ධන යෝග පෙන්වන පුදුම ලකුණු | සිළුමිණ

ධන යෝග පෙන්වන පුදුම ලකුණු

ඔබේ අතේ මෙවැනි රේඛා තිබේදැයි බලන්න

 රෝස පැහැති අත්ල වාසනාවේ උල්පතයි

හෙට දවස පිළිබඳ දැන ගැනීමට අප කාහට වුවත් තිබෙනුයේ ඉතා බලවත් කැමැත්තකි.

ජ්‍යොතිෂවේදියෙක් වේවා, හස්ත‍ රේඛා ශාස්ත්‍රඥයකු වේවා, වෙනත් ගුප්ත විද්‍යාවක් වේවා මෙකී සෑම පුද්ගලයකු කරා පැමිණෙන බාල මහලු සෑම දෙනාම අසා දැන ගනු ලැබීමට කැමති ප්‍රධාන කරුණු කිහපයක් වේ. ආයුෂ, රැකියාව, අපල, ධනය යන කරුණු අතරිනුත් වඩාත්ම ප්‍රියතාව දක්වනුයේ ධන යෝග උදා කරන ලක්ෂණ පිළිබඳව දැන ගැනීමටය. මේ පිළිබඳව හස්ත රේඛාව මඟින් ඔබට සුලු හෝ දැනුමක් ලබාදීමට මේ ලිපිය පිටුවහලක් වනවාට කිසිදු සැයක් නැත.

කේන්දර පරීක්ෂාවකදී යම් භාව හා එම භාවාධිපතීන් පරීක්ෂා කිරීමෙන් ධන ලාබ හිමි වන කාලය සොයා ගත හැකි සේම හස්ත රේඛා පිරික්සීමේ දී ද අතෙහි පැහැය, ඇඟිලිවල ස්වභාවය හා රේඛාවල පිහිටි යම් ලක්ෂණ අනුව ධන කාරකත්වය හා කාල වකවානුව සොයා ගත හැක.

එහිදී මුලින්ම බැලූ බැල්මට පෙනෙන ලක්ෂණ හඳුනා ගනිමු. අතේ පැහැය ගත් කළ ලා රත් පැහැයකට හුරු රෝස පැහැයක් ගැනීම හා ප්‍ර‍ධාන රේඛා ද රෝස පැහැයක් ගැනීම ශුභ පල ලැබීමේ ලක්ෂණයකි. ඒවාගේම රූප සටහනේ තිත් සටහන් මඟින් පෙන්වා ඇති පෙදෙස රේඛා අංක (5)න් පහල අල්ල අතට සම්බන්ධ වන්නාවූ කොටස (මැණික් කටුව ආසන්නයේ) පිරුණු ස්වභාවයක් ගැනීම යහපත් ලක්ෂණයකි. (අංක 5 අතෙහි සටහන් වන රේඛාවක් නොව ඔබට එම පෙදෙස වඩාත් තහවුරු වන පිණිස සටහන් කිරීමට යොදා ගත් ලක්ෂණයක් බව සලකන්න)

රූප සටහනේ (අංක 01න්) පෙන්වා ඇති පරිදි ඔ‍බේ දබර ඇඟිල්ලට වඩා වෙදඟිල්ල දිගින් වැඩි නම් එය ශුභ ලක්ෂණයකි. එවැනි පිහිටීමක් සතු තැනැත්තේ තරග ආදියෙන් (මුදල් යොදා ඔට්ටු ඇල්ලීම වැනි දෑ ) ජයග්‍රහණනයන් උරුම කර ගැනීමට ඇති ඉඩකඩ වැඩිය. එය ඒකාන්තයෙන්ම පසක් කර ගැනීමට රුකුලක් වනුයේ, වෙඳගිල්ලය (අංක 4) රේඛාවට අල්ල කෙළවර සිට පැමිණී (අංක2) රේඛාව ස්පර්ශවීම හා (අංක 4) රේඛාව අවසානයේ තරු ලක්ෂණයක් (අංක 3) පිහිටීමට. ඔබට ලොතරැයි දිනුමක් හෝ අන් සතු ධනයක් ලැබීමේ වාසනාව උරුම වන පිහිටීමකි‍. මෙවැනි ලක්ෂණයක් සතු වීම පෙර පින් මහිමයෙන් ලැබූ ත්‍යාගයන් වැනිය.

අංක (6) න් පෙන්වා ඇති පරිදි අත්ලෙහි ඕනෑම අඟිල්ලක් යටින් එකකට එකක් සමාන්තරව පෙනෙන ආකාරයකට හා සම උසකින් පෙනෙන ලෙස රේඛා දෙකකට වැඩි ගණනක් පිහිටියහොත් නොයෙක් ආකාරයෙන් තම උත්සාහයෙන් ප්‍රතිඵල හේතු කොට ධනවත් වීමේ ලක්ෂණයකි. මෙහිදී මෙම ලක්ෂණය, දබරැඟිල්ල, මැඳැගිල්ල, වෙදැඟිල්ල, සුළැඟිල්ල යන ඇඟිළි සතරින් ඕනෑම ඇඟිල්ලක් ආසන්නයේ අල්ලේ පිහිටිය හැක. ඒ වාගේම හරස් අතට රේඛාවකින් නොකැපී තිබිය යුතුය.

අංක (7) (8) පෙන්වා ඇති පරිදි ප්‍රධාන රේඛාවන් වන ජීවන රේඛාව හා දෛව රේඛාවේ පිහිටි ලක්ෂණය දෙස බලන්න. එය බැලූ බැල්මට දූපත් ලක්ෂණයක් සේ පෙනෙයි. දූපත් ලක්ෂණයක් යනු ඉතාමත් අභුභ පල උදා කරන ලක්ෂණයකි. එහෙත් ඉතාමත් අවධානයෙන් යුතුව ඒ දෙස නැවත වරක් බලන්න. එම රේඛාවන්හි අග කෙලවර මාලුවකුගේ .වලිගයක් ආකාරයට පිටතට පැන ඇති ආකාරය බලන්න. එය එසේ සිදුවුවහොත් එවැනි ලක්ෂණ දූපත් ලක්ෂණයක් නොව, එය නොයෙක් ආකාරයේ ධනවත් භාවයට පත්වීමේ ලක්ෂණයකි. (මෙවැනි ලක්ෂණයක් කුඩා දේ විශාල කර පෙන්වන පළිඟුවක ආධාරයෙන් බැලූ විට වඩාත් හොඳින් හඳුනා ගත හැකිය.) මෙවැනි ලක්ෂණයකින් හෙබි ‍තැන වත්තේ, කුඹුරු, දේපල ආදියෙන් අනූන පුද්ගලයකු වනවාට කිසිදු සැකයක් නැත. තවත් කරුණක් වනුයේ එම ලක්ෂණයේ රූප සටහනේ පෙන්වා ඇති පරිදිම අත්ලෙහි පිටි පැත්තටම යොමු වී තිබිය යුතුමය. අල්ලෙහි කොතැනක හෝ අංක (9) පිරිදි මාලුවකුගේ රුවක් සේ දිස්වෙන සටහනක් තිබීම ද ධන ධාන්‍යයෙන් අනූන වීමේ ලක්ෂණයකි. ඊළඟට ඔබේ ගැටලුව වනුයේ ඉහත සඳහන් පිහිටීම් ශුභ පල උදාවනුයේ කුමන කාල වකවානුවල ද යන්නයි. එම කාලය ඔ‍බේ ජීවන හා දෛව රේඛා පිරික්සුමට ලක්කිරීමෙන් සොයා ගත යුතුය. තව ද ඔබේ අත්ල පරීක්ෂා කර ඔබ‍ට ශුභ බල හිමි වන ග්‍රහයින් පිළිබඳ සැලකිල්ලට ලක් කර එම සුභ ඵල උදා කරන ග්‍රහයින්ගේ මහ දසා අතුරු දසාවන්හිදී එම ශුභ පල ලැබෙන බව ද සඳහන් කිරීමට කැමැ‍ත්තෙමි.

තවද සඳහන් වනුයේ පාඨක ඔබට පහසුවෙන් අවබෝධ කර ගත හැකි ලක්ෂණ කිහිපයක් පමණී. තවත් ධනලාභ හිමි කරදෙන්නාවූ විවිධ වූ ගුප්ත ලක්ෂණ රාශියක් තිබෙන බව සිහි තබා ගන්න.


වේගවත් බව පිරි අංක 05

අප මෙතෙක් 01/02/03/04 යන පෞද්ගලික අංක පිළිබඳව සාකච්ඡා කර ඇති අතර අද පෞද්ගලික අංක 05 පිළිබඳව අවධානය යොමු කරනු ඇත.

ඕනෑම මාසයක 05, 14, 23 යන දිනයක උපන් ඔබ පෞද්ගලික අංක 05 හිමිව උපත ලබා ඇත. එසේ උපත ලැබූ ඔබට විශේෂයෙන් බලපෑම් කරන ග‍්‍රහයා බුධ ය. මෙම දිනවල උපන් අයගේ පලාපල නිශ්චිතවම ප‍්‍රකාශ කිරීමට උපන් මාසය ද අවශ්‍ය වනු ඇත. එයට හේතුව මෙම දිනවල උපන් අය උපන් මාසයේ බලය අනුව විවිධාකාරවන නිසා ය. බොහෝවිට අදාල මාසයේ ස්වභාවය සමග මෙම අයගේ ස්වභාව සම්මිශ්‍රනය වනු ඇත.

කෙසේ වෙතත් සමාජය තුළ ඉතා ඉක්මනින් මිතුරු මිතුරියන් ඇතිකර ගැනීමට මෙම අංකවලින් උපන් අය දක්‍ෂතාවයක් දක්වති. ඕනෑම අලූත් පිරිසරයක වුව ද මුල් අයට වඩා හොඳින් හිතමිතුරු සබඳතා ගොඩනගාගනු ඇත. ඒ ආකාරයට ම ඔවුන් සමග දුරස් වීමේ දී ඉතා ඉක්මනින් හිතමිතුරුබව අමතක කොට දමන බවක් දකින්නට ඇත. එය ඔබේ මනසේ ස්වභාවයයි.

තීරණ ගැනීමේදී ඔබ ඉක්මන් සහගත වන අතර අන් අයගේ ප්‍රබල පීඩාවන් අතර වුවද ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්වයට පත්වීමේ හැකියාවක් ඔබ සතුව ඇත. දීර්ඝ කාලීනව යටකරගෙන පාගාගෙන සිටීමට අපහසුය. පීඩාවන්වලට ලක්වීමෙන් පසු නැවත නැගීසිටීමේ හැකියාව ඇත.

හැඟීම්බරය. නමුත් එම හැඟීම්බර බව පිටුපස සෘජු හෝ වක්‍ර ආත්මාර්ථකාමී බවක් ඇත. මෙම දිනවල උපදින පුද්ගලයන් මිටි භාවයට පත්වීමේ ප්‍රවණතාවයක් පවතී. උදාහරණ ලෙස 1924/06/23 දින උපත ලැබූ රණසිංහ ෙප්‍ර්මදාස හිටපු ජනපතිතුමන් සහ 1941/11/05 දින උපත ලැබූ හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිඳුන් සලකා බලන්න. නමුත් මාසයේ බලය අනුව එය වෙනස්වන අවස්ථා ද ඇත. ඔබ මැයි 21 - ජුනි 21 කාලය තුළ හෝ අගෝස්තු 21 - සැප්තැම්බර 21 අතර කාළය තුල 05, 14, 23 දිනවල උපන් කෙනෙක් නම් ඔබට හිමි බුධගේ බලය ද්විත්ව වන අතර ඉතා හොඳ වාසනාවන්ත බවක් උරුමවනු ඇත. මෙයට උදාහරණයක් ලෙස දැනට ඇමරිකාවේ ජනපතිතුමන් වන ඩොනල්ඞ් ට්‍රම්ප් මැතිඳුන් දැක්විය හැකිය. ඔහු 1946/06/14 බුධගේ ද්විත්ව බලය ඇතිව උපත ලැබූවෙකි.

උපන් වසරට හිමි අංකය, රවි අංකය සහ දෛව අංකය අංක 05 සමග ඉතා හොඳ ලෙස ගැලපීමක් ඇත්නම් මෙම දියුණුව නිශ්චිත වශයෙන්ම ඇතිවනු ඇත. අංක 05 පිළිබඳව සලකා බලන කල මුලින්ම බැලිය යුතු වන්නේ ලෞකික දියුණුව සහ ආධ්‍යාත්මික දියුණුව යන පැතිකඩ දෙකින් කුමක් ප්‍රමුඛ වන්නේද යන්නය. ඔබේ ජීවිතයේ වයස අවුරුදු 05, 14, 23, 32, 41, 50, 59, 68 ඉතා වැදගත් වර්ෂයන් වනු ඇත.

කෙසේ වෙතත් මෙම දිනවල උපන් ඔබ ස්නායු රෝග තත්ව වලින් ප්‍රවේශම් විය යුතුය. ස්නායු පද්ධතිය ආශ‍්‍රිත රෝග තත්ව සෑදීමේ ප‍්‍රබල අවදානමක් මෙම දිනවල උපන් අයට පවතී. වයසට යාමේදී අතපය ඇඟිලි හිරිවැටීම් ආදිය අන් අයට සාපේක්ෂව වැඩිය, නිතර ඇතිවනු ඇත. ගොත ගැසීම, ශරීරයේ මස් නැටීම, අප්‍රාණික බව මෙන්ම අංශභාගය වැනි රෝග තත්වද ඇතිවීමේ අවදානමක් පවතී.

මෙම දිනවල උපන් ඔබට කිසිම අංකයක් සතුරු නොවන අතර මිතුරු වන්නේ අංක 05 පමණි. පෞද්ගලික අංක 04 හිමිව උපදින අය සමග විවාහය සුබදායක හෝ සතුටුදායක නැත. ඔබගේ නව කටයුතු ආරම්භය සඳහා සහ විශේෂිත කටයුතු සඳහා 05, 14, 23 යන දිනයන් ඉතා සුබදායක වෙයි. බදාදා දවසද ඔබට සුබදායක වන අතර සුදු වර්ණය ජය වර්ණය බවට පත්ව ඇත. දියමන්ති/ මුතු පැළදීම ද ප්ලැටිනම් හෝ රිදී යන ලෝහ වර්ග පැලඳීම ද සුබදායකය.

-ශාස්ත්‍රවේදී රන්දෙව්
(රන්දෙව් ගුරුකුළයේ නිර්මාතෘ, ෆේට්‍රෝ සාමාජික)

Comments