තර්කයට නැඹුරු වීම විචාරයට හානිකරයි | Page 2 | සිළුමිණ

තර්කයට නැඹුරු වීම විචාරයට හානිකරයි

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම

"සහෘද මනස පුළුල් තලයකට රැගෙන යෑම නිර්මාණකරුවාගේ කාර්යයකි. සහෘදයන්ගේ මනස සනසාලන්නේත් නිර්මාණකරුවා ය. නොමඟට යන සමාජයක් යහ මඟට යොමුකරන්නේත් සැබෑ සාහිත්‍ය නිර්මාණකරුවා ය. තමන් ගමන් කරන්නේ කිනම් කේන්ද්‍රීය තැනකට ද යන්න සම්බන්ධයෙන් මනා අවබෝධයක් නිර්මාණකරුවා සතුවිය යුතු යැ" යි, ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම මහතා ඔහුගේ නවතම සාහිත්‍ය නිර්මාණ කෘතිය වන විවිධ පැතිකඩ දැක්ම කෘතියේ සඳහන් කරයි.

ප්‍රවීණ මාධ්‍යවේදියකු වන ඔහු සාහිත්‍ය විචාර කෘති රැසක් සම්පාදනය කර ඇති අතර, අබේවික්‍රමයන්ගේ නවතම කෘතිය වන්නේ 'විවිධ පැතිකඩ දැක්ම' යි. නිර්මාණ ‍ක්ෂේත්‍රය වඩාත් උත්තම තලයකට ප්‍රවේශ වීමට නම් නිර්මාණකරුවාගේ විඥානය විවිධ පැතිකඩාශ්‍රිත ව විහිදුවන්න‍ට යොමු විය යුතු යැයි ද ඔහු මේ කෘතියේදී වැඩිදුරටත් සඳහන් කරයි.

• සැබෑ විචාරකයා‍ගේ කාර්යභාරය කුමක්ද?

"එය ඉතා දුෂ්කර කාර්යයක්. ටී. එස්. එලියට් සැබෑ විචාරකයෙක් සේම නිර්මාණකරුවෙක්. එමෙන්ම ඊ.එම් ෆෝස්ටර් ද සැබෑ නිර්මාණකරුවෙක්. විශිෂ්ටත්‍වයෙහි ලා සැලකිය යුතු හැකි නිර්මාණ සාහිත්‍ය ක්ෂේත්‍රයට දායාද කරන ගමන් සම්භාවනීය සාහිත්‍ය විචාර මාර්ගයක්ද මේ නිර්මාණකරුවන් හෙළිදරව් කළා. සැබෑ විචාරකයා විසින් මුලික වශයෙන් ඇගැයීම්, පැහැදිලි කිරිම්, විශ්ලේෂණය කිරීම් මුලික සිද්ධාන්ත කෙරෙහි නිසියාකාරයෙන් ඇගැයීම් කිරීමට අවශ්‍යයි. ගම නගරය විසල් පුර වලින් පරිබාහිර ව විචාරකයා ඒ සියල්ල සම්බන්ධයෙන් තුලනාත්මක විශ්ලේෂණයක් කිරීම‍‍ත්, ඇගැයීමත් කළ යුතුයි කියායි මා හිතන්නේ. අද වන විට තුලනාත්මක විචාරයක නිරත වීමට අවශ්‍ය මුලික සිද්ධාන්තයන් පිළිබඳ ව නිසියාකාරයෙන් නොදන්නා පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා.

 ටී. එස්. එලියට් සහ ඊ. එම් ෆෝස්ටර් වැනි සාහිත්‍ය විචාරකයන්ට සමගාමි ව මෙරටද විචාරකයෙක් මෙන්ම නිර්මාණකරුවෙක් ද බිහි වුණා. ඒ මාර්ටින් වික්‍රමසිංහයන්. නිර්මාණකරුවෙක්ගේ කාර්යභාරය මෙන්ම විචාරකයාගේ කාර්ය භාරය මැනවින් ඔහු ඉටු කළා. එම විචාර මඟ අද නිර්මාණකරුවා මෙන් ම විචාරකයන් ආදර්ශයට ගන්නා බවක් නම් පේන්නේ නැහැ; ඒ මඟ යන්නෙක් ද දක්නට නැහැ.

• සාහිත්‍ය නිර්මාණය මෙන්ම මෙන්ම විචාර කලාව ද වෙනස් විය යුතුයි නේද ? ඔබ සදහන් කරන සාම්ප්‍රදායික විචාර කලාව ම ගුරුකොට ගත යුතුයි කියා ම නියමයක් නැහැ නේද ?

මාර්ටින් වික්‍රමසිංහයන් හෙළි කරන ලද සිංහල විචාර කලාවම ගුරුකොට නොගන්නේ නම්, ඒ විචාර මාර්ගය හොඳ නැති නම් ඊට වඩා හොඳ විචාර මාර්ගයක් බිහි කරන්නට පුළුවන් නම් වරදක් නැහැ. විචාර මාර්ගයේ ඌනතා තිබුණා නම් එම ඌනතා වෙනස් කර විචාර මාර්ග නිර්මාණය කිරීමේ වරදක් නැහැ. විශ්ලේෂණාත්මක දෘෂ්ටියක පිහිටා විචාරකයාගේ කාර්යය මනා ලෙස ඉටු කළ යුතුයි කියායි මා කියන්නේ. අද්‍යතනය වනවිට විචාරකාර්යට පි‍විස සිටින්නේ විචාර පිළිබඳ මහා පරිචයක් නැති අයයි. පරිචය හා ප්‍රාගුණ්‍යයක් නැති විචාරකයන් විචාර කාර්යය ඉටු කිරීමට යෑමෙන් අගනා නිර්මාණ බිහි වන්නේ නැහැ. තර්කයට නැඹුරු වීම විචාරයට හානිකරයි. සම්මත දේම කරපින්නා ගැනීමත් යුක්ති සහගත නැහැ. එහෙත් සම්මතය වු පලියට බැහැර කරලීමත් අනුවණ කමක්. අසම්මත දේ විචාරය සදහා උපයෝගි කරගැනීමත් විචාරකයා පරිස්සමෙන් කළ යුතු දෙයක්.

• අද වන විට සම්භාව්‍ය සාහිත්‍ය කෘති තුලනාත්මක ඇගැයීමකට ලක් වෙනවාද?

විශේෂයෙන් කිව යුතුයි, අද සම්භාව්‍ය සාහිත්‍යයක් නැහැ. සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහිවෙන්නේත් නැහැ. අද බිහිවන කවි, කෙටිකතා, නවකතා හා පරිවර්තන කෘති සම්භාව්‍ය ගණයට ගැනෙන්නේ නැහැ. අද නිසි විචාරයක් නොමැතිකම නිසා සාහිත්‍ය නිර්මාණ අවරට ‍යෑම සෝචනීය තත්ත්වයක්. නිද්‍රාශිලි සමාජයක් අවදි කරන නිර්මාණ අද බිහි නොවන්නේ තුලනාත්මක විචාරයක් නොමැති වීම හේතුවෙන්. හොඳ විචාරකයා තාර්කිකයෙක් නොවේ. අද සියලුම විචාර සිදුවන්නේ හිත මිතුරුකම්වලට, නිකායන්ට, ගුරු කුලවලට පක්ෂග්‍රාහි වෙමින්. මෙයින් කරන විචාරයෙන් නිර්මාණකරුවාගේ ඥානය පුළුල් වන්නේ නැහැ. දශක දෙක තුනක් පමණ මුළුල්ලේ පටන් මේ දක්වා ම අපට අසන්නට ලැබෙන්නේ විචාරයේ ඇති දුර්වලතා විනා ඊට ගතයුතු ක්‍රියාමාර්ග නොවෙයි. සිංහල විචාර මග තවදුරටත් අවරෝහණයට පත්වීමෙන් කිසිම අයුරකින් වැලැක්විය හැක්කක් නොවේ.

විචාර කාර්යය ලඝු තලයක පිහිටා බිදුණු මෙවලම් සමඟ හරඹ කිරීම අනුව විචාර මඟ අ‍වරෝහණයට පත්විම අතිශෝචනියයි. හොඳ විචාරකයා තාර්කිකයෙක් විය යුතු නැහැ‍. ඒ වගේම ගුරුකුලයක් තිබිය යුතු නැහැ. හොඳ සාහිත්‍ය කෘති බිහිවීමට තුලනාත්මක විචාරයක් තිබෙන්න අවශ්‍යයි. ලේඛකයන් විශාල වශයෙන් බිහි වී ඇති යුගයක ඒ අය අතින් ම විචාර කාර්යයට සිදුකිරීමට යෑමෙන් සම්භාව්‍ය නිර්මාණ කෘතිය වඳ වී යන තත්ත්වයකට පත්ව තිබෙනවා. සමාජය අවදි කරන නවකතා, කෙටිකතා යනාදී නිර්මාණ බිහි නොවන්නේ ලේඛකයන් විචාරකාරියට පිවිසීම හේතුකොට ගෙනයි. ඇතැම් විට පසුගිය වසර වල සම්මානයට පත් වූ ඇතැම් නවකතා, කෙටිකතා පාඨකයා බද්ධ වී නැහැ. විචාරයේ පවතින දුර්වලතා හේතු කොටගෙන පාඨක මනස සනසාලන නිර්මාණ බිහිවන්නේ නැහැ. පාඨකයාට සමගාමී මඟකට ප්‍ර‍වේශ වන්නට අවැසි නිර්මාණ ‍ක්ෂේත්‍රය සරු වන්නේ තුලනාත්මක විචාර හේතු කොට ගෙනයි. නිර්මාණකරුවන්ට මෙන්ම පාඨකයාට ද තුලනාත්මක විචාරයක් නොමැතිකමින් සිදු වී ඇත්තේ ඉතාමත් අහිතකර තත්ත්වයක්. විචාර කාර්යයේ ඇති භාරධූර වගකීව තේරුම් නොගෙන එම කාර්යයට ‍ලේඛකයා පිවිසීමෙන් උසස් සම්භාව්‍ය ගණයේ නිර්මාණ බිහිවීමද අවරට ගොස් තිබෙනවා.

• අනුරාධපුර අවධියේ සිට සාහිත්‍ය යුග මාතර යුගය දක්වා විහිදෙන නමුත් ඉන් අනතුරුව කොළඹ යුගයට ප්‍රවේශ වුවත් ඊට පෙර බෙන්තර සාහිත්‍ය යුගයක් තිබුණ බවත්, එය යටපත් වී ඇති බවත් ඔබගේ කෘතියේ සඳහන් වෙනවා?

බෙන්තර සාහිත්‍ය යුගය අපේ වංස කතාවෙන් බැහැර වූයේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. එය බැහැර කළා ද, නොදැනුවත් කමින් බැහැර වුවාද යන්න වියතුන්ගේ උගතුන්ගේ අවධානයට බඳුන් වියයුතු කරුණක්. මාතර අවධියෙන් පසු කොළඹ යුගයට අවතීර්ණ වන අපේ සාහිත්‍යයේ සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැකි බෙන්තර යුගය මුළුමනින්ම අමතක වී ගොසින්. එම යුගයේ බිහි වූ සාහිත්‍ය කෘති හා ගිහි පැවිදි පඬුවන් සමහරු මාතර යුගයට ඇදගෙන යන අතර ම ඇතැම්හු කොළඹ යුගයට ඇදගෙන යන බව පේනවා. විශේෂයෙන් මහාචාර්ය ප.බ.ජි හේවාවසම් බෙන්තර යුගයේ ගිහි පැවිදි පඬුවන් ‍ මාතර යුගයට ස්වකීය මාතර සාහිත්‍ය වංසයෙන් ගෙන ගොස් ඇති අතර මහාචාර්ය පී.බී‍. සන්නස්ගල ස්වකීය සිංහල සාහිත්‍යවංසය මගින් කොළඹ යුගයට අන්තර්ගතකොට තිබෙනවා. මෙය සාධාරණයක් නොවෙයි‍. මගේ තර්කය වන්නේ පඬුවන් අතලොස්සක් හා කෘති අල්පයක් බිහි වූ සිතාවක වංශයෙන් සාහිත්‍ය යුගයක් නම් කෙළේ නම් සම්භාව්‍ය ගණයට ගැනෙන ගිහි පැවිදි උගතුන් සමුදායක් බිහිවූ බෙන්තර සාහිත්‍ය යුගය අමතක කොට එම යුගය සාහිත්‍ය යුගයක් වශයෙන් නම් නොකළේ ඇයි ද යන්නයි.

සේයාරූ - සුසන්ත විජේගුණසේකර

Comments