අස්ථිවේදයෙන් සහ සොබා වෛද්‍ය විද්‍යාෙවන් කොඳු ඇට පෙළේ රෝගවලට ස්ථිර සුවය Healingpathy + Osteopathy | සිළුමිණ

අස්ථිවේදයෙන් සහ සොබා වෛද්‍ය විද්‍යාෙවන් කොඳු ඇට පෙළේ රෝගවලට ස්ථිර සුවය Healingpathy + Osteopathy

ඔස්ටියෝපති සහ හීලින්පති හෙවත් ස්වාභාවික වෛද්‍ය විද්‍යා ප්‍රතිකාර ක්‍රමයෙහි ඇති විශේෂත්වය වන්නේ බරපතළ රෝගයකට වුව ද ඖෂධ හෝ සැත්කමකින් තොරව රෝගය සුවපත් කළ හැකි වීමයි.

කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග අද මෙරට බහුලව දක්නට ලැබේ. කොඳු ඇට පෙළෙහි කශේරුකා වෙනස්වීම්වල පටන් ඈත්වීම්, ආතරයිටිස්, ඔස්ටියෝපොරෝසීස්, බෙල්ලේ වේදනා, අත් පා වේදනා පැතිකුදය, අංශභාගය සිට පාකින්සන්ස් ‍රෝගය දක්වා වූ අනේකවිධ ‍රෝගාබාධ මේ ගණයට අයත් වේ. බටහිර වෛද්‍ය ක්‍රමය අනුව මේ බොහෝ රෝග සඳහා පිළියම වන්නේ දිගුකාලීනව වේදනානාශක ඖෂධ භාවිතය හෝ ශල්‍යකර්ම යි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී විවිධ තෙල් බෙහෙත් පත්තු ගැල්වීම මෙන් ම කසාය අරිස්ට ගුලි කල්ක ඖෂධ මඟින් දිගුකාලීන ප්‍රතිකාර සිදු කෙරේ. කවර ප්‍රතිකාර ක්‍රමයකදී වුව ද ඉහත සඳහන් කළ බොහෝ රෝගාබාධ නිට්ටාවටම සුව කළ හැකි වන්නේ කලාතුරෙකිනි.

ඉහත සඳහන් වෛද්‍ය ක්‍රම දෙකෙන් ම පරිබාහිර වූ විකල්ප වෙදකමක් වූ ස්වාභාවික වෛද්‍ය විද්‍යාව හෙවත් හීලින්පති (Healingpathy) සහ ඔස්ටියෝපති (Osteopathy) ‍ෛවද්‍ය ක්‍රම මඟින් එම රෝග සඳහා ස්ථිර සුවය ලබා දීමට හැකි වන බව මහාචාර්ය සාගර කරුණාතිලක මහතා පවසයි. එංගලන්තය හා ඇමෙරිකාවේදී ඔස්ටියෝපති සහ හීලින්පති වෛද්‍ය ක්‍රම පිළිබඳ ගැඹුරින් හදාරා ඒ රටවල එම ප්‍රතිකාර මධ්‍යස්ථානවල දීර්ඝ කාලයක් සේවය කර ඇති මහාචාර්ය කරුණාතිලක ශ්‍රී ලංකාවට ඔස්ටියෝපති සහ හීලින්පති වෛද්‍ය ක්‍රම හඳුන්වා දුන් පුරෝගාමියා මෙන් ම පළමු ලාංකික මහාචාර්යවරයා ද වෙයි.

මහනුවර ගම්පොළ ජිනරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කළුබෝවිල අන්තර්ජාතික හෝමියෝපති වෛද්‍ය විද්‍යාලයෙන් සිය මූලික වෛද්‍ය සුදුසුකම් සැපිරූ වෛද්‍ය කරුණාතිලක අනතුරුව එංගලන්තයේ The International open university of Alternative medicine ආයතනයට ඇතුළත්ව ඔස්ටියෝපති හා හීලින්පති වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාද් අධ්‍යාපනය හා පුහුණුව ලැබීය. එංගලන්තයේ සහ ඇමෙරිකාවේ ඒ පිළිබඳ ප්‍රකට රෝහල් රැසක රෝගීන් ලක්ෂ ගණනකට සුවය ලබාදුන් මහාචාර්ය කරුණාතිලක මෙරට පැමිණ මාලඹේ පිහිටි සිය නැචුරල් Osteoclinic හොස්පිට්ල්හි දී ලාංකික රෝගීනට ප්‍රතිකාර කරයි. බටහිර වෛකල්පික වෛද්‍ය ක්‍රමවේදයක් වන ඔස්ටියෝපති සහ හීලින්පති වෛද්‍ය ක්‍රමය මඟින් මේ වනවිට ශ්‍රී ලාංකිකයින් දස දහසකට අධික සංඛ්‍යාවකට සුවය ලබාදීමට ඔහු සමත් ව සිටී.

ඔස්ටියෝපති සහ හීලින්පති හෙවත් ස්වාභාවික වෛද්‍ය විද්‍යා ප්‍රතිකාර ක්‍රමයෙහි ඇති විශේෂත්වය වන්නේ කවර තරම් බරපතළ රෝගයකට වුව ද කිසිදු ඖෂධයක් හෝ සැත්කමකින් තොරව කෙටි කාලයක් තුළ රෝගය සුවපත් කළ හැකි වීමයි. අතීතයේදී මේ විකල්ප ප්‍රතිකාර ක්‍රම ශ්‍රී ලංකාවේ ද පැවැති මුත් බටහිර වෛද්‍ය ක්‍රමයේ විකාශයත් සමඟ ක්‍රමයෙන් ඒවා අභාවයට ගොස් ඇති බව මහාචාර්යවරයා පවසයි. ක්‍රි.ව. 19 වැනි සියවසේදී මුල් භාගයේදී ඇමෙරිකානු ජාතික ඇන්ඩෲ ටේලර් නම් වූ විශේෂඥ වෛද්‍යවරයා විසින් මෙම ක්‍රමවේද යළිත් ලොවට හඳුන්වා දී තිබේ. ඇමෙරිකාව හා යුරෝපා රටවල බෙහෙවින් ජනප්‍රිය විකල්ප වෛද්‍ය ක්‍රමවේදයන් වන මේවා දැන් ඒ රටවල බෙහෙවින් ප්‍රචලිතය. බටහිර වෛද්‍ය ක්‍රමයෙන් ලබාදෙන ඖෂධ, ප්‍රතිජීවක හා සැත්කම්වලින් පසුව ඇතිවන අතුරු ආබාධ දිනෙන් දිනට වැඩි වීමත් සමඟ ඖෂධ හා සැත්කම්වලින් තොරව සිදු කෙරෙන මෙවැනි ස්වාභාවික වෛද්‍යක්‍රම දැන් ඒ රටවල අතිශයින් ජනප්‍රිය වෙමින් පවතින බව ද මහාචාර්ය කරුණාතිලක පවසයි.

“කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගාබාධ ඇති වීමට මූලික හේතුව වන්නේ කශේරුකා නැත්නම් සඳ මිදුළු වෙනස්වීමයි. එම වේදනාව දැනෙන ස්ථානයේ ඇති ස්නායු තෙරපීමකට ලක්වීම තුළින් මෙම රෝග හට ගනී. මෙලෙස ඇතිවන ස්නායු තෙරපීම ශරීරයේ හදවත, පෙනහළු, අක්මාව, මොළය, වකුගඩු වැනි ඉන්ද්‍රිය දක්වා ද දැඩි ලෙස බලපාන්නට හැකියාව තිබේ. එමඟින් අංශභාගය හා පාකින්සන්ස් වැනි දිගුකාලීන රෝග පවා ඇතිවෙන්නට පුළුවන්.

මෙලෙස ස්නායු තදවීම හේතුවෙන් වෛද්‍ය විද්‍යාවේ සඳහන් පරිදි කශේරුකාවේ සී පද්ධතිය, ටී පද්ධතිය හා එල් පද්ධතිය ‍‍රෝගී බවට පත්වේ. ඔස්ටියෝපති වෛද්‍ය ක්‍රමය මගින් සිදු කරන්නේ එම පද්ධතිවලට බලපා ඇති ස්නායු තදවීම් හා මාංශ පේශීන් බුරුල්කර කොඳු ඇට පේළියෙහි සිදු වී ඇති වැරැදි පිහිටීම් යළි නිවැරැදි ලෙස පිහිටුවීමකැ’යි මහාචාර්ය කරුණාතිලක පවසයි. අස්ථිවේදය යනුවෙන් හඳුන්වන්නේ ද මෙයයි. කිසිදු ඖෂධයක් හෝ සැත්කමක් යොදා නොගැනීම මෙහි ඇති විශේෂත්වයවේ.

“ප්‍රතිකාරයත් සමඟ රෝගියාගේ මානසික නිරෝගී බව වර්ධනය කිරීමට ද කටයුතු කෙරේ. ඔක්සිජන් තෙරපි නම් වූ ප්‍රතිකාර ක්‍රමය මගින් රෝගියාගේ හදවත, පෙනහළු, අක්මාව වැනි ඉන්ද්‍රියයන් උද්දීපනයට ලක් කෙරේ. එමඟින් සිරුරේ රුධිර සංසරණය විධිමත් කරවයි. සුවය ලැබූ රෝගියාගේ මනස සුවපත් කිරීමෙන් දිගුකාලීන ලෙස නිරෝගී බව රැක ගන්නා ආකාරය පිළිබඳව ‍රෝගීනට උපදෙස් හා ප්‍රතිකාර ලබා දෙනු ලැබේ.

ස්වාභාවික වෛද්‍ය ක්‍රමය විස්තර කරමින් මහාචාර්යවරයා මෙසේ පවසයි.

“විශේෂයෙන් ම පිළිකා ‍රෝගීන්ගේ සුවය සඳහා අධ්‍යාත්මික චිකිත්සාව යොදා ගන්නවා.‍ මූලිකව මෙහිදී රෝගියා නිද්‍රාවට පත්කර ඔහුගේ යටි සිත හෙවත් විඥානය අවදි කරනවා. අවදි වූ යටිසිතට ‘සුවය ලබා ගැනීම’ යන අරමුණ ඇතුළු කරනවා. මෙය ස්වයං යෝජනා ක්‍රමය’ ලෙස හඳුන්වනු ලබනවා. මෙලෙස යටි සිතට ඇතුළු කරනු ලබන චේතනාව සුබවාදී ලෙස යටි සිතෙහි වර්ධනය වන්නට ඉඩ හැරීමෙන් සුවය නමැති ඵලය ඇති වෙනවා. ඇත්තවශයෙන් ම මෙහිදී අපි සිදු කරන්නේ බුදු දහමේ ඉගැන්වෙන පරිදි එකම අරමුණකට සිතුවිලි ගොනු කිරී‍මත් එම සිතිවිලි ධාරාව විශ්ව ශක්තිය හා මුසුවීමෙන් ඇතිවන මහා බලයෙන් සිත මෙන් ම සියලුම රෝගාබාධ ද සුවපත් කිරීමයි. මෙහිදී රෝගියාට ශාරීරික සුවය මෙන් ම අධ්‍යාත්මික සුවයත් එකවරම සැලසෙනවා. එම සුවය දිවි ඇති තුරා රැකගැනීමට නම් යහපත් සිතිවිලි මෙන් ම ඇවැතුම් පැවතුම්, ආහාර රටාව ද ක්‍රමවත්ව සකස් කරගත යුතු යි. ඒ සඳහා අපි රෝගීනට උපදෙස් මාලාවක් ලබාදෙනවා.

කොඳු ඇට පෙළ ආශ්‍රිත සියලුම රෝග මෙන් ම හිසරදය, හිරුවාරදය, මානසික ආතතිය, අධික රුධිර පීඩනය, දැඩි වෙහෙස හා අලසකම අත් පා වේදනා වැනි බොහෝ රෝග සඳහා මෙම විකල්ප වෛද්‍ය ක්‍රම මගින් සුවය ලබා දිය හැකි වේ.

“ඔස්ටියෝපති සහ හෙළ වෙදකමෙහි යම් යම් ක්‍රමවේද සංකලනය කිරීමෙන් මේ ස්වභාවික වෛද්‍ය ක්‍රමය මා හඳුනා ගත්තා. හීලින්පති යනුවෙන් හැඳින්වෙන මේ ක්‍රමය පිළිගත් බටහිර වෛද්‍යවරුන් මෙන් ම ආයුර්වේද වෛද්‍යවරුන් පිරිසක් දැන් මෙරට සිටිනවා. බොහෝ ‍කාලයක් ලංකාවේ මෙන් ම විදෙස් රටවල ද වෙදකම් කළ බටහිර වෛද්‍යවරුන් පිරිසක් මෙම ක්‍රමය පිළිගෙන දැන් මාලබේ පිහිටි ඕස්ටියෝ ක්ලිනික් රෝහලෙහි මා සමඟ කටයුතු කරනවා. එහි එන රෝගීන් මෙම බටහිර වෛද්‍යවරු වෙත යොමු කර ඔවුන් විසින් ලබා දෙන රෝග විනිශ්චයන් හා පරීක්ෂණ ප්‍රතිඵල පිරික්සා බලා අප විසින් ප්‍රතිකාර අරඹනු ලබනවා.

‍බොහෝ වෙලාවක් එකම ඉරියව්වකින් අමතර පංතිවල ලෑලි බංකු මත පැය ගණනක් හිඳගෙන ලියන කියවන හෝ වැඩ කරන පුද්ගලයන්ට බහුලව ඇතිවන පැතිකුදය වැනි රෝගවලට අපි ස්ථිරවම සුවය ලබා දෙනවා. විභාගවලට පෙනී සිටින සිසුනට, ආතතියෙන් පෙළෙන ඕනෑම කෙනෙකුට අපගේ උපදේශන හා ප්‍රායෝගික වැඩසටහන් මගින් ස්ථිරවම සහනයත් ජයග්‍රහණත් ලබා ගන්නට පුළුවන්. හැමදාම තරුණ බව රැකගන්නට කවුරුත් කැමැතියි. නිවැරැදි ආහාර පාන ව්‍යායාම හා මානසික සුවය තුළින් අධ්‍යාත්මික සංවර්ධනයත් ශාරීරික සුවයත් ලබාදීමට ස්වාභාවික වෛද්‍ය ක්‍රමය මහෝපකාරී වෙනවා‍. ඖෂධ බාහිර ආලේප හා සාටෝප තුළින් රැකගන්නට වෙර දරන තරුණ බව මේ උපදෙස් හා ක්‍රියාකාරකම්වලින් ලබා ගන්න පුළුවන්. ඒත් එය දිවිය පුරා රැකගන්නට නම් අප විසින් ලබාදෙන උපදෙස් හා පිළිවෙත් රැකගැනීම වැදගත්” මහාචාර්ය කරුණාතිලක පවසයි.

සාගරිකා දිසානායක ජයසිංහ
ඡායාරූප - රොෂාන් පිටිපන

Comments