නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

වඩේ රස

කරුවල වැටුණා පමණි.

මම මිතුරාට වූ පොරොන්දුව පරිදි අපේ නගරයේ සිවු මංසලේ රැඳී සිටියෙමි.

ඔහු දැන් සිය ත්‍රිරෝද රියෙන් එනු ඇත. එවිට අපි දෙදෙනා ම එහා නගරයට යමු. එක ම ටියුෂන් පන්තියේ ඉගෙනුම ලබන අඹ යහළුවන් වන අපේ පුතුන් දෙදෙනා රැගෙන අපි ආපසු එමු.

තද බඩගින්නක් දැනිණ. මම ඔරලෝසුව දෙස බැලීමි. ඔහු එන්නට පෙර ම කෑමට යමක් මිලදී ගත හැකි ය.

පා‍ෙරන් එහා පැත්තේ ප්‍රසිද්ධ තෝසෙ කඩයකි. පාර පැන ගිය මම ඉන් පරිප්පු වඩේ දෙකක් මිල දී ගෙන වහා හිටි තැනට ආපසු දිව ආවෙමි.

එවිට ම මිතුරා ද ආවේ ය. මම රියට නැගුණෙමි. රිය යළි ගමන ඇරඹී ය.

මම කඩදාසි කවරයෙන් වඩයක් ගෙන කෑල්ලක් හැපුවෙමි.

දිව බොජුනක් මෙන් විය.

‘ආ කාපං’! මාර රහයි’ මම ඉතිරි වඩේ එක මිතුරාට දිගු කළෙමි.

‘උඹ දෙයියෙක්නෙ’ කියූ මිතුරා ද රිය පදවන ගමන් ම වඩේ කෑල්ලක් හැපුවේ ය.

‘ෂඃ ඇත්තට ම රහයි මචං’ ඔහු වඩේ රස වර්ණනා කළේ ය.

එතැන් පටන් අපේ මාතෘකාව වූයේ මෙතරම් රස වෑහෙන පරිදි වඩේ හදන්නේ කෙසේ ද යන්න ය.

ඊට පසු මම හමුවන මගේ මිතුරන්ට තෝසේ කඩේ වඩේ රස ගැන කියන්නට වීමි.

‘හැබෑට! කාල බලන්ඩ ඕනැ’ ඔවුහු කීහ.

මසක් දෙකක් ගිය තැන මම අපේ නගරයේ තවත් මිතුරකු සමඟ ඔහු ගේ ලොරි බාගයෙන් බඩු වගයක් ගේන්නට බැහැරක යමින් සිටියෙමි.

මිතුරා කතා පෙට්ටියකි. ඔහු රටේතොටේ නෙයෙක් දේ ගැන කියන්න වූයේ ය.

මට හදිසියේ ම අර වඩේ රස ගැන මතක් වූයේ ය. මම ද ඒ ගැන කියා දැමුවෙමි.

‘ඔයත් එහෙනං අජිනමොටෝ වඩේ කෙළල ඇරිය ද?’ ඔහු මහ හඬින් සිනාසුණේ ය.

මම ගල් වීමි.

‘ඔයා කොහොමද එහෙම කියන්නෙ?’ ඉවසා බැරිම තැන මම ඔහුට හරස් වීමි.

‘ඔයා මේ මොනවද කියන්නෙ? මමනෙ ඔය කඩේට තොග කඩෙන් බඩු ගේන්නෙ. ඕකට විතරක් නෙමේ, ටවුන් එකේ කඩ කීපෙකට ම බඩු අදින්නෙ මම’ ඔහු බඩු ගේන තොග කඩය ගැන ද කීවේ ය.

ප්‍රදේශයේ බොහොමයක් කඩවලට බඩු ගේන තොග කඩය එය බව මම ද දැන සිටියෙමි.

‘මේ අහන්ඩකො. ඔය තෝසෙ කඩේට සති දෙකට සැරයක් පිටි මුට්ටි හත ගා‍ෙන ගේනව. පිටි විතරක් නෙමේ කඩල පරිප්පු වගේ තවත් දේවලුත් ගේනව. ඉතිං ඔය පිටි මුට්ට හතක් ගේනකොට අජිනමොටෝ කිලෝ පනහකුත් ගේනව.’ ඔහු කීවේ ය.

‘මොනව?’ මම බිය වීමි.

ඔහු දිගට ම කතා කළේ ය.

‘අජිනමොටෝ ගේන්නෙ විකුණන්ඩ ද? නෑනෙ. ඔතනින් කවුරුත් අජිනමොටෝ ගන්නෙ නෑනෙ. වඩේවලට තෝසෙවලට දාන්ඩ මිසක් වෙන මොනවට ද? මිනිස්සු ‘රහයි’ කිය කිය කන්නෙ ඉතිං ඕව තමයි. මං ඕව දන්න හින්ද කන්නෙ ගෙදර අපේ උන්දැ උයන දේවල් විතරයි. දරුවන්ට කන්ඩ බොහොම සැලකිල්ලෙන් ආදරෙන් කරුණාවෙන්නේ උයන්නෙ. මං ඔය කිසි කඩේකිං කන්නෙ නෑ. රහයි කිය කිය වහ කන්නෙ ඇයි?’

මට කතා නැති විය. ඔහු දිගින් දිගට ම කතා කළේ ය.

‘ඔය කඩේ විතරක් නෙමේ. ඔය හුඟක් කඩවල අජිනමොටෝ දානව. මං කියන්නෙ නෑ හැම ‍කඩේ ම දානව කියල. නොදාන ඒවත් ඇති. හැබැයි ඒ ජාතියෙ කඩ බොහොම අඩුයි. මිනිස්සු ඉල්ලන්නෙ ‘රහ’ නේ. ඉතින් ඔය අපරාදෙට කැමති නැති ‍වෙ‍ළෙන්දත් ‘රහ’ දෙනව. නැත්තං මිනිහ බංකොලොත් වෙනවනෙ. ඔය පාර අයිනෙ කරත්ත තියාන විකුණන පුංචි වඩේ වෙළෙන්දො ඉන්නෙ. උනුත් දානව. හොඳයි අපි අජිනමොටෝ නොදා ඔය රෙසිපියට ම කෑම හැදුවයි කියමුකො. එත‍කොට රහ නෑනෙ. ඔන්න ඕක මිනිස්සු හිතන්නෙ නෑ. හැමදේ ම කඩෙන් අරන් ගිහිං කන එක දැන් ස්ටයිල් එකක් වෙලානෙ. ගෙදර උන්දල ටී වී බල බල, කොම්පියුටර් ගේම් ගගහ, සෙල්ෆෝන් එකේ සෙල්ලං දදා කාලෙ මරනව. කඩෙං ගෙනත් කනව. අපරාදෙ දරුවො ලෙඩ වෙනව. ඊට පස්සෙ දොස්තරල හොයාන යනව. අනේ රටකට වෙච්ච දෙයක්.’ ඔහු අවංකව ම දුක් වුණේ ය.

කරුණු හරි හැටි නොදැන රසට පමණක් වහල් වී අනුන්ගේ වඩේ කඩයක ප්‍රචාරකවාදියා වීම ගැන මම මහත්සේ පසුතැවිලි වීමි.

අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයකු විසින් හෙළිකරන ලද කතාවක් ඇසුරිනි.


 

 

දුම්රියේ මාමා

 

බිරියත්, මාත් දැන් ගෙවන්නේ සැදෑ සමය ය.

ඇය බණ දහම් පොත් කියවයි. මම මගේ කුඩා පුස්තකාලයට වැදෙමි.

ළඟදී දවසක පොතක් මැද්දේ තිබූ අපූරු ලිපියක් මට අසු විය.

මා එය කියවමින් සිටිය දී බිරිය ‍තේ කෝප්පයක් ද රැගෙන පුස්තකාලයට ආවා ය.

‘මොකක්ද අප්පේ ඔය ලියුම?’ ඇය ඇසුවා ය.

‘කියවල බලන්ඩකො’ මම එය ඇයට දුනිමි.

කුහුලින් එය අතට ගත් ඇය දෑසට ළං කොට කියවන්නට වූවා ය. ඇගේ වත පිපී යනු මට පෙනිණ.

මේ ලියුමට අපූරු අතීතයක් තිබේ.

අපේ දියණිය කුඩා කාලයේ දුම්රියෙන් යෑමට බොහෝ ආසා කළා ය. එ නිසා අවස්ථාව ලද විට ඈ කැටුව දුම්රිය චාරිකාවක යෙදීමට අපි ද පුරුදු වී සිටියෙමු.

දිනක් අපි කොළඹ පසු කර මාතර බලා යමින් සිටියෙමු.

සංඥා පමාවක් හේතුකොටගෙන දුම්රිය තරමක වේලාවක් මග නතර වී තිබිණ. එවිට ඊළඟ දුම්රිය පාරේ හෙමිහිට ආ දුම්රිය ඇන්ජිමක් අප සිටි මැදිරිය අසල නැවැත්වී ය.

එදෙස ආසාවෙන් බලා සිටි පුංචි දියණිය ‘මොකක්ද ඒ ඇන්ජිමේ ලියල තියෙන්නෙ?’ යි ඇසුවා ය.

මම ද විමසිලිමත් වීමි. එහි වූයේ ඉංග්‍රීසි නමකි.

‘වැන්කුවර්’ මම උසුරුවෙමි.

‘ඇයි එහෙම ලියල තියෙන්නෙ?’ ඇය ඇසුවා ය.

මට එකවර ම පිළිතුරක් සොයා ගත නොහැකි විය.

මෙවිට අපේ උදව්වට ආවේ අප හිඳ සිටි අසුනට ඉදිරි අසුනේ හිඳ සිටි කාරුණික මහත්මයෙකි.

‘දුවේ, ඒ තමයි කෝච්චි ඇන්ජිමේ නම’ ඔහු පැහැදිලි කළේ ය.

‘ඉතින් ඇයි මාමෙ ඒකට ‘උඩරට මැණිකේ’ වගේ නමක් දාල නැත්තෙ?’ දියණිය ඇසුවා ය.

අමුත්තා හිරවුණේ ය. අපට හිනා ගියේ ය.

‘හොඳයි දුවේ මං ඒ ගැන හොයල බලල දුවට ලියුමක් එවන්නං. මගෙ හොඳ යාළුවෙක් දුම්රිය දෙපාර්තමේන්තුවෙ වැඩ කරනව. එයා ඕව ගැන හොඳට දන්නව. මං අද ම මේ ගැන එයාට කියන්නං. එයා අපිට උදව් කරයි. මට දුවගෙ ගෙදරට ලියුම් එන ඇඩ්‍රස් එක කියන්ඩකො’

මම අපේ ගෙදර ලිපිනයත්, දුරකථන අංකයත් කොළයක ලියා ඔහුට දුනිමි. එය සාක්කුවේ ලා ගත් ඔහු ඊළඟ දුම්රිය නැවතුමේ දී බැස ගියේ දියණිය ගේ හිස පිරිමැද තම පොරොන්දුව ඉටු කරන බවට ස්ථිර ලෙස ම සහතික වෙමිනි.

කී පරිදි ම සති කිහිපයකට පසු ඔහු ලිපියක් එව්වේ ය.

මට දැන් මොහොතකට පෙර හමු වූයේ ඒ ලිපිය ය.

මම බිරියගේ අතින් ඒ ලිපිය ගෙන හඬ නඟා කියැවීමි.

‘දුම්රියේ දී මුණ ගැහුණු ආදරණීය දියණියට. ආදරණීය චූටි දුවේ, මා ඔබට පොරොන්දු වූ පරිදි මගේ මිතුර­ාගෙන් දැන ගත් දුම්රිය ඇන්ජින් පිළිබඳ තොරතුරයි මෙසේයි.

සර් ජෝන් කොතලාවල මහතා ප්‍රවාහන ඇමති හැටියට වැඩ කළ කාලේ අපට කොළඹ ක්‍රමය කියන ආධාර වැඩපිළිවෙළක් යටතේ කැනඩාවෙන් දුම්රිය ඇන්ජින් පහක් ලැබුණා. ඒවා ලැබුණේ තෑගි හැටියට යි.

කැනඩා රජයට ගරු කිරීමක් හැටියට අපේ රජය ඒවාට කැනඩා රටේ තියෙන ප්‍රාන්ත පහක නම් තැබුවා. ඒ රටේ ප්‍රාන්ත 12ක් තියනවා. ඇන්ජින් පහට තියන්න පුළුවන් නම් 5 යි නේ. ඒ නිසයි එහෙම කළේ. නමුත් මේක කැනඩාවට ප්‍රශ්නයක් වුණා. මේ නම් පහ තෝරාගත්තෙ මොන පදනමකින් ද කියල ඒ රටේ පුවත්පත් ප්‍රශ්න කළා. මේ නිසා ඒ රටේ අනිත් ප්‍රාන්තවල අයටත් කේන්ති ගියා.

ඔන්න ඔය අතරෙ තමයි අර ඇන්ජින් පහ ලංකාවට තෑගි කරන රාජ්‍ය උත්සවය තිබුණෙ. ඒකට ප්‍රවාහන ඇමති ජෝන් කොතලාවල මහත්තය වගේ ම ලංකාවෙ කැනඩා මහකොමසාරිස්තුමත් සහභාගි වුණා. ඒ උත්සවේදි ජෝන් කොතලාවල මහත්තය කතා කරන ගමන් මෙහෙම කිව්වා. “මහ කොමසාරිස්තුමනි, ඔබ රට අපට තෑගි කළ දුම්රිය ඇන්ජින් 5ට ඔබ රටේ ප්‍රාන්ත 5ක නම් තැබීම ප්‍රශ්නයක්වී ඇති බව පෙනෙනවා. ඒ ප්‍රශ්නය විසඳන්න තියන හොඳ ම ක්‍රමය තමයි තවත් දුම්රිය ඇන්ජින් ටිකක් අපට තෑගි දෙන එක. එත‍කොට ප්‍රාන්ත දොළහෙ ම නම් ඒවට දාන්න පුළුවනි’

කොතලාවල මහත්තය විහිළුවට වගේ ඒක කිව්වට මහ කොමසාරිස් තුමා ඒක ඇත්තට බාර ගත්ත විතරක් නෙමේ තවත් ඇන්ජිම් හතක් අපට තෑගි කළා. එත‍කොට ඔක්කොම 12 යි. ඊට පස්සෙ ඒ දොළහට ම කැනඩාවෙ ප්‍රාන්ත දොළහෙ නම් තිබ්බා.

ඒ නම් මෙන්න මේවයි.

ඔන්ටාරියො - සස්කච්චාන් - ක්විබෙක් - නොවාස්කෝටියා - ප්‍රින්ස් එඩ්වර්ඩ් අයිලන්ඩ් - මොන්ට්‍රියල් - ඇල්බර්ටා - බ්‍රිටිෂ් කොලොම්බියා - මැනි‍ටෝබ් - නිව් බ්‍රන්ස්වික් - නිව් ෆවුන්ඩ්ලන්ඩ් - වැන්කුවර්

ඉතින් දුවේ වැන්කුවර් නම ලැබුණේ එහෙමයි. දැන් ඉතින් ඔයා අහපු ප්‍රශ්නෙට ඕනෑවටත් වැඩිය ලොකු උත්තරයක් තියනව නේද?

ඔයාට වාසනාවන්ත අනාගතයක් ලැබේවා.

මේ ඔයාගෙ දුම්රියේ මාමා.

දැන් අපේ දියණිය අම්මා කෙනෙකි.

නාරම්මල සුදත් බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් යොමු කරන ලද සටහනක් ඇසුරෙනි.

නෙළුම්විල, සිළුමිණ,

ලේක්හවුස්, කොළඹ 10.

Comments