නෙළුම් විල | Page 2 | සිළුමිණ

නෙළුම් විල

 ගුරු සුවඳ

අප නිවෙස අසල තිබෙන ජනප්‍රිය විදුහලට ම’පුතු නොතේරිණි. එහෙයින් අපට ඔහු ඇතුළත් කිරීමට සිදු වූයේ තරමක් දුරින් පිහිටි ප්‍රාථමිකයට ය.

එහි තුන් වැනි පන්තියේ සිට ඉහළට අමතර පන්ති පැවැත්විණි. ඒ සතියකට දිනක් බැගිනි. පුතු කෙමෙන් පන්තියෙන් පන්තිය පසු කොට පහේ පන්තිය දක්වා ආයේ ය. එය අභියෝගාත්මක වසරක් වූ‍යේ ය. පහේ ශිෂ්‍යත්වයට මුහුණ දීමේ ඒ වෙහෙසකර කටයුත්තට ඔහුත්, මමත් සූදානම් වීමු.

කලින් පන්තිවලදී සතියකට දිනක් පමණක් පැවති අමතර පන්තිය පහේ ශිෂ්‍යත්ව පන්තියේ දී දින දෙකක් දක්වා වර්ධනය විය. ඇරුණේ සවස පහට ය.

ම’පුතුගේ පන්ති භාර ගුරුතුමිය පාසලට ආවේ දුරබැහැර සිට ය. ඈ සමඟ ඇගේ දරු දෙදෙනා ද පාසල් ආවෝ ය. ඇගේ දියණිය 4 වසරේ ද, පුතු 1 වසරේ ද වූහ. ගුරුතුමිය අමතර පන්ති පැවැත්වූ දිනවල ඇගේ දියණිය ඒ පන්තියේ පසෙකට වී සිය පාඩම් කටයුතු සිදු කළා ය. වෙහෙසට පත්ව සිටි පුංචි පුතු පන්තියේ බිම එළන ලද පැදුරක නිදා ගත්තේ ය.

වි‍ටෙක පුතු නින්දෙන් ඇහැරී හඬන්නට පටන් ගත්තේ ය. ගුරුතුමිය ඔහු නළවා නිදි කර නැවත පන්තිය පවත්වාගෙන ගියා ය.

බොහෝ දිනවල ගුරුතුමිය සිය දරු දෙදෙනා ද කැටුව පාසලෙන් පිටව ගියේ සවස හය ද ඉක්මවූ පසු ය.

ගුරුතුමිය ධෛර්යය සම්පන්න ය. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ද, උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා ද, තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව ද සිටියේ ඇගේ පන්තියේ ය. පාසල නියෝජනය කළ තරගවලදී ඇගේ පන්තියෙන් ඉදිරිපත් වූ දරුවෝ ඉදිරි ජයග්‍රහණ ලදහ.

ශිෂ්‍යත්ව කඩඉම සමත් වූ වැඩි පිරිස සිටියේ ද ඇගේ පන්තියේ ය.

පාසලේ අඩුවෙන් ම නිවාඩු ගෙන තිබුණේ ද ඇය ය. ඉකුත් වාරයේ අඩුවෙත් ම නිවාඩු ලබා ගත් ගරුභවතාට හිමි ත්‍යාගය හිමි වූයේ ද ඇයට ය.

වසර අවසානයේ පාසල හැර දමා යන විට සිසු දරුදැරියෝ ද, මවුවරු ද මේ ගුරුවරිය හැර පියා යෑමට නොහැකිව හැඬූ හ. ‍‍‍‍

‘ටීචර්, අපේ ජීවිතයේදි ආයෙ ඔයා වගේ ටීචර් කෙනෙක් ලැබෙයි කියල නං විශ්වාස කරන්ඩ බෑ’ යි දුක් වූහ.

මෙවන් ගුරුතුමියන් ලද සිසුහු නිවුණා වෙති. මෙවන් මවුවරුන් ලද දරුවෝ නිවුණා වෙති. මෙවන් දූවරුන් ලද මාපියන් නිවුණා වෙති.

නාවල ජනාධිපති ප්‍රාථමික විදුහලේ සුමිත්‍රා කන්නන්ගර ගුරුතුමියනි, ඔබට යහපත සැලසේවා!

කොළඹ 8, අරුන්දතී මහීපාල මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.


 

සංගීත පාඩම

ඔවුහු උසස් පෙළ පන්තියේ උගනිමින් සිටිය හ.

‘අපි සංගීත ප්‍රසංගයක් කරමුද’ අයෙක් යෝජනා කළ හ.

කලාවට හිතැත්තන් වූ සෙසු කවුරුත් එය ඉහළින් ම පිළිගත් හ. ආශාව පැවතිය ද මුදල් නොවී ය. එහෙන් - මෙහෙන් එකතු කර ගත් මුදලකින් කටයුත්ත ඇරැඹිණ.

‘මේ විදිහට ම කරගෙන යමු. ටිකට් වික්ක ම සල්ලි හම්බ වෙනවනේ. ඒවයින් කවර් කර ගම්මු!’ ඒ න්‍යායට අනුගතව සංවිධාන කටයුතු ඉදිරියට සිදු කැරුණු අතර හිත් ගත් ප්‍රකට ගායක ගායිකාවන් කිහිප දෙනෙකුට ද ඇරියුම් කැරිණි.

ප්‍රසංග අවස්ථාව එළිඹියේ ය. බලාපොරොත්තු වූ සෙනඟක් පැමිණ සිටියේ නැත. චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා වැඩ ආරම්භ කළේ සෙනඟ දැන් දැන් එති’යි අපේක්ෂාවෙනි. වාදක මඬුල්ල වැඩ පටන් ගත්හ. ගායකයෝ ද එකා දෙන්නා පැමිණිය හ.

පැමිණි ගායකයන් වේදිකාවට නැගුණේ තමන්ගේ ගාස්තුව සාක්කුවට වැටුණු පසු ය.

එන‍පොට හොඳ නැති බව තේරුම් ගත් සංවිධායක සිසුවෝ දෙදෙනෙක් ප්‍රසංගය නරඹමින් සිටි සිය මව්වරුන් වෙත රහසේ ම ළංවී ඔවුන්ගේ රන්මාල ඉල්ලාගෙන උකස් කඩයට දිවූහ. සංවිධායක මඬුල්ලේ ඇඟවල්වලට ලේ ඉනුවේ ඒ මුදල දුටු විට ය. ප්‍රසංගය දිගට ම ගියේ ය. කවුරුත් බලාපොරොත්තුව සිටි හිත්ගත් ගායකයෙක් පැමිණියේ ය. හිස් ශාලාව දුටු ඔහු ගේ හිත අවුල්ව ගිය බව පෙනිණ.

සංවිධායක සිසුහු ඔහු පිළිගත් හ.

‘පුතා, මට දාලා තියෙන්නෙ කොයි වෙලාවට ද?’

ඔහු ඇසුවේ ය. සිසුහු වෙලාව කීහ.

‘එහෙම නෙමේ. ඊළඟට මට දාන්ඩ! මට සල්ලි එපා! කොළඹට යා ගන්ඩ වාහනයක් ලෑස්ති කරලා දුන්නොත් ඒ ඇති’

ඒ කතාව සංවිධායක සිසුන් ගේ හද පතුලට ම වැදිණ.

ගී ගයමින් සිටි ගායකයා සමුගෙන වේදිකාවෙන් බැස යනවාත් සමඟ ම නිවේදකයා වැඩසටහන වෙනස් කර අලුත ආ ගායකයාට අවස්ථාව ලබා දුන්නේ ය.

ගායක තෙමේ වේදිකාවට නැග සිය පළමු ගීය ගැයුවේ ය.

ප්‍රේක්ෂක ඔල්වරසන් නැඟුණේ ය.

දෙවන ගීය ගැයුවේ ය. ප්‍රතිචාර එබඳු ම විය.

මේ අයුරින් හේ ගීත හයක් ගැයුවේ ය. ප්‍රේක්ෂක ඉල්ලීම් මධ්‍යයේ තවත් ගී දෙකක් ගැයූ ඔහු වේදිකාවෙන් බැස්සේ විනාඩි ගණනාවක් පුරා නැඟුණ අත්පුඩි වරුසාව මැදිනි.

ගායකයා කෙළින් ම ගියේ සංවිධායක සිසුන් ළඟට ය.

‘පුතා, මගෙ වාහනේ හරි ද?’

‘හරි සර්, මේ ඉන්නෙ එයා තමා’ සිසුහු අසල සිටි රියැදුරා හඳුන්වා දුන් හ.

‘ආ ඔයා ද? කොළඹට ඔයාගෙ ගාන කීය ද?’ ගායක තෙමේ රියැදුරු තරුණයා දෙස බැලුවේ ය.

‘තුන්දාස් පන්සීයයි සර්’ රියැදුරා කීවේ ය.

මෙවිට ම සංවිධායක සිසුවෝ රුපියල් තුන්දාස් පන්සියය ගායකයා අත තැබූ හ.

‘නෑ පුතා, ඔයා තුන්දාහක් ගන්න’ යි කියූ ගායකයා තුන්දාහ රියැදුරු තරුණයාට දී ඉතිරි පන්සියය සංවිධායක සිසුවකු ගේ සාක්කුවට එබුවේ ය.

සමුගෙන යෑමට පෙර ගායක තෙමේ සිසු දරුවන් දෙස මොහොතක් බලා සිටියේ දුකිනි.

‘මේ කොල්ලනේ, මේ වගේ නොතේරෙන වැඩ මීට පස්සෙවත් කරන්ඩ යන්ඩ එපා!’

සංවිධායක සිසුවෝ පියකු බඳු උතුම් ගායකයාණන්ගේ දෙපා වැඳ ඔහුට සමු දුන් හ.

‘හා අපි යං දැං’ අනතුරුව ගායක තෙමේ රියැදුරු කැටුව ශාලාවෙන් පිටව ගියේ ය.

මේ උදාර කලා හදවත අද මිලිනව ගොසිනි.

ගුණදාස කපුගේ නාමය බැබළේවා!

බළන්ගොඩ, අමුපිටියේ, චන්ද්‍රපාල ලේකම්ගේ මහතා විසින් යොමු කරන ලද

ලිපියක් ඇසුරෙනි.

පසුගිය සතියේ නෙළුම්විල තීරයේ පළවූ දතක මහිම ලිපියේ ශීර්ෂපාඨය

‘දනක මහිම’ ලෙස නිවැරැදි විය යුතුය.

නෙළුම්විල, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.

Comments