ගුරු සේවයේ රස කතා | Page 3 | සිළුමිණ

ගුරු සේවයේ රස කතා

විදුහල්පතිතුමියගේ භාණ්ඩ සමීක්ෂණය

ඩී.එන්. දිසා­නා­යක
කොස්වත්ත - බිංගි­රිය

පඬුවස්නුවරට ආසන්න මහා විද්‍යාලයක විදුහල්පති ලෙස සේවය කළ ධනවතී ගුරුතුමිය, අකුරටම වැඩ කළ, නිර්භීත ගුරුවරියක් වූවා ය. විදුහලේ අනෙකුත් ගුරු භවතුන් සමඟ ඉතා සුහදශීලීව කටයුතු කළ ඈ සිසුන්ගේ මෙන් ම ආචාර්ය මණ්ඩලයේ ද ආදර ගෞරවයට භාජනය වූ කාර්යක්ෂම ගුරුවරියක් වූවා ය.

විද්‍යාලයේ සියලුම අංශවල ඩෙස්ක්, පුටු, මේස, අල්මාරි, බංකු ඇතුළු භාණ්ඩ සමීක්ෂණය සඳහා කල්වේලා ඇතිව දන්වා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිලධාරින් පිරිසක් විදුහලට පැමිණීමට නියමිතව තිබිණ. විද්‍යාලයයේ ඒ ඒ අංශවල ගුරු භවතුන් මේ සඳහා දැනුම්වත් කළ විදුහල්පති තුමිය තම තමාගේ අංශවල භාණ්ඩ නිසියාකාරව නොඅඩුව තිබේ දැයි සොබා බලන ලෙස දැන්වීය.

මේ සෑම අංශයකම වූ බඩු බාහිරාදිය කිසිම අඩුපාඩුවක් නොතිබූ අතර විද්‍යාලයයේ ඩෙස්ක්, පුටු, බංකුවල පමණක් අඩුපාඩුවක් විය. භාණ්ඩ සමීක්ෂණයට පෙර එම අඩුපාඩුව ද සපුරාලිය යුතු බැවින් විද්‍යාලයයේ සිංහල විෂය භාර ධර්මදාස ගුරුතුමා කැඳවූ විදුහල්පතිනිය ඔහුට මේ පිළිබඳ පවසා ඊට විසඳුමක් විමසුවා ය.

විද්‍යාලයයේ ඉහළ පන්තිවල පිරිමි සිසුන් කිහිප දෙනෙක් පාසල් වේලාවෙන් පසුව නතර කරගත් ධර්මදාස ගුරුතුමා බාගයට කැඩුණු ඩෙස්ක්, පුටු, බංකු ආදියෙහි ඉතිරි කොටසත් කඩා සෑම එක් භාණ්ඩයක් ම දෙකක් වනසේ ගණන් ගැනීමට සලස්වා තැබුවේ භාණ්ඩ සමීක්ෂණයේදී එකම භාණ්ඩය දෙකක් ලෙස පෙන්වීමට හැකිවන අයුරිනි. ඉන් විද්‍යාලයයේ එතෙක් අඩුපාඩුවක්ව පැවැති ඩෙස්ක්, පුටු, බංකුවල අඩුපාඩුවද භාණ්ඩ සමීක්ෂණයට පෙර සපුරාලීමට හැකි විය.

නියමිත දින භාණ්ඩ සමීක්ෂණ නිලධාරිහු විද්‍යාලයයට පැමිණි අතර සමීක්ෂණයේදී විද්‍යාලයයේ කිසිම අංශයක බඩුබාහිරාදිය අඩුපාඩුවක් නොතිබූ බව සටහන් කර විදුහල්පතිනිය ඇතුළු මුළු ආචාර්ය මණ්ඩලයට ම ස්තුතිය පුද කරමින් පිටව ගියහ.

රතු ඉරට නැවතුම

ආනන්ද සරත් ගුණ­සේන
කන්දෙ­ගෙ­දර

එය තරමක් දුෂ්කර ප්‍රාථමික විදුහලකි. ගුරු මණ්ඩලය අට දෙනෙකි‍. විදුහල්පතිතුමිය සිය සැමියා සමඟ ගුරු නිවාසයේ නැවතී සිටියා ය. දිනපතා ම උදේ හය හමාර වනවිට රාත්‍රි ඇඳුම පිටින් කාර්යාලය වෙත එන ඇය අත්සන් පොතේ මුලින් ම අත්සන් කර, දොර අඟුළු නොදමා ආපසු යන්නීය. ඉන්පසු හැඳ පැලඳ ගෙන යළිත් කාර්යාලයට එන ඇය හරියටම හත හමාරට‍ රතු ඉර ගසන්නීය. දුර බැහැර සිට පැමිණෙන ගුරුවරුන්ට හැමදාම අත්සන් කරන්නට සිදුවූයේ රතු ඉරට යටිනි.

නවක ගුරුවරයකු දිනපතාම පැමිණියේ තරමක් ප්‍රමාද වෙමිනි. දුර බැහැර සිට දුෂ්කර මාවතක් ඔස්සේ පාසලට එන මේ ගුරු මහතා ප්‍රමාද වී එන්නන් අතරිනුත් එ‍න්නේ අන්තිමට ය. මනුස්සකමක් නොමැති විදුහල්පතිතුමිය ගැන කා අතරවත් කිසිම ප්‍රසාදයක් නොවීය.‍ අර තරුණ ගුරු මහතා ද පොටක් පෑදෙන තුරු ඉවසිල්ලෙන් බලා සිටි‍යේය.

දිනක් සුපුරුදු පරිදි උදේ හය හමාරට කාර්යාලයට ආ විදුහල්පතිතුමිය දිනය යොදා අත්සන් කර ගුරු නිවාසයට ගියා ය. එදා කල්වේලා ඇතිව පාසලට පැමිණ සිටි නවක ගුරු මහතා විදුහල්පතිනිය ගිය පසුව, මහා කාර්යාලයට වැදී අත්සන් පොත රැගෙන ගොස් පාසලට පහළින් ගලා යන දොළ වෙත ගියේ ය. අත්සන් පොත දොළ පතුලේ තබා එයට ‍උඩින් ලොකු ගලක් තැබීය. ඉන්පසුව පාසලට පැමිණ විමසිල්ලෙන් බලා සිටියේ ය. හත හමාරට රතු ඉර ගසන්නට ආ විදුහල්පතිනිය අත්සන් පොත නැති බව දැක තැති ගෙන කාර්යාලය පෙරළමින් අත්සන් පොත සොයන්නට වූවා ය. අත්සන් කිරීමට ආ ගුරුවරු අත්සන් පොත නැති බැවින් පැන්සලයකින් බිත්තියේ වෙලාව සඳහන් කර අත්සන් කළහ. ටික දිනකට පසු පාසලට අලුත් පැමිණීමේ නාම ලේඛනයක් ලැබුණේ ය. ඉන්පසුව විදුහල්පතිනිය කිසිම දවසක ‘රතු ඉර’ ගැසුවේ ද නැත‍.

වෙනිවැල්ගැට කැස්බෑව

ඩී.සී. ද සිල්වා

ගුරු පුහුණුවෙන් පසුව දැනට දශක හතරකට පමණ පෙර මට ගුරු පත්වීම ලැබුණේ ඔක්කම්පිටිය ජනපද විදුහලට ය. ඔක්කම්පිටියේ සිට පා ගමනින් ඇළ දිගේ සැතැපුම් හතරක් පමණ යා යුතු ය. පාසල පිහිටියේ කොලනිය මැද ය. ජනපද විද්‍යාලයේ විදුහල්පතිනිය පනස් පස් විය පසු කර ඇත. තරුණ ගුරුවරුන් හය හත්දෙනෙක් ම සිටි ඒ පාසලේ ගුරුවරු ගුරුවරියන්ට විදුහල්පතිනිය කතා කළේ ‘දුව’ ‘පුතා’ යනුවෙනි. අප ද ඇය ආමන්ත්‍රණය කළේ ‘අම්මා’ යනුවෙනි. නිවාඩුවට ගෙදර යද්දී අපි විදුහල්පතිනියට වැඳ ආචාර කරන්නට යන්නෙමු. එතුමිය ‘සබ්බීතියො විඡ්ඡන්තූ ආදී සෙත් පිරිත්වලින් ආශිර්වාද කරයි. කිහිප ‍දවසක් අපට බස් එක වැරදුණේ ද මේ ‘ශාන්ති කර්මය’ නිසා බැවින් ඉන්පසු අප කලින්දා හවස ගොස් සමු ගන්නට පුරුදු වූයෙමු.

නිවාඩුව අවසන් වී අපි පාසලට එන්නේ අපේ ගෙවල්වලින් හදා දුන් රසකැවිලි, ඇඹුල් තියල්, මාළු ද රැගෙන ය. ආපු ගමන් අපි විදුහල්පතිනියගේ නි‍ෙවසට යන්නෙමු.

“හා... පුතාලා ආවද” කොහොමද තාත්තල අම්මල සනීපෙන් ද” මෙසේ විමසා මුළුතැන්ගෙට යන විදුහල්පතිනිය ලොකුම ලොකු වීදුරුවලට තිත්තම තිත්ත වෙනිවැල් ගැට වීදුරුත් කිතුල් හකුරුත් ගෙනෙයි.

“බොන්න පුතා... හැතැප්ම ගණනක් දුර බස් එකේ ඇවිල්ල ඇඟ පත රිදෙනවට හොඳයි.”

මට නම් මේ වෙනිවැල්ගැට සාත්තුව අල්ලන්නේම නැත.‍ මා දවසක් කළේ හීන් සැරේ බිම් කළුවර වැටෙද්දී වැට අයිනේ ගසක් මුලට වත් කිරීමයි. මෙය අල්ලපු වත්තේ පිරිමි ළමයෙක් දැක්කේ ය.

“ලොකු නෝනා මහත්තයා... ලොකු නෝනා මහත්තයා... ඔන්න සර් මොනවද ගහක් මුලට දැම්මා” විදුහල්පතිනිය තවත් වෙනිවැල්ගැට වීදුරුවක් සහ හකුරු කෑල්ලක් ගෙන මට දුන්නා ය.

“තිත්ත වුණාට කමක් නෑ හකුරු කෑලි දෙකක්ම කාලා බොන්න පුතා.” ඇය මට තවත් වෙනිවැල්ගැට වීදුරුවක් දුන්නා ය.

Comments