විය­පත් පිරිමි හිතක් වුණත් ප්‍රේමය නිසා තුවාල වෙනවා | සිළුමිණ

විය­පත් පිරිමි හිතක් වුණත් ප්‍රේමය නිසා තුවාල වෙනවා

නේෂන් ශල්‍යාගාරයෙන් පිටතට ඒමට පෙර යළිත් වරක් සුපරීක්ෂාකාරී දෙනෙතින් රෝගියාගේ මුහුණ බැලුවේය. නිර්වින්දනය කර සිටිනා ඔහු සුව නින්දකට වැටුණ ඉරියව්වෙනි. විවිධ නළ සිරුරට සවිකර තිබුණ ද මුහුණ තවමත් විඩාවෙන් වේදනාවෙන් තොරය.

ඔහු තරුණයෙකි. ඔහුට කළ සැත්කම හදිසි එකක් විය. පූර්වාත්මයක කළ කුසල කර්මයක් නිසා ඔහු ජීවත් වීමේ වාසනාව ලබා සිටින්නට ඇතැයි නේෂන්ගේ සහායක වෛද්‍යවරියක කීවේ රෝගියා ගේ චිත්ත ස්වභාවය සහ සෞඛ්‍ය ස්වභාවය කෙරෙහි දයා සිතක් ඇතිවය.

බංග්ලා දේශයේ ඔහුටම හිමි විසල් ව්‍යාපාරයක් ඇත. මවගේ විරෝධය මැද ඔහු විවාහ වූයේ එම ව්‍යාපාරයේ සහායක ගණකාධිපතිවරියක ලෙස සේවය කළ මුස්ලිම් තරුණියක සමඟය. ඔවුහු ආදරණීය සමඟි සම්පන්න විවාහ දිවියක් ගත කළහ.

ප්‍රථම දරු පූසුතියේදි බිරිය සහ දරුවා මිය ගියේ ඔහු උන්මතකයෙකු කරමිනි.

තරුණයා සුරාවට සහ දුම්පානයට පමණක් නොව මත් කුඩටත් පුරුදු විය. ප්‍රකෘති සිහි කල්පනාවෙන් මිදී ජීවත්වීම සැපතකැයි ඔහු නේෂන් වෛද්‍යවරයාට කීවේ ශල්‍යාගාරයට ගෙන යෑමට අඩ හෝරාවකට පෙරය.

සුරාවට දුමට සහ මත්කුඩට තමා බෙහෙවින් කෘතවේදී වන බව ඔහු කියන විට ඔහුගේ මව හඬා වැටෙන්නට වූවාය. මව පුත්‍රයා රෝහලට ගෙන ආවේ ඔහුගේ විරෝධය මැදය. රෝගයේ බරපතළකම ඔහුට නොදැනීම වෛද්‍යවරුන්ට ද පුදුමයක් විය. හදවත සජීවී කිරීමට රුධිරය ගෙන එන සියලු නාල අවහිර වී තිබුණ ද ඒ සියල්ලට ම අභියෝග කරමින් හදවතට පිවිසි අමතර රුධිර නාලයක් ඔහුට ජීවිතය දී තිබුණේය. මෙවැන්නක් සිදුවෙන්නේ මිනිසෙකුගේ කුසල කර්මයක් නිසා යැයි සහායක වෛද්‍යවරිය මවට කියන විට මව දෝත් එක්කොට අහසට වැන්දාය.

“ඩොක්ටර් මං විශ්වාස කරන එකම ධර්මය බුදුන්ගේ දේශනාව. මගෙ දරුවා මං අකැමැති විවාහයක් කර ගත්ත බව ඇත්ත. ඒත් එයා හොඳ මනුෂ්‍යයෙක්. සතා සිව්පාවාට වුණත් හිංසාවක් වරදක් කරන්නෙ නැහැ. පස්සෙයි මං දන්නෙ. අර ගෑනු ළමය වුණත් බැඳලා තියෙන්නෙ අනුකම්පාවෙන්. එයා හෘදය රෝගියෙක්.”

සහායක වෛද්‍යවරියට මව පැවසූ දේ නේෂන් සිත ද සංවේගයක් ඇති කිරීමට සමත් විය. මවු ප‍ියෝ දරුවන් වෙනුවෙන් කොතරම් නම් දුක් උසුලද්ද?

දැන් ඒ දයාබර මාතාවට කිසියම් සහනයක් දැනෙනවා ඇත.

‍නේෂන් ශල්‍යාගාරයෙන් පිටතට පැමිණි වහාම තමාගේ දුරකථනය අතට ගත්තේය. රෝජා සඳපාණිගෙන් දුරකථන ඇමතුම් හයකි. ඔහුගේ සිත කලබල විය. පියාගේ වෛද්‍ය වෘත්තියෙහි වගකීම් සහිත බව දන්නා දියණිය දිනකට ඔහුට ඇමතුම් තුනක් දෙන්නීය.

“තාත්තා හොස්පිට්ල් එකට ගියා ද?

තාත්තා දවල්ට කෑම කෑවාද?

තාත්තා ගෙදර එන්න පිටත් වුණාද?”

මෙදින දියණිය ඇමතුම් හයක් දී ඇත. නේෂන් දියණියට ඇමතුමක් ගත්තේ ය.

“පුතේ කොහොමද? මොකද කරන්නේ? මට හත් අට සැරයක් ම අද කතා කරලා තියෙනවා. මොකක් හරි විශේෂයක් ද?”

පියාගේ ඇමතුම ලත් තරුණිය සිනාසෙන්නට වූවාය. නේෂන්ගේ සිතට සහනයක් දැනිණි. දියණිය සිනාවෙනි.

“ඔව් තාත්තා විශේෂයක් තමා. නරේන් මාමා ගැන අපූරු කතාවක් පත්තරේ තියෙනවා කියලා රාහුල අයියා මට කෝල් කළා. මං තාත්තාට කතා කළේ එනකොට පත්තරයක් ගේන්න කියන්න.”

“මොකක්ද පත්තරේ? මං ගේන්නම්. අද ද‍වසෙම මං තියටර් එකේ. දැන් එන්න හදන්නෙ.”

“මට හිතුණා. මං මේ මල්ලි කෙනෙකුට කියලා පත්තරයක් ගෙන්න ගත්තා. දුකත් හිතෙනවා. හිනහත් යනවා. තාත්තා ඉක්මනට එන්නකො.”

පියාගේ දුරකථන ඇමතුම නිමා කළ රෝජා සඳපාණි යළිත් නරේන්ද්‍රගේ සාකච්ඡාව මුද්‍රිත පත්තර පිටුව අතට ගත්තාය.

වඩාත් සිත් ගන්නක්ව තිබුණේ ඔහු කීවාද නොකීවාදැයි දෙගිඩියා සිතුවිලි පහළකරන ලොකු අකුරෙන් මුද්‍රිත ශීර්ෂ පාඨයයි.

“වියපත් පිරිමි සිතක් වුවද ප්‍රේමය නිසා තුවාල වෙනවා. මන්ත්‍රී නරේන්ද්‍ර රත්නවීර කියයි.”

එම ශීර්ෂ පාඨය නිසාම පළමුව රෝජ සඳපාණිට සිතුනේ නරේන් මාමාට දුරකථන ඇමතුමක් දී ප්‍රකාශයේ අග මුල විමසන්නටය. දෙවනුව එය ඔහුට ලජ්ජාවක් හාස්‍යයක් වේදැයි පසු බා ගිය සිත් ඇති තරුණිය වහා රවිහාරි සොයා ගත්තාය. ඒ දහවල් කාලයේ පත්තරය කියවූ වහාමය.

“රවිහාරි අක්කා නරේන් මාමාගේ සාකච්ඡාවක් පත්තරේ තිබුණා. දැක්කද?”

“ඔව් දැක්කා. රෝජා සිංහල පත්තර කියවනවද?”

“සමහර දවස්වලට. ඒක නෙමේ. නරේන් මාමා මොකද එහෙම කතාවක් කියලා තියෙන්නෙ?”

“ඒක එයාගෙන් ම අහන්න.”

“අහන්නත් හිතුණා. ඒත් එයාට ලජ්ජා හිතෙයි කියලා ඇහුවෙ නැහැ.”

“පිස්සුද රෝජා? දේශපාලනඥයන්ට ලජ්ජා භය නැහැ. නැත්නම් ඔහොම කතාවක් කියයි ද?”

රවිහාරි නිතර සිනාවෙන් සිටින්නියකි. මෙදින ඇය ද කෝපව සිටින්නීය. තමා සිතනවාට වඩා නරේන්ද්‍ර මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට බලපානවා විය හැකිය.

ඔහු මැදිවියෙන් සමුගන්නට ක්‍රමයෙන් ආසන්නව සිටී. රාහුල දිනක පැවසූ පරිදි නරේන්ද්‍ර දේශපාලන ක්ෂේත්‍රයෙහි ලා වැදගත් ප්‍රභූවරයකු වුවද පෞද්ගලික ජීවිත ඇවතුම් පැවතුම් සම්බන්ධව නම් සෙල්ලක්කාරකම් ඉහ වහා ගිය සමනල ජීවිතයක හිමිකරුවෙකි. ඒ සියල්ල අතීතයේ මතක සටහන් මිස වර්තමානයට අදාළ නැතැයි පවසමින් නරේන්ද්‍ර කෙරෙහි අනුකම්පා සහගතවීමට රාහුල උත්සාහ ගන්නේ රවිහාරි නිසාදැයි රෝජා සඳපාණි නැගූ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ මුවග සිනාවක් පමණි.

මාලක නරේන්ද්‍ර මන්ත්‍රිවරයාගේ ජීවිතය දඩයම් කර ගෙන ඇතැයි සිතූ තරුණිය ඔහු වෙනුවෙන් රවිහාරිට පිළිතුරු දෙන්නට සිතුවාය.

“රවිහාරි අක්කා, මාලක පොල් ගෙඩි අකුරෙන් ලියලා තියෙන ඔය කතාව ඇත්තද බොරුද කියලා අපි දන්නෙ නැහැනෙ. සමහර මිනිස්සු කියනවා පත්තරවල තියෙන්නෙ බොරුමලු.”

“රෝජා, මං මාලක හොඳට දන්නවා. අපි එකට බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ඉංග්‍රිසි ඉගෙනගත්තෙ. එයා බොරු ලියන්නෙ නැහැ.”

“රවිහාරි අක්කා, මාලකගෙ සහෝදරියක් අපි ඉන්න ප්ලැට් එකේ ඉන්නවා. එයා ටීචර් කෙනෙක්. එයාගෙ පුතාට කියලා තමා මං පත්තරයක් ගෙන්න ගත්තෙ. ඒ අක්කා කිව්වා මාලක මේ දවස්වල පරාජිත ප්‍රේමවන්තයෙක්ගෙ භූමිකාවක් ආරූඪ කරගෙනලු. ඒ අයට ලජ්ජයිලු එයා ලියන කියන ඒවාට.”

“ඇත්ත ද? ඒක නිසා වෙන්නැති අනිත් අයවත් ලජ්ජාවට පත් කරන්න ඕපා දූපා වැල්වටාරම් ලියන්නෙ. ඔයා හිතන ඒ විදිහ වැරදියි රෝජා. මගේ මාමා ගැන මං දන්නවා. එයා ඔය කතාව කියන්න ම ඇති. අපේ අම්මටයි ලොකු අම්මටයි හොඳටම කේන්ති ගිහින්. ඇත්තනෙ අම්මලා කියන්නෙ. එයා නළුවෙක් නෙමේ. සමාජ ගෞරවයට ලක්වුණ මන්ත්‍රි කෙනෙක්.”

“මන්ත්‍රී කෙනෙක් කියන්නෙත් මනුෂ්‍යයෙක්නෙ. ඒ මිනිහට ආදර හැඟීම් ඇති‍ වෙන එක පාපයක් ද? වැරැද්දක් ද? නරේන් මාමා පව් රවිහාරි අක්කා.”

“හරි, හරි. ඔයයි ඔයාගෙ න‍රේන් මාමායි ඕන එකක්. ඔය දෙන්න ම ජීවත්වීමේ කලාව දන්නෙ නැහැ. එයාට පිස්සු.”

“මට නම් දුකයි. එයා මට මගේ තාත්තා වගේමයි. ඇත්තට ම එයා මට තාත්තා කෙනෙක්.”

“හොඳයි. එහෙනම් ඔයා ඔය තාත්තාට අවවාද කරන්නකො රට්ටුන්ට දැනෙන්න පිස්සු කතා කියන්න එපා කියලා. දරුවන්ට ලජ්ජයි කියලා. මාමා වුණාට අපිටත් එයා තාත්තා කෙනෙක් තමා රෝජා.”

දහවල සිදුවූ ඒ කතා බහ අවසන් කරමින් රවිහාරි දුරකථනය විසන්ධි කළේ දුක්බර හඬකිණි.

පියා එනතුරු යළිත් වරක් නරේන් මාමාගේ පත්තර සාකච්ඡාව කියවන්නට සිතූ රෝජා සඳපාණි පළමුව රූපවාහිනිය අක්‍රිය කොට සුවපහසු ලෙස සෝපාවක වැතිරුණාය. අකුරක් නෑර මතකයේ තැන්පත් කතාවක් යළි යළිත් කියවීමේ කම්මැළිකමක් ඇය වෙත ආවේය. දෙවනුව පත්තරය කියවනු වෙනුවට එයට බිමට වැටෙන්නට ඉඩ හළ තරුණිය දෙනෙත් පියා ගත්තාය.

පිය වුණ නෙත් අතරින් හදවතට ඇතුළුවීමට මං පෙත් සොයනා මහා මිනිස් සමූහයක් ඇගේ සිත කම්පාවටත් දුකටත් පත් කළේ මහා චණ්ඩ මාරුතයක් ලෙසින් නොවේ. සියල්ලෝ ම යමක් සොයමින් හඬා වැටෙන්නා සේ ඇයට දැනෙන්නට විය. ඒ ළදල්ලක සිහින් සෙලවීමක සොබාවෙනි.

ආදරය ස්නේහය අහිමි වීමෙන්, අපේක්ෂා භංගත්වයෙන් පෙළෙන ඒ මිනිස් සමූහයා අහසේ පොළොවේ අපේක්ෂා භංගත්වයෙන් නොව උඳු පියල්ලක තණ කොළ අගක පවා ඔවුන්ට අහිමි වූ ප්‍රේමය ආදරය කරුණාව සැඟවී ඇද්දැයි සොයන්නේ ඉතා නිහඬ දැඩි ශෝකයකින් මුහුණ වසාගෙනය. කවර සුඛාන්තයක වුවද අවසාන නිමේෂය නොසිතන අයුරෙන් දුකකින් කෙළවර වීම නිසා ලෝකය පවතින්නේ දුක මත යැයි පැවසෙන බුද්ධ වචනය සර්වකාලීන යැයි මනෝහාරි පැවසූ සැටි රෝජා සඳපාණිගේ සිතට පිවිසුණේ දුකින් කලබලව සිටිනා මහා මිනිස් සමූහයාගේ රූප පෙළ හඬා වැටෙන සැටි පියවු නෙත් මත රඟ දෙන විටය.

මිනිසුන් ජීවිතය හා ලෝකය දුකක් සේ සලකා ඉන් බැහැරවීමට කිසිවෙක් උත්සාහ ගන්නේ ද නැත. දුක ආත්ම කොට උපත ලබන කොතරම් නම් නිර්මාණ මිනිසුන්ගේ ම නෙත් සිත් පැහැර ගැනීමට සමත් වේද? අහිමි වූ ප්‍රේමය මත යැපෙමින් වුවද ජීවිතය දිනා ගැනීමට මිනිසුන් උත්සාහ නොකරන්නේ ද?

“අනේ මගේ තාත්තා ඒ අතින් කොච්චර ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් ද?”

රෝජා සඳපාණිගේ සිතට නේෂන් වෛද්‍යවරයා ආවේ සුසුමක් ද සමඟය.

“මගේ තාත්තා මගේ අම්මට ආදරය කරන තරම් මේ ලෝකෙ කිසිම මිනිහෙක් ගෑනියෙකුට ආදරය කරලා නැතුව ඇති. ඒ අතින් අඩු වයසින් භයානක මරණෙකට මුහුණ දුන්නත් අම්මා පින්වන්තයි. මගේ අම්මා සුරංගනාවියක් වෙලා හැමදාම තාත්තා බලන්න එනවා ඇති කියලා කැනඩාවෙ මගෙ යාළු ගෑනු ළමයි මට විහිළු කරනවා. මං ඒවා තාත්තාට කිව්වම තාත්තා ඔළුව හොල්ලනවා. මගේ තාත්තව දැකපු මගේ පන්තිය භාර ටීචර් තාත්තට ආදරෙයි විවාහ වෙන්න කැමතියි කියලා. එතකොට තාත්තා කියලා තියෙන්නෙ හිත හිතා සතුටු වෙන්න පුළුවන් ප්‍රේම කතාවක් තාත්තට තියෙන නිසා වෙන ගෑනියෙක් විවාහ කරගෙන ඒ ගෑනිට අසාධාරණයක් කරන්න බැහැ කියලා. තාත්තගෙ දෙවෙනි විවාහෙ අසාර්ථක වුණේ ඒ පුංචි අම්මගෙ වරදින් නෙමේ තාත්තගෙ වරදින් කියලයි තාත්තා කියන්නෙ.”

රෝජා සඳපාණිගේ සිතුවිලි පිය සෙනෙහසේ සිසිලෙන් උපන්නක් වුවද එම සිසිල විසින් ඇගේ දෙනෙත පිරවූයේ උණුසුම් කඳුළු ධාරාවකිනි. කඳුළු බිඳු ඇසපියට මහත් බරක් දෙමින් පියවි දෙනෙත් විවර කළේ ඇගේ වැතිරුණ ඉරියව්වට ද බලපෑම් කරමිනි.

තරුණිය සෝපාව මත හිඳ ගත්තාය. පිටත්ලෙන් හා ඇඟිලි තුඩින් කඳුළු පිසදා ගත් ඇය බිම වැටුණ පත්තර පිටුව අතට ගත්තාය.

නරේන්ද්‍රගේ සිනාවෙන් ‍තොර ගුප්ත ශෝකයකින් පිරුණු දෙනෙත් සහිත විශාල ඡායාරූපයක් පිටුවේ බාගයක් ම හිමි කරගෙනය. ඒ මතට හොඳින් වැටුණ විදුලි ආ‍‍ලෝකය ද වඩාත් ගුප්ත සේ ඇයට පෙනෙන්නට විය.

“මගේ තාත්තගෙ ගතිගුණවල හැටියට ඔයා කවුද?”

තරුණියගේ සිත නරේන්ද්‍රගෙන් ප්‍රශ්න කළේය.

“ඇත්තට ම මගේ තාත්තා තරම් කිසිම කෙනෙක් තමන්ගෙ නෝනාමහත්තයට ආදරය කරලා නැතුව ඇති. ඒකට නරේන් මාමා. නෑ. නෑ. එයත් මනුෂ්‍යයෙක්. එයාට ජීවිතේ කොතනක හරි වැරදුණා. කොතනද වැරදුණේ? රවිහාරි අක්කා නම් කියන්නෙ නරේන් මාමාගෙ ජීවිතේ වැරදුණෙ කොතැනද කියලා මට ම අහගන්නලු. විකාර කතාවක්. වැඩිහිටියන්ගෙන් ඒ වගෙ ප්‍රශ්න අහන්න පුළුවන් ද?”

රෝජා සඳපාණි තම සිත සමඟ නරේන්ද්‍ර පිළිබඳ පුළුල් සංවාදයක යෙදෙන්නට උත්සාහ කළාය. එය වරින් වර බිඳ වැටුණේ රාහුල විසින් නරේන්ද්‍ර ගැන පවසා ඇති විවිධ කතා ඇය සිත බියක් ඇති කිරීමට සමත් වන විටය.

“රාහුල අයියා වුණත් කියනවා ඇත්තේ කවුරු හරි කියපු ඕපාදූපයක් වෙන්නැති. මගේ තාත්තා නරක මිනිස්සු ආස්සරේට යන්නෙ නැහැ. නරේන් මාමා අපිට නම් හරිම හොඳයි. ජීවිතේ කොතනක හරි එයාට වැරදුණා. පව්. එයත් මනුස්සයෙක්.”

රෝජා සඳපාණිගේ සිත ක්‍රමයෙන් නරේන්ද්‍ර කෙරෙහි උපන් ඉමහත් දයාවකින් පිරෙන්නට වූයේ ඇයටත් නොදැනීමය.

Comments