
පුත්තලම පැත්තෙ ගමක මීනච්චි කියල දුප්පත් ගැහැනු කෙනෙක් හිටියා. ඇය ජීවත් වුණේ එළු පට්ටියකින්. එළුවො ටික බලා ගත්තෙ තමන්ගෙ දරුවො වගේ ආදරෙන්. එක දවසක් ගාල අරිනකොට එක එළිච්චියක් හිටියෙ නෑ. මුළු දවසෙ ම අහල පහල අස්සක් මුල්ලක් නෑර හොයල බැලුවා, ඒත් හම්බ වුණේ නෑ. මීනච්චිට හරි ම දුකයි. ඒ වුණාට කා එක්කවත් ඒ ගැන කිව්වෙ නෑ.
එළු හොරා හොයන්න මීනච්චි අපූරු උපායක් යෙදුවා. දවස් දෙක තුනකට පස්සෙ සපත්තු හදන්න එළු හම් සල්ලිවලට ගන්නවා කියලා මීනච්චි හැම තැන ම ප්‍රසිද්ධ කෙරෙව්වා.
අල්ලපු ගෙදර රාජුගෙ පුතෙකුත් බාගෙට වේළුණු එළුහමක් අරගෙන ආවා. නැති වුණු එළිච්චිගෙ හම අඳුනගන්න මීනච්චිට අමාරු වුණේ නෑ. බඩුත් එක්කම හොරාව පොලීසියට බාර දුන්නා.
“එදා රෑ එළුවා හොරකම් කෙරුවෙ මමයි” කියලා රාජුගෙ පුතා පොලිසියෙදී වැරැද්ද බාර ගත්තා.
සම්මානි විජේසිංහ
සිතුවම - සිබිල් වෙත්තසිංහ