ට්‍රෙඩ්මෙඩ් 2017 | සිළුමිණ

ට්‍රෙඩ්මෙඩ් 2017

සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සමුළුව පිළිබඳ අදහස් දක්වමින්

ශ්‍රී ලංකා පාරම්පරික හා අනුපූරක වෛද්‍ය ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික හා ‍වෙළඳ ප්‍රදර්ශනය

පාරම්පරික හා අනුප‍ූරක වෛද්‍ය ක්ෂේත්‍රයන්හි පර්යේෂණාත්මකව ‍ඔප්පු කොට තිබෙන ගෝලීය වටිනාකම් සහිත අත්දැකීම්, දැනුම හා කුසලතා හුවමාරුකර ගැනීම සඳහා වන වේදිකාවක් සැපයීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව දියත් කරනු ලබන පාරම්පරික හා අනුපූරක වෛද්‍ය ජාත්‍යන්තර සම්මන්ත්‍රණය, අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය - 2017 කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේ දී 2017 වර්ෂයේ නොවැම්බර් මස 23, 24, 25 යන තෙදින පුරා පැවැත්වේ.

ජාත්‍යන්තර සම්මන්ත්‍රණයෙහි අරමුණ වනුයේ විවිධ වෛද්‍ය ක්‍රමයන්හි නිපුණතාවයක් දක්වන්නා වූ වෛද්‍යවරුන් හට තමන් සතු සුවිශේෂී වූ ඥාන සම්භාරය විද්‍යාත්මක ක්‍රමය පාදක කරගනිමින් පර්යේෂණාත්මකව එළි දැක්වීමට හා රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකයන් සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය වේදිකාවක් සකස් කර දීම වේ. මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඇමෙරිකා‍ව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ජපානය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, නෙදර්ලන්තය, ඉරානය හා තායිලන්තය යන රටවලින් සහභාගි වන කීර්තිමත් විද්වතුන් විසින් මෙන්ම දේශීය විද්වතුන් විසින් පවත්වනු ලබන විද්වත් දේශන 48 කට අධික සංඛ්‍යාවකින් සමන්විත ය.

පර්යේෂකයන් හට තම පර්යේෂණ පෝස්ටර් මගින් හා වාචික යන මාධ්‍ය දෙකෙන් ම ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. ඉදිරිපත් කරනු ලබන පර්යේෂණ පත්‍රිකා ජාත්‍යන්තරව තෝරාගන්නා ලද ඒ විෂය සඳහා විශේෂ ප්‍රාගුන්‍යයක් දක්වනු ලබන විද්වත් මණ්ඩලයක් මඟින් විද්‍යාත්මක අගය මත පදනම්ව විමර්ශනය කර තෝරාගනු ලබයි.

වාචික මාධ්‍ය මඟින් පර්යේෂණ පත්‍රිකා 120 ක් පමණ ද පෝස්ටර් මාධ්‍ය මඟින් පර්යේෂණ පත්‍රිකා 100 ක් පමණ ද ඉදිරිපත් කිරීම සඳහා තෝරාගැනීමට නියමිත ය.

ප්‍රකාශිත සාරාංශ (100 – 150) බයෝමෙඩ් සෙන්ට්‍රල් ජර්නල් හි අනුපූරක හා විකල්ප වෛද්‍ය විද්‍යා (Biomed Central Journal of Complementary and Alternative Medicine) (Impact Factor – 2.288) යටතේ ප්‍රකාශයට පත් කෙරේ. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍ය සම්මන්ත්‍රණ වැඩසටහනක් එක්සත් ජනපද ජාතික පුස්තකාලයේ PubMed හි ලැයිස්තුගත කර ඇති අන්තර්ජාතික සඟරාවක පළකරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ.

සාම්ප්‍රදායික ක්‍රම

මෙමගින් පාරම්පරික වෛද්‍ය පද්ධතිවල අඩංගු සාම්ප්‍රදායික ක්‍රම මඟින් රෝග නිවාරණය, නිර්ණය කිරීම, කළමනාකරණය කිරීම සහ නවීන විද්‍යාව හා තාක්ෂණය භාවිතය, චිකිත්සීය ක්‍රමෝපායන්, සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයන්හි ඖෂධීය ජෛව වෛද්‍ය තොරතුරු පද්ධතිය හා බැඳුණු ක්‍රියාකාරිත්වයන් හුවමාරු කර ගැනීම මඟින් නිසි තත්ත්ව හා ප්‍රමිතියකින් යුතු ආරක්ෂිත සහ ඵලදායි නිෂ්පාදන සංවර්ධනය කිරීමටද අපේක්ෂිතය. මහජන සංසදය හරහා මහජනතාව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට උපායමාර්ග ප්‍රවර්ධනය කිරීම ද මෙමඟින් සිදු කෙරේ‍.

ජාත්‍යන්තර සමුළුවේ තවත් අපේක්ෂිත සුවිශේෂී ප්‍රතිඵලයක් වන්නේ සමුළුවේ වැදගත් ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම සඳහා සහභාගි වූ රටවල්වල අමාත්‍ය මට්ටමේ කැපවීම ප්‍රකාශ කිරීමේ කොළඹ නිවේදනය නිකුත් කිරීමයි.

එක් වහලක් යටතට

අන්තර්ජාතික සම්මන්ත්‍රණයට සමගාමීව පවත්වන අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය දේශීය හා ජාත්‍යන්තර ඖෂධීය කර්මාන්ත එක් වහලක් යටතට ගැනීම සඳහා ස්වර්ණමය අවස්ථාවක් සපයනු ඇත. ගෝලීය කර්මාන්ත විශ්ලේෂකයින්ගේ වාර්තා අනුව, ශාකසාර අතිරේක හා පිළියම් වෙළෙඳපොළ 2020 වසර වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 150 දක්වා ළඟා වනු ඇතැයි අනාවැකි පළකොට ඇත. සාමාන්‍ය සෞඛ්‍ය වර්ධනය, යහපත් ජීවන රටාව, වයස්ගත ජනගහනයේ වර්ධනය, දැනුවත් බව සහ සමාජයේ යහපැවැත්ම වැඩිවීම, ජීවන වියදම වැඩිවීම, සෞඛ්‍ය ආරක්ෂණ කටයුතුවලදී සුවදායි ඖෂධවල ගුණය සඳහා ඖෂධීය පැළෑටි කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම, විකල්ප ඖෂධ හා ආහාරමය අතිරේක සහ සෞඛ්‍ය සම්පන්න විකල්ප සුරක්ෂිත කිරීම, පාරිභෝගිකයින්ගේ හා රැකියා - ජීවිත ආතතිය වැඩිවීම වැනි කරුණු මේ සඳහා ඉවහල් වනු ඇතැයි විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික ඖෂධ උපයෝගිතාවය පිළිබඳ ඉතිහාසයක් ඇති ජාතියක් ලෙස මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය හා වෙළෙඳ ප්‍රදර්ශනය මඟින් ආසියා ශාන්තිකර සෞඛ්‍ය කේන්ද්‍රය බවට පත්වෙමින් වර්ධනය වන ඖෂධීය අතිරේක සහ ප්‍රතිකර්ම වෙළෙඳපොළ කරා රැගෙන යාම අරමුණු වන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළෙඳ ප්‍රදර්ශනය ආයුර්වේද, සිද්ධා, යුනානි සහ අනෙකුත් සාම්ප්‍රදායික/ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ පර්යේෂකයින්, විද්‍යාර්ථීන්, විද්‍යාඥයින්, වෘත්තිකයින්, කර්මාන්තකරුවන්, ආයෝජකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ජාත්‍යන්තර හා දේශීය වෘත්තිකයන් සහ ආයෝජකයින් ඇතුළු සියලු දෙනාටම නොමිලේ ප්‍රද‍ර්ශනය කරනු ඇත.

ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශනකරුවන් 120 කට අධික ප්‍රමාණයක් සහභාගි වන අතර ඒ අතරට ශාකසාර/ ස්වාභාවික නිෂ්පාදන කර්මාන්තකරුවන් (නියුට්‍රිසියුටිකල්ස්, කොස්මික්ටික් හා ෆාමසියුටිකල්ස්) අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් සහ වගාකරුවන්, කාබනික ආහාර සමාගම් අයත්වේ. ජාත්‍යන්තර හා දේශීය ඖෂධීය ආශ්‍රිත කර්මාන්ත ශ්‍රී ලංකාවේ වෙසෙන දේශීය වෛද්‍යවරුන් හමුවීමටත්, ඔවුන්ගේ නිෂ්පාදන ගවේෂණය කිරීමටත් මෙමගින් අවස්ථාව ලැබෙනු ඇත.

ගෝලීය ශාක සාර ඖෂධ

අපේ දේශීය වෛද්‍ය නිෂ්පාදන ගෝලීය ශාක සාර ඖෂධ වෙළෙඳපොළට ගෙන ඒමට වඩාත් ම සුදුසු කාලයයි මේ. එබැවින් ශ්‍රී ලංකාවේ වෙසෙන දේශීය වෛද්‍යවරුන් හට සිය නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වෙළෙඳ ප්‍රදර්ශනය විවෘතව පවතී.

මෙම අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය කර්මාන්ත හා සම්බන්ධ නිෂ්පාදකයින්, සැපයුම්කරුවන් සහ බෙදාහරින්නන් සමඟ අලුත් ව්‍යාපාර නායකත්වය නිර්මාණය කිරීම සඳහා යොදාගනී. අදහස් හුවමාරු කර ගැනීම, හවුල්කාරිත්ව අවස්ථාවන් වර්ධනය කිරීම, නවීන තාක්ෂණය පිළිබඳ නව සොයාගැනීම් සහ නවීන තාක්ෂණයන්හි සංවර්ධනයන් හඳුනා ගැනීම, ඖෂධ වෙළෙඳපොළේ ප්‍රධාන ප්‍රවණතා වර්ධනය වෙමින් පවතින ඉල්ලීම් හඳුනාගැනීම, නව වෙළෙඳපො‍ළවල්, නව සංකල්ප සහ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා උපයෝගී කරගත හැකි ය.

වැඩි විස්තර සඳහා http://www.tradmedinternational.com වෙබ් අඩවියට පිවිසෙන්න.

මෙම සම්මන්ත්‍රණය පිළිබඳ තවදුරටත් පැහැදිලිකර ගැනීමට සම සභාපති මහාචාර්ය රනිල් ද සිල්වා මහතා, අධ්‍යක්ෂ, ලෝක මට්ටමේ විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (ජංගම දුරකථනය 0777423197, විද්‍යුත් ලිපිනය [email protected]) සහ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, අතිරේක ලේකම්/ සංවර්ධන, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අමතන්න.

Comments