
පුංචි දියණිය
නව වසරේ හතර වන ශ්‍රේණියට දරුවන් ඇතුළත් කැරුණු දා මගේ නෙතු සොරා ගත් සිසු දැරියක් වූවා ය.
ඒ ගීතිකා ය.
ගීතිකා බාර දෙනු පිණිස පැමිණ සිටියේ මව හෝ පියා හෝ පවුලේ ඥාතියෙක් නොවේ; ළමා නිවාසයක බාරකාරියයි.
සෙසු දරුවන් තුළ නොවූ විශේෂයක් ගීතිකා සතු විය. ඒ වූකලි නිරන්තරව මුවෙහි රැඳි සිනාවයි. එය ඉතා අහිංසක සිනාවකි. එමතු ද නොව, ඇය කුලුපග ද වූවා ය.
අදාළ වසරෙහිදී ඇය සෙසු දරුවනට වඩා ඉගෙනුමට සමත්කම් දැක්වීම ද මා තුළ ඈ කෙරෙහි වූ පැහැදීම වඩාත් ඔපවත් කරන්නක් විය.
ඇතැම් දිනවල විවේක කාලයන්හිදී දරුවන් ආහාර ගන්නා අතර ඇය කරබාගෙන පොතපතෙහි ගැවසීම මට ගැටලුකාරී විය.
‘ඇයි ගීතිකා කෑම කන්නෙ නැද්ද?’ දිනක් මම ඇගෙන් ඇසුවෙමි.
ඇය ලජ්ජාවෙන් සිනාසුණා මිස කිසිත් නොකීවා ය.
‘එයා ගෙනල්ල නෑ මැඩම්’ යෙහෙළියෝ ඈ වෙනුවට පිළිතුරු බැන්දහ.
‘එහෙනං යාළුවො ටික එකතු වෙලා එයත් එක්ක බෙදාහදාගෙන කන්ඩකො’ මම කීමි.
යෙහෙළියෝ ඇයට අහර දුන්හ. එහෙත් ඇය ඊට වැඩි කැමැත්තක් පළ නොකළා ය.
දිනක් මම ගීතිකා සමඟ ඇගේ පවුලේ තොරතුරු කතා කළෙමි.
‘අම්ම මාව ළමා නිවාසෙ තියල රට ගියා. දැන් මං ඉන්නෙ ළමා නිවාසෙ’ ඇය කීවා ය.
‘එතකොට දුවේ ඔයාගෙ තාත්ත?’
‘තාත්ත නෑ, නැතිවෙලා!’
එතැන් පටන් මම ඇයට ගෙදරින් අහර ටිකක් ගෙනැවිත් දීමට පුරුදු වීමි. ඊට විශේෂ යමක් එක් කිරීමට ද උනන්දු වීමි.
ඒ හැරෙන්නට අමතර පොත පත ද ප්‍රශ්න පත්‍ර ද මිලදී ගෙන ඇයට තිළිණ කිරීමෙන් මම සතුටක් ලදිමි.
වසර අග වාරාවසානයේ ගීතිකා හඬමින් සිටිනු මට පෙනිණ.
‘ඇයි අර ගීතිකා අඬන්නෙ?’
මම ඇගේ යෙහෙළියකගෙන් ඇසීමි.
‘මැඩම්ව දාල යන්ඩ බැරිලු. ඒ දුකටයි එයා අඬන්නෙ?’ යෙහෙළිය කීවා ය.
මම ඈ වෙත ගොස් ඇගේ හිස පිරිමැද්දෙමි.
‘අපි ආයෙ මුණගැහෙනවනෙ දරුවො’
ඇය කඳුළු අතරින් මදෙස බැලුවා ය.
‘අඬන්ඩ එපා මං ඉන්නවනෙ පුතේ’
වාරාවසාන විභාගයෙන් ඇය වැඩි ලකුණු ප්‍රමාණයක් හිමි කර ගෙන තිබිණ.
පස් වන පන්තියට යනු පිණිස ඇය මගෙන් සමුගත් දින ද මගේ මතකයේ රැඳී තිබේ. අලුත් පන්තිය භාර ගුරුතුමියගෙන් ද ඇයට නොමඳව ආදර කරුණාව ලැබීම මගේ හිතට සහනයක් විය.
ඊළඟ වසරේ ශිෂ්‍යත්ව පරීක්ෂණය සමත් සිසුන් වෙනුවෙන් උත්සවයක් පැවැත්විණි.
ගීතිකා මා සොයා ආවේ හිනා කටිනි. ඈ සමඟ පැහැපත් කාන්තාවක් ද ආවා ය.
‘මැඩම් මේ මගෙ අම්මා!’ ගීතිකා සිය මව හඳුන්වා දුන්නේ මහත් උනන්දුවෙනි.
‘ආ! හොඳයිනෙ. කවද්ද අම්ම ආවෙ?’ මම ඇසීමි.
මව ද සිනාසී පිළිවදන් දුන්නා ය. ඇය උත්සවයකට ඔබින ඇඳුමින් ද සැරසී සිටියාය.
‘දුවේ මට මැඩම් එක්ක පොඩ්ඩක් කතා කරන්ඩ ඕනැ. ඔයා එතකං ගිහින් සෙල්ලං කරල එන්ඩකො’ මව වුවමනාවෙන් ම ගීතිකා පිටතට යැව්වා ය.
ගීතිකා පන්තියෙන් පිටව ගිය හැටියේ ම මව මට සමීප වූවා ය. ඇගේ සොඳුරු මුහුණේ හැඟීම් බරපතළ වන අයුරු මට පෙනිණ.
‘මැඩම්, රට ගියයි කියල මං දුවට කියල තිබුණෙ බොරුවක්. මහත්තය මැරුණට පස්සෙ මං තව කෙනෙක් එක්ක විවාහ වුණා. එයා ළමය එක්ක මාව බාර ගන්ඩ කැමති වුණේ නෑ. ඒකයි මං මේ දුවව ළමා නිවාසෙට බාර කෙරුවෙ. අලුත් මහත්තයගෙනුත් මට දරුවො දෙන්නෙක් ඉන්නව. මං දුවට රට ගියැයි කිව්වට ලංකාවේම තමයි අපි හිටියෙ. දුව බලන්ඩ ළමා නිවාසෙට ආවම තමයි එයා පාස් කියලා දැනගන්ඩ ලැබුණේ’
මම කිසිවක් කියා ගත නොහැකි ව ඈ මුහුණ දෙස බලා ගෙන සිටියෙමි. ඇගේ දෑස කඳුළින් පිරී යන හැටිත්, කඳුළු බිඳු කඩා වැටෙන හැටිත් මට පෙනිණ.
‘ගීතිකාට ඔයාලගෙ තත්ත්වය තේරුම් කරල දෙන්ඩ! මහත්තයටත් මෙයාගෙ මානසික මට්ටම වටහල දෙන්ඩ.’ මම කීමි.
ඇය කඳුළු පිසදා ගත්තා ය. අනතුරුව ඇගේ මුහුණට එළියක් වැටිණ.
‘ඔව් මැඩම්, මහත්තයට දැන් තේරිලයි තියෙන්නෙ මේ දරුවගෙ අගේ’
‘එහෙනං එයාටත් ඔයාල එක්ක ජීවත්වෙන්ඩ පුළුවන් වෙයි නේද?’
‘ඔව්. එහෙම වෙයි’
ගීතිකා පැමිණ මට වැඳ යන්නට සමු ගත්තා ය.
‘අපි ගිහින් එන්නම් මැඩම්’ මවගේ වචන මට ඇසුණේ කැඩි කැඩී ය.
‘හොඳයි’ මම මිමිණීමි.
ගීතිකා මවගේ අතින් අල්ලාගෙන පන්තියෙන් පිට වූවා ය.
මම ඔවුන් දෙස බලා සිටියෙමි.
මගේ හිත යට කලක පටන් පැවැති දුකක් තුනී වීගෙන යනු මට දැනිණ.
පියසීලි විජේනායක මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
ළිං පින්කම
මම ජීවක පුතුට ඇමතුමක් ගතිමි.
ඔහු කතා කළේ ය.
‘හලෝ මාමෙ කියන්න!’
“පෑවිල්ල හරි සැරයිනේ. වතුර තමා ප්‍රශ්නෙ නේද?’ මට කියැවිණ.
‘අපිට නං දැන් වතුර තිෙයනව’ ජීවක මහත් උනන්දුවෙන් කීවේ ය.
මම පුදුම වීමි.
අපට මෙන් ම ජීවකලාට ද වතුර ප්‍රශ්නය තදින් ම දැනෙමින් තිබුණු බව මම හොඳින් ම දැන සිටියෙමි. ඔහු කරකාර බැඳ සිටියේ මා සොහොයුරිය ගේ දූ ය. ඔවුනට කුඩා දියණියෝ දෙදෙනෙක් ද වෙති. ඔවුහු ජල ප්‍රශ්නයෙන් හොඳට ම බැට කෑ හ. කඳු ගැටය බැස දුර ගෙවා වතුර ගෙන ආහ. නියං කාලවලට මුහුණ දෙනු පිණිස වැහි කාලවලදී ද ජලය රැස් කළ හ. එහෙව් ජීවකලා හිටි අඩියේ ම ජලෙයන් පෝෂිත වූයේ කෙසේද?
‘කොහොමද එක පාරට ම වතුර ආවෙ?’
‘මාමෙ, අපි ළිඳක් කැපුවනෙ’
‘ඒ කොහෙද?’
‘අල්ලපු ඉඩමෙ. මට ඒකෙ ළිඳක් කපා ගන්ඩ එයාල ඉඩ දුන්නනේ’
‘හැබෑට!’
‘ඔව්. එන්නකො බලන්න!’
මම යතුරු පැදියට නැගුණෙමි. ගාල්ලේ සිට ඉමදූවේ, උඩහේනට පැය බාගයකින් යා හැකි විය.
හැබෑවකි! අරුමයකි! වතුර යහමින් තිබේ.
ජීවකලාට අල්ලපු වත්තෙන් ළිඳක් කපා ගැනීමට ඉඩ දී තිබුණේ උඩහේනේ උතුමෙකි. ඒ උතුමා හමුවීමට මට ආසා හිතිණ.
‘පුතේ, යං ද ළිඳ කපාගන්න දීපු කෙනාගෙ ගෙදර’
‘යං මාමෙ’
අපි එහි ගියෙමු.
ඒ උතුමා අප හිනාවෙන් යුතුව ම පිළිගත්තේ ය.
‘ළිඳක් දුන් කතාව අහන්නයි මං ආවෙ’ මම කීමි.
ඔහු පුළුල් හිනාවෙන් යුතුව ම කතන්දරය කීවේ ය.
‘ජීවක මගෙං ඇහුව “ළිඳක් කපාගන්නද” කියල. අපි ඉතිං අල්ලපු වැටේ හින්ද බොහො ම හිතවත්නේ. මං කිව්ව “කපා ගන්න” කියල. ජීවක ළිඳ කැපුව. නිල් කැටේට වතුර! දැන් ජීවක ටැප් හයිකරල ගෙදරට වතුර ගන්නව. මට හරි සතුටුයි. හැබැයි මහත්තයො මං කවද හරි ඔය ඉඩම වික්කත් ජීවකට ළිඳ නැතිවෙන්නෙ නෑ. මං ළිඳ තියන කොටහ ජීවකට ම ලියල දීල තමයි ඉඩම විකුණන්නෙ. මහත්තයො ඒ පිනෙන් අපිට සංසාරෙ කවදාවත් වතුර ටික නං හිඟවෙන්නෙ නෑ!’
සුනිල් නමැති බෝධි සත්ත්වයා කියා සිටියේ ය. ඔහු ගේ බිරිය, රමණි නමැති උත්තමාව ද සැමියා ගේ ළිං පින්කම ගැන කතා කළේ පහන් සංවේගයෙනි.
මේ යුවළ අපට මනුස්සකම කියා දෙන අත්පොතකි.
මංගල කාරණාව
පසුගිය දවසක මම නගරයේ රාජ්‍ය බැංකුවකට ගියෙමි.
මා එහි ඇතුළු වනවාත් සමඟ ම අසුන්ගෙන සිටි වැඩි දෙනෙක් නැඟී සිටියහ. ඒ අතර භික්ෂු නමක් ද වූයේ ය.
මට මහත් සතුටක් දැනිණ.
මේ සියලු දෙනා මගේ ගෝලයෝ ය.
මම ඔවුන් හැම දෙනා ළඟට ම ගොස් මඳක් කතා බහ කළෙමි.
බැංකු ප්‍රධානයා ද අප දෙස බලා සිටිනු මට පෙනිණ. ඔහු ළඟ දී පත්ව ආ කෙනෙකි.
මා ආවේ ඔහු හමුවනු පිණිස ය.
බැංකු ප්‍රධානයා හුදෙකලාව හිඳිනු දුටු මම ඔහු ගේ කාමරයට ඇතුළු වීමි.
මට වාඩි වන ලෙස ඉදිරි අසුනට අත දිගු කරමින් ම ඔහු සිය අසුනින් නැගිට්ටේ ය.
මට පුදුමයක් දැනිණි.
‘සර්, මාව දැකල අර නැගිට්ටෙ මගෙ ගෝලයො. මං ඒ අයට උගන්නල තියනව. ඒත් සර් මගෙ ගෝලයෙක් නෙමේනෙ. මං සර්ට උගන්නල නෑනෙ. ඇයි ඉතින් සර් නැගිට්ටෙ?’ මම ඇසීමි.
ඔහු සිනාසී පිළිවදන් දුන්නේ ය.
‘සර් පිදිය යුත්තන් පිදීම මංගල කාර්යයක්. සර්ට අර ගෝලයො ගෞරව කරනව මං හොඳට ම දැක්ක. මට සර් ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. සර් මට උගන්නල නැති එක ඇත්ත. ඒත් සර් වගෙ උතුම් කෙනෙකුට ගරු කරන එක වරදක් ද?’ ඔහු ඇසුවේ ය.
බිංගිරියේ, කොස්වත්තේ, විශ්‍රාම ලත් ආචාර්ය ඩී.එන්. දිසානායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.