
අපේ රටේ ජීවත් වන මුහුදු ආදීවාසීන් පිළිබඳ අලුතින් දැන ගැනීමට ලැබුණේ යුද්ධය අවසන් වීමත් සමඟය. රට මැද සිටින ආදී වාසී ජනතාවට වඩා මොවුන්ගේ ප්‍රශ්න එකිනෙකට එකක් වෙනස්ය. ඔවුහු බොහෝ ප්‍රශ්න මැද්දේ දිවි ගෙවති.
* අපේ රටේ සිටියත් අප පිටරැටියන් වෙලා
* අපි කිරි කොරහ නටන්නේ නෑ. අවස්ථාවක්
* ලදොත් දළදා මාලිගය වැඳ පුදා ගන්නවා
වාකරේ සිට කුඤ්ඤංකුලමට යන ගමන බෙහෙවින් අසීරුය. දෙපස ඇත්තේ කැලෑවය. නමුදු ඒ අඳුරේ කැලෑවේ ගති ස්වාභාවය පැහැදිලිව නොපෙනෙයි. මහවැසි වැටුණු විට මේ මාර්ගවල ගමන් ගැනීම කොතරම් අසීරුදැයි සිතට දැනේනේ ට්‍රක් රථයේ ඉදිරිපස විදුලි ආලෝකයෙන් ඉදිරි මාර්ගයේ පෙනෙන දිග පළල කිව නොහැකි වළ ගොඩැලි දකින විටය. මාස ගණනාවකින් වැසි නොලද බිම කර්කෂය. ඒ රාත්‍රියේ වුවද ඉහළ නඟින දූවිලි වලාවන් හුස්ම ගැනීම අපහසු කරවයි. කොයි මොහොතේ අලියෙකු කැලේ දෙවනත් කරගෙන ඉදිරියට ඒ දැයි නොදන්නා ඒ මගේඅපි යන්නට වුයේ බියෙන් ගැහෙමිනි. නමුදු ඕනෑම රාත්‍රියක එමඟ යන යුද හමුදා සෙබළු අප අස්වසන්නට වූහ.
“අලියෙක් ආවොත් අපි නතර වෙනවා. කීයට හරි ඌ යනතුරු අපිත් නතර වෙලා බලන් ඉන්නවා. කරදරයක් නැහැ කියලා දැනුනනම අලි යන්න යනවා.”
අලි ගැන මෙන්ම එක එක ජාතියේ කැලෑ කතා කියමින් වාහනය ඒ රාත්‍රියේ ඉදිරියට ඇදෙයි.
“තව ගොඩක් දුර ද ?”
වාකරේ නගරයේ සිට ඒ වන විටත් අපි කිලෝමීටර විස්සකට වඩා දුර පැමිණ තිබිණි. දැන් දැන් ගමනේ අවසානය කරා ළඟා වී ඇතැයි සිතමින් කළුවරට දෑස් හුරුකර ගැනීමට වෙහෙසුනෙමු.
“නායක ඇත්තන්ගේ ගෙදර ඕන් ඔය හරියේ.”
විසල් ගසක් ඉදිරියෙන් වාහනය නතර වුයේය. අඳුරේ කිසිවක් නොපෙනේ. ට්‍රක් රථයෙන් බසින්නට කකුල තබාතිබුණේ නුහුරුටය. සිදුවූයේ දනිස් දෙකම බිම ඇන ගන්නටය. ඒ වේදනාව ගැන සිතීමට වත් ඉඩක් නොලැබුණේ කැලේ දෙවනත් කරමින් කිසිදා අසා නුපුරුදු කෑ ගෑමක්, කලබල හඩක්, බෙර හඬක් එක් ව ඇසෙන්නට වූ නිසාය.
“අද මෙහෙ සංගදි පුජාව”
ඒ වන විටත් අප පිළිගැනීමට ඉදිරියට පැමිණ සිටි වාකරේ ආදී වාසී නායක වෙලායුදම් පැවසීය.
අඳුර පළවා හැරීමට තරම් ඒ එළිය ප්‍රමාණවත් නැත. නමුදු ගැහැනුන් මිනිසුන් පිරිවරාගෙන කාවාඩි තට්ටුවක් ද හිස දරාගෙන කටු ගසාගෙන තරුණයකු කැලෑ දෙවියන්ට පුජා පැවැත් වීම සඳහා පැමිණෙමින් සිටියේය. කැලෑව දෙවනත් කරමින් ගිරිය යටින් හූ හඬ නැගුවේ ද ඔවුන්මය. කැලෑ දෙවියන් සිටින අඩවියට ළඟා වනවාත් සමඟම කටු ගසා සිටි තැනැත්තා ආරූඪ වන්නට වුයේය. කවුරු කවුරුත් එක්ව ඔහු වට කර අල්ලා ගන්නට වුහ. බොහෝ වේලා යනතුරු ඒ කලබලය ගම පුරා පැතිරී තිබිණි. අඩ හෝරාවකට පමණ පසු පරිසරය හ්ම් ශබ්දයක් වත් නැති තරමට නිහඬ වුයේය..
“තව ටිකකින් තමයි පුජාව පටන් ගන්නේ. එතකන් අපිට කතා කරන්න පුළුවන්. ඇවිත් වාඩිවෙමු.”
වාකරේ මුහුදු ආදී වාසී නායකයා අප ඔහුගේ ගෙමිදුලට කැඳවා අසුන් පැන වුයේය. යාන්තම් ආලෝකය ඇති අඬ අඳුරේ හිඳ අපි ඔහු හා කතා බහ කළෙමු.
“යුද්ද කාලේ අපි දෙපැත්තකින් බැට කෑවා. නමුත් අපි හැමදාම සිංහල වැද්දෝ . ජීවත් වුණේ මුහුදු කරේ. මගෙ උපන් ගම මාංකර්නි. අපි කැලේ කපලා හේන් කරලා ජීවත් වෙච්ච උදවිය. එක අවුරුද්දට එක ඉඩමයි. හේන් කලේ ඒ විදිහට. ආණ්ඩුවෙන් අපිට මෙතන පදිංචි වෙන්න දුන්නා. මේ ගමේ නම කුංඤ්ඤම් කලම. ගමේ ආදී වාසී පවුල් හැට තුනක් ජීවත් වෙනවා. තව ආදී වාසී ඉන්න ගම්මාන හතරක් තියෙනවා .මධුරම්කර්නි කුලම්,කිරමිච්චකුලම්, තූනාච්චි, කොච්චල් ආදි ගම්මාන තියෙනවා. ඊට අමතරව නැගෙනහිර පළාතේ තවත් ආදී වාසී ගම්මාන තියෙනවා. අපි හැමදාමත් ධීවර රස්සාව කරලා ජීවත් වුණේ. රට මැද ඉන්න ආදී වාසීන් උඩරට අය හැටියට සලකන්නේ. අපි රට වටේ ඉන්න නිසා අපිව හඳුන් වන්නේ පිටරට අය කියලා. මාළු අල්ලනවා, කැලේ යනවා, මී පැණි හොයනවා, ඔය මොනවා හරි කරලා ලැබෙන දෙයින් තමයි අපි ජීවත් වන්නේ”. ආදි වාසී නායක වෙලායුදම් පවසන්නේ තම රැහේ ඇත්තන් දවස ගෙවා දමන අයුරුය.
ආදි වාසීන් යැයි කියූ සැණින් ඔබට අපට නිතැතින්ම සිහිපත් වන්නේ දඹානේ ආදී වාසීන්ය. එහෙමත් නැත්නම් දළුකාන ආදී වාසීන්ය. එහෙමත් නැත්නම් රතුගල ආදී වාසීන්ය . එසේත් නැත්නම් පොල්ලබැද්ද ආදී වාසීන්ය. මේ හැමටම පසුව අපේ රටේ ජීවත් වන මුහුදු ආදීවාසීන් පිළිබඳ අලුතින් දැන ගැනීමට ලැබුණේ යුද්ධය අවසන් වීමත් සමඟය. රට මැද සිටින ආදී වාසී ජනතාවට වඩා මොවුන්ගේ ප්‍රශ්න එකිනෙකට එකක් වෙනස්ය. ඔවුහු බොහෝ ප්‍රශ්න මැද්දේ ජීවිත ගෙන යන්නාහ.
ඇතැම් කාන්තාවන්ට ස්වාමී පුරුෂයන් නැත. එක්කෝ මිය ගොසින්ය. එහෙමත් නැත්නම් හැර ගොසින්ය. මේ නිසා දරුවන් හදා වඩා ගැනීම කිරීමට සිදුව ඇත්තේ ඔවුන්ට තනිවමය. ස්ථිර රැකියාවක් නැති ඔවුන් ජීවත් වන්නේ බොහෝ බැරි අමාරුකම් මධ්‍යයේය. ආදි වාසී දරුවෝ පාසල් යන්නේ මධුරම්කුලම්වලට . ආදී වාසීන් වෙසෙන මිච්ඤ්ඤච්කුලම ගමට බස් වැඩ කරන්නේ නැත. මධුරම්කර්නි සිට වාලච්චනේට යන බස් රථය වුව සිකුරාදා සෙනසුරාදා හා ඉරිදාට ඒ මඟෙහි ගමන් ගන්නේ නැත. එවිට ද අපහසුතාවයට පත්වන්නේ ආදී වාසී ජනයාමය. ඔවුන් තම ජීවත් වීමේ පැවැත්ම, ඇති චාරිත්‍ර වාරිත්‍රද එකිනෙකට වෙනස් බව පවසන්නේ ආඩම්බරයෙනි. ගම් ගණනාවකට නායකත්වය දරන වෙලායුදම් නායකතුමා ඒ ඒ ගම්වලට සභාපතිවරු පත්කර ඇත්තේය.
සින්නතම්බි යනු නැගෙනහිර පළාතේ ආදි වාසී ගම්මානයක සභාපතිවරයෙකි. ඔහු පවසන්නේ තමන්ට අයත් කාර්යයන්ගෙන් ටිකකි.
“මම මගේ ගමේ මිනිස්සුන්ගේ ගැටලු ප්‍රශ්න තිබුණොත් ඒවා නායකතුමාට ඇවිත් කියනවා. ඒ වගේම රාජ්‍ය ආයතනවලට අපේ ප්‍රශ්න අරගෙන යනවා. කොහොම වුණත් අපේ මිනිස්සු වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ආදී වාසීන් වුණාට තවමත් අපට සමාජයේ අපට හිමිතැන ලැබිලා නැහැ. අප දෙමළ මිනිස්සු නෙමෙයි. අපි සිංහල මිනිස්සු. කාලයක් තිස්සේ දෙමළ මිනිස්සු එක්ක ජිවත් වෙලා තමයි අපි දෙමළ වෙලා තියෙන්නේ. අපේ උප්පැන්නවල සඳහන් වෙන්නේ අපි දෙමළ කියලා. අපිට පුළුන්නම් ඒක නිවැරැදි කරලා දෙන්න. අපි සිංහල ආදී වාසීන් මිස දෙමළ ජන කොටසක් නෙමෙයි”. සින්නතම්බි තමන්ට වී ඇති අසාධාරණය පිළිබඳ කතා කරන්නේ කනගාටුවෙනි.
උපතේ සිට මරණය දක්වාම මොවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර එකිනෙකට වෙනස්ය. දරුවකු උපන් විට එය රැහේ නායකයාට පුරුද්දක් ලෙස දැනුම් දෙනු ලැබේ. අතීතයේ නම් ළඳරුවාට නම දෙනු ලැබුවේ ආදී වාසී නායකයා විසිනි. කාලය වෙනස් වීමත් සමඟ දැන් දරුවාගේ මවුපියෝ පැමිණ දරුවාට තැබූ නම ගැන පමණක් නායකයා දැනුම්වත් කරති. කෙනෙකු විවාහ වන විට ද නායකයා දැනුම්වත් කරනු ලැබේ.
ඒ ගැන තොරතුරු පවසන ආදී වාසී නායකයා.
“ඉස්සර නම් විවාහ ලියා පදිංචි කරන්නේ නැහැ. නමුත් දැන් විවාහ ලියාපදිංචි කරනවා. රැහෙන් පිට විවාහ වෙනවා අඩුයි. කාලේ වෙනස් නේ. සමහරුනම් ආදී වාසී කියලා කියන්න අකමැතියි. කෙනෙක් විවාහ වෙන්න යෙදුනම ඇවිල්ලා නායකයාට දැනුම් දෙනවා..කෙනෙක් මැරුණම පුළුවන්කමක් තිබුණොත් පෙටිටියක් හදනවා . නැත්නම් කැලේ ලී වලින් පෙට්ටියක් හදනවා. මරණයෙන් පස්සේ මැරිච්ච කෙනා කපු මහත්තයාට ආවේශ වෙලා නටනවා. මිනිය වැළලුවට පස්සේ බත් උයලා පොල්කිරි සීනී තියනවා . කපුවා ආවේශ වෙලා මේවායේ සුවඳ ගන්නවා. ආයෙමත් දවස් තුනකින් කිරිබත් උයලා පලතුරු එක්ක බාර ඔප්පු කරනවා. ආයෙමත් දවස් හතකින් කිරිබත් උයලා කණු හතක් තියලා කෝටු හතක් තියලා පලතුරු හතක් කැවිලි හතක් තියලා බාර ඔප්පු කරනවා. ඉන් පස්සේ දවස් තිස් එකෙන් බත් උයලා එළවළු උයලා ගමටම කන්න දානේ දෙනවා. මේ හැම දේම කරලා මැරුණ කෙනාගේ ආත්මයට ශාන්තිය තමයි ප්‍රාර්ථනා කරන්නේ”. වෙලායුදම් පවසන්නේ තම රැහේ ඇත්තන්ගේ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳය.
රාත්‍රිය මැදියම කරා ළංවෙමින් තිබිණි. රැයක් දවාලක් නැතුවාක් මෙන් ආදී වාසී නායක ඇත්තන් අප සමඟ ආ ගිය තොරතුරු පවසන්නට වුයේය. ඔහු ගේ නැගණිය දියණියෝ මෙන්ම ගම්මැද්දේ තරුණියෝ හා ආදී වාසී ගැහැනු අලංකාර සාරියෙන් සැරැසී ඒ අන්ධකාර රාත්‍රියේ එහේ මෙහෙ යන්නට වුහ. ඒ ඔවුන්ගේ මංගල්‍යය දිනයයි.
ආදී වාසී නායකයාගේ නිවෙසට මදක් එපිටින් වු පෙදෙසින් යළිත් බෙර හඬ ඇසෙන්නට වුයේය. එමෙන්ම කාවාඩි නැටුම් හඬක් ද ඇසෙන්නට වුයේය.
“අපි යමුද පුජා බිමට”
නායක ඇත්තා අප එහි කැඳවා යන්නට වුයේය. එබිම දුටු සැණින් සිහි වූයේ අපේ ගම්මානවල ඇති තොවිල් පළවල්ය. වෙරුගල්ආර මෙන්ම නැගෙනහිර පළාතේ ආදීවාසි ගම්මානවලින් පැමිණි ගහැහැනුන් පිරිමින් තැන් තැන්වල එළන ලද පැදුරුවල පවුල් පිටින් වාඩිවී ඊළඟට සිදුවන්නේ කුමක්දැයි බලා සිටින්නේ කුතුහලයෙනි. බෙර හඬ ක්‍රමයෙන් වැඩි වන්නට වුයේය. හූ තබමින් කෙනෙකු ගොක්කොළ වලින් සැරසී එක පොදියට නටන්නට වුයේය. ඔහු නටන්නේ ආරූඪයෙනි. ඔහුට බිම ඇද වැටෙන්නට නොදී ඔහු පසුපස බොහෝ දෙනෙක් රැඳී සිටින්නාහ. ආවේශ වී නටාගෙන පැමිණි කපුවා ඉන් පසුබ ඇහැළ මල් ආදිය මල් තටුවල තැන්පත් කරන්නට වුයේය. තවත් තැනෙක වැදි දෙවියන් පිදීම සඳහා කැළයෙන් ගෙනා දිග ගස් කඳක තැනින් තැන කොහොඹ අතු බැඳ ඇත්තේය. තවත් තැනෙක රෙදි වට කොට කොටුවක වළහෙක් තනා ඇත්තේ කොහොඹ කොළ ගොන්නකිනි. ආවේශ වන කපුවා මධ්‍යම රාත්‍රියේදී වළහා පිට නැගී නටමින් කැළයේදී වළහාගෙන් සිදුවන අතුරු ආන්තරා සිදු නොවේවායි කියා කැලෑ දෙවියන්ගෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නේය. මේ සියලු කටයුතු එළිමහනේ සිදුවන අතර දේවාලය තුළ තවත් කටයුතු රැසක් සිදු කරන්නේය. ඒ පත්තිනි දේව මැණියන් සඳහාය. වැව් වලින් නෙළා ගෙනන ලද නෙළුම් මල් පෙති ගලවා එකට එකතු කර ඇත්තේය. ඒ පුජා පවත්වන විට දේව මාතාවගේ පිළිමය මත හෙළිම සඳහාය. මේ අතර එළීමහනේ තැනෙක ආදී වාසී ගැහැනු දෙදෙනෙක් දෙමෝලෙන් පිටි කොටන්නාහ. ඒ පාන්දර යාමයේ කිරි ආහාර සැකසීම සඳහාය. එමෙන්ම තවත් තැනෙක දේවාලයේ වැඩ කරන්නන් සඳහා වෙනමම එළවළු සහිත බත් පිසින්නේය. ඔවුන් මේ සියලු දේ කරන්නේ සැදැහැ සිතිනි.
විදුලි එළියේ ආලෝකයෙන් ඔද වැඩුණු තරුණියන් අලංකාර සාරියෙන් හැඩ වැඩ වී එහෙ මෙහෙ යන්නේ තම ඉරණම් කාරයා වුව මේ අතරින් සොගැනීමට හැකී වේයැයි යන විශ්වාසයද ඇතිවය. මේ අතර පුංචි පුංචි සිල්ලර කඩ ද ඇත්තේය. ඒ පැණි බූන්දි මුරුක්කු ආදි කඩචෝරු කෑමය. මෙය සැබැවින්ම ආදි වාසින්ගේ සැණකෙළි දිනයක් බඳුය.
“අවුරුද්ද පුරා අපිට එක එක උත්සව නැහැ. අපි කිරි කොරහා නටන්නේ නැහැ. නමුත් අවස්ථාවක් ලැබුණම වසරකට වරක් දළදා මාලිගාව වැද පුදා ගන්න යනවා. කතරගම දේවාලයට ගිහිල්ලා පුද පුජා පවත්වලා එනවා. ඒ හැරුණම පුරාණේ ඉදලම හැම වසරකම ජූලි මාසේ මෙන්න මේ කාලේ කැලෑ දෙවියන්ටයි, පත්තිනි දේව මැණියන්ටයි පුද පුජා පවත්වනවා. ඒක තමයි අපිට තියෙන පිහිට. ඒ හැරුණම අපිත් ලෝක ආදිවාසී දින උත්සව වලට සහභාගි වෙනවා. දඹානේ ඇත්තෝ හමුවෙන්න යනවා”.
ආදි වාසී නායකයා පවසන්නේ තම රැහේ ඇත්තන්ගේ වාරිත්‍ර වාරිත්‍ර විධි පිළිබඳය.“ වෙලායුදම්” මුහුදු වැද්දන්නේ පළමු ආදී වාසී නායකයාය. ඔහු ගෙන් පසුව නායකත්වය හිමි වන්නේ ඔහු ගේ පුතුටය. නමුදු දැනට සිටින නායකයාගේ බාල සහෝදරයා සිටින බැවින් නායකත්වය හිමිවන්නේ ආදි වාසි නායකයාගේ සහෝදරයාටය.
වැදි රැහේ ඇත්තන්ගේ පුජා පැවැත්වෙන දිනයේ කිරිමිච්චියේ සිට පැමිණි සුබෙයිදා ඒ බිමේ සිල්ලර කඩයක් පවත්වාගෙන යමින් සිටියේය. කදිරමලේ ලීලා එනම් ආදී වාසී නායකයා ගේ බිරිඳ දේවාල භූමියේ සිදුවන සියළු කටයුතු පිළිබඳ සොයා බලන්නීය. මේ දිනවල නැගෙනහිර පළාතේ පවතින දැඩි නියඟය ආදී වාසීන්ට දබොහෝ තදින් දැනෙන්නට පටන් ගෙන ඇත . එනිසා ඔවුන්ට ගොවිතැන් කටයුතු කරිමට තරම්වත් ජලය නැත 233 බල සේනා මූලස්ථානය විසින් ආදි වාසීන් සඳහා පානීය ලබා දෙන්නේය. නැගෙහිර පළාතේ මුහුදු ආදී වාසීන් සොයා ගිය ගමනේදී අහම්බෙන් වුව අපට ඔවුන්ගේ වාර්ෂික උත්සවයකට සහභාගි වීමට ලැබුණ ද එය ද අලුත් අත්දැකීමක් වුයේය. සතා සීපාවා ගහන තවමත් සාම්ප්‍රදායික ගති සිරිත් අදහන යක්කුන් ප්‍රේතයින් කොරහි වශ්වාස තබන මේ මිනිසුන් තම අයිතිය රැක ගැනීම උදෙසා නිරන්තරව වෙහෙසෙති .“ ආදී වාසීන් කියන එක අපට ආඩම්බරයක්, අපේ දරුවන්ගේ උප්පැන්න සහතිකවල ඇතුළත් වෙන්න ඕනෑ සිංහල ආදී වාසීන් කියලා. අපි ඒ වෙනුවෙන් තවමත් සටන් කරනවා”. ඔවුන් පවසන්නේ එක හඬනි.
රාත්‍රියේ පන්දම් එළි ආලෝකයෙන් විදුලි එළියෙන් ඔවුහු තම දෙවියන් උදෙසා පුද පුජා පවත්වන්නට වූහ. මධ්‍යම රාත්‍රියද ගතවී හෝරා දෙක තුනක් යනතුරු ඔවුහු විවිධ මන්ත්‍ර ස්ත්‍රෝත්‍ර කියමින් ආවේශ වෙමින් මායම් වෙමින් ගම්මානය අවදියෙන් තැබූහ. කැලෑ ගමේ මුහුදු ආදී වාසීන්ට ඒ කටයුතු නිදහසේ කරගන්නට ඉඩ දී අපි ඉන් පිටව ආයේ අපේම තවත් ජන කොටසකගේ අපූරු චර්යා රටා පෙළක් අප සිත්හි සටහන් කර ගනිමිනි.
ඡායාරූප- තුෂාර ප්‍රනාන්දු