
ලොව පුරා අවධානය දිනා ගනිමින් ලෝක කිරුළක් තම උපන් බිමට ගෙන දෙන්නට සමත්වන්නකු රටකට බිහිවන්නේ කලාතුරකිනි. එවැනි කිරුළක් ළා බාල වියේදීම සිය මවු බිමට දිනා දෙන්නට හැකි වූ දහසය හැවිරිදි සෙයිනබ් සවුමි ලාංකීක චෙස් ක්‍රීඩාවට පසුගියදා නොමැකෙන සිහිවටනයක් තබන්නට සමත් වූවාය.
2017 ලෝක ආධුනික චෙස් තරගාවලියේ කාන්තා අංශයෙන් අන්තර් ජාතික ශ්‍රේණිගත ලකුණු 1700 -2000 කාණ්ඩයේ ලෝක ශූරතාව දිනා ගත් තවමත් පාසල්වියේ පසුවන ඇය මහනුවර උසස් විදුහල් සිසුවියකි. දැනුම ප්‍රගුණ කළ හැකි ක්‍රීඩාවක් වන චෙස් ක්‍රීඩාවේ එය යථාර්ථයකම කරමින් සවුමි මෙවර සාමාන්‍ය පෙළ ඒ සාමර්ථ්‍ය අටක් හා බී සාමර්ථ්‍යක් ලබා ඉහළින්ම සමත් වූවාය. ඇය අධ්‍යාපනය හා ක්‍රීඩාව සමබරව පවත්වා ගනිමින් මෙරට වත්මන් සිසු පරපුරකට බොහෝ ආදර්ශ එක්කරමින් සිටින්නීය.
ලෝක චෙස් සම්මේලනයේ සංවිධානයෙන් ඉතාලියේ පැලපොටෝහිදී අප්‍රේල් 01 දා සිට දින දින නවයක් පුරා පැවැති මෙම තරගාවලියට ලොව පුරා රටවල් පනහක දෙසිය පනහකට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් එක් වූහ. ප්‍රධාන කාණ්ඩ තුනක් ඔස්සේ කාන්තා පිරිමි ලෙස පැවැති මෙහි ලෝක ශ්‍රේණිගත ලකුණු 1700-2000 කාණ්ඩයේ ශූරතාව දිනා ගනු ලැබුයේ සවුමිය.
ඇය පවුලේ එකම දියණියයි. මවු පිය දෙදෙන වෛද්‍ය රසායනාගාර සේවාවේ නිරතහ. ඔවුහූ ළා බාල වියේ සිටම සිය දියණිය චෙස් ක්‍රීඩාවට යොමු කිරීමට කටයුතු කළහ.
“මට අවුරුදු හයේදී විතර තමයි මුලින්ම චෙස් ක්‍රීඩාවට යොමු වුණේ. එහෙත් ඉන් තවත් අවුරුදු හයක් හතක් යන තුරු දිස්ත්‍රික් මට්ටමින් එහා කිසිම ජයග්‍රහණයක් ලබා ගැනීමට මට හැකිවුණේ නැහැ. ඒ කාලයේ මං කිසිම ලෙසකින් කලකිරුණේ නැහැ. මගේ ඉලක්කයට එන්න දවසින් දවස එය මට ධෛර්යක් වුණා. චෙස් ක්‍රීඩාවට එක්ව අවුරුදු හතකට විතර පස්සේ තමයි ජාතික මට්ටමේ ජයග්‍රහණයක් මට හිමි වුණේ. ඉන්පසු තමයි අන්තර්ජාතික තරගාවලි නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණේ. 2012 දී සමස්ත ලංකා පාසල් චෙස් තරගාවලියේදී මට දෙවැනි ස්ථානයක් හිමිවුණා. එය තමයි ජාතික මට්ටමින් මට හිමිවුණු පළමු ජයග්‍රහණය. ඉන්පසු 2013 වසරේදී ආසියානු පාසල් චෙස් තරගාවලියේදී මට අනුශූරතාව හිමි වුණා.”
2013 වසරේදී සමස්ත යොවුන් චෙස් තරගාවලියේදී ද ශුරතාවක් හිමිකරගත් ඇය 2015 දී ජාතික යෙවුන් චෙස් තරගාවලියේ දෙවැනි අනුශූරතාව දිනාගත්තාය. මෙම වකවානුවේදීම ජාතික ඒ කණ්ඩායමට තේරී පත්වීමට වාසනාව ලද සවුමි 2016 දී අසියානු යොවුන් චෙස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හත්වැනි ස්ථානය දිනා ගත්තාය. 2016 දී ජාතික යොවුන් චෙස් තරගාවලියෙහි ශූරිය වූ ඇය ජාතික කාන්තා තරගාවලියෙහිද ශූරතාව දිනා ගත්තාය. පසුගිය වසරේ දීම අස්බජාන්හිදී පැවැති ලෝක ඔලිම්පියාඩ් චෙස් තරගාවලිය නියෝජනය කළ සවුමි එම වසරේදීම රුසියාවේ පැවැති ලෝක යොවුන් චෙස් තරගාවලියටද සහභාගි වූවාය. එමෙන්ම මෙම වසරෙහි නේපාලයේ පැවැති ආසියානු කලාපීය චෙස් තරගාවලියෙහි සය වැනි ස්ථානය දිනා ගැනීමට ඇය වාසනාව ලැබුවාය.
මෙයට දින කිහිපයකට පෙර ලෝක චෙස් ක්‍රීඩාවේ අවධානය ශ්‍රි ලංකාව දෙසට යොමු කිරීමට සමත් වු දහසය හැවිරිදි මෙම දැරිය එම තරගාවලියේදී තමන් මුහුණ දුන් කාණ්ඩයේ සිටි ළ බාලම ක්‍රීඩිකාවයි. අඹතැන්න කහවත්ත ප්‍රදේශයේ පදිංචි සවුමි පළමු ශ්‍රේණියේ සිට මහනුවර උසස් බාලිකාවේ අධ්‍යාපනය හදාරයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන ඇය ක්‍රීඩාව නිසා කිසිවිටෙකත් අධ්‍යපනය අතපසු කර නොගන්නීය.
“ලෝක ඔලිම්පියාඩ් හා ලෝක යොවුන් චෙස් තරගාවලි සඳහා පසුගිය වසරේදී මං ඉදිරිපත් වුණා. මම එම තරගාවලි අවසන් කර මෙරටට පැමිණියේ සාමන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට හරියටම මාස දෙකක කාලයක් තිබියදීයි. ඔක්තෝබර් 05 දා මෙරටට පැමිණ මම දෙසැම්බර් 06 දා සාමන්‍ය පෙළ සදහා මුහුණ දුන්නා. ඉතිරිව තිබූ මාස දෙකෙහි අතපසු වූ අධ්‍යපන කටයුතු සියල්ල සාර්ථකව නිමා කර විභාගයට සැහැල්ලුවෙන් මුහුණ දුන්නා”.
ඉතාලියේ පැවති ලෝක ශූරතා තරගාවලියේදී රුසියාව, කසකස්ථානය, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, ඉරානය හා කොලොමිබියාව යන රටවල් සවුමි මුහුණදුන් කාණ්ඩයේ ප්‍රභල අභියෝග වුවද එම රටවල් අබිබවා සිය මවුබිමට මෙම ලෝක කිරුළ ගෙන එන්නට ඇය සමත් වූවාය.
චෙස් ක්‍රීඩාවේ සවුමිගේ ආරම්භක පුහුණුකාරිය වන්නේ ඇගේ මවගේ සොහොයුරියක වන රිස්ලා රහමතුල්ලාය. අනතුරුව ඇය ඉන්දියන් ජාතික පුහුණුකරුවකු වන ටී.ජේ.සුරේෂ් වෙතින් කෙටි කාලීන පුහුණුව ලැබුවාය. සවුමිගේ චෙස් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය උදාවන්නේ මෙරට ජාතික චෙස් ශූරයකු ලෙස තවමත් එම කිරුළ රැකගෙන සිටින රජීන්ද්‍ර කඵගම්පිටිය ඇගේ පුහුණුකරු බවට පත්වීමත් සමඟය. ඉන්පසු ඇය යායුතු ඉලක්ක කරා නිවැරැදිව පුහුණුවීම් කළ අතර මේ සඳහා සිය පියා වන සවුමි ෆාරුක් හා ෂර්මිලා මුස්තාලා ඇයට මනා ශක්තියක් විය.
මෙරට අනෙකුත් ක්‍රීඩාවනට ලබා දෙන අනුග්‍රහය මඟ පෙන්වීම කාලය චෙස් ක්‍රීඩාවටද ලබා දෙන්නේ නම් මෙයට වඩා ලෝක ශූරතා මෙරටට දිනා දීමට හැකි වෙතැයි සවුමි පවසන අතර චෙස් ක්‍රීඩාවේ යා හැකි ලොව ඉහළම ස්ථානය වන ''විමෙන් ග්‍රෑන්ඩ් මාස්ටර්වරියක'' වීම ඇගේ බලාපොරොත්තව බවද පැවසුවාය. අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ජීව විද්‍යා අංශය හදාරා ඉන් ඉහළම ස්ථානයකට යෑම ඇගේ බලාපොරොත්තු වේ.
සනත්ලා මුරලිලා වාස්ලා එක්ව ලෝ කිරුඵ මෙරටට ගෙන එන විට මෙන්ම සංගලා ඩිල්ෂාන්ලා මහරුෆ්ලා එක්ව ලංකා නාමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ඉහළටම ගෙනයන විට නඟන ඔල්වරසන් ජයඝෝෂා හා අත්පොළසන් සවුමිලා ලෝ කිරුළ මවුබිමට ගෙන එද්දී ද නැඟෙන්නේනම් කොතරම් අගනේද? ඒ අන් සියල්ලටම වඩා ක්‍රීඩාවෙන් ලබා දෙන ජාතියේ එකමුතුකමේ පණිවුඩය ලොවටම පෙන්වා දිය හැකි නිසාවෙනි.