තනිකමයි අසරණකමයි වැඩිහිටියන්ට දිවි එපා කරවයි | Page 115 | සිළුමිණ

තනිකමයි අසරණකමයි වැඩිහිටියන්ට දිවි එපා කරවයි

* ලංකාවේ මාතෘ මරණවලින් 14%ක් සිය දිවි නසා ගැනීම්.
* වගකීමෙන් තොර මාධ්‍ය භාවිතය මෙරට දිවි නසා ගැනීම්වලට ප්‍රධාන හේතුවක්.
* සිය දිවි නසා ගැනීම් විචිත්‍රවත්ව, වීරත්වයෙන් යුතුව ඉදිරිපත් කිරීම නොකළ යුතුයි.

1996 වසර කරුණු දෙකකින් ශ්‍රී ලංකාව මුල් තැනට පත්වුණු තීරණාත්මක වසරකි. ඉන් එක කාරණාවක් ජයග්‍රහණයකි. අනෙක සැබැවින්ම පරාජයකි. ජයග්‍රහණය වන්නේ ලෝක ක්‍රිකට් කුසලාන තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වීමයි. පරාජය වන්නේ ලෝකයේ වැඩියෙන් ම සිය දිවි නසා ගන්නා පුද්ගලයන් සිටින රටවල් අතරින් පළමු තැන ද ශ්‍රී ලංකාවට හිමි වීමයි. ඒ වසරේ සෑම ලාංකිකයින් ලක්ෂයකින් 48 දෙනෙක් සිය දිවි නසා ගත්හ. වර්තමානයෙහි ශ්‍රී ලංකාව ඒ අතින් 14 වැනි ස්ථානයේ ය. ක්‍රිකට් යනු කායික මෙන්ම මානසි සුවයට මුල් තැනක් හිමිවන ක්‍රීඩාවකි. ලෝකයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් සිටින, ලෝකයේ වැඩියෙන් ම බණ දහම් අහන, නැටුම් ගැයුම් වැයුම් හා සංස්කෘතිකාංග හා සාරධර්මවලින් පො‍හොසත් ජාතියක් වෙසෙන අපේ රටේ ජනතාව ජීවිතය එපා වී සිය දිවි නසා ගැනීමෙන් ලෝකයේ සෙසු සෑම ජාතියක්ම පරදවා පෙරට එන්නට හේතුවූ කරුණු කාරණා බොහෝ විය හැකිය. ඒ කාරණා අතර සිය දිවි නසා ගැනීම පිළිබඳ වාර්තාකරණයේදී මෙරට ජනමාධ්‍යයන්හි අවිචාරවත් මාධ්‍ය භාවිතාවට ද මුල් තැනක් හිමි වන බව එකල මෙන් ම මෙකල ද ඒ පිළිබඳව සොයා බැලූ පර්යේෂකයන්ගේ මෙන්ම සෞඛ්‍ය අංශයන්හිද අදහසය.

යහපත් සෞඛ්‍යයක් සඳහා පුද්ගල මනෝ සමාජීය සංවර්ධනය ඍජුවම බලපෑම් කරයි. මනෝ සමාජීය සංවර්ධනය කෙරෙහි පාරිසරික සාධක ද බලපායි. එහිදී “මාධ්‍ය” ප්‍රධාන පාරිසරික සාධකයක් වේ. අනුකරණය හා පරිසරය තුළින් ඉගෙනගැනීම සිදු වෙන අතර වගකීමකින් තොර මාධ්‍ය වාර්තාකරණය තුළින් අධ්‍යාපනය හා අනුකරණය සඳහා වන බලපෑම දැඩිවේ. එහෙයින් මෙරට ජනතාවගේ සිය දිවි නසාගැනීම් අවම කරගැනීමේ ප්‍රයත්නයෙහි ලා මාධ්‍ය භාවිතයේදී දැඩි ලෙස වගකීම් සහගත විය යුතු බව ගම්පහ දිස්ත්‍රික් රෝහලෙහි ම‍නෝ වෛද්‍ය විශේෂඥ එස්.පී. කඳපොළ ආරච්චිගේ මහතා පවසයි. “සිය දිවි නසා ගැනීම් වළක්වමු” යන මැයෙන් පසුගියදා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයේදී ඒ මහතා මේ බව පැවැසීය.

යම් පුද්ගලයකු දිවි නසා ගැනීමට තැත්කරනුයේ හෝ දිවි නසා ගන්නේ කිසියම් මානසික රෝග තත්ත්වයක් නිසා හෝ විසඳා ගත නොහැකි ගැටලුවක් හෝ වේදනාවක්‍ හේතුවෙනි. එම ගැටලුවෙන් ගොඩ එන්නට බැරි වූ කල විවිධ අවස්ථාවල ඔහුට හෝ ඇයට ඒ සඳහා ඇති හොඳම විසඳුම දිවි ‍තොර කර ගැනීම යැයි සිතෙන්නට පුළුවන. එහෙත් විවිධ හේතු මත ඒ අදහස යටපත් විය හැකිය. මාධ්‍ය හරහා ඔහු වැනිම හෝ වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයකු දිවි නසා ගත් ආකාරය සවිස්තරාත්මකව වීරත්වයකින් යුතුව වාර්තා කළ විට එම යටපත් වූ සිතිවිල්ල ක්‍රියාත්මක කිරීමේ අදහස යළිත් ඇතිවේ. එය වරදක් හෝ පාපයක්නොව වීරක්‍රියාවක් ලෙස හුවා දැක්වෙන හෙයින් මාධ්‍ය වාර්තා අනුකරණය කරමින් ඒ පුද්ගලයා සිය දිවි නසා ගැනීමට පෙළැඹේ. එහෙයින් වාර්තාකරණයේදී ඒවා විචිත්‍රවත්ව, සංවේදීව ඉදිරිපත් නොකරන ලෙස මනෝ වෛද්‍යවරුන්, මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිති. ලාංකික සිය දිවි නසා ගැනීම්වලට බලපාන ප්‍රධාන හේතු දෙකකි. එනම් විශාදය (depression) හා මධ්‍යසාර භාවිතය ආශ්‍රිත ගැටලුය. මෙම තත්ත්ව දෙකම වළක්වාගත හැකිය. එමෙන්ම බොහෝ මානසික රෝග ඖෂධ මඟින් හා උපදේශනයෙන් සුවපත් කළ හැකි බව ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ මහාචාර්ය සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සමුද්‍රා කත්‍රිආරච්චි මහත්මිය පවසයි. ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීමට පෙළැඹෙන්නන් බොහොමයක් වයස අවුරුදු 15 - 25 ත් අතර තරුණ පිරිස වෙති. 1979 වසරේ සිය දිවි නසා ගන්නට තැත් කළ සංඛ්‍යාව ලක්ෂයකට 79 ක් වූ අතර 2007 දී ඒ සංඛ්‍යාව ලක්ෂයකට 321 ක් විය. මෙලෙස දිවි නසා ගන්නට තැත් කළ පුද්ගලයන් සුවපත් කිරීම සඳහා සෞඛ්‍ය අංශයට බලවත් වියදමක් දැරීමට සිදුවේ.

බොහෝ දෙනකු දිවි නසා ගන්නට තැත් කරන්නේ මැරෙන්නට ඇති වුවමනාවටම නොව තමා තුළ ඇති කෝපය, දුක හෝ වේදනාව තවෙකකු වෙත දැන්වීම සඳහාය. එහෙත් බොහෝ විට මෙම උත්සාහය කෙළවර වන්නේ මරණයෙනි. පුද්ගලයන් ආවේග පාලනය කර ගැනීමට කුඩා කලසිට පුරුදු පුහුණු කරවීම මේ සඳහා ඇති හොඳම විසඳුමය. පාසල් අවධියේ සිටම පුද්ගල හැකියා සංවර්ධනය (skills development) ඇරැඹිය යුතුය. මානසික ආතතිය, විශාදය වැනි රෝග තත්ව කල්තියා හඳුනාගත් විට උපදේශනයෙන් හෝ ඖෂධ මඟින් ස්ථිරවම සුව කළ හැකිය. තමා හා තමා අවට වෙසෙන්නන් ගේ හැඟීම් දැනීම් අවබෝධ කරගෙන, එකිනෙකාට සහයෝගය දක්වමින් හා දයාවෙන් යුතුව කටයුතු කිරීමෙන් බොහෝ ජීවිත රැක ගත හැකි යැයිද මහාචාර්යතුමිය පවසයි. ලංකාවේ මාතෘ මරණ අනුපාතය බෙහෙවින් අඩුය. මාතෘ හා ළමා සෞඛ්‍ය සංරක්ෂණය අතින් එය ලෝකයේ මුල් තැනෙක වැජැඹෙයි. මෙරට සිදුවන මාතෘ මරණවලින් 14% කට හේතුව සියදිවි නසා ගැනීම් බව අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා පවසයි. දරුවකු අපේක්ෂා කරන ගර්භයට සති 24 කාලයේ සිට ප්‍රසවයෙන් පසු මාස තුන ඇතුළත මව තුළ ඇතිවන මානසික ව්‍යාකූලත්වය හේතුවෙන් සිදුවන මරණ මේ ගණයට අයත් වේ.

2016 දී වසරේදී මෙරට සිදු වූ මාතෘ මරණ සංඛ්‍යාව 24 කි. මේ අතරින් වැඩි සංඛ්‍යාවක් දිවි නසා ගැනීම්ය. දරුවා බිහිවීමෙන් පසුව ඇතිවෙන මේ මනෝ ව්‍යාධිය අතීතයේදී “වැදුම්ගෙයි සන්නිය” යනුවෙන් හැඳින්විණි. දරුවා උපන් පසු නැති වේය යන බිය, කිරි දීමට බැරි වේය යන බිය, දරුවාගේ කටයුතු තනිව කර ගැනීමට නොහැකි වීම, දරුවා කෙරෙහි ඇතිවන කෝපය මෙහි රෝග ලක්ෂණ වේ. මෙවැනි මවුවරුන් බොහෝ විට තම ජීවිතයට පමණක් නොව ළදරු ජීවිතයට ද හානි කිරීමට තැත් කරති. ඉහත රෝග ලක්ෂණ දුටුවද බොහෝ දෙනෙක් ඒවා රෝග ලක්ෂණ ලෙස හඳුනා නොගනිති. මෙම රෝග ලක්ෂණ පහළ වන මුල් අවදියේදීම හඳුනාගත් වහාම ඒ මවුවරුන් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමෙන් රෝගය සුව කළ හැකිය. විශේෂත්වය වන්නේ මෙවැනි මවුවරුනට ලබා දෙන ඖෂධ භාවිතා කළද දරුවාට කිරි දීමට එය බාධාවක් නොවීමය.

කලකට පෙර සිය දිවි නසා ගැනීම්වලට වැඩිපුර පෙළැඹුණේ තරුණ පිරිස් වුවද වර්තමානයෙහි වැඩිහිටියන් වැඩියෙන් සිය දිවි නසා ගැනීමට පෙළැඹෙන බව පේරාදෙණිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ පේරාදෙණිය ශික්ෂණ වෛද්‍ය පීඨයේ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය තිළිණි රාජපක්ෂ මහත්මිය පවසයි. මෙරට වැඩිහිටි ජනගහනය වර්ධනය වීමත් සමඟ ‍‍ෙම් තත්ත්වය වඩාත් උග්‍ර විය හැකි බවටද වෛද්‍යවරිය අනතුරු හඟවයි. වැඩිහිටියන් කෙරෙහි තම පවුලේ මෙන්ම සමාජයෙහි අවධානය අඩු වීම, බෙලහීන වීම, රෝගී වීම, ආර්ථික අතින් දුර්වල වීම, පිළිගැනීමක් නොමැති වීම, ආදරය කරුණාව අහිමි වීම හා තනිකම හා කාංසිය වැනි වැඩිහිටියන්ට මුහුණ දීමට සිදුවන ගැටලු මේ තත්ත්වයට හේතු වී තිබේ. ඉදිරි වසර කිහිපයේදී ලාංකීය ජනගහනය වේගයෙන් වියපත්වන තත්ත්වයක් තුළ වැඩිහිටියන්ගේ ශාරීරික මානසික හා සමාජීය අවශ්‍යතාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වන බවද වෛද්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

ඡායාරූප - විමල් කරුණාතිලක

Comments

sama wayas aya samaga asuru kireemata wedihitiyanta mituru samaja,web ,munagesweeme aayatana bihiwiya yutuyi.

පිටු