
සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාවන්තිස්සපුර ග්‍රාමයේ සෝමදාසට, හබරළුවැව පියදාසට, මුතුමිණිගම සමන්, නෙළුම්ගම සාමරත්න ඇතුළු පිරිසට ලුණුයි බතුයි කා-බී හෝ වැටී සිටින්නට හිසට සෙවණක් නොතිබුණා සේය. ඔවුන් ජීවිකාව ගෙවූයේ අව්වට පිච්චෙමින් වැස්සට තෙමෙමින් කටු-මැටි ගැසූ පැල්පතක හෝ ටකරන්වලින් ඉටිකොළවලින් අටවා ගත් පැල්පතකය. එහෙත් අද ඔවුන් හට නැවුම් බලාපොරොත්තු පුබුදුවමින් කුලියක්-මලියක් කරගෙන වැටී සිටීමට හිසට සෙවණක් නම් ලැබී තිබේ.
“අපි අන්ත අසරණ දුප්පත් මිනිස්සු. හරියට වැඩක් පළක් කරගන්නවත් බැහැ. ලෙඩ ගානේ ඉන්නෙ. අනේ ඇත්තට ලේකම් කාර්යාලේ මහත්තුරු ඇවිත් අපි හිටිය පැල්පත් දැකලා ගෙවල් හදා දෙන්න ඉදිරිපත් වීම ගැන අපට හිතාගන්නවත් බැරිවුණා. අද අපේ ළමයින්ගේ මූණු දකිනකොට අපිට දරාගන්න බැරි සතුටක් තියෙන්නෙ. කොහේද අපි අහලා තියෙන්නෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මිනිස්සුන්ට ගෙවල් හදලා දීලා තියෙනවා කියලා” යැයි ඔවුහූ පවසති. ඔවුනට හිසට සෙවණක් ලබා දීම වෙනුවෙන් කැපවුණු සෙවණගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්තුමා ඇතුළු සියලු දෙනාට බුදු බව අත්වේවායි ඔවුහූ ප්‍රාර්ථනා කරති.
තම පඩිපතට සරිලන රාජකාරියවත් නිසි පරිදි මහජනයා වෙනුවෙන් ඉටුනොකරන රාජ්‍ය සේවක පිරිසක් සිටින රටක රාජකාරියෙන් පරිබාහිරව ගොස් මහජනයා වෙනුවෙන් කැපව සේවය කරන ඇතැම් රාජ්‍ය නිලධාරීහු ද මෙරට වෙසෙන බව පිළිබිඹු වන අවස්ථා නැතුවා නොවේ. එසේ තම රාජකාරිය සේම ඊට පරිබාහිර සේවාවන්ගෙන් ද තම බලප්‍රදේශයේ ජනයා වෙනුවෙන් ඉහළ සේවයක් කරන රාජ්‍ය නිලධාරීන් පිරිසක් සිටින ස්ථානයක් ලෙස සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හැඳින්විය හැක. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහජනයා වෙනුවෙන් ඉහළ සේවයක් සපයන සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියමුවා වනුයේ එහි ප්‍රාදේශීය ලේකම් චන්දන ලොකුහේවා මහතාය.
තම සේවක පිරිස සමඟ නවමු සංකල්ප පෙරදැරිව මහජනයා වෙනුවෙන් කැපවී සිටින චන්දන ලොකුහේවා මහතා අපට අදහස් දක්වන්නට ඉදිරිපත් විය.
“අපි 2013 වර්ෂයේ ආරම්භ කළා අපේ බලප්‍රදේශයට අයත් දුප්පත් අසරණ, ආබාධිත හරිහමන් නිවාස නැති අය වෙනුවෙන් ‘හිසට සෙවණක්’ කියන සංකල්පය. ඒ අනුව මේ වන විට පස්දෙනකුට නිවාස 5ක් සාදවා පරිත්‍යාග කරලා තියෙනවා. ඒ සෑම නිවෙසකටම ලක්ෂ 7කට වැඩි මුදලක් වැය වුණා. ඊට අමතරව තවත් නිවාස 4ක වැඩ කෙරීගෙන යනවා. මේ කිසිම දේකට රජයෙන් ප්‍රතිපාදන නෑ. අපි අපේ සේවය ලබාගැනීමට එන ව්‍යාපාරික ප්‍රජාවගෙන්, දානපතින්ගෙන් දායකත්වයෙන් තමයි මේ සියලු දේ කරන්නෙ” යැයි ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි. ඒ වෙනුවෙන් තම ආයතනයේ සැලැසුම් අංශය සියලු වගකීම් දරමින් කටයුතු කරන බවද ඔහු කීවේය.
සෙවණගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නැවුම් සංකල්ප පෙරදැරිව මහජනයා වෙනුවෙන් කරන සේවය අගයමින් 2016 වර්ෂයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බීඑම්අයිසීඑච්හි පැවැති ජාතික ඵලදායිතා සම්මාන උලෙළේදී පිරිනැමුණු ස්වර්ණ සම්මානය දිනා ගැනීමට චන්දන ලොකුහේවා ප්‍රමුඛ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හැකිවිණි. එම සම්මානය ප්‍රථම වතාවට රාජ්‍ය ආයතනයකට හිමි වූයේ එවරය. ඊට අමතරව පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (ස්ලිඩා) මඟින් පිරිනැමුණු ‘ප්ලැටිනම්’ සම්මානය ද මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටම හිමි විය. ඒ සියලු ජයග්‍රහණවල නියමුවා චන්දන මහතාය.
“මගේ මුල්ම ප්‍රාදේශීය ලේකම් පත්වීම ලෙසින් අතිදුෂ්කර මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවණගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවේ 2010 දී. එදා පටන් මං අදහස් කළා මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ඵලදායිතා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. එතැන් සිට සෑම වර්ෂයකම ඵලදායිතා සම්මාන උලෙළට අපි ඉදිරිපත් වුණා. 2014 දී ලංකාවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර පළමු ස්ථානය හිමි වුණා. ඉන්පසුව 2015 දී පළමු ස්ථාන හිමිකරගත් ආයතන අතර තිබෙන ස්වර්ණ සම්මානයටත් ඉදිරිපත් වුණා. එහිදී ක්ෂේත්‍ර ගණනාවකින් පළමු තැන ලබාගත් ආයතන සියල්ල පරාජය කරමින් අපි ගිය වර්ෂයේදී එම සම්මානය දිනාගත්තා” එසේ පවසන චන්දන මහතා ඒ වෙනුවෙන් 160 දෙනකුගෙන් යුත් සේවක මණ්ඩලය තමාට උපරීම සහායක් දුන් බව ද කීවේය.
“ගොඩක් ආයතන කරන්නෙ පයිව් එස් ක්‍රමය. අපි ඊට ටිකක් ඉදිරියට ගොස් සේවා සංවර්ධන කියන නව සංකල්පයක් හඳුන්වා දුන්නා පරිගණක ආධාරයෙන්. අපේ ලේකම් කාර්යාලයට එන සෑම සේවාලාභියෙක්ම අපි පරිගණක ගත කරලා රිසිට්පතක් දෙනවා. ඉන්පසුව එම සේවාලාභියාගේ සේවය සැලැසීම ගැන කඩිනම් පසු විපරමක් සිදු කරනවා.” කොළඹට සාපේක්ෂව අවම පහසුකම්වලින් සමන්විත පෙදෙසක අතිදුෂ්කර කර්තව්‍යයක තමා ඇතුළු සේවක පිරිස නිරත වන බව ද හෙතෙම පැවසුවේය.
“මම දැන් රාජකාරි කටයුතුවලදී බොහොමයකට යොදන්නෙ ඊ සයිනින් හෙවත් පරිගණක ආධාරයෙන් ඉලෙක්ට්‍රොනික අස්සන.” එය තමා විසින් ප්‍රථම වරට හඳුන්වා දුන් බව කියන චන්දන මහතාගෙන් මා විමසා සිටියේ අවැසි තාක්ෂණය ලබාගත්තේ කෙසේ ද යන්නයි.
“ඵලදායිතා අමාත්‍යංශයෙන් පවත්වන පුහුණු වැඩසටහන් රැසකටම මං සහභාගි වුණා. ඒ වගේම මගේ පරිගණකය අලුත්වැඩියා කරන මල්ලි කෙනෙක් ඉන්නවා චානක කියලා ඇඹිලිපිටියේ. අපි එයාගෙන් තාක්ෂණය ගැන, ප්‍රොග්‍රෑමින් ගැන ලොකු දැනුමක් ලබාගත්තා මේ තත්ත්වයට එන්න.”
සෙවණගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලබා තිබෙන සේවා ඵලදායිතාව ගැන සේම ප්‍රගතිය ගැන විපරම් කිරීමට මේ වන විට කොළඹ ඇතුළු පළාත් රැසකින් නිලධාරීන් හාරදහසකට වැඩි පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ. ආයතනයෙන් පරිබාහිරව ගමට, නගරයට නව ඵලදායිතා සංකල්ප හඳුන්වා දීමට ද ලේකම්වරයා උත්සාහ දරන්නේය.
“ගම්වල අසරණ ජනයාගේ විදුලි පිරිවැය අඩු කිරීමට වගේම වර්තමානයේ විශාල ඛේදවාචකයක් වෙලා තියෙන කසළ කළමනාකරණයටත් අපි ඵලදායිතා සංකල්ප හඳුන්වා දෙමින් සිටිනවා.”
“අපි සමාජීය මෙහෙවර සංකල්පය යටතේ සංකල්ප රාශියක් හඳුන්වා දුන්නා. ඒ යටතේ තමයි පැල්පත්වල ජීවත්වන්නන්ට ‘හිසට සෙවණක්’ සංකල්පය ගෙනාවේ. තව ‘නෑගම් යෑම’ සහ ‘බදාදා දින සංග්‍රහය’ විශේෂ සංකල්ප දෙකක්.. නෑගම් යෑම යටතේ අපි ක්‍රියාත්මක කරන්නේ අපේ සේවකයන්ගෙන් රුපියල් 100 බැගින් එකතුකොට අන්ත අසරණ දුගී පවුලකට ද්‍රව්‍යමය සේම මූල්‍යමය පරිත්‍යාගයක් කිරීම. ඒ වගේම පුවත්පත් දැන්වීම් පළකොට පරිත්‍යාගශීලීන්ගෙන් උදවු ලබාගෙන අසරණ පවුල් වෙනුවෙන් උදවු කිරීම. ‘බදාදා දින සංග්‍රහය’ සංකල්පයෙන් වෙන්නෙ මහජන දිනය යෙදී තිබෙන බදාදා දිනට අපේ සේවය ලබා ගැනීමට පැමිණෙන අය වෙනුවෙන් කෑම බීමෙන් සංග්‍රහ කිරීම” මේ සියලු සමාජීය සත්කාරයන් අතර උසස්ම සත්කාරය හිසට සෙවණක් සංකල්පය බවද ප්‍රාදේශීය ලේකම්වරයා කීවේය.
වර්තමානයේ රටේ පවතින සියලු සමාජ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට රජයකට පමණක් තනිව කළ නොහැකි බව සත්‍යයයි. චන්දන මහතා ඇතුළු සෙවණගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක පිරිස සෙස්සන්ට ද හොඳ ආදර්ශයකි.