනෝපිලස් ස්ටෙෆන්සයි මදුරු විශේෂය මඟින් ව්‍යාප්ත වනුයේ ප්ලැස්මෝඩියම් පල්සිෆාරුම් වර්ගයයි. මේ මදුරුවා මොළේ මැලේරියාව ව්‍යාප්ත කරයි. ඇනෝපිලස් ස්ටෙෆන්සයි මදුරුවාගේත් ඩෙංගු මදුරුවා වගේම පාදයන්හි සහ ශරීරයෙහි සුදු පාට තිත් පිහිටා තිබේ. ඩෙංගු මදුරුවා බිත්තියේ වසා සිටින්නේ සමාන්තරව වුවත් මේ මදුරුවා බිත්තියේ වසා සිටිනුයේ ආනතවය.

ග්‍රාමීයව මේ මදුරුවා ළිං ආශ්‍රිතව ව්‍යාප්ත වේ. නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශයන්හි වැහි පිහිලි, ජලය එකතු කරන ටැංකි හා භාජන, ගස් බෙනවල යනාදි ජලය එක්රැස් වන ස්ථානයන්හි බිත්තර දමයි. නාගරික මදුරුවාගේ හැසිරීම් රටාව ඩෙංගු මදුරුවාට සමාන වේ.

මන්නාරම පේසාලේ ප්‍රදේශයෙන් මේ මදුරුවා සොයාගැනීමත් සමඟ වාර්තා වනුයේ මුහුදු ජලයට ආසන්න ලවණ ජලය පවතින තැන්වල පවා මේ මදුරුවා බිත්තර දැමීමට හැකියාවක් පවතින බවයි. ඇනෝපිලිස් ස්ටෙෆන්සයි මදුරුවා පිරිසිදු, අපිරිසුදු ජලයේ බිත්තර දමයි. රාත්‍රි 10ත්-12ත් අතර මදුරුවා දෂ්ට කිරීම සිදු කරයි. මදුරුවා දෂ්ට කර දින 10ක්-12ක් ගත වීමෙන් පසු මොළේ මැලේරියාව රෝගය හට ගනියි. පරිසරයේ පවතින උෂ්ණත්වය හා ආර්ද්‍රතාව මත දෂ්ට කරන වේලාව වෙනස් විය හැකිය. ඉදි කිරීම් ස්ථානවල මේ මදුරුවා බෝ වීමේ වැඩි අවදානමක් ද පවතියි. ඒ ස්ථානයන්හි ඇති ජලය රැස් කරන භාජන, ටැංකිවල මදුරුවා බෝ වේ. සාමාන්‍ය මැලේරියාවට වඩා මොළේ මැලේරියාව නිසා ජීවිත හානි සිදු වීම බරපතළ ගැටලුවකි. උණ, හිසරදය, ඇඟපත වේදනාව, ඔක්කාරය වැනි රෝග ලක්ෂණ මෙහිදී හටගනියි. ප්ලැස්මෝඩියම් පල්සිපාරුම් පරපෝෂිතයා මිනිස් ශරීරයට ඇතුළු කිරීම මේ මදුරුවා විසින් කරනු ලබයි. මදුරුවන් බෝ වීම වළක්වාගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින් ගුවන්තොටුපොළේ, වරායේ ආවේක්ෂණ කටයුතු සිදු කරයි. මැලේරියා මර්දන ව්‍යාපාරය ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළු වන සැක සහිත රෝගි පුද්ගලයන්ගේ ආවේක්ෂණ කටයුතු සිදු කරයි. ස්ටෙෆන්සයි මදුරු විශේෂය නාගරික දක්වා පැතිර යෑමක් සිදු වේද කියා පරීක්ෂණ පැවැත්වීම සිදු කරයි. ඇතැම් කෘමිනාශකවලට මේ මදුරුවා ප්‍රතිරෝධයක් දැක්වීම ලොකුම අභියෝගයකි. එමඟින් මදුරුවා ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතියි. යුද්ධය පැවති කාලයේ මේ මදුරුවා ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන්නට ඇතැයි අනුමාන කරයි.

එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ බෝට්ටු ඉන්දියාවේ සිට පැමිණෙන විට මේ මදුරුවාගේ සංක්‍රමණයද සිදු වන්නට ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් අනුමාන කරති. යුද්ධය පැවති කාලයේ එම ප්‍රදේශවල පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවස්ථාවක් නොලැබුණත්, වර්තමානයේ සිදු කරන පරීක්ෂණ මඟින් මදුරුවා බෝ වීම පාලනය කිරීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු පුළුල් කර තිබේ.

Comments