
හාත්පස පරිසරය ම වෙළී ඇත්තේ මිහිරි සුගන්ධයකිනි. සඳ එළියේ සෞම්‍ය කිරණ මිහිතලය මතට වැටී අඳුරු ගුප්ත සෙවණැලි රටා මවන ඒ සුන්දර රාත්‍රියේ මම සිතුවමක් සදිසි අහස දෙස බලා හුන්නෙමි. දැඩි නිහඬතාව බොහෝ සෙයින් කතා කරමින් හුන්නේය. අවට පැතිරුණු ඇට්ටේරියා මල් සුවඳ නිසි සේ රිසි ව විඳින්නට නම් මඳක් ඈත් ව සිට හුස්ම ඉහළට ඇදිය යුතු බැව් ඔබ දැනටමත් දන්නවාට සැක නැත. ඒ මිහිරි සුවඳ අනෙක් අතු ඉති වටා පැටලී පරිසරය ම සුරපුරයක් කරමින් මා මෙන් ම මේ පරිසරයේ වෙසෙන සියල්ලන් වෙත ම සිය සුගන්ධය ගෙන එයි.
මේ මල් සුවඳට, සෞම්‍ය සුවඳ විහිදුවන සඳ එළියට, ශක්තිය ගෙන එන හිරු කිරණට භේද පවතින්නේ ද? මේ මල් ලොකු, කුඩා, දුප්පත්, පොහොසත්, හොඳ, නරක භේදයකින් තොරව සෑම කෙනකුට ම සිය සුගන්ධය බෙදා දෙන්නේ නොවෙද? සඳ සිය ආලෝකය හා සිහිල ලබා දෙන්නේ තෝරා ගත් චරිත කිහිපයකට හෝ තමන් කැමති කිහිප දෙනකුට පමණක් ද? සඳ එළිය ඔබට, මට මේ විශ්වයට ම ආදරය, සෞම්‍ය බව බෙදා දෙන්නීය. ආලෝකය, සිහිල බෙදන සඳ ලෝකයෙන් පෙරළා කිසිවක් බලාපොරොත්තු වන්නීද? නැත. ඇය අපරිමිත ස්නේහයෙන් ඒ සුන්දර සෞම්‍ය බව අපට ලබා දෙනවා පමණි. හිරු කිරණ ද එසේ ම ය. එය ද කිසිවක් බලාපොරොත්තු නොවී මුළුමහත් ලෝකයාට ම ශක්තිය, ආලෝකය සපයන්නේ ය.
කිසිවක් බලාපොරොත්තු නොවී පරිත්‍යාගශීලී වීමට ඔබටත් හැකිද? මල් සුවඳ ෙභ්දයකින් තොරව මිහිතලය ම සුවඳවත් කරන්නා සේ, සඳ එළිය මේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයා ම සෞම්‍ය බවෙන් ආලෝකවත් කරන්නා සේ කිසිවක් බලාපොරොත්තු නොවී පරිත්‍යාගශීලී වීමට ඔබටත් හැකිද? විසල් වෘක්ෂයක් මුළු මහත් අහස්තලයට ම විවර වෙමින් මේ මහී මාතාව මෙන් ම මිනිස් වර්ගයාත් ලක්ෂ සංඛ්‍යාත සත්ත්ව විශේෂයනුත් හිරුගේ තාපයෙන් මුදා ගන්නා සේ පරිත්‍යාගශීලී වීමට ඔබට හැකිද? අවසන් පොරෝ පහර වැදී බිම ඇද වැටෙන තෙක් සෙවණ සලසන ඒ විසල් වෘක්ෂය අපෙන් කිසිවක් බලාපොරොත්තු වීද? මෙය ම නොවේ ද පරිත්‍යාගය..
සිය දිවිය ම මේ ලෝකය වෙත නැණ කිරණ හා අක්මිඳීම පිළිබඳ අවබෝධය ලබා දෙන්නට කැප කළ බුදු හිමියන් පෙරළා අපෙන් කිසිවක් බලාපොරොත්තු වූයේ ද? යේසුස් වහන්සේ, මහම්මත් තුමා ඇතුළු සියලු ආගමික ශාස්තෘෘන් වහන්සේලා අප වෙත ගෙන ආවේ පරිත්‍යාගයේ විසල් අරුත නොවේද? එතරම් ඈතට නොයන්න; ඔබේ අම්මා, තාත්තා ඔබ වෙත ගෙන එන්නේ පරිත්‍යාගයේ සෞම්‍ය සඳ කිරණ නොවේද? තම දරුවන්ගේ කුසගිනි අහරින් නිවා වතුර වීදුරුවකින් තම කුසගින්න සනහන මවුපියන් මෙන් ම දරුවන්ගේ වත සිනිඳු සළු පිළියෙන් සරසා කඩමාලු වූ ඇඳුම් අඳින අම්මලා, තාත්තලා පරිත්‍යාගයේ අති උතුම් සැනසිල්ල අත්විඳිනවා නොවේද?
මුළු මහත් ලෝ වැස්සන්ට ම අවබෝධයේ මාවත පසක් කර දීමට ඉඩ දෙනු වස් සිය හිමි විමුක්තිය සොයා ගැනීම සඳහා පිට ව යද්දී යසෝදරාව ඊට බාධා නොකළා නොවේද? මහ වනයේ හැම ඵලයක් ම රස බොජුනක් වේවා යැයි ප්‍රාර්ථනා කළා නොවේද? පරිත්‍යාගය යනු මිනිස් සිතට අප්‍රමාණ සැනසීමක් උදා කරන අපූර්ව චෛතසිකයක් බව ම සිතට දැනේ.
පරිත්‍යාගය මේ ලෝකයේ පවතින අනේකවිධ තරගකාරී සිතිවිලි විසින් වේදනාවට පත් කරන අපේ සිත් සුවපත් කරනා අගනා දිව්‍ය ඖෂධයක් වැනිය. අයිතිකර ගැනීමෙන් නොව අතහැරීමෙන් මේ මුළු මහත් විශ්වය ම දිනා ගත හැකි බව පරිත්‍යාගය නිහඬ ව ම අපට උගන්වයි. එය මුදු සඳ එළිය සේ අප හදවත් පත්ල සෞම්‍ය බවින් පුරවාලයි.
අපේ මේ කෙටි ජීවිත කාලය ඇතුළත කලාතුරකින් හෝ හිරු, සඳු, මල් එළිය සදිසි උත්තම චරිත මුණ ගැසෙයි. සමහර චරිත හඳුනා ගැනීමේ වාසනාව අපට හිමි වේ. තවත් සමහර චරිත හඳුනා නොගෙනම අප අතරින් දුරස් ව යයි. ඒ උත්තම චරිත හඳුනා ගැනීමට හැකි වීමට නම් අපට නිදහස්, සෞම්‍ය හා පිරිසුදු මනසක් තිබිය යුතුය. එවිට ඒ චරිතවලින් වෑහෙන අසීමිත දයාව, කරුණාව අපේ ජීවිතවලට විවිධ අරුත් ගෙන එනු ඇත.
ඔබට තව කෙනකුගේ හදවත තේරුම් ගැනීමට හැකිවන්නේ ඔබ ද එවැනි ම හදක් ඇත්තකු නම් පමණි. බලන්න, පරිත්‍යාගයේ සඳ එළිය පතුරුවන දුර්ලභ විස්මිත චරිත හඳුනා ගැනීමට ඔබටත් හැකිද කියා. සියල්ල අල්ලා අයිතිකර ගැනීමට වෑයම් කරන සහසක් දනන් අතර සියල්ල අතහැර මුදු සඳ එළිය සේ ආලෝකය බෙදා හරින චරිත සුලබ නැත. එහෙත් විරල දේ සොයා ගැනීමටත්; එමගින් ආලෝකය ලැබීමටත් අප කිසිවකුත් තවමත් ප්‍රමාද නැත.