
* සමාජ අන්තර්ක්‍රියාව ප්‍රතිනිෂ්පාදනය නොවීම ශ්‍රී ලංකාවේ සමාජ ගැටලු කෙරෙහි බලපෑම් කරයි
* අනෙකාගේ හැඟීම් සිතිවිලි පිළිබඳ අවධානය යොමු කරන්න
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2014 -15 වාර්තාව මඟින් ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් ඉහළ අගයක් ගෙන ඇති බව වාර්තා කර තිබේ. ලංකාවේ සියදිවි නසාගැනීම් පිළිබඳ අධ්‍යයනයක යෙදුණු කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය තරින්දි උදලාගම පවසන්නේ ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් පහළ ගොස් ඇති බවයි. ඒ අලළා කථිකාචාර්ය තරින්දි උදලාගම සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සැකැසණි.
ලෝකය විෂමය. මිනිස් සිත චංචලය. ක්ෂණයෙන් පීඩාවටද, වේදනාවටද පත් වන මිනිස් සිත සන්සුන් කරගැනීමට ආගම දහම උපයෝගී කරගත හැකිය. එසේ සිත පහසුවෙන් සන්සුන් කරගත නොහැකි පිරිස් ද සිටිති. ඔවුන් කෙරෙහි සමාජයේ විශේෂ අවධානය යොමු විය යතුය. එහෙත් වේගයෙන් වෙනස් වෙමින් පවත්නා ශ්‍රී ලාංකේය සමාජයේ අනෙකා කෙරෙහි අවධානය යොමු කිරීම අවම වෙමින් පවතී. ඒ අවම වීම හේතුවෙන් ඉඳ-හිට සිදු වන සියදිවි නසාගැනීම් සංඛ්‍යාව වුවද ඉක්මනින් සමාජගත වේ. සමාජගත වන මේ මරණ පිළිබඳ තොරතුරු දෙස විමසිලිමත්ව බැලීමෙන් අවධාරණය වන්නේ සාක්ෂරතාව ඉහළ රටක් වන ශ්‍රී ලංකාවේ උගත් පිරිස්ද සියදවි නසාගැනීමට යොමු වන බවයි. පසුගිය සති දෙක තුළ අනුරාධපුරයේ රෝහලේ තිස්එක් හැවිරිදි වෛද්‍යවරියක හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විසිහතර හැවිරිදි උපාධිධාරිනියක සියදිවි නසාගත් බවට පළ වූ වාර්තාවලින් පැවසෙන්නේ ඒ සත්‍යතාවයි.
ක්ෂණික තීරණ මත සිදු වන මේ තත්ත්වය ඉතා කනගාටුදායකය. ඉන් අහිමි වන ජීවිත ස්වල්පය වුවද සංවර්ධනය වෙමින් පවත්නා රටක් වන අප රටට බොහෝ වටී. එබැවින් සියදිවි නසාගැනීම් හේතුවෙන් අහිමි වන ජීවිත සංඛ්‍යාව අවම කරගැනීමට සමාජයක් ලෙස අප අවධානය යොමු කළ යුතු වේ.
ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් අවම වුවද තමන්ට ශාරීරිකව හානි පමුණුවාගැනීම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව මහාචාර්ය රවී හංවැල්ල වාර්තා කොට තිබේ. එහෙත් ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් පර්යේෂණයක් තවමත් ශ්‍රී ලංකාවේ සිදු වී නැත.
සියදිවි නසාගැනීම තනි සංසිද්ධියක් නොවේ. එය එක් විශාල ප්‍රශ්නයක කොටසක් පමණි. කෘෂිකාර්මික - ධීවර සමාජයක් ඇති ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා ගෝලීයකරණය වැනි සංකල්ප හේතුවෙන් සමාජ තත්ත්වය වෙනස් වෙමින් පවතී. ඒ හේතුවෙන් ඥාතිත්වයට නව අර්ථකථනයක් ලැබෙමින් තිබේ. මිනිස් අදහස් නූතන වී ඇත. මේ හේතුවෙන් සමාජ සබඳතා මත ගොඩනැගෙන අන්තර්ක්‍රියා පාලනය කරගැනීමට (තමන් කරනු ලබන ක්‍රියාව මගින් අනෙකාට වන බලපෑම කෙරෙහි අවධානය යොමු කිරීමට) නොහැකි වීම හේතුවෙන් මිනිස් සබඳතා වන ඥාතිත්වය හා බැඳෙන අඹු-සැමි සබඳතා, මාපිය-දූදරු සබඳතා, ගුරු-සිසු සබඳතා බිඳ වැටේ.
ශ්‍රී ලංකා සමාජය නූතනත්ත්වය කරා යන ගමනේදී සිදු වන සංස්කෘතික වෙනස් වීම් සමඟ එකිනෙකා හා සහයෝගයෙන් හා සාමූහිකත්වයෙන් ජීවත් වීමට අවශ්‍ය ව්‍යූහය ගොඩනැඟී නොතිබීම හේතුවෙන් මානව බැඳීම් ලිහිල් වෙමින් තිබේ. රට තුළ භෞතික සංස්කෘතික සංවර්ධනය සඳහා අවශ්‍ය අන්තර්ක්‍රියාව ශ්‍රී ලාංකේය සමාජය තුළ නිෂ්පාදනය වී නොතිබීම හේතුවෙන් පුරවැසියන්ගේ ජීවිත ගැටලුකාරී වීම හා පුද්ගල හැඟීම් ප්‍රකාශ කරගත නොහැකි වීම හරහා ලජ්ජාව, භය, තමන් අවතක්සේරු වීම යන හැඟීම් මත පුද්ගලයා සියදිවි නසාගැනීමට කැමැත්ත ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාව වැනි රටකදී සියදිවි නසාගැනීමට උත්සාහ කරන්නන් සත්‍ය වශයෙන්ම සියදිවි නසාගැනීමට උත්සාහ කරන්නේද යන ගැටලුව පැනනඟින බව විෂයය පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන්නන්ගේ අදහසයි. එබැවින් වර්තමානයේ සමාජ විද්‍යාත්මකව සියදිවි නසාගැනීම එනමින් හඳුන්වන්නේ නැත. ඒ වෙනුවට ‘සියදිවි ගැනීමට කැමැත්ත පළ කිරීම‘ ලෙස එම ක්‍රියාව සමාජ විද්‍යාත්මකව හඳුන්වනු ලැබේ.
සියදිවි නසාගැනීමට ශ්‍රී ලාංකිකයන් යොමු වන්නේ බහුල වශයෙන්ම සන්නිවේදන ගැටලු හේතුවෙන් බව පර්යේෂණ මගින් අනාවරණය කොට ගෙන ඇත. සන්නිවේදන ගැටලු හේතුවෙන් පවුලේ පිරිස් හෝ හිතවත් පිරිස් බිය කිරීම, තමන් වෙත අවධානය යොමු කරවාගැනීම සඳහා ගන්නා උත්සාහයක් ලෙස හෝ හැඟීම් ප්‍රකාශ කිරීමට නොහැකී වීම, ලජ්ජාව, බිය, හෝ සංස්කෘතික හේතූන් මුල් වී මීට පුද්ගලයා පෙලඹේ. මේ තත්ත්වය ‘සියදිවි නසාගැනීමට කැමැත්ත පළ කිරීම‘ ලෙස සමාජ විද්‍යාඥයන් හඳුන්වන්නේ එබැවිනි.
ශ්‍රී ලංකාවේ දී සිදු වන සියදිවි නසාගැනීම් ‘චේතනාව‘ තුළ පමණක් සිදු නොවේ. එබැවින් මේ තත්ත්වය සෞඛ්‍ය අංශය අවධානය යොමු කරන ආකායේ මානසික සෞඛ්‍ය ගැටලුවක් ලෙස හඳුන්වා දීමට නොහැකි බව මේ කාරණය පිළිබඳ ලංකාවේ පර්යේෂණ සිදු කරන පර්යේෂණ කණ්ඩායම විසින් හඳුනාගෙන ඇත.
මෙරට සියදිවි නසාගැනීම පිළිබඳ පැහැදිලි දත්ත නැත. ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමේ ප්‍රබල චේතනාවෙන් ලිපියක් ලියා තබා දිවි හානි කරගත් බව දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. සියදිවි නසාගැනීමට කැමැත්ත පළ කරන්නන් වැඩි දෙනකු ඒ සඳහා යොමු වන්නේ ‘කවුරුන් හෝ තමන් බේරාගනු ඇත‘ යන හැඟීම සමඟ බව පර්යේෂකයන් අවධාරණය කර තිබේ.
ගැහැනු දරුවන් සියදිවි නසාගැනීමට කැමැත්ත ප්‍රකාශ කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේදී පර්යේෂණ කළ අමෙරිකානු මනෝවිද්‍යාඥවරියක වූ Jeanne Marecek විසින් දියණිවරුන් හා මවුපියන් අතර ඇති වන ගැටුම් හේතුවෙන් දියණිවරුන් සියදිවි නසාගැනීමට උත්සාහ කරන බව අනාවරණය කරගෙන තිබේ. මෙහිදී සංස්කෘතික හේතූන්, දෙමවුපියන් හා කතාබහ කිරීමට (සන්නිවේදනයට) ඇති අපහසුතා, තමන් කෙරෙහි අවධානය යොමු කරවා ගැනීම, හා සිදු කෙරෙමින් පවත්නා දෝෂාරෝපණ තවදුරටත් වළක්වාගැනීම අපේක්ෂිත බවය. එහෙත් කිසි විටෙකත් සත්‍ය වශයෙන්ම දිවිය තොර කරගැනීම ඔවුන්ගේ අපේක්ෂාව නොවන බව හඳුනාගෙන තිබේ.
මානවවංශ ක්‍රමවේදය භාවිත කරමින් හලාවත ගම්මාන ආශ්‍රය කොට ගෙන සියදිවි නසාගැනීම් පිළිබඳ ග්‍රන්ථයක් රචනා කළ Tom Widger ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තිකයන් ‘දුක‘ හේතු කොට ගෙන සියදිවි නසාගැනීමට කැමැත්ත පළ කරන බව අවධාරණය කර තිබේ. ඒ පවුල් සබඳතා තුළදීය. ඒ පූර්ණ වශයෙන් සියදිවි නසාගැනීමේ අපේක්ෂාවෙන් නොවේ.
උතුරු මැද පළාතේ වස පානය කිරීමෙන් වන මරණ අවම කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා SATRAC ආයතනය එක්ව වස තැන්පත් කිරීමට ගොවියන් සඳහා සුදුසු පෙට්ටියක් නිර්මාණය කර තිබේ. ඒසඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහාය ලබා දී ඇත.
ඒ හැරුණු විට 1995-96 කාලයේ සියදිවි නසාගැනීම් අවම කිරීමට පත් කළ කොමිසම මගින් අතිශයින් මිනිස් ජිවිතයට හානිකර කෘෂිරසායන ලංකාවට ගෙන ඒම නවතා ලූ අතර, වර්තමානනයේ රට තුළ භාවිත කෘෂිරසායන ක්ෂණිකව මරණය ළඟා කර නොදෙන බැවින් මිය යන සංඛ්‍යාව අඩු වී ඇත.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය රෝහල් වැඩිදියුණු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය ආදිය නිසා ලංකාවේ සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම් හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව අඩු වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව කුමක් කීවද ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් අවම වී ඇති බව ඒ පිළිබඳ ශ්‍රී ලංකාවේදී පර්යේෂණ කරන ආචාර්ය Dee Knipe සංඛ්‍යා දත්ත සහිතව අවධාරණය කර තිබේ. ඔහු එම වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යොමු කර ඇත. තවම ඊට ප්‍රතිචාර තවමත් ලැබී නැත.
සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම, කැමැත්ත ප්‍රකාශ කිරීම අවම කිරීම සඳහා වර්තමාන සමාජයේ වෙසෙන මිනිසුන් තමන් හා ගැටෙන අනෙකාගේ හැඟීම් පිළිබඳ අවධානය යොමු කළ යුතු වේ. තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අනෙක් පුද්ගලයන් භාවිත කිරීම, අනෙක් පුද්ගලයන් කෙරෙහි සංවේදි නොවීම හා අනෙකාගේ ජීවිත චර්යා පාලනයට පෙලඹීම හේතුවෙන්ද ඇතැම් විට මිනිස්සු සියදිවි නසාගැනීමට පෙලඹෙති.
සියදිවි නසාගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන හෝ සියදිවි නසාගන්නා පුද්ගලයා වර්තමානයේ නීතිය ඉදිරියේ වරදකරුවෙක් නොවේ. එහෙත් යම් අයකු සියදිවි නසාගැනීමට පෙලඹවීම, හෝ සියදිවි නසාගැනීමට පෙලඹෙන ආකාරයේ ශාරීරික මානසික පීඩා සිදු කිරීම හෝ සියදිවි නසාගැනීම කැමැත්ත ප්‍රකාශ කිරීමට සිත යොමු වන ආකාරයේ සමාජ වටපිටාවක් සැකැසීම දණ්ඩනීති සංග්‍රහය යටතේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. එබැවින් ඔබේ ක්‍රියාකාරකම්, හැසිරීම් ඔබ වෙසෙන සමාජයේ අනෙක් පුද්ගලයන් මානසිකව හෝ ශාරීරිකව හෝ සමාජීයව පීඩාවට පත් පත් නොකරන ඒවා විය යුතුය. එසේ නොවුව හොත් ඔබ නීතියෙන් වරදකරුවකු නොවූවද සමාජය ඉදිරියේ හා ඔබේ හෘදයසාක්ෂිය ඉදිරියේ වරදකරුවකු වනු ඇත.
සියදිවි නසාගැනීම් අවම කරගැනීම සඳහා සමස්ත සමාජයම කැප විය යුතුය. ඒ සඳහා කැමැත්ත පළ කරන්නකු කෙරෙහි වැඩි අවධානයක යොමු කිරීම, එවැනි අපේක්ෂා ඇතැයි වැටහෙන අයකු ළඟම ඇති රෝහලේ වෛද්‍යවරයකු වෙත යොමු කිරීම මඟින් ජීවිත ආරක්ෂාව සලසා දිය හැකිය.
යම් පුද්ගලයකු හට එවන් සිතිවිල්ලක් පහළ වේ නම් ළඟම ඇති රෝහලේ වෛද්‍යවරයා වෙත ගොස් තම ගැටලුව සාකච්ඡා කිරීම මඟින් සහනයක් සලසාගත හැකිය. මේ තත්ත්වය වළක්වාගැනීම සඳහා උපකාරක සේවා රැසක් රට තුළ ක්‍රියාත්මකය. ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ඔබට උපකාරි වන රජයේ ආයතන අතර වේ.
ටෙක්ලා පද්මිණී කාරියවසම්