
වැලිපැන්නේ මාරක ත්‍රිරෝද රිය අනතුර
පන්සිළු පවුලේ එකම පිරිමි දරුවා. කවුරුත් ආදරයට ඔහු ඇමතුවේ සන්දු ලෙසයි. ඉමාෂ් ධනංජය සහ පන්සිළු හොඳම යාළුවෝ වුණේ අලුත්ගම ජාතික පාසලේ 11 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ අකුරු කරද්දීය. දෙදෙනාම පදිංචිව සිටියේ බේරුවල එක ළඟ. ඒ නිසා මේ දෙදෙනා පාසලට අමතරව නිතර මුණ ගැසුණා. පසුගිය 06 වැනිදා දෙදෙනාම පාසල් යෑමට නිවෙසින් පිටත්ව ගියත් අතරමඟදි ඔවුන්ට තවත් මිතුරන් තිදෙනකු එක් වුණා. පාසලේ ක්‍රීඩා කටයුතුවලටත් සම්බන්ධ නිසා ඉමාෂ් එදා නිවෙසින් යද්දී ඇඳගෙන ගියේ පාට ඇඳුමක්. ඔවුන්ට මඟදී එකතු වූ අයත් එකම පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබන මිතුරන්.
මේ සියලු දෙනාගේම වැඩිහිටියන් සිය පුතුන් පාසල් ගියා කියා සිතා සැනසීමේ හිටියත් දවල් වෙද්දී ලද ආරංචියෙන් නිවෙස්වල සිටි අයගේ සිත් හි ගිනි පත්තු වුණා.
වැලිපැන්න මීගම ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ මාරක ත්‍රිරෝද රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනකු මිය ගිය පුවතින් මුළු රටම කම්පාවට පත් වෙන්න වැඩි වෙලාවක් ගත වූයේ නැහැ. බේරුවල හලවාගොඩ හා හෙට්ටිමුල්ල ප්‍රදේශවල පදිංචි මේ දරුවන්ගේ අකල් මරණ නිසා මේ වෙද්දී මොරගල්ල අලුත්ගම පළාතම ශෝකයෙන් ඇළලී ගොසිනි.
" අනේ ඇයි පුතේ ඔයා අපට මෙහෙම ගින්දරක් දුන්නේ. මං දැන් ඔයාගේ තාත්තාට මොකද්ද කියන්නේ." යනුවෙන් විලාප තියමින් හඬන හඬ අපට ඇසුණේ මේ ගැන සොයා බැලීමට පන්සිළු ගේ නිවෙසට ගොඩවෙද්දීයි. ඒ මවට සිය පුතු ගැන කතා කිරීමට නොහැකි නිසා අප හා කතාබහ කළේ පන්සිළුගේ එකම සොහොයුරිය ජයමුණි දිල්හාරා සිල්වායි.
“මායි මල්ලියි අම්මායි මේ ගෙදර ජීවත් වුණේ හරියට හොඳ යාළුවන් වගේ. අපේ තාත්තා ඉන්නේ විදේශයක. අපේ ආරක්ෂාවට නිතර හිටියේ මගේ මල්ලී. දැන් මල්ලී අපිව දාලා ගිහින්. සිද්ධිය වුණු දා පාන්දර මල්ලි මාව වැඩට යන්න බස් එකට ඇරලුවා.
කවදා හරි හොඳට ඉගෙන ගෙන හමුදාවේ උසස් කැඩේට් නිලධාරියකු වෙනවාමයි කියලා මල්ලි නිතර නිතර කිව්වා. එයා හරි ආසයි කැඩෙටින්වලට, ඒ වගේම එයා ක්‍රිකට්වලටත් හරිම ආසයි.
තනි රෝදයෙන් පාපැදියේ යාමේ විශේෂ හැකියාවක් මල්ලිට තිබුණා.
මල්ලී ඊයේ පෙරේදා අම්මාත් එක්ක කිය කියා හිටියේ මාර්තු මාසයේ පාසලේ කැඩේට් කඳවුරක් තියෙනවා සතියක. ඒකට යන්න දෙනවා ද කියා අහමින් හිටියේ. මගේ මල්ලීගේ හොඳම යාළුවා තමයි අනිත් නැතිවෙච්චි ළමයා.
හැමදාම මල්ලී පාසල් යන්නෙ නැති නිවාඩු දවස්වලටත් මාව බස් එකට පාන්දර ඇරලන්න එනවා. දැන් මාව බස් එකට හැරලවන්නේ කවුද යැයි කියමින් දිල්ශාරා විලාප නැඟුවාය.
පන්සිළු දිව්යංජනගේ නැන්දා වන ෂර්මිලා සිල්වා, “අපේ පුතා එදා වෙනදා වගේ පාසල් ගියා. පුතා පාසලේ කැඩේට් පුහුණු වෙලා තිබෙනවා. ඉන් පස්සේ කොහොමද මේ වගේ විපතක් වුණේ කියලා අපට හිතාගන්න අමාරුයි. මින් ඉදිරියටවත් මේ වගේ දේවල් නොවෙන්න ඕනැ. පාසල් වේලාවේ වගකීම පාසල සතුව තිබෙනවා. අපට දැනගන්න ලැබුණා පාසලේ නම් පොතේ නමත් ලකුණු කරලා තිබෙනවා කියලා. අපට තිබෙන කනගාටුව මේ වගේ වටිනා ජීවිත මේ අයුරින් අකාලයේ මිලින වෙලා යන එකයි.
පන්සිළුගේ හොඳම මිතුරා වන සචින් රවිනාත් සිසුවා ද සිය මිතුරාට සිදුවූ දෙයින් කම්පා වී සිටී.
“පන්සිළු මගේ හොඳම යාළුවා කවදාවත් අපි අතර ප්‍රශ්නයක් වෙලා නැහැ. එයා හරිම ආසයි කැඩේට් කරන්න අන්තිමේදී එයා නැති වුණෙත් කැඩේටිං නිසායි.”
අනතුරින් මියගිය ඉමාෂ් ධනංජය පදිංචිව සිටියේ හෙට්ටිමුල්ල නවසියාවත්ත ප්රදේශයේය. ඔහුගේ මව එච්. ඇම්. දිපානි මල්කාන්ති සිල්වාය.
ඇය පුතණුවන්ගේ දේහය අසලට වී විලාප නඟන්නීය. එහිදී අපට මුණ ගැසුණු ඉමාෂ් ධනංජයගේ මාමා කෙනෙකු වන බේරුවල පදිංචි ජී. ගුණරත්න මේ අකල් මරණ ගැන අප හා කතාබහ කළේය.
“මේ දරුවෝ දෙන්නා එදා පාසල් ගිහින් තිබෙනවා. පාසල් කාලයේදී ළමයින්ගේ වගකීම රැකවරණය තිබෙන්නේ ගුරුවරුන් අතේ. ඒ වගේම සෑම මවුපියකුම සොයා බලන්න ඕනැ තමන්ගේ දරුවෝ කොහේද යන්නෙ එන්නෙ කියලා. අන්න එහෙම බැලුවානම් මෙහෙම විපතක් වෙන්නෙ නැහැ. කවුරුත්
තමන්ගේ දරුවෝ ගැන මට වඩා සැලකිලිමත් වෙන්න ඕනැ.
මීගම හංදිය ත්‍රිරෝද රථ ගාලේ රියැදුරකු වන ඒ. බී. චමින්ද මහතා ත්‍රිරෝද රිය අනතුර සියැසින් දුටුවෙකි.
“ඔය අනතුරෙන් විපතට පත් දරුවන්ව අපේ ත්‍රීවිල් පාක් එකේ කට්ටිය තමයි විනාඩි කිහිපයකින් ධර්ගා නගරයේ රෝහලට ගෙන ගියේ. මීගම හන්දියේ සිදුවෙන ඕනෑම අනතුරකට කරදරයකට පිහිට වෙන්න ඉන්නේ අපි තමයි. මියගිය දරුවන් දෙදෙනාගේ වටිනා ජීවිත අපට බේරගන්න තිබුණනම් කොච්චර දෙයක් ද?
කළුතර කොට්ඨාස බාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න සහ වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ලලිත් රාජමන්ත්රී යන මහත්වරුන්ගේ උපදෙස් මත රථවාහන අංශයේ සැරයන්වරු වන (8352) ජයරත්න සහ (55299) කිත්සිරි යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.
ඉමාෂ් ධනංජය සිසුවාගේ අවසන් කටයුතු 08 වැනිදාත්, පන්සිළු දිව්යාංජන සිසුවාගේ අවසන් කටයුතු 09 වැනිදාත්, මුල්ලපිටිය, පොදු සුසාන භූමියේත්, මොරගල්ල පොදු සුසාන භූමියේත් මළහිරු බැස යන සැන්ඳෑවේ විශාල ජනකායකගේ හා සහෝදර පාසල් සිසු සිසුවියන් කැලකගේ සෝ සුසුම් මැද සිදු කෙරිණි.