මට ඇත්ත කියන්න ඔයාට ඉන්ද්‍රජිත් මුණ ගැහුණාද? | සිළුමිණ

මට ඇත්ත කියන්න ඔයාට ඉන්ද්‍රජිත් මුණ ගැහුණාද?

මනෝහාරිගේ දෙනෙත් රතු විය. තම දෙනෙත් කඳුළෙන් තෙත් වනු දැනුනෙන් තරුණිය හුනස්සෙන් නැගී සිටියාය. එහෙත් තරුණයාට කීමට ඇයට තවත් බොහෝ කරුණු විය...

මනෝහාරි අඩ ‍හෝරාවකට වැඩි කාලයක් පුරා රුක්නාද්ට සවන් දුන්නේ නෙත් බැල්මකින් පවා ඔහුට බාධාවක් නොවෙන අයුරෙනි.

ඔහු මෙතෙක් ජීවිතයේ ගොළු අතීතයක්ව පැවති අනුවේදනීය සංසිද්ධි තමා ඉදිරියේ එකිනෙක දිග අරින බව තරුණියට වැටහිණි. එයින් ඇය සිත උපන්නේ ඉමහත් දයාවකි.

එල්.ටී.ටී. ත්‍රස්තවාදය විසින් තම පවුල විනාශ කළ සැටි ඔහු කීවේ තවමත් සිතින් ඉවතට ඇද දැමිය නොහැකිව පවතින සියුම් බියක් ශෝකයක් දෙනෙතේ ඇතිවය.

කුලභේදය විසින් මූග්ධ ලෙස පහර දෙනු ලැබූ ප්‍රථම ප්‍රේමයේ විනාශය හා වියෝව දරා ගත නොහැකිව සිය දිවි නසාගත් පෙම්වතිය පිළිබඳ පවසන විට ඔහු සිතෙහි උපන් සැබෑ චිත්ත ස්වභාවය වසන් කර ගැනීමට ගත් උත්සාහය නිෂ්ඵල විය. ඔහු සිනාසෙන්නට උත්සාහයක් ගත්තේය. එවිට දෙනෙතේ උපන් රත් පැහැයටත් නෙතු අග උපන් කඳුළු කැටවලටත් එය පරාජය විය. ඔහු මඳකට නිහඬව උකුළ මතට හෙළූ බැල්මක් ඇතිව සිටියේය.

“රුක්නාද් පහුගිය දේවල් වෙලා ඉවරයි. ඒවා හිතින් අයින් කරලා අලුතෙන් ජීවිතේ ගැන හිතන්න පුරුදු වෙන්න.”

මනෝහාරී ඔහු සිත සනසාලන්නට කීවාය.

“මනෝ අපි කාටවත් හිතන තරම් පහසුවෙන් අතීතය අමතක කරන්න බැහැ. අමතක කරන්න හොඳත් නැහැ. මං විශ්වාස කරන විදිහට ඒ අතීතය වර්තමානයට පාඩමක්. පදනමක්. අපිට අනාගතය දිහා විශ්වාසවන්ත බැල්මක් හෙළන්න පුළුවන් අතීත පාඩම් එක්ක. වර්තමාන පදනම එක්ක. ඔයා ම ඒකට උදාහරණයක්.”

“මම? මං කොහොමද මේ වගේ සංකීර්ණ බරපතළ ප්‍රශ්නෙකට උදාහරණයක් වෙන්නෙ? මම මේ රටේ සාමාන්‍ය පුරවැසි කාන්තාවක්. නමුත් එක කාරණයක් තේරෙනවා. මේ රට පා පන්දුවක් වෙලා. දේශපාලනඥයො කිසිම විනයක් නීතියක් වගකීමක් ඉලක්කයක් නැතිව පන්දුවට පහර ගහනවා. එයාලට ඕන දිනන්න විතරයි. හොඳින් හරි, නරකින් හරි, ජයග්‍රහණය තමන් අතට ගන්න. හොඳින් හරි, නරකින් හරි, ජයග්‍රහණය තමන් අතට ගන්න. මේ බල අරගලයෙන් තැලිලා පොඩිවෙලා වේදනාවට පත් වෙන්නෙ පොදුවේ රටවැසියා. ඔයා කියන විදිහට මේ පීඩාවට පත් වෙන මනුෂ්‍යයා සිංහල ද දෙමළ ද මුස්ලිම් ද කියන එක නෙමේ මහා පොදු සාධකය. එයා මනුෂ්‍යයෙක් ද? මේ භූමිය මත සා පිපාසා සංසිඳවාගෙන නිදහසේ ජීවත්වීමේ අයිතිය එයාට තියෙනවද? සමස්ත ළමා පරපුරටම හිමි විය යුතු සම සාධාරණ අධ්‍යාපන අයිතීන් සහ පහසුකම් එයාට තියෙනවද? මේ වගේ දාහක් ප්‍රශ්න විසඳන්න ජාතියක් ආගමක් කුලයක් පක්ෂයක් ඉලක්ක කර ගන්න එක කොච්චර ලොකු වැරැද්දක්ද? පාපයක්ද?”

මනෝහාරි පිළිතුරු බලාපොරොත්තුවෙන් ප්‍රශ්න කරනවා නොව අදහස් ප්‍රකාශ කරන්නී යැයි හැඟීමෙන් රුක්නාද් සවන් දුන්නේය.

“ම‍නෝ ඔයා හුඟක් හිතන ගෑනු ළමයෙක්.”

රුක්නාද් කීවේ කල්පනා සහගතවය. යන්තමින් හිස සැලූ ම‍නෝහාරී නරේන් මාමා තවමත් පමා මන්දැයි අසන්නට ජංගම දුරකථනය අතට ගත්තද රුක්නාද් ඉතාමත් විමසිලි දෙනෙතින් තමා දෙස බලා සිටිනු දුටුවිට නරේන්ද්‍රගේ දුරකථන අංක සොයා වෙහෙසුණේ නැත.

“ඇයි රුක්නාද් කවදාවත් දැකපු නැති කෙනෙක් දිහා බලනවා වගේ?”

“මං කල්පනා කළේ ඔයාගෙ පුංචි යාළුවා ගැන. තාම අපිට එයා ගැන තොරතුරක් දැන ගන්න ලැබුණේ නැහැනෙ.”

“රුක්නාද් එයා මගෙ පුංචි යාළුවා නිසාම නෙමේ හොයන්න ඕන. එයා එල්.ටී.ටී ත්‍රස්තවාදය නිසා අතුරුදහන් වුණු ලාංකිකයෙක්. අතුරුදහන් වුණු එල්.ටී.ටී කාරයින් ගැන හොයන්න වගේ ම එල්.ටී.ටී කාරයින් නිසා අතුරුදහන් වුණු අය ගැනත් හොයන්න ඕනෑ. බලන්න රෝජා සඳපාණිගෙ අම්මාට වුණ දේ? කවුද එයාලගෙ ජීවිතවලට වන්දි ගෙවන්නෙ? නේෂන් මාමා තාමත් දුකෙන්. ඒ දුකට ගෙවන්න පුළුවන් වන්දිය මොකක්ද? රෝජාගෙ අම්මගෙ මරණය පැහැදිලිවම එල්.ටී.ටී එකේ ක්‍රෑර ඝාතනයක්. කොළඹට ඇවිත් මරලා ගියා. බෝම්බ දාලා මිනිස්සුන්ව රාජ්‍ය දේපොළ මහජන දේපොළ විනාශ කරලා යනවා. ත්‍රස්ත මර්දනයෙදී හරි ත්‍රස්ත තර්ජනයෙදි හරි අපට අහිමි වුණ දේවල් ගැන දැන් කතා කරලා වැඩක් නැති බව ඇත්ත.”

“ඔයාගෙ තාත්තා නැති වුණෙත් යාපනේදි.”

තරුණිය තම පියා ක්‍රෑර ලෙස ඝාතනය වීම අමතක කර සෙසු විපත් ගැන පැවසීම රුක්නාද්ට පුදුමයක් විය. ඔහු එම මරණය ඇගේ මතකයට නැංවීමට උත්සාහ ගත්තේ යුතුකමක් ඉටු කිරීමට මෙනි.

මනෝහාරිගේ දෙනෙත් රතු විය. තම දෙනෙත් කඳුළෙන් තෙත් වනු දැනුනෙන් තරුණිය හුනස්සෙන් නැගී සිටියාය. එහෙත් තරුණයාට කීමට ඇයට තවත් බොහෝ කරුණු විය...

“මොන ප්‍රශ්න තිබුණත් සිංහලයා සිංහල පෞද්ගලිකත්වය අමතක කරලා අන්‍ය ජාතීන්ට පිහිට වුණු මනුස්සකම් දන්න ජාතියක්. ඒක නෑ කියන පදනම මත හිටගෙන ජාතික සංහිඳියාව ඇති කරන්න බැහැ. සිංහලයා නිදහස වෙනුවෙන් ආයුධ අතට ගත්තා මිසක් ජාතියක් දහමක් සමාජ කොට්ඨාසයක අනන්‍යතාවක් විනාශ කරන්න ආයුධ අතට ගත්තෙ නැහැ. වැඩිහිටි ජාතියකට නින්දා කරලා සුළු ජාතීන්ට අයිතිවාසිකම් දිනා ගන්න බැහැ.”

“මනෝ වාඩිවෙන්න ඔයාගෙ ඔය කතාව මං විශ්වාස කරනවා. පොදු සමාජ සාධාරණත්වය ගැන කතා කරන්න ගිහින් එක් එක් ජාතීන්ගේ හිත්වලට ගින්දර දෙන සහජීවන කතා අවශ්‍ය නැහැ. මං පිළිගන්නවා මනෝ. මිනිහා මිනිහෙක් විදිහට හිතුවොත් විතරයි සාමය සහජීවනය ඇති වෙන්නෙ. උදේ හවා ගිනි නිවන කතා කියන දේශපාලනඥයො බලය තියා ගන්න ගිනි පත්තු කරනවා. උතුරේ වුණත් දකුණේ වුණත් සාමාන්‍ය ජනතාව එකිනෙකාට ලැදියි. ඒ ලැදියාව විවෘත කරලා පෙන්නන්න අහිංසක මිනිස්සු බයයි. බල තණ්හාවෙන් උමතු වෙලා ඉන්න දේශපාලනඥයො පොදු මහජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා. ඒකයි මං කියන්නෙ දේශපාලනයයි දේශපාලනඥයොයි අමතක කරලා මිනිස්සු වශයෙන් අපි නැගී සිටිමු කියලා.”

“රුක්නාද් ඔයත් ජනතා නියෝජනයක් තියෙන මන්ත්‍රි කෙනෙක්.” මනෝහාරී රුක්නාද්ට බාධා කරමින් කීවාය.

“මනෝ අපි රටේ තරුණ පුරවැසියො විදිහට එකතුවෙලා අනාගතයට ගමන් කරමු කියන අදහස ජය ගන්න ක්‍රියාකාරී වෙනවා නම් උත්සාහ කරනවා නම් මං මේ මන්ත්‍රි කෝට් එක ගලවන්න කැමතියි. කුල පීඩනයෙන්, ජාතිවාදී පීඩනයෙන්, ආර්ථික පීඩනයෙන් බැට කාපු මිනිහෙක් මං. මිනිස්සුන්ගෙ වචනයේ දුක නෙමේ හදවතේ දුක මට දැනෙනවා.

මනෝහාරි සිත රුක්නාද් පිළිබඳ උපන්නේ ඉමහත් ශෝකයකි. මිනිස් ප්‍රාණියෙකු ලෙස මෙලොව එළිය දුටුදා පටන් ම ඔහු අගතිගාමී සමාජ දුරාචාරයට ලක්ව පීඩාවට පත් තරුණයෙකි. ඔහු ජීවත් වුණ සමාජ සංස්ථාවේ කුලවත්, ධනවත්, බලවත්, දෙමළ පැලැන්තිය ඔහුගේ පියාට පුත්‍රයාට නමක් තැබීමේ දී පවා බාධා කර ඇත. අරුණාචලම් නාමය ඔහු උපන් කුලයට කුටුම්භයට නො තරම් යයි පැවසීම පියා ප්‍රකෝප කරවන්නක්ව ඇත.

“රුක්නාද් මොන දේ කරන්නත් හිත සැහැල්ලුවෙන් තියා ගන්න ඕන. මට හිතෙන හැටියට ‍දේශපාලනඥයාත් මනුෂ්‍යයෙක් වුණත් වඩා සංවේදී වෙනවට වැඩිය හොඳ කරන්න ඕන මොකක්ද කියලා නිවැරැදිව තේරුම් අරන්....”

“ඇත්ත මනෝ. ඒත්...”

රුක්නාද් මනෝහාරීට බාධා කළේ මඳ තරවටුවක් සහිත බැල්මක් දෙනෙතේ ඇතිවය.

“‍මොකක්ද ඒත්?”

“සංවේදී මනුෂ්‍යයෙකුට විතරයි දුක තේරෙන්නෙ. දැන් ඔයා බලන්න. පුංචි ම පුංචි කාලෙ පුංචි ම පුංචි යාළුවෙක්ගෙ ලොකු යාළුකමක් ගැන තාමත් හිතනවා. හොඳයි නැද්ද?”

“රුක්නාද්?”

“ඔව් මනෝ මං රුක්නාද්. ඔයා තාමත් ඉන්ද්‍රජිත් හොයනවා. ඒ තරුණ ප්‍රේමයක් නෙමේ. අහිංසක ගැහැනු ළමයෙක්ගෙ සංවේදී කාරුණික මානව ආදරය. සමහරවිට ඉන්ද්‍රජිත් ඔයා ගැනත් හිතනවා ඇති.”

මනෝහාරි සිත උපන්නේ නොසංසුන් කලබලයකි. රුක්නාද්ට ඉන්ද්‍රජිත් මුණ ගැසුණා විය නොහැකි ද? ඇය මඳ වේලාවක් නිහඬව සිටියාය. අනතුරුව මුව විවර කළේ දුක්බර අහිංසක සිනාවක් මුහුණේ ඇතිවය.

“රුක්නාද් ඇත්ත කියන්න. ඔයාට ඉන්ද්‍රජිත් මුණ ගැහුණද? ඇත්තට ම මං කැමතියි එයාව මුණ ගැහෙන්න.”

“නෑ. මනෝ තවම නැහැ. අපි කොහොම හරි ඔයාගෙ ඉන්ද්‍රජිත්ව හොයා ගන්න ඕන. මට විශ්වාසයි එයා ළඟදිම අපිව හොයා ගෙන එනවා කියලා නම්”

ම‍නෝහාරි යළිත් නොසංසුන් වූවාය. සැක සහිත වූවාය. රුක්නාද් ඉන්ද්‍රජිත් පිළිබඳ තොරතුරු තමාගෙන් වසන් කරන්නේ යයි සැකය ඇය සිත ඇති කළේ කම්පාවකි. පුන පුනා ඔහු ගැන ඇසීම ඇයට යම් ලජ්ජාවක් ගෙන දෙන්නක් සේ හැඟුනෙන් නිහඬවීමට සිතූ ඇය රුක්නාද් දෙස බලා සිටියේ කල්පනාබරවය.

“මනෝ ඔහොම බලනකොට මට විහිළුවක් කරන්න හිතෙනවා.”

රුක්නාද් කීවේ හිනැහෙමිනි.

“විහිළුවක්?”

“ඔව්. ඉන්ද්‍රජිත් හිටියා නම්, මොන බාධක ආවත් එයා ඔයාව අරන් යනවා. නේෂන් ඩොක්ටර් ෂර්මිලා අරන් ගියා වගේ.”

“අරන් යනවා? කඩේකින් බඩුවක් අරන් යනවා වගේ විවාහයක් කරන්න පුළුවන්ද?”

“මං විවාහ කතාවක් කිව්වෙ නැහැ මනෝ. ඔන්න මං ඔයාගෙ ගොළු හිත කතා කෙරෙව්වා. පුංචි වුණත් ආදරය ආදරයම තමා.”

එසේ කී රුක්නාද් දෙස ම‍නෝහාරි බලා සිටියේ තිගැස්සුණ බියපත් දෙනෙතිනි.

ලබන සතියට...

Comments