මං පිස්සෙක් කියා මටම හිතුණා | සිළුමිණ

මං පිස්සෙක් කියා මටම හිතුණා

ලොව වටා ගිය අපේ ඩිලන් අවසන් කොටස

ඩිලන් ඒ වෙද්දී පහුරෙන් ගමන් කරමින් සිටියේ බහියා පීන්යා නමැති කුඩා මුහුදු බොක්ක අසලිනි. ‘ට්‍රොපික් ස්ටාර් ලොජ්’ නමැති ලෝ ප්‍රකට නිවාඩු නිකේතනයක් එහි වෙයි. දාරියන් වනාන්තර ආසන්න බොක්කේ මාළු ඇල්ලීමට ප්‍රිය සංචාරකයන් අතර ප්‍රසිද්ධ සියලු සැප පහසුකම් සහිත එම නිවාඩු නිකේතනය වෙත යෑමට ඩිලන් සිතුවේය.

“මං ස්ටාර් ලොජ් පැත්තට ගියේ රාත්‍රියේ. ඒක දාරියන් වනයේ තියෙන සුපිරි පහසුකම් සහිත නිවාඩු නිකේතනයක්. මගේ පහුරේ හැටි දැක්කම ආරක්ෂකයෝ මට නැංගුරම් දාන්න දුන්නෙත් නෑ. මං මගේ ගමන ගැන කියලා කාලගුණය ගැන දැනගන්න අවශ්‍යයි කිව්වමයි නැංගුරම් ලෑමට ඉඩ දුන්නෙත්.”

එහෙත් පසුව එහි පාලනාධිකාරිය ඩිලන් ඉතා ඉහළින් පිළිගත්තේය. එම නිවාඩු නිකේතනයේ සිටි විදේශිකයෝ ද ඔහුගේ පහුරු ගමන ගැන බොහෝ උනන්දු වූහ.

නිවාඩු නිකේතනයේ කල්ගත කරමින් සිටියදී දිනක් එහි කළමනාකරු පෝල් පුවත්පතක් රැගෙනවිත් ඩිලන් අත තැබීය. එහි ඩිලන්ගේ සහ පහුරේ සේයාරුවක් සමඟ ඔහු ගැන ලිපියක් පළවී තිබිණ. එම ලිපිය පළකොට තිබුණේ කොන්තදෝරාවලදී ඩිලන්ට හමුවූ ස්විස් ජාතික පුවත්පත් කලාවේදිනියක විසිනි. ලිපිය දුටු සැවොම, ‘ඩිලන් ඔයා දැන් සුපිරි තරුවක්නේ’ කියමින් විහිළු කරන්නට වූහ.

ඩිලන් යන නීති විරෝධි ගමන ගැන පුවත්පත හරහා තොරතුරු දැනගත් පෝල් ඇතුළු පිරිස විස්මයට පත් වී නීති විරෝධීව කොලොම්බියාවට යෑමේ බැරෑරුම්කම ගැන ඔහුට පහදා දුන්හ. එසේම ඒ යන ගමන ගැන ඔහු දැනුම්වත් කළහ. දාරියන් වනයේ ජන කොට්ඨාසයක් වෙසෙන හකේ නමැති ගම්මානයේ ස්ථාපිත ආරක්ෂිත කඳවුරක බලධාරීන් හරහා කොලොම්බියාවට ඇතුළු වීමට නිල මුද්‍රාව තබා ගැනීම කළ හැකි බව ඔවුන් පවසා ඇත. එහෙත් එය හිතන තරම් පහසු කටයුත්තක් නොවූයේ හකේ ගම්මානයට යෑම දුෂ්කර කටයුත්තක් වූ හෙයිනි.

අවසානයේ ඩිලන් හෝටලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී බ්‍රයන් හා නිවාඩු නිකේතනයේ සිටි හකේ වැසියකු සමඟ ඒ ගමන යෑමට තීන්දු කළේය.

“ඒක හරිම දුෂ්කර ගමනක්. මඩ වගුරුවල එරෙමින් කඳු නඟිමින් බහිමින් යන්න වරුවක් විතර ගියා. ඒ මදිවට වර්ෂාව. හැමතැනම වෙඩික්කාරයෝ ඉන්න බවත් ආරංචි වුණා.”

දාරියන්හි වෙසෙන ෆාර්ක් නමැති කැරැලිකරුවන්ගෙන් හකේ ගම්මානයට එල්ල වන තර්ජනවලට මුහුණ දීමට ස්ථාපිත එම ආරක්ෂක බළකොටුවට ඩිලන් අතුළු පිරිස ගියේය. ඉන්පසුව එහි ආරක්ෂක ප්‍රධානියා විසින් ආගමන නිලධාරියා කැඳවා ඩිලන්ගේ ගමන් බලපතට පැනමාවෙන් පිටවීමේ නිල මුද්‍රාව තබා දුන්නේය. ඒ වනය මැද සිටි නිලධාරීන්ගේ නීතිමය ලිහිල් බව නිසා ඩිලන්ගේ කටයුතු පහසු විය. ට්‍රොපික් ස්ටාර්හි ගත කළ පස්වන දිනයේදී නැවතත් සුපුරුදු පහුරු ගමන පිටත් විය. ඒ සමුගන්නා මොහොත බොහෝ හැඟුම්බර වූ බව ඩිලන් පවසයි.

නැවතත් පහුරේ තනි වන ඩිලන් සති පහක පමණ කාලයක් පහුරු ගමනේ යෙදී සිටියේය. පහුරේ තෙල් බැරල්ද ක්‍රමයෙන් මල අල්ලමින් සිටින බවක් ඩිලන්ට දිස්විණි. යළි දින දෙකක පමණ කාලයක් ගමන් කිරීමෙන් අනතුරුව පැනමා බොක්ක අවට කාලගුණය නැවතත් බියකරු වන අයුරක් ඩිලන් දු‍ටුවේය. ඒ වන විට ඔහු ගමන් කරමින් සිටියේ පුන්ටා වයාවෝ ග්‍රාන්ඩේ නමැති පළාත හරහාය. බෝට්ටු කොල්ලකෑම් වැඩි පළාතක් ලෙස ප්‍රසිද්ධව තිබූ එම පළාත පසු කරද්දී ඩිලන්ට ජීපීඑස් තීරය පෙන්වූයේ පහුර කොලොම්බියානු දේශසීමාවද පසුකර ඇති බවකි. එහෙත් එය ඩිලන්ට ප්‍රීතියක් නොවූයේ මාර්ග පද්ධතියක් සහිත ජනාවාසයකට ඇතුළු වීමටනම් තවත් කිලෝමීටර් 100ක පමණ දුරක් යා යුතුවූ බැවිනි. ඒ අතරතුරදී ඔහුට නැවතත් ධීවරයන් පිරිසක් මුණ ගැසිණි.

“ඔවුන් පංගාස් කියන නමින් හඳුන්වන දිගු, පටු ලී ඔරුවල නැඟී ධීවර කටයුතු කරන අය ඒ පළාතටම ආවේණික පිරිසක්. ඔවුන් මට කෑගැහැව්වා ඒ පැත්තට එන්න කියලා. ඒත් මට නිකන් අමුත්තක් තේරුණා. මං ඔවුන්ට අත වනමින් ඉදිරියටම ගියා.”

එහෙත් එම පිරිස ද පහුර හඹා එන අයුරක් ඩිලන්ට ඒත්තු ගියේය. එම පිරිස තමාගෙන් බලාපොරොත්තු වන්නෙ කුමක්ද යන්න ගැන ඔහුට නිච්චියක් නොවීය. ඩිලන්ට එක්වරම සිහියට නැඟුණේ කොලොම්බියාවේ දාරියන් වනාන්තරයේ සිටිනවායැයි කියනා විදේශිකයන් පැහැරගන්නා කණ්ඩායම් ගැනයි.

“මං හිතුවා අනිවාර්යයෙන්ම මේ එන්නෙ කොල්ලකරුවෝ තමයි කියලා.” ඩිලන් ඔවුන්ගෙන් බේරීමට සරල උපක්‍රමයක් යෙදීය.

“මං ළඟ තිබුණා වෝකි ටෝකි එකක්. මං කළේ ඒකෙන් හයියෙන් හයියෙන් බොරුවට කතා කළා අරුන්ට පේන විදිහට. උන් ඒ ඇම කෑවා. පැත්ත පළාතේ ආවේ නෑ. ඒ අය හිතන්න ඇති මම ආරක්ෂක අංශයට සම්බන්ධ කෙනෙක් කියලා” ඩිලන් නැවතත් අතරමඟදී තවත් අකරතැබ්බකට මුහුණ පෑවේය.

“එක පාරටම බෲස්ගෙන් නිල්පාට දුමක් නැ‍ඟෙන්න වුණා. ස්... ස්... ගාමින් අමුතු ශබ්දෙකුත් පිට වුණා. බලනකොට එන්ජිමේ තෙල් මට්ටම් දර්ශකයේ වීදුරුව බිඳිලා. තෙල් බේරෙනවා. මං බැලුවා හදාගන්න පුළුවන්ද කියලා. ඒත් වැඩක් වුණේ නෑ.”

අවසානයේ බෲස්ගෙන් ලැබුණේ සති හයක පමණ කාලයක් තිස්සේ කිලෝමීටර් 800ක පමණ දුරක් ඩිලන් තනිව කළ පහුරු ගමන නතර කරන ලෙස විධානයක සංඥාවකි. ඊට අනුගත වීමට ඩිලන්ට සිදුවිය. ඔහු දියඹේ ආපදාවකදී පමණක් කතා කරන 16 වන ගුවන්විදුලි නාලිකාව ඇමතුවද ඊට ද ප්‍රතිචාර නොලැබිණ. යළි බෲස් අලුත්වැඩියා කර ගැනීමට උත්සාහ කළද එම උත්සාහයද ව්‍යර්ථ විය. ඈතින් පෙනෙන නැවක් වැනි යමක් ඩිලන්ගේ දෑස් ගැටුණේ එවිටය. ඩිලන් දුටු දසුන දෙසට දෙවරක් නොසිතා ඇදිණි. එහෙත් ඔහු ළංවන විට දුටු දසුන මනරම් දසුනකි.

“මං නැවක් කියලා හිතුවාට ළංවෙනකොට තමයි පෙනුණේ ඒ වෙරළ ආසන්නයේ තිබුණ ගොඩනැඟිල්ලක් විත්තිය. වෙරළෙන් ඔබ්බට සුන්දර ගම්මානයක් තිබුණේ.”

ඩිලන් නීති විරෝධි යාත්‍රාවකින් දේශසීමාවක් පසු කළ අයෙක් වීම නිසා නැවතත් පොලීසියට හසුවීමට ආසන්නව සිටියේය.

“මං ඩිංගියෙන් වෙරළට ආවා. ඈතදීම දැක්ක වෙරළේ සිටි සෙබළු හිමින් සැරේ හැංගෙනවා. මට හිතුණා මොකක්හරි ලොකු ප්‍රශ්නෙකට ආයිත් මූණ දෙන්න වෙයි කියලා. මං සැන් මිගෙලවලදී වගේම ඇත්ත කතාව කියන්න හිතුවා”

වෙරළේ තරුණ සෙබළුන් 12 දෙනෙකු පමණ සිටින බව ඩිලන් දුටුවේය. ඔවුන් හා සියලු තොරතුරු පැවසීමෙන් අනතුරුව එහි ප්‍රධානියා වූ ව්ලදිමීර් ඇතුළු පිරිස ඩිලන් හා මිතුරු විය. ඔහු ගොඩබට පළාත ආර්දිතාය. එහි සිට ආසන්නම ජනාවාසට දුර කිලෝමීටර් අටක් පමණ වෙයි. පන්දාහක පමණ ජනතාවක් වෙසෙන ඒ ගම්මානය හුරාඩෝ නම්විය. ඩිලන් හුරාඩෝ කරා වාහනයකින් යෑමට සිතුවද එය සිතුවිල්ලක්ම වූයේ ඔහු තවමත් පසුවන්නේ දාරියන් වනාන්තරයේ බවත් එහි යෑමට අඩි පාරක්වත් නොමැතිබව දැන ගැනීමත් සමඟය. ආර්දිතාවල සිටින්නේ දාරියන් වනයේ හුදෙකලා මිනිසුන් බවද ඔහු දැන ගත්තේය.

ඩිලන් නැවතත් පහුරට ගොස් සිතා බැලුයේ ගමනේ ඉදිරිය කෙසේ තීන්දු කරනවාදැයි යන්නයි. ඒ ආර්දිතාවේ සිට බෲස් රැගෙන යෑමට අඩි පාරක්වත් නොමැති හෙයිනි. එහෙත් පහුරු ගමනනම් නිමා කරන්නට හොඳටම කාලය පැමිණ තිබේ. අවසානයේ ‘බ්‍රිජට්ගේ දිරිය’ නමැති පහුර ගලවා දැමීමට ඔහු තීන්දු කළේය. අනතුරුව පැය දෙකක් වැනි කාලයක් තුළදී බෲස් නැවතත් මහමඟ ගමන් කළ හැකි යතුරුපැදියක් බවට පත් වූයේය.

“පහුරේ නැංගුරම, රුවල, පහන, බූලි, කඹ ආදි අනෙකුත් සියලු ආම්පන්න ආර්දිතා ධීවරයන්ට දුන්නා.”

ආර්දිතාවේ තිබූ ප්‍රධානම පලතුර වූ කජු පුහුලන්, කජු මද ඇති පදම් කමින් ආර්දිතා වැසියන්ගේ ආගන්තුක සත්කාර විඳිමින් සතියක පමණ කාලයක් ඩිලන් එහි ගත කළේය. පසුව ආර්දිතා වැසියෙකුගේ කුඩා කබල් බෝට්ටුවක බෲස්ද පටවාගෙන හුරාඩෝ වෙත ගියේය. එතැන් සිට පොල් රැගෙන යන කුඩා බඩු යාත්‍රාවකට ගොඩවී බුවන්වෙන්තුරාවට ගියේය. ඩිලන් එතැන් සිට බෲස් පිට නැඟී ගන වනයේ අබලන් මාර්ගයක කිලෝමීටර් 600ක පමණ දුරක් ගෙවා කොලොම්බියාවේ අගනගරය වූ බොගෝටා වෙත ගමන් කළේය. බොගෝටාවට ගිය ඩිලන්ට එහිදී දැඩි මුදල් අසීරුතාවකට ම‍ුහුණ දීමට සිදුවිය. බෲස් බොගෝටාහි ගාල් කොට ස්විට්සර්ලන්තයට ගොස් හය මසක් රැකියාවක් කර නැවතත් මුදල් සොයා යළි සංචාරය ආරම්භ කිරීම ඩිලන්ගේ අරමුණ විය.

“මං බෲස් දාලා ස්විට්සර්ලන්තෙට ගියා. එහෙම යන්න මගෙ හිත ඉඩ දුන්නෙ නැතිවුණත් මට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙත් නෑ. මොකද මගේ ගිණුමේ සල්ලි හිඳුණා.”

රැකියාව කොට නැවතත් කොලොම්බියාවට පැමිණි ඩිලන් බෲස් සමඟ යළි ගමන පිටත් විය. කොලොම්බියාව, ඉක්වදෝරය, පේරු රට, බොලිවියාව හා චිලි හරහා කිලෝමීටර් 6000කට වැඩි දුරක් ගෙවා ඩිලන් අවසානයේ අර්ජන්ටිනාවේ බුවනොස් අයර්ස් නගරය වෙත පැමිණියේය. තමා වසර තුනහමාරක පමණ කාලයක් තිස්සේ ගිය ලෝක සවාරිය එයින් නිමා කිරීමට ඩිලන් තීන්දු කළේය.

“ඇත්තටම මගේ හිතේ තිබුණේ බුවනොස් අයර්ස්වලින් බෲස් දකුණු අප්‍රිකාවට නැව්ගත කරලා අප්‍රිකාවේ බටහිර දෙසින් ගමන් කොට යුරෝපයට ගොස් ස්විට්සර්ලන්තයටම ගිහින් ගමන අවසන් කරන්න. ඒත් ඉතින් හිතන හැම දෙයක්ම ඉටු වෙන්නෙ නෑනේ. ඒකට හේතු වුණේ මගේ මුදල් ප්‍රශ්නය. නැතිව වෙන කිසිම දෙයක් බලපෑවේ නෑ.”

අපේ පුංචි දූපතේ නම ලෝකය වටා ගෙනයමින් ඩිලන් ගිය මේ ගමන මෙතෙක් වෙනත් ශ්‍රී ලාංකිකයකු හෝ අප දන්නා තරමින් ලොව වෙනත් අයකු නොගිය ගමනකි. ‘ලොව වටා ගිය අපේ ඩිලන්’ කතා මාලාව අද මෙසේ නිමා වෙද්දී ඒ ගමනේදී ඩිලන් ලද අත්දැකීම් පිළිබඳ මෑතකදී මෙරටට පැමිණි අවස්ථාවේ ඔහු අප හා කතා බහ කරමින් පැවසූ දෙයින් මෙය හමාර කිරීමට අදහස් කරමි.

“එදා මං ගිය ගමන් හා ලද අත්දැකීම් ගැන දැන් කල්පනා කරලා බලද්දි මටම හිතෙනවා මං මාර පිස්සෙක් කියලා. ඇයි ඔය වගේ ගමනක් ගියේ කියලා. නමුත් මම ඒ දෙයින් මං ගැන සෑහෙන... ඉගෙන ගත්තා... මම කියන්නෙ කවුද... මොනවද අපේ ජීවිතයට අවශ්‍ය. ඔය පහුරු ගමනින් මගේ මුළු ජිවිතේම වෙනස් වුණා. සමහර අත්දැකීම්වලට මං මුහුණ දුන්නේ මරණය පෙනි පෙනී. අන්න ඒ වගේ අවස්ථාවක තමයි කෙනෙකුට තේරෙන්නෙ ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා. අපි බොහෝ වෙලාවට ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා ගැඹුරින් හිතන්නෙ නෑ. නමුත් මං මේ පහුරෙ තනිවෙලා ඉන්න කොට හිතුවේ ජීවිතේ යථාර්ථය, ගැඹුර තමයි.

මිනිස්සු දුවන්නෙ තාන්න-මාන්න, සල්ලිය-බාගෙ පස්සෙනෙ. නමුත් ඒවා නොවේ ජීවිතේ කියන්නෙ. නමුත් අපට මේ ජීවිතේ දාලා කොයි වෙලාවේ යන්න වෙනවද කියලා අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනැ. එතකොට ඔය දේවල් ඔක්කොම බොරු දේවල්. මම මේ ගමනින් දැක්කෙ ජීවිතේට අවශ්‍ය එකම දෙයයි, ඒ සතුට. නමුත් අද වර්තමාන සමාජයේ මිනිස්සු සතුට ලබාගන්න පෙලඹිලා තියෙනවා ලොකු ටීවී එකකින්, ලොකු ‍නිවෙසකින් නැත්නම් ලොකු කාර් එකකින් වගේ දේවල්වලින්. ඒවා ඇත්තටම ජීවිතය කියන දේට අදාළ නැති දේවල්. මොනවද අපි ඒ දේවල්වලින් කරන්න හදන්නෙ. අනෙක් මිනිස්සුන් රවට්ටන්න හදන එක. නමුත් රැවැටෙන්නෙ තමන්මයි. මම විශ්වාස කරනවා මං ගිය ගමන වගේ ගමනක් ලෝකෙ හ‍ැමෝටම යන්න පුළුවන්නම් මේ ලෝකෙ හොඳ තැනක් වේවි.” ඩිලන් පවසයි.

Comments