
* උපදේශනය මනෝ විද්‍යා දැනුම හා පුහුණුව ගුරුවරුන්ට ලබාදෙන්න
* මානසික සුවය යනු සතුටයි එය ඔබ තුළම වර්ධනය කරගන්න
* සහජ දරා ගැනීමේ ශක්තිය ප්‍රගුණ කරන්න එවිට ලෝකයම ජයගන්නට ඔබට හැකිවේවි
පසුගියදා කොළඹදී පැවැත්වුණු අයිකැප් 2017 ‘ව්‍යවහාරික මනෝ විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය මඟින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ මනෝ සමාජීය සංවර්ධනය සඳහා බොහෝ වැඩදායි පියවර රැසක් සඳහා අවස්ථාව උදාවූ බව එම සම්මන්ත්‍රණය සංවිධානය කළ කොළඹ මනෝවිද්‍යා සහ පර්යේෂණ ආයතනයේ බාහිර කථිකාචාර්ය වෛද්‍ය ලසන්ත විජේසේකර මහතා පවසයි.
මෙරට ජනතාවගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා ගත හැකි ඵලදායි පියවර රැසක් පිළිබඳ ලෝ ප්‍රකට මනෝ විද්‍යාඥ මහාචාර්ය මාටින් සෙලිග්මාන් මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය. මානසික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට වඩා මිනිසුන් මානසික රෝගවලින් වළක්වා ගැනීම කෙරෙහි සෞඛ්‍ය අංශවල වැඩි අවධානයක් යොමු විය යුතු බව මහාචාර්ය සෙලිග්මාන් සිය මුඛ්‍ය දේශනයේදී අවධාරණය කළේ ය. රටක මානව සම්පත වඩාත් අර්ථවත් හා ඵලදායි වන්නේ ජනතාව ශාරීරික මෙන් ම මානසික සෞඛ්‍යයෙන් ද පිරිපුන් මිනිසුන් වූ විට පමණ කැයි ද මහාචාර්යවරයා පැවැසීය.
ශ්‍රී ලංකාවේ දැනට පවතින මානසික සෞඛ්‍ය සේවාවන් වඩාත් සංවර්ධනය කළ යුතු අතරම රෝග වළක්වා ගැනීම සඳහා ජනතා හිතවාදී වැඩසටහන් වැඩි වැඩියෙන් දියත් කළ යුතු බව ද මහාචාර්යවරයා පැවසීය. ජනතාව මනසින් රෝගී වන්නේ ඔවුන් වෙත ඇති ගැටලු සාකච්ඡාකර නිරාකරණය කර ගැනීමට අපහසු වූ කල්හි ය. එහෙයින් ඔවුන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබාගත හැකි විශ්වාසවන්ත, එමෙන් ම සුදුසුකම් සහිත මනෝ උපදේශකයන් ප්‍රමාණවත් තරම් සිටිය යුතු ය. ශ්‍රී ලංකාවේ ජනගහනයට සෑහෙන තරම් මනෝ වෛද්‍ය විශේෂඥවරුන් මෙන් ම මනෝවිද්‍යාවේදීන් නොමැති වීම විශාල අඩුපාඩුවක් බව කී මහාචාර්යවරයා ඒ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් විශාල පිරිසක් පුහුණු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයාට යෝජනා කළේ ය.
විශ්වවිද්‍යාලවලින් මනෝවිද්‍යාව පිළිබඳ උපාධිධාරීන් හෝ මනෝ වෛද්‍ය විද්‍යා උපාධිධාරින් බිහි වීමට සෑහෙන කලක් ගත වන හෙයින්, ප්‍රමාණවත් තරම් අධ්‍යාපන සුදුසුකම් සහිත උපදේශනයට හා ජනතාවට උපහාර කිරීමට ඇල්මක් දක්වන පිරිස් හඳුනාගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා තෝරාගෙන මනෝ විද්‍යාව හා උපදේශනය පිළිබඳ කෙටිකාලීන පුහුණු පාඨමාලා පවත්වා ඔවුන් ගේ සේවය ජනතාවගේ ගැටලු විසඳීම සඳහා යොදවන ලෙස ද මහාචාර්යවරයා රජයට යෝජනා කළේ ය. ළමුනට, යෞවනයන්ට, තරුණයන්ට මෙන් ම වැඩිහිටියන්ට ද ආවේණික ගැටලු රැසක් තිබේ. ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට හා විසඳුම් ලබාගැනීමට අවස්ථාව ඇතිවිට ඔවුන් අසහනයට හා මානසික අවපීඩනයට පත්නොවේ. විශාදය වැනි බොහෝ මානසික රෝග කල්තියා හඳුනා ගත් විට උපදේශනය මඟින් ම සුවපත් කළ හැකි ය. මිනිසුන් තුළ ස්වභාවයෙන් ම පිහිටා ඇති දරා ගැනීමේ ශක්තිය කුඩා කාලයේ පටන් ම සිත තුළ වර්ධනය කරවීමෙන් අභියෝගවලට සාර්ථකව මුහුණදීමේ හැකියාව ඇතිවේ. ඒ සඳහා පාසල් විෂය මාලාවට වැඩි වැඩියෙන් ජීවන කුසලතා සංවර්ධනය පිළිබඳ පාඩම් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් කළ යුතු බව ද මහාචාර්යවරයා කියයි. ළමයා තුළ මානසික ශක්තිය වැඩි කිරීමට සහ සහජ දරා ගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමට ඇති පහසුව හා ලාභදායිම ක්‍රියාමාර්ගය වන්නේ මනෝ විද්‍යාව හා උපදේශන දැනුම හා පුහුණුව ගුරුවරුන් වෙත ලබාදීම ය. සෑම පාසලකින් ම තෝරාගත් ගුරු පිරිසක් ළමයින්ගේ ගැටලුවලට ඇහුම්කන් දීමට හා විසඳුම් ලබා දීමට යෙදවීමෙන් වර්තමානයේ ළමුන් මුහුණ දෙන බොහෝ මානසික ගැටලු මෙන් ම රෝග ද වළක්වා ගත හැකි ය.
මෙරට පාසල් ළමුන් මෙන් ම යෞවනයන් අතර සියදිවි නසා ගැනීමට පෙළැඹීමේ ප්‍රවණතාවක් දැකිය හැකි ය. එම අවාසනාවන්ත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ඉහත වැඩසටහන් කඩිනමින් දියත් කළ යුතු බව ද මහාචාර්ය සෙලිග්මාන් පැවැසීය.
‘මනෝවිද්‍යාව’ යන විෂය ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවන්නන් තුළ මෙන් ම සාමාන්‍ය ජනතාව තුළ ද ඇත්තේ අල්ප දැනුමකි. මානසික සුවය යනු ‘සතුට’ යන බවත් දුක පළවා හැර සතුටින් සිටීමට ධනාත්මක සිතිවිලි තුළින් ජනතාව පොළඹවාලිය යුතු බවත් මහාචාර්යවරයා ගේ අදහසයි. ඇමෙරිකානු යුද හමුදාව රෝහල් හා සෞඛ්‍ය සේවය, රාජ්‍ය මෙන් ම රාජ්‍ය නොවන ආයතන සියල්ලෙහි රැකියාවල නියුතු ජනතාවගේ සිත් තුළ ධනාත්මක සිතිවිලි ජනිත කිරීමෙන් බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගැනීමට වත්මන් ඇමෙරිකාව සමත්ව ඇතැයි ද හෙතෙම පවසයි.
මානසික රෝග ඇතිවූ කල ඒවා සුවපත් කිරීමට රජයකට විශාල ධනයක් වැය කිරීමට සිදුවේ. මානසික රෝග බොහොමයක් වළක්වාගත හැකි ය. ඒ සඳහා ගත යුතු පියවර සඳහා වැය කළ යුතු පිරිවැය ද අඩු ය. නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් වෙසෙන රටක් ලබන ආර්ථික මෙන් ම සමාජීය සංවර්ධනය ද දිගුකාලීන ය. ස්ථිරය. ශ්‍රී ලංකාව ලෝකයේ වේගයෙන් සංවර්ධනය කරා පිය ඔසොවමින් සිටින මෙවන් යුගයක රටේ ජනතාවගේ මානසික සහ ශාරීරික යහපැවැත්ම තුළින් ඒ ජයග්‍රහණය කරා ඉක්මනින් හා තිරසාර අන්දමින් ළඟා විය හැකි බව ද මහාචාර්ය සෙලිග්මාන් එහිදී සඳහන් කළේ ය.
කොළඹ මනෝ විද්‍යා හා පර්යේෂණ ආයතනයේ
බාහිර කථිකාචාර්ය වෛද්‍ය
ලසන්ත විජේසේකර