
සාධාරණ තොග කඩේ
එක්තරා නගරයක තොග බඩු කඩයක් තිබේ. එය හිමි මුදලාලි ගේ නිවෙස ඇත්තේ ඊට කිලෝ මීටර් ගණනක් දුර ගමක ය.
පසුගිය දවසක ඒ ගෙදර සාංඝික දානයක් පැවැත්විණි. ඒ වෙනුවෙන් හාමුදුරු දස නමක් ද වැඩම කර සිටිය හ.
දන් වැළඳීමෙන් ඉක්බිති නායක හාමුදුරුවෝ පුණ්‍යානුමෝදනාවක් පැවැත්වූහ.
එහි ආරම්භය මෙසේ විය.
‘කරුණාරත්න මුදලාලි අපේ ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්මයෙක්. ඔහුෙග තොග බඩු කඩේ තියෙන්නෙ අපේ පන්සලට එහායින්. හැබැයි මේ කඩේ නිතර නිතර වහලයි තියෙන්නෙ. සතියකට දින හතරයි වෙළඳාම් කෙරෙන්නෙ. එහෙම කෙරෙන්නෙත් දවසකට වරුවයි.
දවසක් මං මුදලාලිගෙන් ඇහුව ඇයි එහෙම කරන්නෙ කියල. එතකොට මුදලාලි දීපු උත්තරේ මොකක් ද දන්නවද? මෙන්න මේකයි.
“අනේ හාමුදුරුවනේ, මම දවස පුරා ම කෙඩ් ඇරගෙන හිටියොත් ටවුමෙ අනිත් කඩවල වෙළෙඳාම අඩු වෙනව. එතකොට ඒව පවත්වගන්ඩ බැරුවෙනව. ඒ හින්දයි නිතර - නිතර මේ කඩේ වහන්නෙ. කොහොම වුණත් මට ලැබෙන ආදායම හොඳට ම ඇති. ඒගොල්ලොත් පවතින්ඩ එපායැ”
මේ කියන වෙලාවේ මුදලාලි ගේ මුහුණ පොඩි දරුවකු ගේ මෙන් පහන් වී යන හැටි මම දිටිමි.
ඒ තොග බඩු කඩය ගැන මම ද දනිමි. බොහෝ විට කඩය වසා දමා ඇති බැවින් පාරිභෝගිකයන් ආපසු හැරී යනු ද මා දැක ඇත.
කිතලහිටියාව බෝධිවංශාරාමාධිපති හලාවත පළාතේ උප ප්‍රධාන සංඝ නායක ඇළබඩගම විමලසාරි හාමුදුරුවන් ගේ ඒ ප්‍රකාශයෙන් පසු මට මේ මුදලාලි ගැන පැහැදීමක් ඇති විය. එය හරියට ජාතක කතාවක් කියවා ලද චිත්ත ප්‍රීතියට සමාන ය.
මේ කඩය පිහිටා ඇත්තේ යක්විල නගරයේ ය. මුදලාලි ජීවත් වන්නේ හැඟව කියන ගමේ ය.
පරගම්මන එච්.ඒ. නන්දසුමන මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
පුද බිමක ලද සතුට
ඒ සෝමාවතී පුද බිමයි.
ඇවිදීමෙන් මහත් සේ වෙහෙසට පත්ව සිටි අසූ එක් හැවිරිදි මම තුරු සෙවණක් යට තිබූ ගල්බැම්මක හිඳ සිටියෙමි.
කෙමෙන් විඩාව මඟ හැරිණ.
මම හිස ඔසවා බැලුවෙමි.
පහන් පූජාව පිණිස ගොස් සිටි මගේ ගෙදර ඇත්තෝ පෙනෙන්නට නොවූ හ.
වයස අවුරුදු විසි පහක තරමේ තරුණියක් මදෙස බලා සිටියා ය. ඇය සිටියේ මා හිඳ සිටි ගල් බැම්මට මඳක් ඉදිරියෙන් තිබූ ගල් බැම්මක් මත ය.
මම ඈ දෙස හොඳින් බැලුවෙමි. කිසියම් පුරුදු ගතියක් එහි විය. එහෙත් වියපත් මට ඉන් එහාට මතකය යවා ගැනීම අපහසු විය.
මෙසේ ටික වෙලාවක් ගත විය.
ඇගේ සැමියා යැයි සිතිය හැකි තරුණයෙකුත් ඇගේ නැන්දණිය යැයි සිතිය හැකි කාන්තාවකුත් ඈ ළඟට ආහ. ඇය හුනස්සෙනන් නැඟී සිටියා ය. ඇය ඔවුන් සමඟ යන්නට හදනවා යැයි මට සිතිණ.
ඇය ඉදිරියට පියවරක් නොතබා යළි හැරී මා දෙස බලා අනතුරුව ඇගේ සැමියාගේ කනට කර රහසක් කීවා ය.
වහා එදෙස හැරී බැලූ තරුණයා මා ඉදිරියට ආයේ ය.
‘සර්, සර් බිංගිරියෙ ඉස්කෝලෙ ඉගැන්නුවද?’
මම තරමක් පුදුම වීමි.
ඔහු මදෙස වුවමනාවෙන් බලා සිටියේ ය.
‘ඔව්. ඇයි පුතා? ඔයා ඒ දවස්වල ඉගෙන ගත්තෙ කොයි පන්තියෙ ද?’
‘සර්, මම නෙමේ. අර මගෙ නෝනා සර්ගෙන් හයේ පන්තියෙදි ඉගෙනගෙන තියනවලු.’
මම වහා ඈ දෙස බැලුවෙමි. ඇය ද අප දෙස බලා සිටියා ය.
මම ඇයට සිනාසුණෙමි. ඇය වහ වහා මා ඉදිරියට ආවා ය.
‘සර්, ඒ දවස්වල සර්ගෙ පන්තියෙ හිටියෙ මර බයේ. සර් පන්තියට එනකොට අපි ගැහෙනවා. සර් ඒ තරමට වසයි. සර්ගෙන් අපි ඉගෙන ගත්තෙ ජීවන කුසලතා. අදත් සර්ව දකින කොට මට බය හිතුණා. සර්ව දැක්ක ගමන් ඇඳිනගත්තට සර් ළඟට එන්ඩ බය හිතුණා. ඒක අර පරණ බය. ඒ නිසයි මම මහත්තය එනකල් බලා හිටියෙ.’
ඇය මට දණ නමා වැන්දාය. ඒ දුටු ඇගේ සැමියා ද එපරිද්දෙන් ම මට වැන්දේ ය.
මම ඔවුනට ආසිරි පැතුවෙමි.
‘සර්ට බුදු සරණයි! අපි යන්නං’ දෙදෙනා මගෙන් සමුගත්හ.
මගේ ගෝලයන් ලක්දිව පුරා ම විසිරී සිටිති’යි යන සතුට මගේ හද සන්තානයේ ඉතිරී ගියේ ය.
බිංගිරියේ කොස්වත්තේ විශ්‍රාම ලත් ආචාර්ය, සාම විනිසුරු ඩී.එන්. දිසානායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.