
මා නොවෙයි පිංගුත්තර
සමාවෙයන් මට උදුම්බරා නුඹ
තනිකොට තැබුවට දිඹුල් ගසක් උඩ
මරුත්තු කරනට ඉඩ දුන්නෑ සිත
ශිල්ප සොඳින් කළ ආචාරින් ළඟ
පොපියන ඉඳුනිල් මැණිකක් විලසින්
රූපත් ශ්‍රීයෙන් ඔද වැඩි නුඹෙ මන
පැතුම් පුරන්නට හැකිවෙද සිතු ලෙස
යාවි ඇදිලා තැන් තැන්වල සිත
සසර කතර යන කෙටි මඟ වසලා
කටු අතු දැකලයි සසල වුණේ
ඒ අතු අරගෙන නුඹෙ රුව වැසුවට
සමාවෙයන් මට උදුම්බරා
කරගැට දෑතින් දාහය පිසිමින්
කටු කොහොලින් හැර පාරක් තැනුවට
පිංගුත්තරයෙක් වෙනවද ඒ ලෙස
සිනාසුණේ ඇයි ඔද වැඩිලා
වෛර කරන්නට මගෙ හිත ඉඩ නෑ
නුඹ ලත් ඒ ගැන දැනගන්නේ
ගෑනුන්ගේ රුව දුටුවිට ලොල් වී
අවල කෙළියෙ යන රජුනට නොව මා
නිවුණ සිතකටයි පාර සැදුවේ
හේරත් පලාපත්වල
එතරම් මිහිරි ය
වේගයෙන්
එනමුත් තාලයට
නටන තුරු ලතාවන්
කිවිසන පුංචි මල් කැකුළු
පින්බර උදයක දීප්තිය...
ගිරි ශිඛර තරණය කරමින්
පැමිණි හිරු කිරණ
කඩිමුඩියේ ඔතාගෙන ආ
සාරියෙන් වැටුණු
පුංචි සේපාලිකා මල්
ගුරුපාර පුරාවට
ගුරුතුමිය පමා නැහැ තවම
ළමයි මග බලාගෙන...
උදෑසන බසය කඩිනමින්
දුවයි නගරයට
ගම තවම පුංචිය
විශ්වයේ තිතකි
වේගය තවම තුනීය
කිසිදු ජාලයක
නොපැටලවී තවම
අඟුරු කැටයෙන් මැදගෙන
කිරි පාට සිනාව
නැවුමින් දොළ පාරේ
වතුර සීතලය
හිමිහිට ගැහෙන හදවත
තවමත් කාටවත් ඇසී නැත
එතරම් මිහිරිය...
මේදනී මැණික්කුඹුර
රැය පහන් වන තුරු
නිවසින් බැහැර වී ලද කනිසමට හයේ
බිම් කරුවලට පෙර මඟ දත යුතුව තියේ
දරු පැටවුන්ගෙ බිරිඳගෙ සෙනෙහසට ළයේ
සුපුරුදු මෙහෙවරට මම පියනගමි රැයේ
තනිවූ රජෙකු මෙන් උස පලු ගහ මුදුනේ
බඹ ගණනක් උසින් මගෙ පැල්පත හැදුණේ
අට්ටාලයයි ඉණිපෙත දිවියට බැදුණේ
ඔබලගෙ අනාගතයයි මෙය තුළ රැඳුණේ
අලි රැල මහ කැලේ අතු ඉති කඩන හඬ
දෙසවන සිසාරා එයි බිය ගතිය මැඬ
ගිනි දැල් නැගෙන විට අට්ටාලයෙහි උඩ
අහවර කර ගතිමි අතපසු කෙරුණු වැඩ
කුළු මීමුන් මුවන් ගෝනුන් උදේ සිට
එබිකම් කරයි පිට වැට ළඟ බලා වට
සුවඳින් කිරි වැදුණ කුරහන් බුදී මට
එන්නට එපා ඒවා හිමි මගේ ගෙට
දරුවන් තුරුලු කරගත් බඩ ඉරිඟු පෙලයි
අහසට නැගෙන මල් සුළඟේ පහස බලයි
මිහිකත වෙළී ගෙඩි පිරි පැණි කොමඩු වැලයි
පිවිතුරු නැවුම් සුවඳක් පැළ තුළට ගලයි
ටක පෝරුව වදිද්දී බිඳ නිහඬ කම
බියවී මොනරු හඬලති මා අවට හැම
පළඟැටි රැහැයි නද පරයා රිදෙන ළැම
මූසල හිවල් හූ හඬ ගම් නොමැත නිම
නිදිමත මකන්නට හපමින් බුලත් විට
ආදර සොඳුර හා දරුවන් මතක් කොට
පඬුරක් ගැට ගසා අතු ඉති පෙළක් යට
මෙය බාරයකි හමු වෙන්නට යළිත් හෙට
පියසේන හේවගේ
සඳමඬල ඇය
පුන්සඳක් වී පායා
ජීවිත ගනඳුර මකා
මුළු දිවියම එළිය කළ
කිසිදා බැස නොයන
සඳමඬල ඇයයි
මනහර මහින්ද වෑකඩ
මනාලියක් වන ප්‍රේමවන්තිය
ගඟ ගලයි ගල් පර මතින්
මල් පිපෙයි කටු අතු අගින්
තරු දිලෙයි රෑ නිල ඹරින්
හිරු නැඟෙයි හෙට මෙ ලෙසින්
උර මතින් සුදු පිරුවටින්
ජය මඟුල් ගී නද මැදින්
දෝවා දෑගිලි අත පැනින්
මනාලිය වී නුඹ ඉතින්
පෝරු මත නුඹ සුදු වතින්
අතීතය සුදු දෝ ඉතින්
දරාගෙන අට ලෝ දමින්
මනාලිය වී නුඹ ඉතින්
කුමාර අබේරත්න
මලේ කතාව
පිපී වැනෙන විට මල්වල සුවඳ කරා
ඇදෙයි බමර කැල ඉඟි බිගි නෙතග පුරා
නුරා බැලුම් අතොරක් නැති ලෙසින් පෙරා
ළඟා වුණා දහසක් සිත පැතුම් දරා
සරා සඳක් සේ දිලෙනා මල් ගොමුවේ
නුරා බැලුම් නැත සුකොමල බව හමුවේ
විදා නෙතු කැලුම් දස දෙසටම යොමුවේ
සනාතනික දහමක් සිත යට ගොනුවේ
ගෙවී යන ලෙසින් හිරු මල සේ අහසේ
පිපී වැඩී වියපත් වී යයි නොලසේ
දරා දුක් කඳුළු නෙතඟින් හොර රහසේ
මිලානවී යයි ලෝ දහමක් විලසේ
විදා පියාපත් දසතින් ආ බමරූ
දරා විරහ ගින්දර හදකින් මහරූ
පැතූ සියක් දේ බොඳවී යන අයුරූ
බලා සුවඳ වින්දා සිහිනෙක තැවරූ
ගසේ ඉපල් බේරී මල් තිබුණු තැනේ
ගලා ගියපු මකරන්දය සුවඳ දැනේ
එදා සපිරි වර සිටියා ලකුණු පෙනේ
සෙනෙහෙවන්තයින් තව මල් සොයයි වනේ
සෝමරත්න හරස්ගම
දේවාරාධනාව
සතර පේරුවෙන් එපිටහ ජනයින්ටත් පින් පුරන්ඩ
තොටගමු වෙහෙරේ සහ ගණ උක් සතුටින් පුද දෙවන්ඩ
ලද ඉඩවර සිහි කටයුතු නියංගමට ගොඩ වදින්ඩ
නොලැබුණි නම් ලියැවුණේ ද කරදියරේ මිය ඇදෙන්ඩ
කොලු නඩයත් එක්කල කළ නෝබිනකම් මකාලන්ඩ
අප්පච්චිට වූවයි මා එතෙරින් පිටමං කරන්ඩ
පැටිකිරියම දැනං හිටිය පත්තිනි මව් වරං ගන්ඩ
බැරි තැන වූවයි එදවස ගිනි ජාලා මැදින් එන්ඩ
මුදුකරෙන් ගංකරේට රට මැද්දාවට දැනෙන්ඩ
කන්ද කදිර සුමන සමන් විලසින් වැඩ වදාරන්ඩ
පරදේසක්කාර වුණත් රැටියකු සේ සැප ලබන්ඩ
ලැබුණු නමුත් තවමත් බෑ අතීතයක් වළ දමන්ඩ
මා කළ කම් අද කරනා නරුමයන්ට පළිගහන්ඩ
දෙනෝදහක් නිති එනවා මා බලන්ඩ සරණ ගන්ඩ
ඒ සුදනනි මේ ආත්ම වංචාවෙන් මට මිදෙන්ඩ
දෙවියෙක් දෙවොලක් වේ නම් මටත් පාර කියා දෙන්ඩ
රංජිත් මල්ලියාවඩු
ඇරියුමකි... එන්න!
පේන තෙක් මානයේ කෝ... කිසිම කෙනෙක් නැත
හාත්පස දැඩි නිහඬතාවයම පමණක්ය...
එන්න, ඇවිදින් මා ළඟට
ජීවිතේ ලස්සනම කවිය මුමුනනු මැනැව!
රැය කෙටිය... මනරම්ය සුන්දරය
මල් සුවඳ පාව යයි... හැම තැනම
එන්න, ඇවිදින් මලක් සේ... මුදුව
ජීවිතේ සුගන්ධය මගෙ හිතේ තවරන්න!
රැයේ සීතලම හෝරාව දැන් එළැඹ ඇත
සීත පිනි කැට වැටෙයි... සීරුවට
ඇඟිලි තුඩු මතින් ඇවිදින එන්න...
පිනි පොදක් සේම... සිහිලැ’ති වදන් පවසන්න
හෙට උදේ බලන්නට මගේ කවුළුව ළඟම
ලස්සනම... මල් පොකුරු පිපෙන්නට
සිනාවේ ආදරය තබා පිටවී යන්න
එන්න, හෙට රැයේ... ලොවට රහසින් එන්න...
ඒ සොඳුරු රැය අපේ කරගන්න!
රංජි අමරා
අහස
වැසි
දිය
කළ
කම්
සේදී
ගියා
ගැහි
ගැහී
පණ
ශාන්ත කුමාර අපොන්සු
සම්මතය බිඳුණ දා
දරු හැවින් උමතු වී ඇඟේ ඇඳිවත ලිහුණ
අබ මිටක් සොය සොයා ගෙයක් ගානේ දුවන
මුහුද හිස් කරන්නට දුක් වින්ද මව් ලෙහෙන
‘මමය ඒ මෑණියන්’ කිව්වෙ නුඹමය එදින
මුහුණු පොතටම එබී දුටිමි හිනැහෙනා යුරු
දුර බණුවෙ ගී නදට දිලුණ නුඹෙ වත රුසිරු
සම්මතය බිඳුණ දා ගෙට ආවෙ ගල් අහුරු
නුඹ අපේ ‘අම්මාය’ දොසක් කීවත් කවුරු
රාගයේ උණුසුමින් ගිනි තියා රන් මුදුව
වෛරයේ ගින්දරින් දල්වලා කැණිමඬල
රඳවලා සා පැටව් රාහු ගිලි සඳවතක
නපුරු සිහිනෙක මෙදා රජවුණේ නුඹ කොහොම
ප්‍රභා මාධවී අභයගුණසේකර
වැස්ස
හැදෙන දලු හා
කැකුළු පිරිමැද
පැන් බිඳක් ඉස
පිරි මතුරන වැස්සමව
පසුව සපැමිණ
රකුසු වෙස් ගෙන
තළා පොඩිකර
මහා ගස් පෙරළා දමයි
හොඳක් නරකක්
මොකුත් දන් නැති
නුඹත් හරියට
පෙළක් මිනිසුන් වාගේමයි
ශාන් දිසානායක
ගංවතුරින් පත් විපත්
මහ වැසි නිසා වට ඇළ දොළ මහ ගංගා
උතුරා ගලා ජල කඳ ඉහළට නංගා
අසරණ දනගෙ සම්පත් මිහිතුළ හංගා
ජන දුක් වේදනා උපරිමයට නැංගා
ගොඩකර පහත් බිම් කර පරිසර හානි
සිදු කොට දූෂණය ජලයට වුව පානි
දිගු ඉතිහසක් රැඳි ලක්බිම පරවේනි
කතරක් වේද හෙට මවු බිම අභිමානි
ඇඳිවත පමණි සමහරකුට ඉතිරි වුණේ
සිය ගණනක් ම වැළලුනි කඳු අතර අනේ
ඊරිසියාව වපුරා රට හතර කොනේ
ලද අස්වැන්න වද මෙවිපත් කැටුණේ විනේ
විපතින් රටේ පිරිසක් දැක දුකිනි නෙක
දෙස් හා විදෙස් දෙති සහනය නැතිව වක
ඒවා පත් විපත් අයගෙම රැදුණ දුක
කරනට තුනී ලැබ දිය යුතු නිසිසේ රෑක
මුළු පරිසරය ජනතාව ද ලෙස රැකෙන
කටයුතු කරන්නට ඉදිරියටත් ඇඳෙන
‘සම්මා සංකල්ප’ අයුරුම හිමි දෙසුන
යහපත දකීවා සැම ලක තුළ වසන
තෙප්පනාවේ ගුණවර්ධන
එතෙර කවිය
මා සමඟ සිටින්න - Stand by me
තරුවල දිලියුම
දියවෙනු ඇරඹෙත
සඳවත බැබළුම
අඩුවෙනු ඇරඹෙත
නොගනිමි බිය, සොව
ඇති තෙක් ඔබ ළඟ
පෙරළෙත ගගනත
ගමින් නගරයට
තබමින් බියකරු
අනියතයක අප
ඉච්ඡා බිඳුමක
නොගිලෙමි කිසි විට
ඇති තෙක් ඔබ ළඟ
වීදි කැරලි නැඟූ
ගිනිදළු හා දුම්
ලොව වසනා කල
බිය, සැක නැති දන
අනුන් නසන කල
නොහඬන්නෙමි මම
නොහෙළමි කඳුළක්
ඇති ඔබ ළඟ
ඕ! විශ්වාසය,
සිටින්න මා ළඟ
සදාකල්ම ඔබ
ටෙඩී කිමති - Teddy Kimathy
නයිජීරියාව
කවියේ මැය දුටු සැණින් ම කියවන්නකුට හැෙඟනුයේ, කථකයාගේ ඇමතුම සිය අදරැතියකුට කියාය. කවියා ඒ කුතූහලය කවියේ අවසන් පදය දක්වාම පාඨකයා තුළ රඳවයි. කොතැන, කවරක් සිදු වුවද, නොහඬමි යනුවෙන් කථකයා තිරසරව පවසයි. ඒ ‘ඔබ’ නම්, සිය සිතේම විශ්වාසය බව හෙළි කෙරෙන්නේ අවසන් පදයෙනි. කවිය කූට ප්රාප්තියකට එළැඹෙන්නේ ද, හුදු ප්රකාශනයක් විය හැකිව තිබූ පද එකතුවක් කවියක් වන්නේ ද ඒ අවසන් පදයෙන් ම යැයි කිය හැකි ය.ටෙඩී කිමතිගේ කවි දැන් බොහෝ වාර ප්‍රකාශන, සඟරා ආදියෙහි කියවිය හැකි ය. ‘The Milky way in words’ (කවි) හා Eve and other sci – fi stories (ප්‍රබන්ධ) යන ඔහුගේ කෘතීන් Booktango නම් ප්‍රකාශකයන් විසින් පළ කරනු ලැබ ඇත.
දේ.වි. ගාල්ලගේ