නෙළුම් විල | සිළුමිණ

නෙළුම් විල

රස රහස

පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙර දින අමතර පන්තිය ඇරී ආ පුංචි අනුත්තරා සිය මවට රහසක් කීවා ය.

‘අම්මෙ, ටීචර් කිව්ව චීස් කෑව ම මොළේ වැඩෙනව කියල. චීස් කකා ශිෂ්‍යත්වෙට ලියන කොට මතකය අලුත් වෙනවලු. ඒ හින්ද ශිෂ්‍යත්වෙට ලියන්ඩ මට චීස් ඕනැ’

මවට පෙනුණේ තම දියණියගේ ශිෂ්‍යත්ව ජයග්‍රහණය පමණි. එහෙයින් ඇය වහා කඩයට ගොස් දියණිය කී වර්ගයේ රවුම් චීස් පෙට්ටියක් ගෙනාවා ය.

‘මේං දුවේ ඔයා කියපු එක ගෙනාව. දැන් ඉතිං හොඳ කල්පනාවෙන් විභාගෙට ලියන්ඩ ඕනෑ හරිද?’

‘හරි’ කියමින් දියණිය චීස් පෙට්ටිය දෝතින් ගත්තා ය.

පසු දා ශිෂ්‍යත්වයට පිළිතුරු ලියූ ඇය ශාලාවෙන් පිටතට ආවේ හිනැහෙමිනි.

‘කොහොමද දුවේ?’

‘හොඳට ම ලිව්ව අම්මෙ’

දින කිහිපයක් ගෙවී ගියේ ය.

පවුලේ හැමෝ ම එක්ව සිටි මොහොතක දියණිය පෙර සේ ම සිය මවට රහසක් හෙළි කළා ය.

‘අම්මෙ, ශිෂ්‍යත්වෙ ලියද්දී චීස් කන්ඩ කියල ටීචර් කිව්වෙ නෑ. මං එහෙම කිව්වෙ මට චීස් කන්ඩ ආස හිතුණ හින්ද’

කෙසේ වුවද ශිෂ්‍යත්වයෙන් ඇය ඉහළින් සමත් වී සිටියා ය.

බිංගිරිය, කොස්වත්තේ, විශ්‍රාමලත් ආචාර්ය සාම විනිසුරු

ඩී.එන්. දිසානායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


ගල්කුඩු දුහුවිල්ල

විශාල කොන්ක්‍රීට් වැඩපළකි.

කළු ගල් කුඩු කඳු කඳු ය.

ඒවා බැකෝවලින් එහා මෙහා කැරෙයි.

හාත්පස අඳුරු දුහුවිල්ලකින් වැසී ගොසිනි.

සේවකයෝ දුහුවිල්ලේ ම වැඩ කරති.

කෙනෙක් අලුත් ටිපර් රථයක මුහුණ පිසදායි.

ඒ දැක ම’මිතුරා සිනාසුණේ ය. ඒ ඇයිදැයි මම විමසීමි.

‘අර හාදය දූවිල්ල කාගෙන ටිපර් එක පිහදාන හැටි බලපං! මිනිහට තමන්ගෙ ජීවිතේට වඩා ටිපර් එකයි වටින්නෙ’ ඔහු කීවේ ය.

ඒ සැබෑවකි. සේවකයාගේ හිසටත් උඩින් ගල්කුඩු දුම නගී. එහෙත් ඔහු එය ගණන් නොගෙන පරණ ටිපර් කිහිපය මැද ඇති අලුත් ටිපර් රථයේ මුහුණත පිසියි. රෙදිකඩකින් පිසිමින් සිටියි.

‘ඕවයෙ වැඩ කරද්දි මූණ ආවරණය කරගන්ඩ ඕනැ. නැත්තං ඔය දූවිල්ල පෙණහලුවලට ගිහිං ලෙඩ හැදෙනවා. ජීවිතකාලෙ කෙටි වෙනව.’ මමිතුරා කීවේ සෝබර හඬකිනි.

‘වැඩපළවල් අනුමත කෙරෙනකොට සේවක ආරක්ෂණයක් සහතික කෙරෙනවනෙ. ඇයි මේගොල්ලො මූණ ආවරණ දාගෙන වැඩ කරන්නෙ නැත්තෙ?’

‘ඒක තමා ප්‍රශ්නෙ!’

මෙවිට ම වාගේ සේවකයෙක් අප ළඟට පැමිණ ‘ඇයි?’ දැයි ඇසුවේ ය.

‘ඔය ගල්කුඩු දූවිල්ල විසයිනේ. ඇයි මූණ වහගන්නෙ නැත්තෙ?’ මම ඔහුගෙන් ඇසීමි.

ඔහු දෑස ලොකු කර මොහොතක් මදෙස බලා සිටියේ මගේ පණ්ඩිත කතාව දිරවා නොගත හැකි සේ ය. ඔහු ආපසු හැරුණේ ‘ඕව අපිට ගාණක් නෑ මහත්තයො’ කියමිනි.

වැඩපළේ වගකිවයුත්තකුගේ ඇමතුම් අංකය ඉල්ලාගෙන අපි අපේ රියට නැගුණෙමු.

යන ගමන් මමිතුරා ඒ අංකයට ඇමතුමක් ගත්තේ ය. ‘හලෝ’ කීවේ ගැහැනු කටහඬකි.

‘මහත්තය ඉන්නවද?’

‘මහත්තය නෑ. මොනවද ඕනැ?’

‘ඔයගොල්ලන්ගෙ කොන්ක්‍රීට් වැඩපළේ දූවිල්ල දැකලයි මේ කතා කරන්නෙ. ඇයි ඔයාලගෙ වැඩකරන කට්ටිය මූණු ආවරණ පලඳින්නෙ නැත්තෙ?’

‘ඔයා කවුද?’

‘මම මේ රටේ ජීවත්වෙන කෙනෙක්. ඔයාලට ආදායම හොයල දෙන සේවකයන්ගෙ ජීවිත ගැන මීට වඩා හිතුවොත් නේද හොඳ!’

ඇය නිහඬ වූවා ය. එහෙත් විසන්ධි නොකළා ය.

‘මෙහෙම ඇහුවට තරහ ගන්ඩ එපා. ඒ මිනිස්සුත් මනුස්සයොනෙ. ඒ ගැන ඇතිවෙච්ච දුකටයි මේ කතා කළේ’ මිතුරා තවදුරටත් කරුණු පැහැදිලි කළේ ය.

‘ඒ ගොල්ලො ඒව දාන්නැතුවට ඔයා අපිට දොස් කියල හරියන්නෙ නෑනෙ’ යි කියමින් ඇය දුරකථනය විසන්ධි කළා ය.

ම මිතුරා රියේ ගමන වේගවත් කළේ ය.

ටිකකින් මට නින්ද ගියේ ය.

ම මිතුරා මා අවදි කරවන විට අප සිටියේ ඈත නගරයක අවන්හලක් ළඟ ය. සවස් වී තිබුණ ද එහි අහර තිබිණ.

අහර බුදිමින් ම ම’මිතුරා කතා කරන්නට වූයේ ය.

‘මේව තවදුරටත් මේ විදියට වෙන්ඩ හොඳ නෑ මචං. ඔය මිනිස්සු තරුණ කාලෙ දූවිල්ල කාගෙන වැඩ කෙරුවට මැදිවයසට එන්ඩ කලින් ලෙඩ වෙනව. ඉන් පස්සේ පෙණහලු රෝගවලට බේත් කරගන්ඩ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ මාස ගණන් ලගිනව. එතකොට දරු පවුලත් අනාථයි. ආණ්ඩුවට බේත්වලට ලක්ෂ ගාණක් දරන්ඩත් වෙනව. එක පැත්තකින් තමන්ගෙ දරුවො අසරණ වෙනව. අනිත් පැත්තෙන් මහජනතාවගෙ ජීවන වියදම ඉහළ යනව. අර මිනිහ ගොඩ ආවොත් හොඳයි. ගොඩනාවොත් එයත් ඉවරයි. රටේ මිනිස්සුන්ගෙ නොදැනුවත්කම දිගින් දිගට ම තියෙන්ඩ අරින්ඩ හොඳ නෑ. ඒකෙන් හැමෝ ම අමාරුවෙ වැටෙනව.’

‘ඇයි අපේ දැන උගත් අය මේව පැහැදිලි කරල දෙන්නෙ නැත්තෙ?’

‘ඒක තමයි ප්‍රශ‍්නෙ’

ගල්ගමුවේ විජය දිසානායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසු­‍ෙරනි.

Comments