නෙළුම්විල | සිළුමිණ

නෙළුම්විල

 ගුණසිංහ හෙට්ටිආරච්චි

හොඳ මිනිස්සු

නවාතැනට යනු පිණිස බසයකට ගොඩවීමි.

බසයෙන් බැස බලන විට ජංගම දුරකථනය නොවී ය. ‍‍

වහ - වහා නවාතැනට ගොස් නැති වූ දුරකථනයේ අංකයට ඇමතුමක් ගත්තෙමි.

නාද විය. එහෙත් පිළිතුරක් නොවී ය.

නැවත නැවත ද ඇමතුම් ගතිමි.

පිළිතුරක් ලැබිණ. ඒ බස් රියේ රියැදුරු මහතාගෙනි.

බස් රියේ අංකය ද එහි හැඩහුරුව ද කී ඔහු පසු දා උදේ හතට පිටකොටුවේ බස් නැවතුම්පළට පැමිණ එය ලබා ගන්නා හැටියට කීවේ ය.

මම එසේම කළෙමි.

ටිකකින් බසය පැමිණියේ ය.

මම රියැදුරු හමුවීමි.

ඔහු හිනැහී මට මගේ ජංගම දුරකථනය දුන්නේ ය.

පිටකොටුව - අතුරුගිරිය (138) මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍යාමලී බස් රථයේ රියැදුරු ජයනාත් මහතාණනි, කොන්දොස්තර හර්ෂ මහතාණනි ඔබ වැනි මිනිසුන් රටට තවතවත් ඇවැසිය.

(ලේක් හවුසියේ දැන්වීම් අංශයේ නුවන් ජයරත්න මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.)

 

සැහැල්ලු රසය

කිසියම් කටයුත්තකට මම නගර වීදියක දවාලේ ඔබ - මොබ ගියෙමි.

දෑත් දිගු කරමින් සිටියේ යාචකයෙකි.

මම ඔහුට යමක් දුනිමි. සෙස්සන් ද අතරින් පතර දෙනු දිටිමි.

හැන්දෑවේ ද මට ඒ වීදියේ ම යෑමට සිදු විය.

වීදිය හිස්ව තිබිණ.

වීදි පහන් දැල්වෙන්නට වූයේ ය.

එවිට මම ඔහු දිටිමි. ඒ දහවල් මා දුටු යාචකයා ය. ඔහු වීදි පහන් කණුවක් යට හරි - බරි ගැසී හිඳ සිටියේ ය.

ඔහු සිය ලෝගුවෙන් යමක් ඉහළට ඇද ගත්තේ පරිස්සමිනි.

එහි වැඩි හරිය හිස් ය. මදුවිත ටිකක් ඉතිරිව තිබිණි.

උඩ බලා එය මුව තුළට හලා ගත් හෙතෙමේ බත් මුලක් දිග හැර ගත්තේ ය.

බත ප්‍රණීත බව දැනිණ. එහි සුවඳ ද ආයේ ය.

ඔහු අහර බුදින්නට වූයේ ය.

අහා! එබඳු සැහැල්ලුවක්! එබඳු සතුටක්! එබඳු නිස්කාන්සු විඳ ගැනීමක්!

මට මා ගැන දුක සිතිණ.

මම ඔහු තුළින් ඒ සියල්ල විඳ ගතිමි.

හලාවත, ඇම්. ඩබ්ලිව්. අනුර ශාන්ත පීරිස් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

 

සහෝදර එකමුතුව

අපේ කඩමණ්ඩිය ජනාකීර්ණය. බඩුවක් මිලදී ගැනීමට වෙලා ගත වෙයි. එනිසා මම පා පැදියේ නැග තරමක් එහා ඇති කඩයකට යමි.

ඒ කඩයේ නැති දෙයක් නැත.

තදබදයක් නැත. මුදලාලී තරුණයා මිත්‍රශීලිය. මිල ගණන්ද සාධාරණය. රස්තියාදුවක්ද නැත

පා පැදියෙන් යන එන නිසා ඇගට-පතට ද ව්‍යායාමයක් ලැබෙයි.

මේ ළඟ දී දවසක ද මම එහි ගියෙමි. බඩු ටික අරගෙන ආපසු හැරෙන ගමන් එළවළු බක්කිය දෙස බැලුණේ නිකමටය. එහි හොඳින් මේරූ වට්ටක්කයක් විය. එය කප්පවා කැල්ලක් මිලදී ගැනීමේ ආසාවක් ද ඇති විය.

මම හැරී මුදලාලි තරුණයා දෙස බැලුවෙමි. ඔහු මගේ හිත කියෙව්වා සේ විය.

‘ෂෝක් වට්ටක්කේ. මහත්තයත් කෑල්ලක් අරගෙන ගිහිං කාලා බලන්නකෝ’. ඔහු කීවේ තවත් අයකුගේ බඩු දෙන ගමන්ය.

‘එහෙනං කපන්ඩකෝ බලන්ඩ’ මම කීමි.

‘හරි කපමු’ ඔහු ඊළඟ තැනැත්තාගේ ද බඩු ටික දී තියුණු පිහියකින් වට්ටක්කයේ කෑල්ලක් කපා අතට ගත්තේය. එය තද කහ පැහැයෙන් යුතු විය. වටේ කොළ පැහැ තීරයක් විය.

‘මේ ඇතිනේ මහත්තයො’

‘ඇති ඕක කිරන්ඩකො’

හොඳින් පිරුණ මලු දෙකක් දෑතින් ඔසවාගෙන ඇය කඩ දොර පෙනී සිටියේ මෙවිටය.

ඇගේ මුහු‍ණේ වුයේ සැහැල්ලු හිනාවකි. ඇඟ-පත ලොකුවට පෙනුණ ද මුහුණ් ළාබාලකම කියා පෑවේ ඇයට එතරම් වයසක් නැති බවය.

‘ආ ගෙනාවද? චුට්ටක් ඉන්ඩකෝ’යි කී මුදලාලි තරුණයා, මගේ ගනුදෙනුව ඉවර කර ඈ දෙස හිනාවෙන් බලා‘ දෙකේම ඒවද?’ යි ඇසුවේය.

‘ඔව්’ කියන්නාක් මෙන් ඇය හිස සැලුවාය.

ඇගේ අත වූ පළමු මල්ල ගත් ඔහු එය බක්කියට හැලුවේය. ඒ අලුත්ම අලුත් මිරිස් තොගයකි. ඊළග මල්ල ද එසේම හැලු ඔහු මිරිස් තොගයම කිරා දාසයට පොඩ්ඩක් විතර වැඩියි. දාසයට දාන්ඩ’දැයි ඇගෙන් ඇසුවේය. ඇය පෙර පරිදිම හිස සලා කැමැත්ත පළ කළාය. අනතුරුව ඔහු ලියා දුන් තුණ්ඩුව අතේ මිරිකා ගත් ඇය ‘ඉවරවෙනකොට කෝල් එකක් දෙන්ඩ’යි කියමින් හිස් මලු දෙක ද ගෙන වහා ආපසු හැරුණාය.

ඇය කෙළින්ම ගියේ පාර අයිනේ නතර කර තිබු කොළ පැහැ අලුත් ත්‍රිරෝද රියකටය.

එහි තරුණයෙක් හිඳ සිටියේය. තවත් මලු දෙකක් ද එහි විය.

‘හරි යං’ ඇය කීවාය. එකෙනෙහිම රිය පණ ගැන්වී ඉදිරියට ගියේය.

‘මහත්තයා දැක්කා නේද? ’මුදලාලි තරුණයා සුපුරුදු හිනාවෙන් යුතුව මා ළඟට ආවේය.

‘ඒක තමයි මං බැලුවේ’යි කී මම පැහැදිලි නැති යමක් තේරුම් ගන්නට උත්සාහ කරමින් ඔහුගේ මුහුණ නිරීක්ෂණය කළෙමි.

‘ඔය දෙන්නා නගායි අයියයි. පුංචි කාලෙම තාත්තා නැතිවෙලා. අම්මත් රට ගිහිල්ලා ඇවිල්ලා නැහැ. ආච්චි ළඟ තමයි හැදිලා තියෙන්නේ. පොඩි කාලෙ ඉඳලා හුඟක් දුක් විඳලා තියෙනවා. ඉගෙන ගන්නත් දක්ෂයි. ඉස්කෝලෙ යන ගමන් ඔය දෙන්නා ආච්චිත් එක්ක ගෙදරට වුවමනා එළවළු වත්තෙම වවාගෙන තියෙනවා. ඒ පුරුද්දට දිගටම වවනවා. තමන්ගේ උත්සාහයෙන් තමයි ඔය මට්ටමට ඇවිත් ඉන්නේ. මෙදා සැරේ වත්ත පුරාම වවලා තියෙන්නේ මිරිස්. මුලින් මටයි බඩු දැම්මමේ. මට වැඩි හින්දා මම තව කීප තැනක් අල්ලලත් දුන්නා. කලින් බස් එකේ තමයි අරන් ආවේ. ළඟදි තමයි ඕක ගත්තේ. හරි ධෛර්යවන්ත ළමයි. ඒ ගොල්ලෝ කරන වැඩේ රටේ කාටත් හොඳයිනෙ. ගන්න අයටත් වස විස නැති අලුත් එළවළුක් ලැබෙනවා. ඒ ගොල්ලන්ට ආදායමකුත් එනවා. මටත් හොඳයිනේ’. ඔහුගේ කතාවෙන් මම අලුත් වීමි.

(අනන්‍යතාව සඟවා තබාගනු කැමති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.)

Comments