පාසල් යන්න අරන් මාස තුනයි දැන් චෙස් ශූරි­යක් | සිළුමිණ

පාසල් යන්න අරන් මාස තුනයි දැන් චෙස් ශූරි­යක්

රුමේනියාවේ චෙස් ශූරතාවලියට යෑමට මුදල් නෑ

මොළය වෙහෙසවා භාවනාවකට සම වැදෙනා අයුරින් කරන ක්‍රීඩාවක් සේ ගැනෙන චෙස් ක්‍රීඩාව බුද්ධිමතුන්ගේ ක්‍රීඩාවක් ලෙස සැලැකේ. අපේ රටේ පාසල් ආශ්‍රිතව ශීඝ්‍ර ලෙස ජනප්‍රිය වෙමින් පවතින චෙස් ක්‍රීඩාවෙන් අසාමාන්‍ය දක්ෂතා පිළිබිඹු කරනා පුංචි හපන්නියකගේ පුවතක් පසුගිය දිනෙක අපට වාර්තා විය.

යක්කල අනුර ආදර්ශ කනිෂ්ඨ විදුහලේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ. එල්. තෂ්මි ඉමන්‍යා දැරිය පසුගිය මාසයේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ පැවැති සමස්ත ලංකා පාසල් චෙස් ශූරතාවලියේදී අවුරුදු 7න් පහළ විවෘත තරගාවලියේදී දෙවන ස්ථානය ලබාගත්තේ සැවොම මවිත කරවමිනි. තවම අවුරුදු පහමාරක් තරම් කුඩා වයසක පසුවන තෂ්මි දැරිය චෙස් වැනි සිත ඒකාකාරීව තබාගෙන කරන ක්‍රීඩාවකදී මෙවන් දස්කම් පෙන්වීම ඇයගේ වයස හා සසඳන කල අසාමාන්‍ය බව චෙස් පිළිබඳ නිපුණයෝ අවධාරණය කරති.

සමස්ත ලංකා තරගාවලියේදී කුඩා වයසක පසුවීත් පෙන්වූ දක්ෂතා හේතුවෙන් මේ මස 21 සිට මැයි 1 වැනිදා දක්වා රුමේනියාවේ ලසි නගරයේ පැවැත්වෙන ලෝක පාසල් චෙස් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමේ ප්‍රබල තරගකරුවකු වීමට තෂ්මි දැරියට අවස්ථාව සැලැසී තිබේ.

අවුරුදු පහමාරක් තරම් කුඩා දැරියක් මෙවන් තරගාවලියකට ශ්‍රී ලංකාව නියෝජනය කරනුයේ ප්‍රථම වතාවට බවට ද වාර්තා වේ.

තෂ්මිගේ දක්ෂතා ගැන ඇය අකුරු කරන අනුර කනිෂ්ඨ විදුහලේ විදුහල්පති එස්. එස්. ඒ. සමරසිංහ මහතා මෙසේ පවසයි.

“ඇත්තටම මේ දරුවා අපේ පාසලට ඇවිල්ලා තවම මාස තුනයි. ඒත් දැරිය මේ කෙටි කාලය තුළදීත් පාසලට කීර්තියක් ලබාදී අවසන්. තෂ්මි දියණියට තියෙන්නෙ වයසට වඩා මුහුකුරා ගිය දක්ෂතාවක්.

අ‍පේ චෙස් උපදේශක පතිරණ සර් පවසන්නේ ඇයට තිබෙන්නෙ අසාමාන්‍ය හැකියාවක් බවයි. එම නිසා අප සැවොම බලාපොරොත්තුවෙන් සිටින්නෙ තෂ්මි දුව ලෝක චෙස් ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාමය ඉහළින් ඔසවා තබයි කියා. ඒක මට මගේ පාසලේ දරුවෙක් නිසා සතුට වැඩිවන අවස්ථාවක්.”

එසේ සියලු දෙනාගේ බලාපොරොත්තුවක් බවට පත්ව සිටින මේ අවුරුදු පහමාරේ කුඩා දැරියගේ රුමේනියා ගමන අඩාල වීමට බාධකයක් ව ඇත්තේ ඇගේ මවුපියන්ගේ ජීවන බරයි.

යක්කල කළගෙඩිහේනේ වෙසෙන තෂ්මිගේ පියා වන කළගෙඩිහේනේ බිම්සවිය කාර්යාලයේ සේවයෙහි නියුතු ඒ. එල්. සුගතදාස මහතා අප හා පැවසුවේ මෙවන් කතාවකි.

“දුවගේ දක්ෂතා ගැන අපට පුදුම සතුටක් තියෙන්නෙ. තෂ්මි චෙස්වලට හරිම ආසයි. මගේ ලොකු පුතාලා දෙන්නත් චෙස්වලින් ඉහළ දස්කම් පෙන්වනවා. චූටි දුවට තියෙන්නෙ අසාමාන්‍ය දක්ෂතාවක් බව හැමෝම පවසනවා.

ඒත් දුවට රුමේනියා තරගාවලියට යෑමට ලොකුම බාධාව අපේ පවුලේ ජීවන තත්ත්වය. මං රජයේ සේවකයෙක් වුණත් මේ වගේ ලක්ෂ ගානක් වැයවන තරගාවලියකට යැවීමට තරම් වත්කමක් නැහැ.

නමුත් දුවගේ දක්ෂතාවලට සාධාරණයක් කරන්න යම් යම් පිරිස් සේම පාසල් ආදි ශිෂ්‍ය සංගමයත් මේ මොහොතේ එකතු වී සිටිනවා.

ඒ සියලු දෙනාටම බොහෝම ස්තුතියි” සුගතදාස මහතා තම දියණියට චෙස්වලින් ඉදිරියට යෑමට මඟ පෙන්වන පතිරණ සහ සුරත් ගුරු මහත්වරුන්ගේ සේවය ද ගෞරවයෙන් සිහිපත් කළේය.

පියාගේ කතාව අසා සිටි තෂ්මි දියණිය “අනේ නැන්දෙ මාමේ මං ආසයි පිටරට ගිහින් චෙස් සෙල්ලං කරන්න.”යනුවෙන් පාඨක ඔබ වෙත සිය ආයාචනය ඉදිරිපත් කරන්නීය.

මේ පුංචි හපනියගේ ආශාව යථාර්ථයක් කරගැනීමට සේම රටට කීර්තියක් ගෙන දීමට බලාපොරොත්තුවෙන් සිටින කුඩා තෂ්මි වෙනුවෙන් ඇති-හැකි අයකු හෝ ආයතනයක් ඇගේ ගමනට පිහිටක් වෙනවා නම් තෂ්මිගේ පියාණන් වන සුගතදාස මහතා අමතන්න 0755250365 . 

 

Comments