
සිළුමිණ පුවත ගැන ජනාධිපතිතුමාගේ අවධානය
රජ සමයටත් හිමිකම් කියන කුඹුරු අක්කර ෙදසිය පනහක් පමණ යල මහ ෙදකන්නය වගා කරන මෙවන් පුරාණ වැව්වලට සින්නක්කර පිඹුරු පත් සැකසීමෙන් ඇතැම් නිලධාරීන් අනිසි ලෙස මුදල් උපයන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 606 මනල්තිව් ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති වසර ගණනාවක් පැරැණි ඓතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් යුතු අක්කර 150ක පමණ වපසරියකින් සමන්විත වැව ව්‍යාජ පිඹුරුපත් සකසමින් පුත්තලම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරික පිරිසක් වැටකොටු ඉදිකර වැව් රක්ෂිතය අත්පත් කරගෙන ඇති බවට පසුගිය 10 වැනිදා ඉරිදා සිළුමිණ පුවත්පතේ 'වැව් තාවල්ලත් කට්ටිකර විකුණති' යන මැයෙන් පළ කෙරිණි. මේ ප්‍රවෘත්තිය කෙරෙහි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ අවධානය යොමුවීමත් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ විමර්ශන නිලධාරින් පිරිසක් පසුගිය සතියේ අදාළ ස්ථානයට පැමිණ වහාම ක්‍රියාත්මක වන පරිදි විධිමත් විමර්ශනයක් ආරම්භ කළේය.
පුත්තලම සහ ඒ අවට සිදුවන නොයෙකුත් අක්‍රමිකතා සහ පාරිසරික හානි පිළිබඳ වරින් වර සිළුමිණ විවිධ අනාවරණය කිරීම් කෙරිණි. මෙම පුරාණ වැවට දැනට වසර ගණනාවක සිට නොයෙකුත් කෙනෙහෙළිකම් සිදුවෙමින් පවතින බව ගම්මුන් පමණක් නොව රජයේ ඉහළ නිලතල හොබවන ඇතැම් නිලධාරීන් පවා දන්නා ප්‍රසිද්ධ රහසක් වුවද, පසු ගිය රජය සමයේ සියල්ල සිදුවූයේ හොරාගෙ අම්මාගෙන් පේන බලනවා වැනි ක්‍රියා පිළිවෙතකට අනුවය. එනිසා මේ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ලැබුණේ කැකිල්ලේ නඩු තීන්දුය. රජ සමයටත් හිමිකම් කියන මෙවන් පුරාණ වැව්වලට සින්නක්කර පිඹුරු පත් සැකසීමෙන් ඇතැම් නිලධාරීන් අනිසි ලෙස මුදල් උපයන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. වසර 1500ක් පමණ පැරැණි මේ වැව එකල රජ දවස ඉදිකරවූවක් බවට ප්‍රදේශවාසීහූ මත පළ කරති. වැව් හතක පිටාර ගලන වාන් ජලය ගබඩා කර තබා ගන්නා එකම වැව මේ වැව බව පවසන ප්‍රදේශවාසීහූ ඒ නිසා මේ වැව රැක ගැනීම ජනතාවගේ මෙන්ම අදාළ බලධාරීන්ගේ ද වගකීමක් බවත් පවසති.
මෙකී වැව ඔස්සේ ප්‍රදේශයේ කුඹුරු අක්කර 250කට පමණ යල මහ දෙකන්නයේම ජලය නොනවත්වා සැපයේ. තවද ප්‍රදේශයේ බහුතරයක් සුළු පන්න ධීවරයෝද මෙම වැව ආශ්‍රීතව ධීවර කටයුතුවල නිරත වෙති. එසේ තිබියදීත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් නඩත්තු කරනු ලබන මෙවන් වැවකට අත්ව තිබූ ඉරණම පිළිබඳ ප්‍රදේශවාසීන්ගේ අදහස් සිළුමිණ ලිපියෙන් හෙළිදරව් කෙරිණි.
වැව් තාවල්ලේ ඉඩම් මිලදී ගත් අදාළ ව්‍යාපාරිකයන් එම ඉඩම්වල මේ වන විට පොල් පැළ වගාකර යම් ඉදිකිරීම්ද සිදු කර තිබූ බව සාක්ෂි සහිතව පෙන්නුම් කෙරිණි. ඉරිදා සිළුමිණ ඔස්සේ මේ නීති විරෝධී ක්‍රියාව අප රටට හෙළි නොකළේ නම් වැව් තාවල්ලේ අනෙකුත් ඉඩම් ද ජාවාරමුන් අතට පත්වීමට ඉඩ තිබිණි.මේ සම්බන්ධයෙන් අප කළ විමසුකදී විලුක ධීවර සමිතියේ සභාපති කේ. ධර්මදාස මහතා මෙසේ අදහස් පළ කළේය.
“මොනවා වුණත් අද රටේ මාධ්‍ය නැත්නම් මෙවැනි නීති විරෝධී ක්‍රියාවලට තවදුරටත් පාර කැපෙනවා. රජයේ හා පොදු දේ විකිණෙනවා කියන එක අපි දන්නවා. අද මේ ගැන ඉරිදා සිළුමිණ හෙළි නොකරන්න ග්‍රාම සේවකගෙ ඉඳලා දිසාපති වෙනකම් උගුරට හොරා බෙහෙත් කකා ඉන්න එක තමයි කරන්නෙ. ගමේ මිනිහෙක් මාළු පැටියෙක් ඇල්ලුවොත් පොලීසි යනවා ව්‍යාපාරිකයෙක් වැව කොටුකර ගත්තොත් කම්බි ගහලා දෙනවා. අන්න ඒ වගේ ඇතැම් රාජ්‍ය නිලධාරි කොටසක් තමයි ඉන්නෙ. අපි අතිගරු ජනාධිපතිතුමන් වෙතින් ඉල්ලන්නේ මේ හොරු ගැන හොයා බලා ඒ පුද්ගලයන්ට අවශ්‍ය දඩුවම් ලබා දෙන්න කියලයි.”
ගමේ පැරැණි පදිංචිකරුවකු වන රෝහණ ලක්ෂමන් මහතා මේ නීති විරෝධී කටයුත්ත වෙනුවෙන් මුල සිටම හඬ නැගූවෙකි.
“අපි කුඩා කාලේ සිට මේ ගමේ කොච්චර ඉඩම් අල්ලාගෙන විකුණනවද හොර ඔප්පු හදනවද? අද ගමේ අයත් සමඟ ඊට විරුද්ධව හඬ නඟන්න මාධ්‍ය අපිත් එක්ක ඉන්නවා. ඒ ගැන අපි ඉරිදා සිළුමිණට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා. මේ ගමේ මීට පෙර විශාල බොරළු ජාවාරමක් කෙරුණා. ඒ ගැනත් ඉරිදා සිළුමිණෙන් හෙළිදරව් කෙරුණා. ඉන්පස්සේ අදාළ බලධාරීන් මැදහත්වෙලා ඒක සදහටම නැවැත්තුවා.”
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ජනාධිපති විමර්ශණ අංශයේ අධ්‍යක්ෂක රූබන් වික්‍රමාරච්චි මහතා අප හා තොරතුරු පැවසිය.
“පසු ගිය දිනක මාධ්‍ය මගින් මේ වැව පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟ මේ කෙරෙහි අතිගරු ජනාධිපතිතුමාගෙ පෞද්ගලික අවධානය යොමු වුණා. එතුමාගේ උපදෙස් මත මේ වැව ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා පිළිබඳ සොයා බලා පරික්ෂණයක් කිරීමට උපදෙස් ලැබුණා. ඒ අනුව අපි මේ ගැන විධිමත් පරික්ෂණයක් ආරම්භ කළා. මේ ගමට පරීක්ෂණ සඳහා ගියවිට ගමට සිදුවී ඇති විනාශය දැක අපට පුදුම හිතුණා. වැව අවට වසර දෙසීය තුන්සිය පැරැණි ගස් කපලා. දැව හොරුන් ඒ දැව හොරෙන් පිට කරනවා. පරීක්ෂණ සඳහා ගියවිට ගමේ ඇත්ත තත්ත්වය අපි දැක්කා. ප්‍රදේශවාසීන්ද අපට තොරතුරු හෙළි කළා.
සිද්ධිය පිළිබඳ වහාම විමර්ශනයක් පවත්වන ලෙස අප දැනටමත් පොලිස්පතිතුමාට දන්වා තිබෙනවා. වැරැදි කළ සැමට විරුද්ධව ඉදිරියේදී නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු යොදනවා.
මේ ගම වෙනුවෙන් සිළුමිණ පුවත්පත සිදුකරන සේවය අපමණයි. මෙවැනි දූෂණ හා අක්‍රමිකතා සොයා බලා ඒවා ජනතාවට දැන ගැනීමට ඉඩ සැලැස්වීම පිළීබදව මේ ප්‍රාදේශීය අප වාර්තාකාර මහතාටත්, සිළුමිණ පුවත්පතටත් අප බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.”
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පුත්තලම අතිරේක දිසාපති වැඩබලන ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.එම්.සී.කේ. වන්නිනායක මහතා පැවසූයේ මෙවැන්නකි.
“මේ ගැන පසු ගිය දවස්වල මාධ්‍ය මගින් හෙළිදරව් වුණා. ඉතිං අපි නෛතික ක්‍රියා මර්ග මේ වෙද්දි අරන් තියෙන්නෙ. ඒ නිසා අපි ඉදිරියේදී මෙවන් අක්‍රමිකතා සිදු නොවෙන්න අවශ්‍ය කටයුතු කළ යුතුයි.”
කේ. ප්‍රියංකර
වනාතවිල්ලුව