මලක සුවඳේ සැඟවුණු කඳුළු | සිළුමිණ

මලක සුවඳේ සැඟවුණු කඳුළු

 ටෙක්ලා කාරියවසම්

ඩමළුවට ගිහින් එක මලක් පූජා කරලා එන්න එපා කියලා අපේ පැරැණියන් කියනවා. එක මලක් පූජා කළා ම සසරෙ තනි වෙනවා ලූ. සසරෙ තනි වූණාම බැඳීම් නැති වන නිසා නිවන සාක්ෂාත් කරගන්න එය පහසුවක් වේවි කියලා ඔබට හිතෙයි. පිරිස් බලය කියන්නේ සම්පතක්. බුදු රජාණන්වහන්සේ කියන්නේ පිරිස් බලය කියන සම්පත හිමි අයෙක්. ජාතකට්ට කතාකරුවාට අනුව නම් බුදුන්වහන්සේ උපන් සෑම භවයකම පිරිස් සම්පතට හිමිකම් කියූ අයෙක්. ඉතිං මොකටද අපි සසරෙ තනිවෙන්නේ මල් පොකුරක් පූජා කරමු.

රුවන් ගේ පවුල දැක්කහම මට මල් පොකුරක් නොවෙයි මල් කඩේම පූජා කරන්න හිතුණා. ඔහුගේ නිවෙස පිහිටලා තියෙන්නේ තිසා වැව ළඟ. එය කාමර දෙකක පුංචි ගෙයක්. එත් ඒ නිවහනේ නිවී සැනසිල්ලේ ගතකරන්න කාලයක් රුවන්ට නැහැ. එයාගේ බිරිය යශෝධාටත් නැහැ. අවුරුදු හතරක පුතෙකුයි, වයස මාස හයක පුතෙකුයි එයාලට ඉන්නවා. ඒ දරුවන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ලී කණු හතරක් හිටවලා ටකරන් තහඩු දෙකක් දා හෙවිලි කළ වහළයක් යට එලූ පැදුරක. වහළයට ටකරන් දෙක තුනක් අඩු වූණාට ප්‍රශ්නයක් නැහැ. මේ දිනවල අනුරාධපුරයට වහින්නේ නැහැනේ. ඒ පුංචි මඩුවට සතියකට රුපියල් දෙසිය හතළිහක් ගෙවන්න මල් විකුණන අයට සිද්ධ වෙනවා. ඒවගේ කඩයක් නැත්නම් ඉතින් නෙළාගන්න මල් විකුණන එක ලේසි නැහැ.

රුවන් මල් නෙළන්නේ බසවක්කුලම වැවේ. දවසට හොඳ ආදායමක් ගන්න නම් පාන්දර පහටවත් වතුරට බහින්න ඕනැ. නැත්නම් මල් කඩාගන්නවා බොරු. අනුරාධපුරේ වැව්වල පිපෙන මල් මේ අයට රත්තරන් වගේ වටිනවා. ඔවුන් ජීවිකාව කර ගන්නේ මේ මල්වලින්.

සාමාන්‍යයෙන් සතියේ දවසකට මලක් මල් වෙළෙඳන්ට ලැබෙන්නේ රුපියල් තුනකට විතර. එත් පෝය වෙන කොට මල් මිල ඉහළ යනවා. මල් හිඟ සමහර කාලයකට මල් නෙළන්න යන මිනිසුන් මලක් වෙළෙඳුන්ට දෙන්නේ රුපියල් දහයකට. මල් ගණන් කාලයට මල් තුනක් එකට තියලා රුපියල් පනහකට විකුණනවා. එහෙම කිව්වේ යශෝධා. ඇය රුවන්ගේ බිරිය. රුවන් නෙළන මල් විකුණන්නේ යශෝධා.

කොහෙමද මල් විකුණලා ජීවත් වෙන්න තරම් ආදායමක් ලැබෙනවද කියලා මම යශෝධගෙන් ඇහුවා.

“ ඔව් ” ඈ දෙසැරයක් නොහිතා කිව්වා.

“සතියේ දවස්වලට රුපියල් පන්සියයක් දාහක් හොයාගන්න පුළුවන්. සති අන්තයේ කොහොමත් රුපියල් දෙදාහක් විතර හොයනවා. වෙසක් පෝයට නම් රුපියල් පහළොස් දාහක් විසිදාහක් විතර ඒ දවස් ටිකේ හොයාගන්න පුළුවන්. පොසොන් පෝයට තමයි අපිට හොඳ ආදායමක් ලැබෙන්නේ. එ්ත් ඉතින් මල් කඩා ගත්තොත් තමයි. නැත්නම් මල් සල්ලිවලට ගන්න වෙනවා. එතකොට මලකින් රුපියල් හයක් හතක් විතර ලාබයි.”

මල් කඩන රස්සාව කොහෙමද අහන්න මම රුවන් දිහාවට හැරුණා. එ්ත් මට එහෙම අහන්න හිතුණෙ නැහැ. රුවන් ලස්සනට හිනා වුණා. රුවන්ගේ වයස අවුරුදු තිහයි. අපොස සාපෙළ දක්වා පසල් අධ්‍යාපනය ලබලා ඉන්නේ. අවුරුදු දහසයේ ඉඳලා රුවන් මල් කඩන්න වැවට යන්නේ. වැවකට බහිනවා කියන එක ඔබටයි මටයි අරුමයක්, සතුටක්, සුවයක් එ්ත් රුවන්ට නම් එහෙම නැහැ. ඔහු හැමදාම වතුරට බහින්නේ උදේ පහට. දවල් වෙනකම්ම මල් කඩනවා. වෙසක් පොසොන් පෝයවලට මල් කඩන්න පාන්දරම යන්න ඕන. ඕළු මල් කඩන්නනම් පාන්දර හතරට වැවට බහින්න ඕනැ. නෙළුම් මල් කඩන්න නම් රෑ දෙකටවත් වතුරට බහින්න ඕනැ. ඉස්සෙල්ලා ගිය එක්කෙනා දිනනවා. මල් කඩන්නේ තරගයට වගේ. මල් පිපෙන්න ඉස්සෙල්ලා කඩාගෙන එන්න ඕනැ ගෙනැල්ලා වතුර බේසමක දාලා තියනවා.

රෑ දෙකට සිතල වතුර පිරුණු වැවකට බහින එක මට නම් හිතාගන්නත් බෑ. මම පාන්දර පහට කලින් නාලා තියෙන්නේ ජීවිතේටම දවස් දෙකයි. තව දවසක් නාලා බලන්න හිතෙනවා. එ්ත් කරවටක් වතුරේ ගිලිලා පැය ගණනක් ඉන්න එක හිතාගන්නවත් බැහැ. මල් කඩන්න ඔරුවලින් යන්නේ නැහැ. මල්කඩන්නේ ටියුබ් එකක බැහැලා. නෙගැඹුරු තැන්වල මල් නෙළන්න ටියුබ් එක ඕනැ නැහැ. මල් නෙළන එක අවධානයෙන් කරන්න ඕනෑ. වැවේ කිඹුලා කොහේ ඉන්නවද දන්නේ නැහැ. රුපියල් දහයක් දීලා මලක් ගන්න ගියහම අපේ මූණු ටිකක් කැතවෙනවා. එ්ත් මල් කඩන ඔවුන්ගේ ජිවිත මල් තරම් ලස්සන නැහැ. මල්වල වැටිලා තියෙන පිනි මල්වලට එක් කරන්නේ සුන්දරත්වයක්. එ්ත් මට නම් දැන් හිතෙන්නේ මල්වලට පිනි ඉහිලා තියෙන්නේ මල් නෙළන්නන්ගේ කඳුළුවලින් කියලයි. එ් නිසා මල් ගනිද්දි ගණන් අහන්න එපා කියලා මම මගේ හිතට තදින් අවවාද කර ගත්තා.

මල් කඩලා විකුණන විජිත සාලිය අපට හමු වුණෙත් අනුරාධපුරයෙදි. එයාගෙ මල් විකුණලා දෙන්න එයාට සහකාරියක් නැහැ. එයාටත් පුංචි කඩ පොඩ්ඩක් පූජා භූමියේ තියෙනවා. මම නොදන්න එයාගේ කළු මාමලා, ලොකු මාමලා, සීයලා ජීවත් වෙලා තියෙන්නෙත් මල් විකුණලා. විජිත මල් කඩන්න හොරොව්පතාන, කහටගස්දිගිලිය, රබෑව වගේ ඈතට යනවා. එයාගේ බයිසිකලයෙන්. පාන්දර හතරට විතර ගෙදරින් ගියහම දහවල් දෙක විතර වෙන කොට මල් නෙළාගෙන එනවා.

අනුරාධපුරේ වැව් තිබුණට, ඒ වැව්වල මල් පිපුණට හැම වැවකම මල් නෙළන්න බැරි බව මම දැනගත්තා. මාළු අල්ලන්න දැල් එළන වැව්වල මල් නෙළන්න බැහැ. දැල් එළන තැන්වල මල් ගලවා දමනවා. බැරිවෙලාවත් ගියොත් දැල ගන්න ආවා කියලා හොඳට ගුටි කන්නත් වෙනවා. මාළු අල්ලන අය ධීවර සංගම්වලින් වැව් බදු අරගෙන තියෙන්නේ. බදු ගත්ත අයට මුදලක් දීලා මල් තියෙන තැන්වලින් මල් කඩාගන්න පුළුවන්කම තියෙනවා. ගොවි සංගම් වැව් මල් කඩන්න බදු දෙනවා. බදු ගත්ත අය ඒ තැන්වල මල් කඩන්න දෙන්නේ නැහැ. ඒත් ඔවුන්ට යම් මුදලක් දීලා මල් කඩා ගන්න පුළුවන්. නැත්නම් ධීවර සමිතියට හෝ ගොවි සමිතියට අවශ්‍ය දෙයක් අරන් දීලා මල් කඩාගන්නත් පුළුවන්.

අපිට පේන්නේ මල් විකුණන තරුණියන්ගේ සොඳුරුබව විතරයි. එ්ත් මල් වෙළෙඳාම මහා පරිමාන ව්‍යාපාරයක් කරගත්තු අයත් ඉන්නවා. වැව් බදු අරගෙන මිනිස්සු දාලා මල් කඩලා වාහනවලින් රට පුරා අලෙවි කරන අයත් ඉන්නවා. ඔවුන් නෙළන මල් මහනුවර, කළුතර හා කැලණිය ආදී ප්‍රදේශවලට අලෙවි කරනවා. එක කොච්චර මහා පරිමාන ව්‍යාපාරයක් වුණත් මල් නෙළන්නන්ගේ ජීවිත දුක්ඛදායකයි. මල් විකුණන ලලනාවන්ගේ ලස්සන අව්‍යාජ හිනාව යට සැඟවී තියෙන්නේ ඒ දුකයි.

නෙළුම් මල් නැති කාලයට මානෙල් ඕළු සල්මල් ආදියටත් හොඳ ඉල්ලුමක් තියෙනවා.

“කඩා ගත්තට පස්සේ නෙළුම් මලක් දවස් දෙක තුනක් තියාගන්න පුළුවන්. ඕළු දවල් වෙද්දි මොට්ටු වෙනවා. ඊට පහුවෙනිදට පිපෙනවා තමයි. එත් මලේ නැවුම් බව නෑ”. එහෙම කිව්වේ සාලිය. තමන් නෙළන මල නැවුම්ව බැතිමතා අතට දෙන්න මල් නෙළා විකුණන අය කැමතියි. ඒ සඳහා ඔවුන් කරන්නේ මල් වතුරේ දාලා තියන එක. දිය යට ඉපදිලා දිය මතට ආව මලකට තව දවස් දෙක තුනක් වතුරෙ ඉන්න එක දුකක් නොවේ. එ්ත් වෙසක් පොසොන් පෝයට ඔබේ අතට මලක් දෙන්න රෑ දෙකට වතුරට බැස්ස එක නම් දුකක්ම තමයි. එහෙම බැලුවහම මලක් ඔයිට වඩා හුඟක් වටිනවා.

ඒකයි මම මගේ හිතට තරවටු කරගත්තේ මල් ගන්න ගණන් අහන්න එපා කියලා.

 

Comments