මැණික් ගඟේ කිඹුල් සුද්දේ | Page 2 | සිළුමිණ

මැණික් ගඟේ කිඹුල් සුද්දේ

 කිඹුලන් නැති කිරීමට නම් ගඟට කැළි කසළ දැමීමත් නැවැත්විය යුතුයි

ශ්‍රී ලාංකිකයන් මෙන්ම ලොව සිටින බැතිමතුන් රැසකගේ ගෞරව ආදරයට පාත්‍ර වු කතරගම දෙවියන් වැඩ සිටින කතරගම දේවාලයත් කිරිවෙහෙරත් අෂ්ට ඵල බෝධියත් අප රටේ ජනයාගේ උතුම්ම වූ පුජනීය වස්තුවකි. කතරගම වන්දනාවට කාල වකවානුවක් නොමැතිතරමින් සැමදාමත් පුද බිම බැතිමතුන්ගෙන් පිරී ඉතිරේ. කතරගම වන්දනාවේ එන බැතිමත්හූ දුරාතීතයේ සිට වන්දනාවට පෙර මැණික් නදියෙන් හිස් සෝදා නා පේවී පුද පූජාවනට එක්වීම සිරිතක් ලෙස සිදු කරති. නමුණුකුල කන්දෙන් ආරම්භ වී කතරගම දේවාලයේ පැන් පහසුව සපුරාලමින් අෂ්ට ඵල බෝධියේ නානුමුරයට පැන් ලබා දෙමින් කතරගමට පැමිණෙන දහස් සංඛ්‍යාත වූ බැතිමතුන් පිරිසකගේ පව් කුණු නිමල දියෙන් සෝදා පිරිසුදු කිරීම මැණික් නදියෙන් වසර සිය දහස් ගණනක සිට සිදු වූවකි. මීට අමතරව කතරගම ඇතුළු අවට ගම් කීපයක ජනයාගේ ජල අවශ්‍යතා සපුරාලමින් යාල වන උද්‍යානයේ වන සතුන්ගේද පිපාසය සංසිඳුවමින් මෑතක් වනතුරු නිසොල්මනේ මුහුදට ගලා ගිය සුන්දර මැණික් නදිය අද අසුන්දර වී ගොසිනි.

අප මාතර නිල්වලා ගඟ ගැන අසා තිබේ. නිල්වලා ගඟේ නෑම මෙන්ම සියලු කටයුතු කවුරුත් සිදු කරන්නේ සීරුවෙනි. දැන් බොහෝ දෙනෙක් නිල්වලා ග‍ඟේ නෑම තබා අසලකටවත් යෑමට බියක් දක්වති. ඊට හේතුව නිල්වලා ගඟේ ගැවසෙන කිඹුලන් හා මිනිසුන් උන්ගේ ගොදුරු බවට පත්වීමය. වසර කීපයක පටන් මැණික් ගඟට ද ඒ සන්තෑසියම අත්ව තිබේ. මැණික් ගඟේ දිය නෑ බොහෝ දෙනෙක් කිඹුලන්ගේ ගොදුරු බවට පත් වූ පුවත් රැසක්ම පසුගියදා අපට අසන්නට ලැබිණි. වසර දහස් ගණනාවක් පුරා මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වු මැණික් ගඟට අද වනවිට කුඩම්මාගේ සැලකිල්ලකට ලක්ව පවතී.

අතීතයේ කුඩා මසුන් හා මැණික් මෙන් දිදුලන විවිධ හැඩයේ ගල් දිස් වූ මැණික් ගඟේ අද වනවිට තැනින් තැන දැකිය හැක්කේ කුඩා ඔරු මෙන් දිස්වෙන කිඹුලන්ය. නැත්නම් අසූචි මිශ්‍ර අපද්‍රව්‍ය කානු මැණික් ගඟට මුදා හරිනු ලබන ස්ථානයි. නැත්නම් තැනින් තැන දමා ඇති කැළි කසළ ගොඩවල්ය. මුදල් ඉපයීම පමණක් පරමාර්ථ කරගෙන සිටින කතරගම ඇති රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අද කතරගම මැණික් ගඟට සිදුව ඇති විපත පිළිබඳ කිසිදු සොයා බැලීමක් සිදු කර නොමැත.

කතරගම දේවාලයේ සිදු කරන චාරිත්‍ර රැසකට මැණික් ගඟ දායකවේ. නානුමුර පූජාව සිදු කරනුයේ මැණික් ගඟේය. ඇසළ මංගල්‍ය අවසන් කර දිය කැපීමද සිදු කරනුයේ මැණික් ගඟේ ජවමාලි තොටුපොළේදීය. අතීතයේ දී අද මෙන් ජල සම්පත් මණ්ඩල නොතිබුණු කතරගමට පැමිණි බැතිමතුන් ආහාර පිළියෙල කරගත්තේ මැණික් ගඟේ වැල්ලේ හිඳිමින්ය. පඬුරු සෝදා දෙහි ගා දිය නෑවේ මැණික් ගඟේ දිය ප්‍රයෝජනයට ගනිමිනි. අදටත් කතරගම ජලසම්පත් මණ්ඩලය ජල සැපයුමට ජලය ලබාගනු ලබන්නේ කතරගම මැණික් ගඟෙනි.

කලක් කතරගම වැව් කීපයක පමණක් දැකිය හැකි වූ කිඹුලන් අද වනවිට මැණික් ගඟේ දැකිය හැක්කේ මිනිසුන් විසින් සිදු කරන ලද පරිසර විනාශ හේතුවෙනි. කතරගම මැණික් ගඟ වසරකට කීප වතාවක් පිටාර ගලා යමින් ගඟේ ඉවුරු තුළවූ කැළි කසළ පිරිසුදු වූ අතර සුදු වැලි තලා පහළට ගලාවිත් සුදෝ සුදු වැලි තලා ස්වාභාවිකව හටගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී රත්නායක මහතා පැවසුවේ,

අද මැණික් ගඟට සිදුව ඇති ඉරණම පිළිබඳ රටේ වගකිවයුතු අංශ නිහඬව සිටීම නිසා මැණික් ගඟ දැඩි පාරිසරක හානියකට ලක්ව ඇති බවයි.

“අතීතයේ කතරගම දේවාලය හැරුණු කොට වෙනත් දේවාල මැණික් ගඟේ ඉහළ තිබුණේ නැහැ. මැණික් ගඟ ආසන්නයේ කවුරුත් ගෙවල් හැදුවේ නැහැ. මැණික්ගඟට ගමේ අය ආදරය කළා. දේවාලය ඉහළ කොටසේ අඩුම තරමේ රෙදිවත් සේදුවේ නැහැ . දෙවියන්ට පැන් ගන්න තොටුපොළට දේවාලයට වගේම ගමේ අය ගෞරව කළා.

අද මැණික් ගඟ ඉහළ විශ්‍රාම ශාලා හදලා හෝටල් හදලා ඒවායේ ජරාව මැණික් ගඟට දමනවා. මේ වතුර තමයි දේවාලයේ දෙවියන්ට ගත්තේ බෝදිය නානුමුරයට ගත්තේ. ඒ නිසා අපි ගඟ අයිනේ දෙවියන්ට පැන් ගන්න ස්ථානයක් ඉදි කළා. දැන් පිරිසුදු පැන් දෙවියන්ට ගන්නවා. කතරගම දෙවියන්ට අයත් මැණික් ගඟේ ඉහළ දැන් පිටස්තර අය ඉඩම් අරන් දේවාල හදලා තියෙනවා. ඉස්සර මේවා තිබුණේ නැහැ. දේවාලයට පහළින් ඇති ස්ථානවල තමයි මිනිස්සු නෑවේ. අද සියල්ලම වෙනස් වෙලා. දෙවියන්ට අයත් ගඟ අපිරිසුදු කිරීම දේව උදහසට ලක්වීමක්. විනාශවෙමින් යන මැණික් ගඟ රැක ගැනීම ජාතික වගකීමක්”

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රි අභිනවාරාමාධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණ තිස්ස හිමියෝ කතරගම මැණික් ගඟට අද සිදුව ඇති හානිය පිළිබඳ නිතර වගකිවයුත්තන් දැනුම්වත් කිරීමට කටයුතු කරති. උන්වහන්සේ ද මෙහි දී අදහස් දැක්වූහ. “අද මැණික් ගඟේ කිඹුලන් ඉන්නේ මිනිස්සු කරපු වැරැදි නිසා. ගඟ රක්‍ෂිත එළිපෙහෙළි කරලා වන විනාශ කරනවා. ඒක නිසා ගං ඉවුරු සෝදා පාළුවෙලා. ගං ඉවුරුවල වළවල් හැදිලා කිඹුලන්ට ඉන්න පුළුවන් වතාවරණයක් හැදිලා තියෙනවා. මෙයට අමතරව ප්‍රදේශයේ සමහර වැව් පද්ධති ගොඩවෙලා කිඹුලන්ට ඉන්න බැහැ ඒක නිසා උන් ගඟට එනවා. ගඟ උඩ කොටසේ හා පහළ කොටසේ වැලි ගොඩ දැමීම නිසා ගඟහෑරෙනවා. ඒක නිසා කිඹුලන්ට ඉන්න පරිසරය හැදුණා. දැන් කිඹුලන් ගඟේ යාවජීව සමාජිකයන් වෙලා”

කතරගම මැණික් ගඟේ අංක 02 පාලම අසල තිබූ කඩා දැමූ පැති බැම්ම නැතිවීම නිසා වැලි තට්ටු පහළට යමින් පැවතුණා. ඒක නිසා මම වාරි මාර්ග අමාත්‍ය ගාමිණි විජයමුණි සොයිසා මහතාට කියලා මේ කැඩුණු බැම්ම හැදුවා. දැන් ටික ටික වැලි තට්ටු හැදෙනවා. තව අවුරුදු දෙක තුනක් යනකොට නැවත ගඟ තිබුණු විදිහට හැදෙයි කියලා මම විශ්වාස කරනවා යැයිද උන්වහන්සේ පැවසූහ.

මැණික් ගඟ ගැන කතරගම ජනයා පවසන්නේ වෙනත් අදහසකි. “කතරගම මැණික් ගඟේ වැලි තලාවේ තමයි ඉස්සර කාවාඩි මඩු තිබුණේ. ඉස්සර බැතිමතුන් කතරගම ආවාම මැණික් ගඟේ දරුවන් නාවලා පිරිසුදු කරනවා. ඉස්සර ගඟේ සුදු වැලි තලා ගොඩක් තිබුණා. වැල්ලේ සමහර අය නිදා ගන්නවා. කොණ්ඩ කැපුවා. දෙහි ගාලා නෑවා. දෙවියන්ට අයත් පූජාවල් තිව්වා. කතරගම මැණික් ගඟ ඒතරම් ලස්සනට තිබුණා. 2012 දී අංක 02 පාලම අසල ගං ඉවුරේ බැම්ම කැඩුවට පස්සේ ආරක්‍ෂක බැම්ම ගඟට වැටුණා. ඒ බැමි අස්සේ කිඹුල්ලූ නවාතැන් ගත්තා. අදටත් ඒ බැමි ඇතුළේ තමයි කිඹුල්ලු ඉන්නේ.”

කතරගම මැණික් ගඟේ පසුගිය වසරවල බොහෝ දෙනකු කිඹුලන්ට හසුවූ අතර තුවාල ලද පිරිසද කකුල් අහිමි වූ පිරිස ද බොහෝය. මෙයට අමතරව මැණික් ගඟට දිය බීමට එන ගවයෝද නිතර කිඹුලන්ට ගොදුරු වෙති.

මෙම සිදුවීම් මාලාවෙන් පසුව වනජිවි නිලධාරීහූ විශේෂ යකඩ කූඩු කීපයක් තබා කිඹුලන් ඇල්ලීම ආරම්භ කළහ. ඒ අනුව අල්ලා ගත් කිඹුලන් උඩවලව ප්‍රදේශයට රැගෙන යෑමට කටයුතු යෙදිණි. පසුව මෙය උගුල්වලට අවශ්‍ය කුකුළු මස් සැපයීමට ප්‍රතිපාදන නොමැති බව පවසමින් අතරමඟ නැවතිණ. අනතුරුව මාධ්‍ය මගින් කතරගම කිඹුලන් ගැන නැවත තොරතුරු අණාවරණය වීමත් සමඟ පසුගිය සතියේ සිට කිඹුලන් ඇල්ලීමට වනජිව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින් නියෝග කරනු ලැබ තිබේ. මේ අනුව නැවත මේ දිනවල කිඹුලන් ඇල්ලීිම සිදු කර තිබේ. ඒ අනුව පසුගිය 15 වැනි දින කතරගම දිය කැපුම්වැල්ලේ දී කිඹුලකු අල්ලා උඩවලව ප්‍රදේශයේ වැවකට මුදා හැරීමට වනජිවි නිලධාරීහූ කටයුතු කළහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඌව පළාත් බාර වනජීවි සහකාර අධ්‍යක්‍ෂ එම්. එච්. චිත්‍රසේන මහතා පැවසුවේ වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් මත අඛණ්ඩව කිඹුලන් ඇල්ලීම සිදු කරන බවය. මේ වනවිට වනජිවි නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව කිඹුලන් ගැවසෙන ස්ථාන අධ්‍යයනය කර ඇති බැවින් කිඹුලන් කොටු කර ගැනීමට හැකි වනු ඇති බව ද චිත්‍රසේන මහතා පවසයි.

එසේම වාරි මාර්ග අමාත්‍යංශයේ ද අවධානය යොමු කර කතරගම මැණික් ගඟේ කැඩී ගිය ආරක්‍ෂිත බැමි නැවත සකස් කර බැතිමතුන්ට ආරක්‍ෂිතව දිය නෑමට ස්ථාන සකස් කරදිය යුතුය. ඒ අතරම මැණික් ගඟට දමන කැළි කසළ ඉවත් කිරීමට කතරගම ප්‍රාදේශීය සභාව ක්‍රියා කළ යුතු අතර මේ වන විට මැණික් ගඟ ආසන්නයේ සෙල්ල කතරගම සිට කතරගම නාගහවීදිය ගම දක්වා අති විශාල ලෙස ඉදි කර ඇති හෝටල් ඇතුළු නවාතැන් පොළවලින් මැණික් ගඟට කැළි කසළ බැහැර කිරීම ද නැවැත්විය යුතුය. 

Comments