මම ලිව්වේ සතුට සඳහා පමණයි | සිළුමිණ

මම ලිව්වේ සතුට සඳහා පමණයි

දෙදහස් දහසය වර්ෂය සඳහා ග්‍රේෂන් සාහිත්‍ය ත්‍යාගය ‘stories’ කෘතිය වෙනුවෙන් චාරුලතා අබේසේකර වෙත පිරිනැමිණි. චාරුලතා ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ දියණියයි. ඇය මේ කෘතිය රචනා කර ඇත්තේ සිය ළමාවිය අත්දැකීම් මත පදනම්වය. ඉංගිරිසි බසින් ලේඛනයේ යෙදෙන ශ්‍රී ලාංකික සාහිත්‍යකරුවන් වෙනුවෙන් ග්‍රේෂන් ත්‍යාගය පිරිනැමේ.

සම්මානය ලබා ගැනීමෙන් පසු සිය අදහස් සභාවත් සමඟ බෙදා ගනිමින් චාරුලතා අබේසේකර ප්‍රකාශ කළේ තමා මුළුමනින්ම පාහේ යටපත් කර දමන ලද ලේඛිකාවක වූ බවය.

“සම්මානය සඳහා නිර්දේශ වූ නම් ඇතුළත් අවසන් කෙටි ලැයිස්තුවේ සිටි කවුරුත් සාහිත්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෝ්. මං ලිව්වෙ සතුට සඳහා පමණයි. මගේ මනසෙ කතාවක් ගොඩනැඟිලා එය ලියන්න කියල මා තුළින්ම බල කිරීමක් ඇති වන විට මං ලියනවා. මම සාමාන්‍ය පෙළට හැරුණාම ඉංගිරිසි විෂයයක් හැටියට ඉගෙන ගෙනත් නෑ. ඒ නිසා මේක ඇත්තටම මට මවිතයට කාරණයක්!

මට ලියන්න සෑහෙන කාලයක් ගත වෙනවා. මොකද, මං ලියන්නෙ මගේ ගෙදර දොර වැඩ කටයුතුත් කරන අතරවාරයේ නිසා... එහෙම නැතුව මං මුළු දවසම එක තැනක ඉඳගෙන ලිවීමේ යෙදෙනවා නෙවෙයි. මේ පොත ලියන්න විතරක් මට අවුරුදු තුන හමාරක් ගත වුණා. ඒක හොඳ කෘතියක් බවට පත්කරන්න තවත් කාලයක් ගත්තා. මේ නවකතාව මගේ ම ළමා කාලය ගැනයි...”

ග්‍රේෂන් ත්‍යාගය මුද්‍රිත මෙන්ම අත්පිටපත් වශයෙන් ඇති කෘතීන් සඳහා ද විවෘතය. චාරුලතාගේ stories නවකතාව ද තවමත් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් නොවූ කෘතියකි. කතාව ඇරැඹෙන්නේ එක්සත් රාජධානියේ ඉගෙනීමේ කටයුතුවල යෙදෙන චේරන් නම් දෙමළ සරසවි ශිෂ්‍යයකු දකින සිහිනයකිනි. චේරන්, ලිස් නම් ස්කොටිෂ් ගැහැනු ළමයකු සමඟ එකට ජීවත් වේ. ලිස්ගේ ළමාවිය ගතවී ඇත්තේ ශ්‍රී ලංකාවේය. චේරන් දකින අමුතු සිහින යථාර්ථය හා සම්බන්ධ කරන යම් බලවේගයක් ඔහු සමඟ තිබේ. චේරන් සහ ලිස් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මේ අමුතු දේවලට පිළිතුරු සොයා ගැනීමටය. මෙහි සිට ඔවුන් වෑයම් කරන්නේ මුතූගේ කතාව ගොඩනැඟීමටයි. එතෙක් එය විසිරී ගිය කොටස් කිහිපයකි. මේ වෑයමේදී තමා ද එය කොටස්කරුවකු බව චේරන් ද දැනගනී. වුතූගේ මව සිංහල කතකි. පියා ස්කොටිෂ් ජාතිකයෙකි. ඔහු ඉපදී ඇත්තේ ශ්‍රී ලංකාවේදීය. මුතූගේ මව මරණයට පත්වීමත් සමඟ පියා ඔහුගේ රටට යන්නේ ඇය මවු පාර්ශ්වයේ ඥාතින්ගේ රැකවරණයේ තබමිනි. නිල් ඇස් සහ තඹ වන් හිසකෙස් ඇති මේ දැරිවිය රත්නපුර ප්‍රදේශයේ ආගන්තුක චරිතයක් බවට පත් වේ.

stories නවකතාවේ සමස්ත චිත්‍රය ගොඩනැ‍ඟෙන්නේ පුංචි පුංචි කතා සමූහයක් එක්වීමෙනි. කොළඹට තදාසන්නව පිහිටි චාරුලතා හැදී වැඩුණු ඔවුන්ගේ නි‍ෙවස අවට පරිසරය පමණක් නොව පාසල් නිවාඩු සමය ගෙවා දැමීමට වඩාත් ප්‍රිය කළ රුවන්වැල්ලේ පිහිටි ලොකු අම්මලාගේ වතු යායේ නි‍ෙවස අවට පරිසරය ද ළමාවියේදී ඇයට හමුවූ චරිත ද මේ කතාව ලිවීමේදී තමාට බලපෑ බව චාරුලතා පවසයි. රුවන්වැල්ලේ එම වතුයායේ රබර් ගස් අතර ඇවිදිමින් ඒවා සමඟ කතාබස් කළ අයුරු අද ඇය සිහිපත් කරන්නේ සිනහ මුසුවය. බොහෝ වේලා, මේ ළඳු කැලෑ අතර ගැවසෙමින් සිට ඇය නි‍ෙවසට ළඟා වන්නේ හිරු බැස යන විටය.

stories හි නිරූපිත තාල රාමුව ’83 කළු ජුලියත් සමඟ සම්බන්ධය. එය ඇය විසින් සිතා මතාම කරන ලද්දකි. කතාවට අදාළ ප්‍රදේශය රත්නපුරය. මේ ප්‍රදේශය මෙන්ම කාල වකවානුව ද එලෙස තෝරා ගැනීමට හේතුව ඒවා තම ළමාවියත් සමඟ සම්බන්ධ, අත්විඳි හා දැනුණු දේවල් වීම බව ඇය පවසා තිබේ.

චාරුලතා පොත-පත කියැවීමට නැඹුරු වී ඇත්තේ කුඩා දැරියකට සිටියදීමය. ගෙදර පරිසරය ඊට නිතැතින්ම බලපෑවේය. “මඩොල් දූව” කියවන විට ඇය පස් හැවිරිදි හෝ සය හැවිරිදි වියේ සිටියාය. අවිධිමත් ලෙස සිය දෙමවුපියන්ගෙන් ඇය ලැබූ දැනුම මහඟුය. සිංහල හා ඉංගිරිසි භාෂා අතර ඇති සමානකම් මෙන්ම ඒවා පරිණාමය වූ අයුරු ද ක්‍රමයෙන් ඇය උගත්තේ අම්මාගෙන් සහ තාත්තාගෙනි. තමා වටා තිබූ බොහෝ පොත්පත්වල තිබු දෑ බලාගෙන ලිවීමට කුඩා කල සිට ඈ වෑයම් කර තිබිණි. අ.පො.ස. සාමාන්‍ය පෙළට හැරුණු විට ඉංගිරිසි භාෂාව වෙනම විෂයයක් ලෙස හදාරා නැතත්, විශේෂයෙන් තාත්තාගේ, තිස්ස අබේසේකරයන්ගේ මඟ පෙන්වීම ඇයගේ ඉංගිරිසි දැනුම ඔපමට්ටම් කිරීමට බලපා තිබේ. තිස්ස අබේසේකරයන් පාසල් වියේ පටන්ම මනා නිපුණත්වයකින් යුතුව ඉංගිරිසි හැසිරීමේ සමතෙක් විය. සිය සිංහල භාෂා දැනුම ඔපවත් කර ගැනීමට ඇයට වඩාත්ම බලපෑවේ මවය.

ළමාවියේදී ඇය කවි ලියා ඇත්තේ වැඩි වශයෙන් ඉංගිරිසියෙනි. එහෙත්, පෞද්ගලික දින සටහන් තබා ඇත්තේ සිංහලෙනි. ඊට හේතුව හදවතට වඩාත් සමීප බස එය වීමය. චාරුලතා හැදී වැඩුණේ සිංහල - ඉංගිරිසි භාෂා දෙකම ව්‍යවහාර වූ පරිසරයකය. ගෙදර පරිසරයේ මේ භාෂා දෙකම මනාව හැසිර විණි. සිංහල භාෂාව පොහොසත් භාෂාවක් බව ඇය පිළිගනී. එය එක් වදනකින් විවිධ අරුත් මැවිය හැකි බවකි. එහි පෞරාණික බවට ද ඇය ඇලුම් කරයි. මේ සියල්ල සමඟ අදටත් ඇය හෙළ බසට ආදරය කරයි. ඇයගේ තේරුම් ගැනීම වූයේ ඉංගිරිසියට වඩා ඇය සිංහලට දක්ෂ බවය. එහෙත් ඇය ඉංගිරිසියට ද දක්ෂ බව ග්‍රේෂන් ත්‍යාගය මඟින් සනාථ කෙරේ.

චාරුලතාගේ Autumh Leaves කෘතිය ද 2012 වසරේදී ග්‍රේෂන් ත්‍යාග ප්‍රදානයේ කෙටි ලැයිස්තුවට ඇතුළත් විය. මේ කෘතිය ලියැවුණේ සිය පියාගේ සමුගැනීමත් සමඟ එය ඇයට දැනුණු අන්දමය. එය පියකු හා දියණියක වටා ගොඩනැඟුණු කතාවකි. කෙසේ වුවද එය වඩාත් හැඟීම්බරව ලියැවුණු කෘතියක් බව ඇයගේ අදහසය. තිස්ස අබේසේකරයන් ද මීට විසි වසරකට ඉහත දී Bringing Tony Home කෘතිය වෙනුවෙනි.

ග්‍රේෂන් ත්‍යාගයෙන් පිදුම් ලැබුවේය. ත්‍යාගය දෝතට ගනිමින් කළ කතාවේදී ද මේ කාරණය සිහිපත් කරන්නට ඕ අමතක නොකළාය.

වාර්ෂිකව පිරිනැමෙන ග්‍රේෂන් ත්‍යාගය අද වන විට මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන අංගයකි. ලේඛක මයිකල් ඔන්ඩච්චි වෙත The English Patient කෘතිය වෙනුවෙන් පිරිනැමුණු බුකර් සම්මානයේ ත්‍යාග මුදලින් ග්‍රේෂන් භාරය ඇරැඹුණේ 1992 වර්ෂයේදීය. මයිකල්ගේ මව ඩොරිස් ග්‍රේෂන්ගේ නමින් මේ ත්‍යාගය නම් විය. සම්මානය සමඟ රුපියල් දෙලක්ෂයක ත්‍යාග මුදලක් ද පිරිනැමේ. එහිදී ග්‍රේෂන් භාරයත් සමඟ සරසවි ප්‍රකාශකයන් ද එක්ව සිටී.

මෙවර සම්මාන ප්‍රදානයේ විනිශ්චය මණ්ඩලය වශයෙන් මහාචාර්ය සසංක පෙරේරා (සභාපති) චන්දන දිසානායක, රෙහානි පෙරේරා යන විද්වත්හු කටයුතු කළහ.

සිංහල හා දෙමළ කෘතීන් ඉංගිරිසියට පරිවර්තනය කිරීම වෙනුවෙන් ද්විවාර්ෂිකව එච්. ඒ. අයි. ගුණතිලක ත්‍යාගය පිරිනැමීමට ද ග්‍රේෂන් භාරය කටයුතු කර ඇත. පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන්ගේ ‘රන් කරඬුව’ කෘතියේ ඉංගිරිසි පරිවර්තනය Golden Casket වෙනුවෙන් අදිතා දිසානායක එම ත්‍යාගය දිනා ගත්තාය.

Comments