
නව නිවෙසක සිහින මවන ඔබ දැනගත යුතුම කරුණු 10ක්
ඔබ නව නිවෙසක් ඉදි කිරීමට සූදානම් වෙමින් සිටින්නේ නම් මේ තොරතුරු බෙහෙවින් ම ප්‍රයෝජනවත් වේවී. නිවෙසේ සැලසුම සකස් කිරීමේදී වාස්තු නීතී පිළිපැදීම හැම විටම ප්‍රයෝජනවත්වන අතර ඒ සඳහා වාස්තුවේදියකුගේ සහය ලබා ගැනීම ද වැදගත් ය. එහෙත් ඒ පිළිබඳව මූලික අවබෝධයක් ඔබ සතුව පවතින්නේ නම් බොහෝ සෙයින් ම කටයුතු පහසුවීමට හේතුවේ.
1. ඉඩමේ ප්‍රමාණය කොතෙක් වූවත් මුළු භූමිය ම වැසෙන පරිදි නිවෙස ඉදි නො කළ යුතු ය. ඉඩමේ හතර මායිම ආසන්නයේ ම තිබෙන තීරූ හතර වාස්තු විද්‍යාවේදී ප්‍රේත පාදය ලෙස නම් කැරෙන අතර එකී කොටස නිදහස්ව තැබීම අනිවාර්ය වේ. එහි සරල අර්ථය වන්නේ ඉඩමේ හතර මායිම ආසන්නයට ම වන ලෙස ඉදි කිරීම් නො කළ යුතු බවයි. ඇතැම් විට ඉඩම පර්චස් 8- 10 වැනි කුඩා ප්‍රමාණයකට සීමා වී තිබියදී ඉඩමේ මායිම ආසන්නයට ම ගෙන නිවෙස ඉදි කිරීමට සිදුවිය හැකි මුත් වඩා ප්රඥාගෝචර වන්නේ ප්‍රේත පාදයට අයත් කොටස අත හැරීමය. මේ කොටස අයත්වන ලෙස නිවෙස ඉදි කිරීම කරදර රැසකට හේතුවකි. මුළු නිවෙස වටාම පහසුවෙන් ඇවිද යා හැකි ලෙස ඉඩමේ හතර මායිමේ ඉඩ තබා ගැනීම හැමතින් ම වැදගත් ය. නිවෙසේ ප්‍රමාණයට වඩා ගුණාත්මක බව ඉතා වැදගත් ය.
2. නිවෙසේ ප්‍රධාන දොර පිහිටුවීමේදී ඉතා සැළකිලිමත් විය යුතු ය. ප්රපාතයක් ගල් කුළක් වෘක්ෂයක් කණුවක් මඩ ගොහොරුවක් කසළ පිරි භූමියක් අන් නිවෙසක දොරටුවක් බිත්තියක තුන් මුල්ලක් ළිදක් ජලාශයක් වැනි දේට මුහුණලා ප්‍රධාන දොර ස්ථානගත නො කළ යුතු ය.
3. දිශා වශයෙන් ගත් කළ නිරිත සහ ගිණිකොණ අත්හැර ප්‍රධාන දොර පිහිටුවීම යෝග්‍ය වේ. උතුර නැගෙනහිර ඊශාන දකුණ යන දිශා ඉතා ප්රශස්ත වේ.
4. නිවෙසේ මුළුතැන්ගෙය වැසිකිලි නාන කාමර පල්දෝරු වළ විදුලි මීටරය කුණු කසළ භාජන කොසු ඉදල් අවි ආයුධ අබලි ද්‍රව්‍යය ගබඩා කාමර යනාදිය කිසිසේත් ම ඊශානදිගට යොමු නො කිරීමට වග බලාගත යුතු ය.
5. නිවෙසේ දොර හෝ ජනේල උළුවහු තුනක් එක් එල්ලේ ස්ථානගත නො කළ යුතු ය. එමෙන් ම ප්‍රධාන දොරටුවේ සිට ගෙයි ඇතුළත බලන විට ගෙයි පසුපස කොටස මුළුතැන්ගෙය ගිනි උදුන ආදිය දර්ශනය නොවිය යුතු ය.
6. නිවෙසේ ඇතුළත කුමන දිසාවක හෝ පොකුණු ජල මල් සහ ජලය රැඳෙන බොරු අලංකරණ සිදු නො කිරීම ඉතා වැදගත් ය.
7. උඩු මහලට නඟින තරප්පු පෙළක් තිබෙන්නේ නම් එය ප්‍රධාන දොරට එක එල්ලේ ස්ථානගත නො කළ යුතු අතර බ්‍රහ්ම පාදය අත්හැරීම ද අත්‍යවශ්‍ය වේ. තරප්පු පෙළ දකුණට හැරෙන ලෙස නිර්මාණය කිරීම ද යෝග්‍ය වේ. එක එල්ලේ ඉණිමගක් මෙන් තරප්පු පෙළ සෑදීම අනුචිත ය.
8. මුළුතැන්ගෙය බස්නාහිර දිශාවට වඩාත් යෝග්‍යවන අතර ලිප ගිණිකොණ දෙසට මුහුණලා තැබීම ද මැනවි.
9. නිදන කාමර සඳහා ඊශාන දිසාව තෝරා නොගන්න. ආගමික කටයුතු සහ වන්දනාමානයට අවශ්‍ය පූජා භාණ්ඩ පිළිම යනාදිය තැන්පත් කිරීමට ඊශාන දිසාව ඉතා යෝග්‍ය වේ.
10. මුළුතැන්ගෙයි ලිප සහ ජල කරාමය එකිනෙක ආසන්නයට ම එන ලෙස නිර්මාණය නො කිරීමත් වැදගත් ය.
KCJ_R