
සොඳුරු හදවත්
බසය රත්නපුර බස් පොළෙන් නික්මී වේගය වැඩි කළා පමණි.
ඉදිරියෙන් ආ ත්‍රිරෝද රියක් බසය පෙනි පෙනීම ආපසු හැර වූයේ ය.
බසයේ රියැදුරා වහා තිරිංග පෑගුවේ ය.
තිරිංග හඬ පැතිරෙනවාත් සමඟ ම මගීහු ද ඇදී, පැදී, විසිරී ගියහ.
බස් රියැදුරුගේත්, රියදුරු අසල සිටි මගීන්ගේත් දෑස් කොවින් පිරිණ. ඔවුහු අබ පුපුරණ දෑසින් ත්‍රිරෝද රිය දෙස මොහොතක් බලා සිටිය හ.
ත්‍රිරෝදකරු හිස එළියට දා බසය දෙස බැලුවේ ය. ඒ තරුණයෙකි. අමුතු තොප්පියක් පැළඳ අමුතු ඇඳුම් හැඳ සිටි ඔහු ගේ මුහුණේ වූයේ අමුතු හිනාවකි. ඒ හිනාවේ වූයේ ‘සමාවෙන්ඩ! ඕව ගණන් ගන්ඩ එපා!’ කියන්නාක් බඳු හැඟීමකි.
ඊළඟ මොහොතේ ඔහු අපට අත වනා ඉගිළී ගියේ ය.
ත්‍රිරෝද රියේ පිටුපස මෙබඳු වගන්තියක් විය.
‘මෙතේ බුදුන් ළඟට බුදු වේවා මගෙ අම්මා’!
ඒ වැකියෙන් මගේ තරහ අකා - මකා වී ගියේ ය.
බස් රියැදුරු ද යළි බසය ඇද්ද වූයේ ය.
සෙසු මගීන්ගේ මුහුණුවලින් ද තරහ මැකී යනු පෙනිණ.
මම හිඳ ගන්නට තැනක් සොයමින් බසයේ පිටුපස අසුන් කරා ගියෙමි.
පිටු පස අසුනේ මැද හිඳ සිටියේ අර ත්‍රිරෝද රිය පැද වූ තරුණයා මෙන් ම අමුතු තොප්පියක් හිස ලා අමුතු ඇඳුම් පැළඳුම් ලා සිටි තරුණයෙකි. මා තමා දෙස බලා සිටිනවා දුටු හේ මට හිනාවක් පා ළඟ හිඳ සිටි මිතුරා පැත්තට රූටා මට හිඳ ගන්නට ඉඩක් ද දුන්නේ ය.
මම හිඳ ගතිමි.
දෙදෙනා කතාවට වැටුණ හ. ඒ වචනවලින් මා තේරුම් ගත්තේ ඔවුන් ගරාජයක වැඩ කරන බව ය. ටිකකින් බටුගෙදර පාසල ළඟ ද බසය නැවැත්විණි. පාසල දකිද්දී ම අර තරුණයා හිස් වැස්ම ගලවා අතට ගන්නා ගමන් අසුනින් නැගිට හිස නවා පාසලට ආචාර කර යළි අසුනෙහි හිඳ ගත්තේ ය.
‘අපේ ඉස්කෝලෙනෙ මචං! සර්ල මිස්ල අපිට උගන්නන්ඩ කොච්චර මහන්සි ගත්තද? කොහෙද ඉතිං, අපි ඒ කාලෙ හිතං හිටියෙ අපි ඒ ගොල්ලන්ටත් වඩා ලොක්කො හැටියටනෙ’
ඒ කතාවට මට හිනා ආවත් මම හිනාව පාලනය කර ගතිමි.
කලින් බසය ඉදිරියෙන් ම සිය ත්‍රිරෝද රථය හරවා අප අමාරුවේ දමා පසුව අපට ඉඟි බිඟි පා මාරු වී ගිය තරුණයා ද මෙවැන්නෙකි. මේ දෙදෙනා ම බාහිර පෙනුමින් සාම්ප්‍රදායික අපට අමුතු ය. හැසිරීමෙන් නුහුරු ය. එහෙත් ඔවුන් තුළ කිසියම් සුන්දරත්වයක් සැඟ වී ඇතැයි මට සිතේ. අර ත්‍රිරෝද රිය පිටුපස අලවා තිබූ වගන්තියේත්, මේ තරුණයා මොහොතකට පෙර සිය මිතුරාට කී වගන්තියේත් සැඟවුණු මිහිරක් තිබේ. ම සිත ඔවුන් කෙරෙහි දයාවක් ද, අනුකම්පාවක් ද, ආදරයක් ද ඇති විය.
රත්නපුරේ, ගෝණකුඹුරේ, එච්.වී. චන්ද්‍රසිරි මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.
දිවි දිනුම
ඒ මුළු රට ම මර බියෙන් ගැහුණු යුගයකි.
මේ කියන රජරට ද ඉන් මිදුණේ නොවේ.
එහි ද ගම්බිම් වැටලිණි. තරුණයන් ඩැහැ ගැනිණි. කඳවුරුවල ගාල් කැරිණි.
දිවා රෑ දෙකෙහි රැකවල් ලූ මේ කඳවුරුවලින් පැන යෑම සිහිනයක් විය.
එහෙත් එක්තරා තරුණයෙක් කඳවුරෙන් පැන ගත්තේ ය.
හොර පාරවල් දිගේ මහ පාරට ආ ඔහු කොළඹ යන බසයකට අත දමා එහි නැඟ කොළඹට පැන ගත්තේ ය.
කොළඹට ආ ඔහු නැවතුණේ එක්තරා තානාපති කාර්යාලයක සිංහල කතා කරන නිලධාරියකු ළඟ ය.
‘අනේ සර් මාව බේර ගන්න!’ තරුණයා ආයාචනා කළේ ය.
නිලධාරීන්ගේ හිත් උණු විය.
වැඩි දවසක් නොගියේ ය. තරුණයා සීතල රටකින් මතු වූයේ ය.
ඔහු ඉදිරියේ පාරක් විය. ඔහු හීතලේ ගැහෙමින් පාර දිගේ ගියේය.
සීතලට වැසී තිබුණු ගෙවල් දොරවල් පහු කරමින් තරුණයා හැරුණු හැරුණු අතේ ගියේය.
සීතලත්, කුසගින්නත්, විඩාවත් නිසා තවදුරටත් ඇවිද ගත නොහුණු ඔහු ගෙයක් ඉදිරියේ නැවතුණේය.
ඒ ගෙයි දොර ද වැසී තිබිණ.
තරුණයා ගැහෙමින් අසරණව වැසූ දොර හැරෙන තෙක් බලා සිටියේය.
පුදුමයකට මෙන් දොර හැරිණ. වියපත් යුවළක් ගෙතුළ සිට ඉදිරියට ආහ.
‘ඔයා කවුද?’ ඔවුහු ඇසූහ. එහෙත් ඒ විදෙස් බස තරුණයාට නොවැටහිණ. නමුත් ඔවුන්ගේ මුහුණේ වූ හැඟීම ඔහුට වැටහිණ. ඔහු දොර ළඟට ගියේය.
යුවළ ඔහු ගෙට ගෙන ඇඟපත පිසදා ඇඟපත උණුසුම් කළෝය.
තරුණයාට තමා ජීවත්වන බව හැඟුණේය. ඔවුහු ඔහුට අහර ද ඇඳුම් ද සුව පහසුව ද සැපයූහ.
වියපත් යුවළ මහත් උනන්දුවෙන් ඔහුගෙන් තොරතුරු විචාළ නමුත් බස නොදන්නාකමින් ඔහුට සියල්ල හරිහැටි පැහැදිලි කර දිය නොහැකි විය. එහෙත් ජීවන අද්දැකීමෙන් පිරිපුන් ඒ යුවළ ඔහු තේරුම් ගත්හ. ඔහුට පිළිසරණ විය යුතු බව දත්හ.
මේ නිවෙසෙහි වෙසෙන්නේ වියපත් යුවළ පමණක් බවත් ඔවුන් ගේ දරුවන් වෙනත් නිවෙස්හි වසන බවත් තරුණයා කෙමෙන් වටහා ගත්තේ ය. ඔහු යුවළට අත්උදවු දුන්නේ ය. නෑව්වේ ය. ගෙදර දොරේ වැඩ කර දුන්නේ ය. කඩේ ගොස් වුවමනා දෑ ගෙන ඒමට පුරුදු වූයේය. කෙමෙන් විදෙස් බස වටහා ගත්තේ ය.
දෙමහල්ලෝ තරුණයා කෙරෙහි පැහැදුණෝය.
වැඩි කල් නොගොස්ම වියපත් යුවළට තරුණයාත් ඔහුට යුවළත් නැතුවම බැරි විය.
තරුණයාගේ අනාගතය යහපත් කළ යුතු යැයි සිතූ ඔවුහු ඔහු ගුවන් නියමු පාඨමාලාවකට යොමු කළහ. එය ප්‍රගුණ කළ ඔහු ටික කලකින් ගුවන් නියමුවකු බවට පත් විය.
කලක් ගියේ ය. වියපත් යුවළ ද මිය ගියහ. යුවළ රැක බලා ගත් ඔහුට එරට නීතියට අනුව බූදලයෙන් අඩක් හිමි විය.
දැන් තරුණයා පරිපූර්ණ ය. පුරවැසිකම ද හිමි ය. රැකියාවක් ද තිබේ. ධනය ද ඔහු සතු ය.
එසේ වුව ද මෙරට සිදු වී තිබුණේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි.
වසර ගණනාවක් ගතවීත් තම පුතු ගැන ආරංචියක් සොයා ගත නොහැකි වූ මාපියෝ ඔහු මියගියා යැයි සිතා ආගමික වතාවත් ද සිදු කොට ඔහු නැතිව ජීවත්වීමට හිත් හදා ගත්හ.
දිනක් පින් පාටැ’ති තරුණයෙක් මේ ගෙදරට පය ගැසුවේ ය.
‘අම්මෙ, තාත්තෙ මං ආව’ හෙතෙමේ මාපිය පා වැන්දේය.
මාපියෝ සිදු වූ දේ අදහාගත නොහැකිව දෑස් මහත්කොට තරුණයා දෙස බලා සිටියහ.
මේ නම් නැති වූ අපගේ පුත්‍රයාමය. මේ ඔහුගේ මුහුණමය. එය පින් පාටය. ඒ කටහඬමය. හැබැයි එදා තිබූ කෙසඟ සිරුර යස අගේට හොඳින් වැඩී ඇත. එසේ සිතූ මාපියෝ ‘අනේ මගෙ පුතේ’ යි කියමින් ඔහු වැලඳ ගත්හ.
ඔබ සිතුවාක් මෙන් ඔහු ආපසු ගියේ ය. හැබැයි තනිවම නොවේ. මාපියන් ද කැටුව ය.
නොකල්හි එළඹි අකල් මරණයෙන් සියුම් ව බේරී ගත් මේ දිරිමත් පුතු තෙමේ යළිදු ජීවය ලබා තම මාපියනට ද සතුට සැනසුම උදාකර දුන්නේ ය.
මේ උතුම් පුත්‍රයා අද ස්විට්සර්ලන්තයේ ගුවන් නියමුවෙකි.
ගම්පහ නන්ද ප්‍රියන්ත මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.
නෙළුම්විල, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.