අරපිරිමැස්මෙන් යුතු ලලනාව සිරි නි‍වස සුර විමනක් කරයි | සිළුමිණ

අරපිරිමැස්මෙන් යුතු ලලනාව සිරි නි‍වස සුර විමනක් කරයි

අප ජීවත් වන ‘සමාජය‘ නමැති පුළුල් ආයතනයේ කුඩාම ඒකකය පවුලයි. එම පවුලේ පැවැත්ම රඳා පවතින්නේ අඹු-සැමි යුවළ මතයි. අඹු-සැමියන් දෙදෙනාගේ එකතුව සිදු වන්නේ දේව කැමැත්තක් අනුව හෝ වෙනත් කිසිම අදෘශ්‍යමාන බලවේගයකට අනුව හෝ නොවේ. එය සම්පූර්ණයෙන්ම මිනිස් ක්‍රියාවලියක් තුළින් සිදු වන්නකි.

තරුණියක හා තරුණයකු අතර එකමුතුකම පුළුල් සම්බන්ධකම හෝ දැනුවත්කම මත හෝ ප්‍රාර්ථනා මත මේ යුග දිවියේ එක් වීම සිදු විය හැකියි.

විවාහයක් යනු ස්ත්‍රී-පුරුෂ දෙදෙනකු අතර සිදු වන පෞද්ගලික කාර්යයක් පමණක් නොවන බවත් අප මෙහිදී සිහි තබාගත යුතු වනවා. එය සමාජයටද අයත් කාර්යයක්. සමාජයට අලුත් සාමාජිකයන් බිහි කරන්නේ විවාහය තුළින්. මේ අනුව මනා අඹු-සැමි සබඳතාවක් පවත්වාගැනීම කෙරෙහි කාන්තාවට විශාල වගකීමක් පැවරී තිබෙනවා. ඒ අනුව එය යහපත් සමාජයක පදනමක් වනවා. නිරවුල්, ප්‍රසන්න පවුල් ජීවිතයක් ගෙඩනැගීම සඳහා අවශ්‍ය වැදගත් කරුණු රාශියක් බුදු දහමින් පෙන්නුම් කර තිබෙනවා.

මේ සම්බන්ධව හොඳම උදාහරණයක් බුදු රජාණන් වහන්සේගේ ජීවමාන කාලයෙන් ලබා දෙන්නට පුළුවන්. බුදු රජාණන් වහන්සේ වනගතව භාවනානුයෝගීව සිටින භික්ෂූන් වහන්සේ හමුවට වැඩම කරන අවස්ථාවල භාවනානුයෝගී භික්ෂූන් වහන්සේගෙන් භාවනාව සිදු කරන ආකාරය පිළිබඳව පළමුව විමසන්නේ නැහැ. උන් වහන්සේ පළමුව භික්ෂූන් වහන්සේගේ සුවදුක් විමසනවා.

කච්චි කමනීයං - කච්චි යාපනීයං (සැප සනීප කොහොමද?)

සමග්ගා (සමඟියෙන් ඉන්නවද?)

සම්මොදමානා (හිනාවෙලාද ඉන්නේ?)

අවිවද මානා (සිත් රිදෙන වචන කතා නොකළාද?)

ඛීරෝදකි භූතා (කිරි සහ වතුර වගේ සිටිනවාද?)

අඤ්ඤ මඤං පිය චක්ඛූහි සම්පස්සන්තං විහරථ (එකිනෙකා කෙරෙහි පිය ඇසින් බලනවාද?)

මේ සඳහා ලැබෙන පිළිතුරු වලින්ම භික්ෂූන් වහන්සේගේ භාවනාව කොතරම් දුරට සාර්ථක වී ඇත්ද යන්න ගැන අදහසක් ඇති කරගන්න පුළුවන්. මේ ආකාරයෙන්ම විවාහක අඹු-සැමියන් අතර පැවැත්මක් තිබෙන්නේ නම් ඒ පැවැත්ම බිඳහෙළෙන්නේ නැහැ. ඒ සඳහා වැඩි වගකීමක් කාන්තාව විසින් දැරිය යුතු වනවා. නිවෙසකත් අඹු-සැමියන් දරු-දැරියන් කිරි සහ ජලය මෙන් සිටිනවා නම් එකිනෙකා කෙරෙහි පිය ඇසින් බලනවා නම්, සමඟියෙන් සිටිනවා නම්, සිනාවෙන් කටයුතු කරනවා නම්, සිත් රිදෙන වදන් කතා නොකරනවා නම් එහි සමඟිය හා සාමය පවතිනවා.

අද ඇතැම් විට පවුල්වල දික්කසාද ඇති වන්නට එක වචනයක් පවා හේතු වී තිබෙනවා. මේ තත්ත්වය විශේෂයෙන්ම කාන්තාව විසින් අවබෝධ කරගත යුත්තේ පවුලක වැඩි බරක් ස්වාමියා විසින් ගෙන යන නිසයි. ඇතැම් විට වර්තමානයේ ආර්ථික ශක්තිය ඇති කිරීමට භාර්යාව විසින් වැඩි දායකත්වයක් දරනවා වන්නට පුළුවන්. එහෙත් පුරුෂයා සලසන ආරක්ෂාව ඉහළ මට්ටමක තිබෙන බව ඉතා පැහැදිලියි. ඒ වගකීම මිල කරන්න බැහැ. ඒ බව කාන්තාව විසින් අවබෝධ කරගත යුතු වෙනවා. එමෙන්ම නිවෙසක සිරියාව ඇති ක‍ෙන ඉතාම වැදගත් ස්ථාන දෙකක් වන්නේ නිවෙසේ සාලය සහ මුළුතැන්ගෙයයි. මුළුතැන්ගෙයි සුපිරිසුදුකම කාන්තාව විසින්ම රැකගත යුතු වනවා. එයින් අදහස් කරන්නේ අනෙක් අයට එහි පිරිසුදුකම රැකගැනීමේ වගකීමක් නැති බව නොවෙයි. සියලු දෙනා විසින්ම එහි පිරිසුදුකම රැක දීමේ ප්‍රධාන මෙහෙයුම කාන්තාව විසින් සිදු කළ යුතු බවයි.

එසේම නිවෙසේ සාලයද ඉත‍ෙ වැදගත් ස්ථානයක්. එහෙත අද නිවෙසේ සාලය යොදාගන්නේ මධුවිත පානයට, එසේත් නැත් නම් සම්ඵප්‍රලාප හෙවත් අපේ රටේ වැඩි වශයෙන් භාවිත වන වචනයෙන් පවසනවා නම් ‘ඕපාදූප‘ කතා කිරීම සඳහායි. නිවෙසක සාලය සුද්‍ෙපවිත්‍රව තබාගෙන, එය තබගත යුත්තේ පවුලේ යම් යම් ගැටලු කතා කිරීමට, ඥාති මිත්‍රාදීන් පැමිණි විට ඔවුන් හා සුහදව කතා කරන ස්ථානයක් ලෙසටයි.

මේ ආකාරයට දිවිය සකස් කරගැන්මට කාන්තාව වඩාත් කැප වීමෙන් කටයුතු කළ යුතු වන්නේ ඈත අතීතයේ සිටම කාන්තාව නිවෙසේ කාර්යයන් වැඩි වශයෙන් සිදු කළ නිසා සහ ස්වාමියා වැඩි වශයෙන් නිවෙසින් බැහැරව කටයුතු කළ නිසයි.

නිවෙසක් සුරවිමනක් කරගැනීමේ කාර්යය කාන්තාව විසින් සිදු කළ හොත් පවුල් සංස්ථාව නිසි අයුරින් පවත්වාගැනීම අසීරු නැහැ. බුදු රජාණන් වහන්සේ විසින් ස්වාමියා සහ භාර්යාව ගෙවන ජීවිතය අනුව ඔවුන් වර්ග 4කට බෙදා වෙන් කර තිබෙනවා.

ඒ අනුව

1. මළ මිනියක් - දෙවියකු හා විසීම

2. මළමිනියක් - දෙවඟනක හා විසීම

3. මළ මිනියක් - මළ මිනියක් හා විසීම

4. දෙවඟනක දෙවියකු හා විසීම

මෙයින් අවසන් වශයෙන් දක්වා ඇති දෙවඟනක් දෙවියකු හා විසීම මඟින් පමණක් සාර්ථක දිවියක් ඇති කර ගැනීම සිදු කළ හැකි වනවා. විශේෂයෙන්ම මල මිණියක් හා විසීම යන්නෙන් අදහස් කරන්නේ එම නිවෙස් නිරතුරවම ශෝක වීම, හැඬීම්, වැලපීම්, කන්දොස්කිරියා ආදිය තිබෙන බවයි. ඒ තත්ත්වය මත නිවෙසක යහපැවැත්ම රඳා පවත්වාගන්න බැහැ.

එසේම සිගාලෝවාද සූත්‍රයේ පැහැදිලිවම දැක්වෙනවා භාර්යාව විසින් කටයුතු කළ යුතු කරුණු 5ක් සම්බන්ධයෙන්. ඒ කරුණු අතර කර්මාන්ත මනා කොට ඉටු කිරීමෙන්, පිරිවර ජනයාට මනා ලෙසින් සංග්‍රහ කිරීමෙන්, ස්වාමියා නොඉක්මවා හැසිරීමෙන්, රැස් කර ඇති දේ ආරක්ෂා කිරීමෙන් හා සියලු කටයුතුවල අනලස්ව යෙදීමෙන් යන්න දැක්වෙනවා.

එහෙත් අද සමාජයේ සම තැන ඉල්ලා සිටින කාන්තාවන් බොහෝ අවස්ථාවලදී තම කාර්යයන් නිසි පරිදි ඉටු නොකර තම අයිතීන් පමණක් ඉල්ලා සිටිනවා නම් එයින් ඇති වන්නේ ගැටලුවක් නැත් නම් ගැටුමක් පමණයි. තම කාලය නින්දට වැය කරනවා නම්, අනවශ්‍ය කතාබහට වැය කරනවා නම් එමෙන්ම ටෙලි නාට්‍ය සඳහා වැය කරනවා නම් එතැන යහපත් යුග දිවියක් රඳා පවත්වාගැනීම අසීරුයි.

විශාඛාවට තම පියා විසින් ලබා දුන් අවවාද 10ක් ගැන දැක්වෙනවා. විශේෂයෙන්ම ‘ගෙයි ගිනි පිට නොදෙන්න‘, ‘පිට ගිනි ගෙට නොගන්න‘ වැනි කරුණු වලින් දක්වා ඇත්තේ ගෙදර ඇතිවන කිසිදු ප්‍රශ්නයක් බාහිර පාර්ශ්වයන්ට නොයවා තමන් විසින්ම නිරාකරණය කර ගත යුතු බවයි. එමෙන්ම අනෙක් අයගේ ප්‍රශ්න තම නිවෙසට නොගෙනා යුතු බවක්ද ඇතුළු වටිනා උපදේශ දැක්වෙනවා. මේ නිසා කාන්තාවන්ට බුදු දහමින් යහපත් ජීවිතයක් ගත කළ හැකි ආකාරයත් විශේෂයෙන්ම යහපත් ආර්ථිකයක් ගොඩනංවාගත හැකි ආකාරයත් ගෙන හැර දක්වා තිබෙනවා. මේ තත්ත්වය අවබෝධ කර නොගැනීමයි අද ගැටලුව වී ඇත්තේ.

අද ඇතැම් ස්වාමියන් වෙනත් කාන්තාවන් කෙරෙහි ඇදී යෑමට බොහෝ විට බලපා ඇත්තේ තම භාර්යාවන්නේ නිසි පරිදි අවශ්‍ය සැලකිල්ල නොලැබීම බවයි පෙනී යන්නේ. මේ නිසා පෙර සඳහන් කළාක් මෙන් යුග ජීවිතයේ ආරක්ෂාව කෙරෙහි කටයුතු කිරීමට කාන්තාව තම යුතුකම් හැම විටම නිසි පරිදි ඉටු කළ යුතු වනවා. එවිට තමන්ට ඉටු විය යුතු යුතුක්ම ඉටු වනු ඇති. අද සමාජයේ බොහෝ අවස්ථාවල ආර්ථිකය රඳා පවත්වා ගැනීමට බොහෝ කාන්තාවන්ට හැකියාවක් නැහැ.

සිගාලෝවාද සූත්‍රයේ පැහැදිලිව දක්වා තිබෙනවා ආර්ථිකය පවත්වාගත යුතු ආකාරය ගැන. විශේෂයෙන්ම තමන්ට ලැබෙන ධනය කොටස් 4කට වෙන් කර එම ධනය වැය කළ යුත් ආකාරය දැක්වෙනවා. අද කාලයේ ඒ ආකාරයෙන්ම කොටස් 4ක් වෙන් කර පරිභෝජනය කිරීම අපහසුයි. එසේ වුවත් හැකි පමණ අය වැය සමව පවත්වා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. එසේ නොවුව හොත් සිදු වන්නේ තමන් හැම විටම ණය කරුවකු වීම පමණයි.

බුදු දහමේ දැක්වෙන ආර්ථික ප්‍රතිපත්ති සැම විටම තමන්ට ගැටලුවකින් තොරව දිවි ගෙවීමටයි ගෙන හැර දක්වා ඇත්තේ

ඒ අනුව ‘යථා ලාභ, යථා බල, යථා සත්තාය‘ යන කරුණු තුන ඉතා වැදගත් වනවා.

‘යථා ලාබ‘ යනුවෙන් දැක්වෙන්නේ ලැබෙන දේ නැත්නම් තම ආදයම ගැන අවබෝධයක් ලබාගැනීමයි. ‘යථා බල‘ යනුවෙන් දැක්වෙන්නේ තමන්ට ලැබෙන ආදායම අනුව හැකි ආකාරයෙන් භාවිත කිරීමයි. ‘යථා සත්තාය‘ යනුවෙන් දැක්වෙන්නේ ලැබී ඇති ආකාරයට ආහාරපාන ගැනීමට කටයුතු කිරීමයි. මෙයින් ඇත්තෙන්ම ලබා දී ඇති ආදර්ඹය නැත්නම් මඟ පෙන්වීම වන්නේ තමන්ට ලැබෙන ආදායම අනුව වියදම් සීමා කරගෙන කටයුතු කර ගත යුතු බවයි. අද සමාජයේ තිබෙන ජීවන රටාව අනුව ණයක් නොගෙන ජීවත් වීම අසීරුයි. එසේ වුවත් ණයක් වුවත් ලබා ගත යුත්තේ තමන්ට එම මුදල යළි ගෙවීමට ඇති හැකියාව ගැන සිතා බලා ඒ අනුව කටයුතු කිරීමෙන් පමණයි. එහි මූලිකත්වය ගෙන කටයුතු කළ යුත්තේ කාන්තාව විසින්. තමන්ට අවශ්‍ය දේ නොව අත්‍යවශ්‍ය දේ තමන්ට වියදම් කළ හැකි ආකාරයෙන් වියදම් කිරීමයි මෙහිදී කළ යුත්තේ. කාන්තාව ආර්ථිකය හසුරුවන්නිය විය යුතු වනවා. ඇඳුම් පැලඳුම් මිල දී ගැනීමේදී මෙන්ම අනෙකුත් භාණ්ඩ මිල දී ගැනීමේදී පවා තමන්ට අතේ ඇති මුදලට මිස අධික ලෙසින් ණය වී එම කටයුතු සිදු කරනවානම් එතැන ආර්ථිකය පමණක් නොව සාමය පවත්වා ගැනීමටවත් බැහැ.

මේ කරුණු සිතා බලා කටයුතු කරනවා නම් නිවෙසක කාර්යාලයක ගමක මෙන්ම රටක පවා ආර්ථිකය ශක්තිමත් කර ගැනීම අසීරු නැහැ. නිවෙසක ආර්ථිකය කාන්තාව විසින් සකස් කරගන්නවා නම් එයින් බාහිරව සිදු වන සියලු අභියෝගයන්ට මුහුණ දීමට පවුලකට අසිරු වන්නේ නැහැ.

 

Comments