
රට හා ජාතිය නඟාසිටුවීම පිණිස අවශ්‍යම සාධකය පිරිසිදු දේශපාලනය බව, පසුගිය බදාදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. එම දැක්ම මත අද (3) පැවත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය ගැන කරුණු පහදමින් ජනාධිපති තුමා සඳහන් කළේ, රට ඉදිරියට ගන්නට නම් පක්ෂ භේදයකින් තොරව පිරිසුදු දේශපාලනය වෙනුවෙන් කැපවීම අවශ්‍ය බවයි. පක්ෂ දේශපාලනය විසින් අනුබල දෙනු ලබන, එකිනෙකා භේද භින්න වීම වැලක්වීම වෙනුවෙන් දේශපාලන පක්ෂ විසින්ම ගනු ලැබිය යුතු මඟ ද එම කරුණු දැක්වීමෙන් ඉස්මතු කෙරේ. ඒ අනුව ජාතික සංහිඳියාව සඳහා ද අවශ්‍යම සාධකයක් වන්නේ පිරිසුදු දේශපාලනයයි.
වංචාව, දූෂණය, අකාර්යක්ෂමතාව රටේ ඉදිරි ගමනට මහා බාධක වුව ද ඒවායින් ඉවත්වීමට පක්ෂ දේශපාලනය තවමත් කැපවෙන අවධානයක් ගෙන නැත. එයින් සමාජ පරිහානියට ලැබෙන අනුබලය දෙස බලන කල පිරිසුදු දේශපාලනය වෙතට හැරීම උඩුගං බලා පිහිනීමකි. ‘ගෙදරක අම්මා, තාත්තා, වැඩිහිටියන් හැසිරෙන ආකාරයටයි දරුවන් හැඩගැහෙන්නෙ. රටක් ලෙස ගත් විටත් එහෙමයි. රාජ්‍ය නායකයා, දේශපාලකයන් හැසිරෙන විදිහ, අනුගමනය කරන දේ, අනුවයි සමාජයේ වැඩ කෙරෙන්නෙ.‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන්නේ පිරිසුදු දේශපාලන මඟ ගැනීම උඩුගංබලා පිහිනීමක් වුව ද රටේ ඉදිරි ගමන වෙනුවෙන් ඒ මඟ හැර අන් මඟක් දේශපාලකයන්ට නොතිබිය යුතු බව අවධාරණය කරමිනි.
රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවා වසර දෙකක් සපුරන අවස්ථාවක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම 66 වැනි සංවත්සරය සඳහා ‘නොකිලිටි ගමනක්‘ තේමාව කර ගැනීම ඉතා වැදගත්ය. පිරිසුදු දේශපාලනය යනු පක්ෂයක අනන්‍යතාව රැකගෙනම සම්මුතිවාදයට පිවිසිය හැකි මඟකි.
එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පක්ෂය ‘නොකිලිටි ගමනක්‘ වෙතට යොමු කරමින් තවත් ආකාරයකින් සම්මුතිවාදය තහවුරු කරයි. වටිනා මැණික් පොළොව යට සැඟවෙන විට උඩ මතු වන ගොම රිටි මෙන්, සමාජයේ බැලූ බැලූ අත අද දිස්වන්නේ ව්‍යාජ ඝෝෂා හෝ ව්‍යාජ වීරත්වයයි. දේශපාලනයේ කතාව ද ඊට වෙනස් නැත. පිරිසුදු දේශපාලනය අරබයා ‘නොකිලිටි ගමනක්‘ යා යුතු වන්නේ මෙවැනි වටපිටාවකයි.
ජාතිකව හා අන්තර්ජාතිකව ජයගත යුතු අභියෝගවලට මුහුණ දෙන තමාගේ ක්‍රමය කලබල නොවී සෙමෙන් අධ්‍යයනයෙන් ගැටලුවට මැදිහත්වීම බව ජනාධිපති තුමා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ අවධාරණය කළේය. 2015 ජනවාරි 8 සඵල වූ ජනතා අපේක්ෂාව එසේ ඉටු නොවුණා නම්, විශේෂයෙන්ම අන්තර්ජාතිකව රටට එල්ල වෙන්නට නියමිතව තිබුණු සම්බාධක හෝ අහිතකර බලපෑම් හෝ මඟහරවා ගැනීම, එමඟ ගැනීමෙන් අත්කර ගත් එක් ප්‍රතිඵලයක් වේ. එයින් අඟවන්නේ දේශපාලන ඥානය මත රට දෙස බලන බවයි. ව්‍යාජ දේශප්‍රේමය හෝ දේශපාලනව භේද භින්න වීම හෝ රට හමුවේ ඇති ගැටලුවලට විසඳුම නොවන බවයි.
ජාතීන් අතර ඇති සංස්කෘතික විවිධත්වය රට වෙනුවෙන් එක මඟකට ගැනීමට ද විවිධ පක්ෂ අතර පිරිසුදු දේශපාලනයක් සඳහා වන එකඟතාව තීරණාත්මකව බලපායි. ඒකත්වය සෑදෙන්නේ විවිධත්වයෙනි. විවිධත්වය පවතින්නේ ඒකත්වය මතයි. පක්ෂ අතර විවිධත්වය රටේ ඒකත්වය සඳහා විය යුතුයි. එකිනෙකා ගැලපෙන්නට හැකි පොදු සාධකය පිරිසුදු දේශපාලනයයි.