පාදයෙන් මුතුකැටවන් අකුරු ලියන රශ්මි | Page 2 | සිළුමිණ

පාදයෙන් මුතුකැටවන් අකුරු ලියන රශ්මි

සමන්ගේත් මගේත් නෙත් ඇහැළියගොඩ මහ විදුහලේ දහය ශ්‍රේණියේ පන්ති කාමරවල කොටු දැල් එකිනෙක පසු කරන්නට විය. එහි එක් පන්තියක දොරකඩ අසලදී අප දෙදෙනාම එකවර තිග්ස්සුණේ අදහා ගත නොහැකි තරම් කම්පනයක්ද සමඟය. ඒ දසුන අපට ඇති කළ හැඟීම කුමක්දැයි තේරුම් කිරීමට උත්සාහ නොකරමි. ඒ් මොහොතේ සිට ‘මිරිවැඩි සඟළක් ඉල්ලා හැඬුවෙමි පා යුග නැති ඔබ දකින තුරා...‘නන්දා මාලිනියගේ ගීතය නොකඩවා මසිතේ රැව් දෙන්නට විය. රෂ්මි නිමේෂා ගුණවර්ධන දැරියගේ මොළොක් වම් පාදය, පොත් පිටු අතර මුතු වන් අකුරින් සටහන් තබන ආකාරය දුටු විට ගීතයේ අරුත වඩ වඩාත් මගේ සිත පාරන්නට විය. දෑත් දෙපය සහිත දහසකුත් එකක් දරුවන් අතර ඇය උරුමකම් කීවේ වම් පාදයටම පමණි. ඒත් උපතින්ම රෂ්මිට දෑත සහ දකුණු පය අහිමිය. එහෙත් ඒ සියල්ල පරයා යන ආත්ම ශක්තියක් සොබා දහම ඇයට දායාද කර ඇති සේය.

පන්තියේ ඉදිරි පෙළේ උසින් අඩු බංකුවක් ඇය වෙනුවෙන් තබා තිබේ. පාසල් ගවුමට අමතරව දිගු කලිසමකින් සැරසුණු ඇය අනෙක් දරුවන් හා හරි හරියට පාඩම ලියා ගන්නීය. ගුරුතුමියගේ පැනවලට පිළිතුරු සපයන්නීය. කාල පරිච්ඡේදය අවසන් වූ විට පමණි ඇය බංකුවෙන් පාදය බිමට ගන්නේ.

ඊළඟට විවේක කාලයයි. අඩක් වැඩුණු දකුණු කකුලට යෙදූ කෘත්‍රිම පාදය නිසා ඇයට යහළු යෙහෙළියන්ගේ උදව් ඇතත් නැතත් තමන්ට අවශ්‍ය තැනකට ඇවිද යා හැකි වීම වාසනාවකි. එහෙත් කිසිදු මොහොතක ඇගේ මිතුරියන් ඇය අත් හරින්නේ නැත.

ඒ බව සහතිකවම දන්නේ පන්ති භාර ගුරුතුමිය මෙන්ම ඉංග්‍රීසි ගුරුවරියද වන දෑසමන් උඩුවරගෙදර මහත්මියයි.

“මම අටේ පන්තියෙ ඉඳන්ම දුවගේ පන්ති භාර ගුරුවරිය. රෂ්මිට යාළුවෝ හරි ආදරෙයි. ඒ නිසා කොයි වෙලාවකවත් එයාව තනි කරන්නේ නෑ. පිරිමි ළමයි වුණත් දඟ වුණාට රෂ්මි ළඟින් දුවද්දී හරිම සැලකිලිමත් කියලා පේනවා. ඒ වගේම රෂ්මි දුව දක්ෂයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි සාමාන්‍ය පෙළ කරන්න සූදානම් වෙන්නේ. විද්‍යාව, ගණිතය, තොරතුරු තාක්ෂණය, වානිජ්‍ය වැනි විෂයයන්ට ලකුණු 80න් ඉහළ ගන්නවා. ඉංග්‍රීසි භාෂාව ඇය භාවිත කරන්නේ බොහොම නිර්මාණශීලීව. එයා කැමති නෑ අපි එයාව විශේෂ කරලා හිතනවාට. ක්‍රීඩා උත්සවයේදී වුණත් නිවේදන කටයුතු කරන්නේ, අනෙක් ළමයින්ට ‘චියර්‘ කරන්නේ හිටගෙනමයි. විභාගෙදි වුණත් රෂ්මිට අමතර වෙලාවක් දෙන්න අවසර ලැබිලා තිබුණට එයා ඒක ගන්නේ නෑ. මේ මගේ ජීවිතේ මෙවන් දරුවකුට උගන්වපු පළමුවැනි අත්දැකීම. රෂ්මි නිසා අපේ පන්තිය පාසලින්ම විශේෂ වෙලා තිබීමත් වැදගත්.”

රෂ්මි නිමේෂා ඇහැළියගොඩ ජාතික පාසලට පැමිණියේ හය ශ්‍රේණියේ සිටය. ඒ දැරණියගල දෙල්ඔළුව කනිෂ්ඨ විද්‍යාලයේ පහේ ශිෂ්‍යත්වය සමත්වී ය. ඒ පාසලේ වසර 10කට පසු ශිෂ්‍යත්වය සමත් වූ එකම ශිෂ්‍යාව ලෙස වාර්තාව ඇත්තේද රෂ්මිටය. ඇහැළියගොඩ පාසලට එසේ පැමිණි මේ දැරියගේ දස්කම් පිළිබඳ හේමාලි එම්. රාජගුරු විදුහල්පතිනියද පැවසුවේ බොහෝ සතුටිනි.

“මේ දුව ඇත්තෙන්ම අනෙක් දරුවන් හා සමානවම කටයුතු කරනවා. සමහර විට සාමාන්‍ය දරුවන්ට අභියෝගයක් වන තරම් කියාත් මට හිතෙනවා. අපට ඇය දැනෙන්නේ පාසලට සම්පතක් ලෙසයි. රෂ්මි දුවගේ අක්කාත් මේ පාසලේ ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරනවා. ඇගේ අම්මාත් තාත්තාත් මේ පාසලේම ගුරුවරුන් ලෙස හොඳින් වගකීම ඉටු කරන අය. මට විශ්වාසයි රෂ්මි දුවත් අපට හොඳ ප්‍රතිඵල ලබන වසරේ ගේනවා කියන එක. අද ලෝකයේ මෙවැනි අඩුපාඩුකම් තිබෙන අය බොහොම ඉදිරියට ඇවිත් වැඩ කරන අයුරු අපි මාධ්‍යවලින් දකිනවා. දූගේ මවුපියන් වගේම ගුරුවරුන් රෂ්මිට දෙන ධෛර්යය නිසා ඇයත් ජීවිතේ ඉදිරියටම යන බව මට විශ්වාසයි. මේ තනි පාදයේ දරුවා පාසල තුළ රෝද පුටුවක්වත් භාවිත නොකිරීමත් ආදර්ශයක්. විශේෂයෙන්ම අභියෝගවලදි පසුබාන අංග සම්පූර්ණ ශරීර තිබෙන අයට මේ රෂ්මි දුව හොඳ පණිවිඩයක් ලබා දෙනවා.”

විවේක කාලයෙන් පසු ඇරැඹුණේ සංගීත පාඩමයි. රෂ්මිගේ මියුරු හඬ අපේ සවන්පත් අතර රැව් දෙන්නට විය. ඊටත් වඩා විස්මයජනක වූයේ ඇය ඇයට හිමි එකම පාදයේ ඇඟිලි මනාව හසුරුවමින් සරපුවරුවේ දස්කම් පානා ආකාරයයි. ඇත්තෙන්ම සර්පිනාවට වඩා ඇයට ඕගනය ගැළපෙන්නේ එයට වෙනත් කාගේ හෝ සහාය අවශ්‍ය නොවන නිසාය. ගාත්‍රා හතරෙන් තුනක් අහිමි කළත් සොබා දහම ඇයට බොහෝ දස්කම් උරුම කර දී ඇති බව නම් නොකියාම බැරිය. එහෙත් සාමාන්‍ය දරුවකුට වඩා වෙනස්කම් ඇති දරුවකු උස් මහත් කර ගැනීම, දිනපතා ඇයගේ අවශ්‍යතා පිරිමැසීම කෙබඳු අභියෝගයක් දැයි හොඳින්ම දැනෙන්නේ ඇගේ අම්මාට සහ තාත්තාටය.

ධම්මිකා ගුණවර්ධන මහත්මිය රෂ්මිගේ මවයි.

“මගේ විෂයය සංගීතය. ඒත් දැන් උගන්වන්නේ නාට්‍ය හා රංග කලාව. දුව දැරණියගල කනිෂ්ඨෙට යද්දී මහත්තයාත් ඉගැන්නුවේ ඒ ඉස්කෝලෙමයි. ශිෂ්‍යත්වෙන් මේ පාසල ලැබුණම අපි හතරදෙනාම මෙහෙට ආවා. දුව වෙනුවෙන් අමාත්‍යාංශය අපට දෙන සහායට ස්තුති කරන්න ඕනෑ. දුව මුලින්ම මේ පාසලට පය තැබූ දවසේ අනෙක් ළමයි දුව දිහා වරින්වර බලන්න එන එක ගැන හිටපු විදුහල්පතිතුමා හරියට කල්පනා කළා. දූගේ දක්ෂතාවක් සමඟ හැමදෙනාටම දුව එකවර දකින්න සලස්වලා කුතුහලය නැති කරමු කීවා. ඉතින් දුව පාසලම හඳුනාගත්තේ ප්‍රධාන රැස්වීමේදී ගීතයක් ගායනා කරලා. ඊට පස්සේ ළමයින්ට දුව අමුතු කෙනෙක් වුණේ නෑ. පුංචි කාලේ නම් තාත්තා දූගේ හැමදේම කළා. ඒත් දැන් දුව ලොකු ළමයෙක්. දැන් තාත්තාට හැමදේටම උදව් කරන්න බෑ. ඒ නිසා ඇඳුම් අන්දන්න, කොණ්ඩෙ පීරන්න, කවන්න හැම දේටම මට උදව්වෙන්නේ ලොකු දුව. මුංඇට වගේ දෙයක් පිඟානකට දාලා කකුලට හැන්දක් දුන්නාම රෂ්මි දුව ඒවා කනවා. ඒත් අපි කොහොමද ඒ දිහා බලාගෙන ඉන්නේ..”

ධම්මිකා මහත්මියගේ හඬ දුර්වල වී ගියේය. දෑස්පියන් වේගයෙන් සැලිණි. ඇය මොහොතක් කතාව නතර කළාය. ඇගේ දරු සෙනෙහස විසින් ඒ කතාවට තිතක් තබන බව දැනුණු මම කිසිවක් නොවිමසුවෙමි. නැවතත් ඇය කතාව ආරම්භ කරන්නට සැරසුණාය.

“දූ හම්බෙන්න ඉද්දි මගේ බඩේ වම් පැත්ත හරියට රිදුණා. දොස්තරලා කීවා ස්කෑන් එක පැහැදිලි නෑ කියලා. දූ ඉපදුණ වෙලාවේ මගේ වටේ හරියට කට්ටිය හිටියා. ඒ අය කතා කළේ අමුතු දේවල්. දොස්තරලා මගෙන් ඇහුවා අපි දෙන්නා ඇවැස්ස නෑයොද කියලා. ඒ වෙලාවේ මට මොනවා හරි දෙයක් වෙලා කියලා දැනුණා. කකුලක් වෙනස් වගේ කතාවකුත් ඇහුණා. මාව ගැහෙන්න ගත්තා. පපුව රිදුණා. මට වෙච්ච දේ වචනෙන් කියන්න බෑ. දවස් දෙකකට පස්සේ තමයි මට දුව පෙන්නුවේ. දුව දැක්කම...”

ඇගේ හඬ ගොළු විය. වසර පහළොවක් පුරා රෂ්මි දුව වෙනුවෙන් දරා සිටි වේදනාව කඳුළු කැට පොකුරක් වී කොපුල්තල දිගේ කඩා හැළුණි.

“දැන් මොකද හිතෙන්නේ දුව ගැන?” ඉවසා සිටිය නොහැකි තැන මම විමසුවේ ඇගේ සිතිවිලි වෙනස් කරන අටියෙනි.

“මට හරි සතුටුයි දුව ගැන” කඳුළු අතරින් උපන් සිනාවක සේයාව ඇගේ මුව පිබිදුවේය.

හැම මොහොතකම රෂ්මිට මෙන්ම මුළු පවුලටම ශක්තිය වූ රෂ්මිගේ තාත්තා ඔහුගේ පෙඟුණු දෑස් අපෙන් සඟවමින් කතාව ඇරැඹුවේ එතැනිනි.

“දුවට දකුණු කකුල සවි කරන්න අපට උදව් කළා හිත හොඳ කට්ටියක්. එහිදි තමයි අපේ පළමුවැනි බලා පොරොත්තුව දැල්වුණේ. ඊට පස්සේ දුව ගැන හරියටම සිහිනයක් මගේ ඇස්වල මැවුණේ දුව ශිෂ්‍යත්වය සමත් වුණු දවසේ. එදා අපට ඇති වුණු සතුට මට කියලා නිම කරන්න බෑ.”

ඔහු යළිත් සිය උගුර පාදා සිතේ දිරිය මුවට ගෙන වචන පිට කරන්නට උත්සාහ කළේය.

“දුව වැඩිවිය පැමිණුණාම මගේ හිතේ බර වැඩි වුණා. මගේ දුවගේ අනාගතේ ස්ථාවර කරන්න ක්‍රමයක් මම හිතුවා. එයාගේ හැකියාවෙන්ම එයාව ඉහළට ගන්නයි අපට අවශ්‍ය. දුවට හොඳට සින්දු කියන්න පුළුවන් නිසා අපි දුවගේ ගීත කීපයක් පටිගත කළා. මයෙ දුව වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් ‘සරසි ගී දැහැන‘ නමින් පවත්වන්න තීරණය කළෙත් එයාගේ හැකියාවෙන්ම එයාගේ අනාගතය ස්ථාවර කරන්නයි. අපට වෙන අයගේ ගීත ගයලා දුව ප්‍රසිද්ධ කරන්න උවමනාවක් නෑ. එහෙම වුණොත් හැමෝම දුවගෙන් බලාපොරොත්තු වෙන්නේ මුල් ගායිකාවගේ ශෛලිය. මට ඕනෑ රශ්මිගේ හඬ, රශ්මිගේ ශෛලිය ලෝකෙට කියන්න”

පියකුගේ සෙනෙහස දුවකට කෙතරම් ධෛර්යයක්දැයි මට තවත් වරක් දැනිණි. ඒ දිරිය රශ්මිගේ අඩුපාඩුකම් සියල්ල අකාමකා දමන්නට තරම් ශක්තියක් වී තිබේ යැයි සිතිණි. අම්මා කෙනකුගේ කඳුළුවලට වඩා දුර්ලභ තාත්තා කෙනකුගේ කඳුළු අපේ හදවත් සසල කරන්නට සමත් විය. ඔහු යළිත් කතාව ඇරැඹීය. ගැහෙන හඬින් ඔහු මෙසේ කීවේ මහත් බලාපොරොත්තු ගොන්නක් දෑස ඉදිරියේ මවාගෙනය.

“මාර්තු 05වැනිදා ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන සරසි ගී දැහැනත් එක්ක මගේ රශ්මි දුවගේ පළමුවෙනි වේදිකා ප්‍රවේශය සිදු වෙනවා. මෙහි සංගීත සුසංයෝගය දර්ශන රවන් දිසානායකගේ, මෙහෙයවීම කැළුම් ශ්‍රීමාල්, ඉන්දික රුවන්, දුමාල් වර්ණකුලසූරිය සහ ලක්ෂ්මන් විජේසේකර සංගීතවේදීන්ද අපට මේ ප්‍රසංගයට උපරිම සහායක් ලබා දෙනවා.” ඔහු කීවේ කෘතඥ පූර්වකවය.

අතට අතක් තේමාව යටතේ සිය දියණියගේ යහපත් අනාගතය තහවුරු කිරීම වෙනුවෙන් වූ මානුෂීය වැඩසටහනක් ලෙස මෙය ගුණවර්ධන මහතා විසින් ආරම්භ කර ඇත. 2002 දෙසැම්බර් 23 උපන් රශ්මිට ස්වයංක්‍රීය අතක් සවි කර ඇගේ ඉදිරි අනාගතය ස්වාධීන කිරීමට ඇගේ මවත් පියාත් වෙහෙසෙන තරම කියා නිම කළ නොහැකිය. අනියත ජීවිතයේ යම් දිනක අත් දෙකත් පාදයකුත් අහිමිව රශ්මි දුව තනි වුවහොත් යන බිය ඔවුන් නිරන්තර දවාලයි. ස්වයංක්‍රීය අතක් සවි කළහොත් එය ඇයට මහත් ශක්තියක් වන බව නොඅනුමානය. ඒකපුද්ගල ගීතප්‍රසංගයේ ආදායම මේ සඳහා ප්‍රමාණවත් වේදැයි කිව නොහැකිය. අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ඉලක්ක ජය ගැනීමට අභියෝගවලට අභියෝග කරමින් යන අසීරු ගමනට සහායක් වන්නට අප ඔබ සියල්ලන්ටම හැකියාව තිබේ. ඒ සඳහා සම්පත් බැංකුවේ ඇහැළියගොඩ ශාඛාවේ 102061000290 ගිණුමක් ද අරඹා තිබේ. අපි අවසානයේ රශ්මිගේ අනාගත බලාපොරොත්තු විමසුවෙමු.

“අම්මයි, තාත්තයි, අක්කයි මට හුඟක් ආදරෙයි. මට දැනෙන්නේ මම සාමාන්‍යයි කියලයි. සාමාන්‍ය පෙළට ඒ සමාර්ථ්‍ය 9ක්ම ගන්නයි මම උත්සාහ කරන්නේ. මම සංගීතයෙනුත් ඉහළට යන්න කැමතියි. ඒ වගේම වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ කරලා කළමනාකරණ අංශයට යොමු වෙන්නත් කැමතියි. නික් ජේම්ස් (ලොව දිනූ අාබාධිත උපාධිධාරියා) වගේ අයගේ වැඩසටහන් බලලා මම ගොඩාක් දේවල් තේරුම් ගත්තා. මම හැමෝටම කියන්නේ කිසි දේකින් සැලෙන්න එපා. ඒවා අභියෝග ලෙස බාරගෙන ජීවිතේ ඉදිරියට යන්න.”

රශ්මි දියණියගේ සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කර ගන්නට ‘සිළුමිණ‘ අපි සහාය වෙමු. සුබ පතමු! 

 

Comments