
යුද්ධයට ගොදුරු වූ අයට සල්ලි දිදී ඉඳලා හරියන්නේ නෑ. ඒ අයට ස්ව ශක්තියෙන් ජීවිතය ගොඩගන්න, ආත්ම ගෞරවය ගොඩනඟා ගන්න උදව් කරන එකයි අපි කළ යුත‍්තේ. ඒක ආණ්ඩුවේ වගකීමක් නෙමේ. ඒක මුළු සමාජයේ ම වගකීමක්. අපි අදහන හැම ආගමකම ආදරය බෙදා ගන්න කියලා තියෙනවා. ඒක හොඳටම තියෙන්නේ තරුණ හිත්වලයි. අපි තරුණ පිරිස මඟින් ඒ නිර්මල ළෙන්ගතුකම සමාජගත කරන්න උත්සහ කරමු.
ගෙත්සි ෂන්මුගම් මහත්මිය පිළිබඳ අප රටේ දන්නේ කී දෙනා ද? වැඩිම වුණොත් ඒ සංඛ්‍යාව දහසකට නොවැඩිය. නමුත් අද ඇය මුළු ලෝකයේ ම සමාජ ක්‍රියාකාරිනියන් අතර “ශ්‍රී ලංකා අම්මා” යැයි සුප්‍රකට ය. ඇය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය ඉතා ඉහළ වටිනාකමක් දී කතා කරමින් සිටී. ඉතින් ඇය අපේ මාතෘ භූමියට මහත් අභිමානවත් මරකත මාණික්‍යයක් නොවේ ද? මේ සියලු අවධානයන් ඇයට එල්ල වූයේ 2017 රමොන් මැග්සෙසායි සම්මානයෙන් (Ramon Magsaysay) ඇය පිදුම් ලැබීම සමඟය. අවුරුදු තිහකට අධික කාලයක් ඇය සිය ජීවිතය කැප කළේ ළමයින්ගේ සහ කාන්තාවන්ගේ යහපත උදෙසාය. විශේෂයෙන් ඒ අයගේ මානසික ප්‍රතිශක්තිකරණය සඳහාය. යුද්ධය, ප්‍රචණ්ඩත්වය, සංස්කෘතික රිදවීම්, සුනාමිය, දරිද්‍රතාවය, ලිංගික සූරාකෑම්, රැවටීම් වැනි සමාජ සාධක නිසා දරුණු ලෙස බිඳ වැටී ගිය ජීවිතවලට නැගී සිටින්න අවශ්‍ය මානසික ශක්තිය දීමට ඇය බරපතළ අර්බුදකාරී තත්වයන් මත අඛණ්ඩව කටයුතු කළාය. ඇය මේ සියල්ල කළේ කිසිවක් බලාපොරොත්තුව නොව, ස්වෙච්ඡාවෙන්ය. “අම්මා” කෙනෙකු හැටියට ඇයට මේ සියලු දෙනා තමන්ගේ දරුවන් ය. ඇය දන්නා හඳුනන සියලු දෙනා ඇයට කතා කරන්නේ “අම්මා” කියා ය. මේ නිසා ඇයට රට පුරා පමණක් නොව ලෝකය පුරාම “අම්මා” යැයි කියා අමතන්නෝ විශාල සංඛ්‍යාවක් සිටිති.
ඥානතීපම් ගෙත්සි එම්. ෂන්මුගම් 1934 දී උපත ලබන්නේ නාවලපිටියේ ය. මහනුවර මොව්බරි කාන්තා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා එම පාසලේ ම ශිෂ්‍ය ගුරුවරියක ලෙස දිවිය පෙරට ගත් ඇය පසුව, යාපනයේ ගුරු විදුහලෙන් උසස් අධ්‍යාපනය ලබා ස්ථිර ගුරු වෘත්තියට ඇතුල් වූවාය. ඉන්පසු කොළඹ ශා. ජෝශප් විද්‍යාලයේ ද ගුරු වෘත්තියේ (1967 - 83) නියැළුණ ඇය පසුව සිය සැමියා සමඟ නයිජීරියාවට යන්නේ පැවති අයහපත් සමාජ වාතාවරණය නිසාය. එහෙත් එහි ද කැරළි කෝලාහල නිසා වසරකින් නැවත මවුරටට එන ඔවුන් එදා සිට මෙරට ජීවත් වේ.
අනතුරුව ගෙත්සි ළමා මනෝ විද්‍යාව, උපදේශනය, අධ්‍යාපන උපදේශකවරියක ලෙස සිය දෛවය පැවරූ කාර්යභාරය ආරම්භ කළාය. මුල් යුගයේ කොළඹ ශා. ජෝශප් විද්‍යාලයේ සිය කටයුතු කරගෙන ඇය පසුව මර්වින් පියතුමාගේ ඇරයුම පරිදි යුද කලාපයේ කටයුතුවලට එක් වූවාය.
“විවිධ ආයතන සමඟ මම මේ වැඩ කරගෙන ගියා. රෙඩිබානා ආයතනය, ෆොරූටි, සුබෝයි ආයතනය, පවුල් අධ්‍යයන සහ සේවා ආයතනය, සූරියා පදනම එස්කෝ, ජාත්‍යන්තර පුහුණු පදනම, The Good practice Group, නෝර්වේජියානු සරණාගත කවුන්සිලය ඒ අතර ප්‍රධාන වෙනවා. මොකද මගෙන් සේවය ඉල්ලන ඕනෑම අයෙකුට මම මගේ සේවය ලබා දෙනවා. මට අවශ්‍ය කාගෙත් ප්‍රමාණවත් හව්හරණයක් නැති දරුවන්ට සහ කාන්තාවන්ට පිළිසරණක් වෙන්නයි. මම යුද්ධ කාලෙදි හමුදා පාලන ප්‍රදේශවලත් කොටි සංවිධානය පාලනය ප්‍රදේශවලත් වැඩ කළා. මට මේ වැඩ ලේසියෙන් පහසුවෙන් කර ගන්න පුළුවන් වුණේ නැහැ. මට හමුදාව M.O.D පාස් එකක් දීලා තිබුණා. නමුත් අනිත් පැත්තට මම යනකොට ඒ අය මාව හරියට සැක කළා. ප්‍රශ්න කිරීම් හරිම දරුණුයි. මට හරියට සැර කරනවා. මොකද මගෙන් අයි.ඩී. එක ඉල්ලුවම මම කවදාවත් දුන්නේ නෑ. මම හැමදාම කියන්නේ ඒක නැතිවෙලා කියලා. මොකද ඒකේ මගේ උපන් ගම තියෙන්නේ ‘උඩහේන්තැන්න’ කියලා. ඒක දැක්කා නම් ඒ අය මට යන්න දෙන්නේ නෑ, ඉතිං සමහර වෙලාවට එයාලා මට කියනවා ‘උඹ බොරුකාරියක්’ කියලා. මං ඉතිං හිනාවෙලා ඉන්නවා. එහෙම තමයි මම වැඩ කළේ.
අපි යාපනයේ කෝපායි, නල්ලුර්වලත් මුලතිව්වල දුෂ්කර ගම්වලත් මඩකලපුවෙත් වැඩ කළා. මට සිංහල හොඳට බැරි නිසා දකුණේ වැඩවලට සම්බන්ධ වෙන්න බැරි වුණා. මෙහිදි තිබුණ ලොකු ප්‍රශ්නය තමයි අපිට වගේම ඒ පුරවැසියන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට යන්න අවසර නැති වීම. අපි වැන්දඹු ස්ත්‍රීන් සමඟ කතා බහ කරන විට ඔවුන්ගේ කට ඇර ගන්න අපිට සෑහෙන කාලයක් ගත වෙනවා. මොකද ඒ අය දැඩි කම්පනයකින් සමාජ පීඩනයකින් ඉන්නේ. මේ වැන්දඹුවන්ව සමාජයේ කොන් කරනවා. මූසල, කාලකණ්ණි ගෑනු කියලා රිද්දනවා. කිසි තැනකට ඒ අයට ඉස්සරහට - විශේෂයෙන් මඟුල් තුලා, උත්සවවලදී එන්න දෙන්නේ නෑ. ගෙදර එකම ආදායම් උපයන්නා සැමියා අහිමි වුනාම අපි කවුරුත් මොන තරම් අසරණ අනාරක්ෂිත වෙනවද? සංස්කෘතික හා ආර්ථික පීඩනයන් ඇයට එල්ල වන විට ඇයව මානසික හා භෞතිකව අපයෝජනයට ලක් වෙනවා. මේ අයට තමන්ගේ දුක කියන්න කෙනෙක් නෑ. විශ්වාස කෙනෙක් නෑ. ඒ නිසා අපිට සෑහෙන්න ඉවසන්න වෙනවා. ඊට පස්සේ දීර්ඝව ඒ අය කතා කරන කොට අපි බොහෝම ගෞරවයෙන් ඒවා අහගෙන ඉන්න ඕනේ. ඇහුම්කන්දීම ඉතාම වැදගත් මෙතනදි. අපි ඒ අයට කථා කළේ “අම්මලා” කියලා. තමන්ට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් ලැබුණාම, ඒ විශ්වාසය තහවුරු වුණාම ඒ අයගේ බර සැහැල්ලු වෙනවා කියලා ඒ අය කියනවා.
නමුත් මේ අසරණකම නිසාම ඒ අයව රවටන, සූරාකන අයත් ඉන්නවා. ස්ත්‍රියකට සාමාන්‍යයෙන් ලිංගික අවශ්‍යතා ඇති වෙනවා. විශේෂයෙන් මේ අය තරුණ අය. ඉතිං සමහරු ඇවිල්ලා මේ කාන්තාවන් සමඟ මිත්‍ර වෙනවා. හොඳ විශ්වාසවන්තයෝ වෙනවා. එහෙම වෙලා මේ අයව ලිංගිකව පරිහරණය කරනවා. ඉතිං දරුවෝ ලැබුණම පලා යනවා. තව සමහරු කරන දෙයක් තියෙනවා. ඒ කාලේ වැන්දඹු කතුන්ට රජය රුපියල් පනස් දහසක වන්දියක් දෙනවා. මේක දැන ගන්න අය හෙමීට මේ අසරණ ගෑනු ළඟට කිට්ටු වෙලා ලිංගිකවත් පාවිච්චි කරලා අර සල්ලිත් අරන් යනවා.
තව සමහර ගමේ ඉන්න රජයේ නිලධාරි මේ ගෑනුන්ට ඒ සල්ලි ටික අරන් දෙන්න ශාරීරික හා මූල්‍ය අල්ලස් ගන්නවා. මේ ස්ත්‍රීන් එක පැත්තකින් යුද්ධයෙන් බැට කනවා. අනිත් පැත්තෙන් සංස්කෘතික සාධක නිසා අවමන් විඳිනවා. ඒ අතරේ විශ්වාසය නිසා ඇය නැවත නැවත අපහරණයට ලක් වෙනවා. රාජ්‍ය සේවකයන් ඇයව ගසා කනවා. ඉතින් අපි ගියාම පළමුව ඇයට එන්නේ කෝපය මුසු වෛරයක්. ඒ නිසා මම “පළමුව ඔවුන්ට දෙන්නේ මගේ සිනහවයි” මේ වගේ අත්දැකීම් රැසක් තියෙනවා.
ඔවුන්ගේ විශ්වාසය අපි කෙරෙහි තහවුරු කර ගත්තට පස්සේ, හෙමින් හෙමින් ඔවුන්ගේ කතාව අහනවා. ඒ එක්කම ඔවුන්ගේ යටපත් වී තිබෙන ආත්ම ශක්තිය ගොඩ නඟනවා. කාට හෝ නැවත නොරැවටෙන්න ඔවුන්ගේ ආත්ම අභිමානය නැවත ස්ථාපිත කරනවා. තමන්ගේ මුල් පවුලෙන් ද අවට සමාජයෙන් ද නැදෑ සනුහරේ ද කොන් කළ නොතකා හැරිය මේ වැන්දඹු ස්ත්‍රීන් තමන් දරුවන් සමඟ මොන තරම් දුක් විඳින්න ඇත්ද ජීවත් වෙන්න. යන්තම් පණ ටික රැක ගන්න. ඔබම හිතන්න.
දරුවන් පිළිබඳව ද ඇයට ඇති දැඩි වේදනාකාරී අත්දැකීම් ඇය රචනා කළ “ජීවිත යළි ගොඩනැඟීම” ග්‍රන්ථයේ දක්වා ඇත. “යුද්ධයකදී ලෝකයේ කොහේ වුණත් එතනදි unicef එකේ ළමා අයිතිවාසිකම් බහුතරයක් උල්ලංඝනය වෙනවා” යැයි අවධාරණය කරන්නීය. “සමහර දරුවන්ගේ අම්මා - තාත්තා දෙන්නම නෑ. සහෝදරයන් රැක ගන්නේ වැඩිමල් සහෝදරයා හෝ සහෝදරිය. හම්බ කරන්නෙත් ඒ අයයි. සමහරු ළමයින්ව පවුලින් වෙන් කරලා. සමහර ළමයින් ඉස්කෝලේ යන්න හැතැප්ම ගණන් පයින් යනවා. ගෙදර වැඩ කරන්නත් ඕනේ. මේ අතර වෙඩි උණ්ඩ බෝම්බවලින් බේරෙන්නත් ඕනේ. මේ වැඩි පීඩනය දරුවෙකුට දරන්න බෑ. ඔවුන් මේ නිසා ඉක්මනින් කෝපයට පත් වෙනවා. ඔවුන්ගේ දකින්න ලැබෙන්නේ අතික්‍රියාශීලී හැසිරීම්. ඔවුන් නිතරම ආක්‍රමණශීලියි. විනාශකාරීයි. ඒ වගේම සාංකාව වැනි මානසික රෝග තත්වයන් මේ අය තුළ තියෙනවා. සමහර ළමයෙකුගේ මුළු ජීවිතයම කඩා වැටෙන්න හේතුව වන්නේ එයා “ආසම කරන බෝනික්කා දාලා එන්න වීම” යි. ළමා සොල්දාදුවන් වෙන්නේ මේ අය තමයි.”
අපි ඒ අය එක්ක ඉතාම සංවේදී ලෙසයි ක්‍රියා කළ යුත්තේ. මට හමු වුණ ළමා සොල්දාදුවන්ගේ පසුබිම් කතාවල හරය තියෙන්නේ ඒ වගේ සිද්ධි සමඟයි. අපි ඒ නිසා ළමයින්ට කතා කරන්න නාට්‍ය හැදුවා. රවි රණසිංහ මහතා ඒ වෙනුවෙන් ගොඩක් කැපවෙලා වැඩ කළා. ඒ වගේම වෛද්‍ය එලිසබෙත් යාරෙග්ගේ උපදෙස් අපිට මෙහිදි මහත් උපකාරී වූවා. අපි දරුවන්ට ඒ අයගේ ළමා කාලය ලබා දෙන්නත් මතකයන් සුවපත් කරන්නත් උදව් කළා.
යුද්ධය අවසන් වූ පසු රජය මේ ප්‍රදේශවල සමාජ තත්වය යථා තත්වයට පත් කරන්න ගොඩක් වැඩ කරනවා. නමුත් එක පාරටම කරන්න බෑ. කාම්බෝජය, දකුණු අප්‍රිකාව, නේපාලය වගේ රටවල් රැසක පශ්චාත් යුද සමාජ පිළිබඳ අධ්‍යයන අත්දැකීම් තියෙනවා. කිසිම රටක ඒ සමාජය ඉතා ඉක්මනින් යථා තත්වයට ගන්න බැරි බව ඔප්පු වී තිබෙනවා. සමහර දෙනා තවම සහනාධාර, ආධාර, උපකාර දිහාවට අත දිගු කරගෙන ඉන්නවා. තමන්ගේ ශක්තියෙන් ජීවිතය ගොඩ ගන්න මේ අය තවම හිතලා නෑ. මොකද ඒ අය දැඩි කඩා වැටීමකට ලක්වූ පිරිසක්. ඒ අයට අපි ආත්ම ගෞරවය ලබා දෙන්න ඕනේ. ඒ ආත්ම ගෞරවය තමයි ඒ අයව අර අනුන්ට අත පාන අනුන්ගේ ආධාර මත ජීවත් වෙන මානසිකත්වය නැති කරන්නේ. තමන්ගේ ගෞරවය ගැන හිතන ඕනෑම කෙනෙක් තව කෙනෙකු මත යැපෙන්න හිතන්නේ නෑ. අපි ඒ අයට ආත්ම ගෞරවයෙන් ජීවත් වෙන්න පසුබිම හදන්න ඕනේ. ඒ කියන්නේ යළි නැගිටීමට අපි උදව් කළ යුතුයි.
යුද්ධය කියන්නේ කුණු දිය පිරුණ පොකුණක්. හැබැයි ඒ කුණු වතුරේ නෙලුම් පිපෙනවා. ඒකට සෑහෙන්න කාලයක් යනවා. අපි ඒ මලට හෙමීට පිපෙන්න ඉඩ දෙන්න ඕනේ. නැතිව පහනක් දැල් වූවා වගේ එක පාරට ආලෝකය ලබන්න බෑ අපිට. නමුත් අපි අර කුණු වතුරවල තවදුරටත් පවත්වාගෙන යන්න කටයුතු නොකළ යුතුයි. ඒ කියන්නේ මේ යුද්ධයට ගොදුරු වූ අයට සල්ලි දිදි ඉඳලා හරියන්නේ නෑ. ඒ අයට ස්ව ශක්තියෙන් ජීවිතය ගොඩගන්න, ආත්ම ගෞරවය ගොඩනඟා ගන්න උදව් කරන එකයි අපි කළ යුත‍්තේ. ඒක ආණ්ඩුවේ වගකීමක් නෙමේ. ඒක මුළු සමාජයේ ම වගකීමක්.
යුද්ධයෙන් හානියට පත් වුණේ, හිත් පෑරුණේ යුද්ධ තිබුණ පැත්තේ විතරක් නෙමේ. දකුණෙත් කොච්චර තම ඥාතීන් අහිමු වුණ, අතපය අහිමි වුණ අය ඉන්නවා.මේ සේරම අයගේ මතකයන් සුවපත් කරන්න ඕනේ. අපි දෙපැත්තට වෛර කරලා මුකුත් වෙන්නේ නැහැ.
අසූ තුන් හැවිරිදි ඇය තවමත් තම ස්වේච්ඡා මෙහෙවර නතර කර නැත. අප සමඟ සාකච්ඡාවේ සිටියදි ඇය මන්නාරමට යාමට කන්‍යා සොයුරියක් සමඟ දින වෙන් කළාය. යුද්ධය අවසන් වූ පසු ඇය දිගින් දිගට ම කටයුතු කරන්නේ මේ බිඳ වැටුණු ජීවිත නැවත ස්ථාවරව ස්ථාපිත කරන්නය. විශේෂයෙන් මානසිකව ඔවුන්ව ශක්තිමත් කරන්නය. දරුවන්ගේ ජීවිත ආලෝකමත් කරන්නය. එහෙත් ඇයට සමහර සිදුවන දේවල් පිළිබඳ ඇත්තේ නොපහන් හැඟීමකි.
මම උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. මම වැඩ කරන්නේ අනාථ නිවාසයක. ඉතින් මම හිතනවා මට රස්සාව තියෙන්නේ මේ අනාථ ළමයි හිටියොත් තමයි කියලා. නමුත් මම ළමයින්ට ආදරේ නං කළ යුතු වන්නේ අනාථ නිවාසෙට ළමයි එන එක නතර වන විදියට ඒ පවුල් සවිමත් කරන එක නේද?
ඒ වගේ ම අපේ ළමයි ගැන තොරතුරු දෙන්න කියලා සමහරු බෝඩ් අල්ලගෙන ඉන්නවා. මම දන්න අය කියන්නේ, මේ අයගෙන් 90% ක්ම තමන්ගේ දරුවන්ට වුණ දේ හොඳටම දන්නවා. සමහරවිට දේශපාලන මෙහෙයවීම් නිසා ඔවුන් මෙහෙම කරනවා කියලයි.
අපිට තිබුණේ කඳුළු මිදුණ (Freeze) කන්දක්. දැන් ඒක ටික ටික දිය වේගෙන යනවා. අපි දැන් වැඩි හානියක් වුණ අයට (ඒ කියන්නේ උතුරේ සහෝදරියන්ට දරුවන්ට) අපේ (ඒ කියන්නේ දකුණේ අපි) සහෝදරත්වය දිය යුතුයි. උතුරේ අය තවම ඉන්නේ බියෙන්, සැකෙන්, දුකෙන්. මේවා ඒ අයගේ හිත්වලින් සදහටම අයින් කරන්න පුළුවන් දකුණේ අපි ඒ අය එක්ක අප් හෘදයාංගම ආදරය ඒ අයට දුන්නොත් බෙදා ගත්තොත් විතරයි. අපි හැමෝගෙම හිත්වල මේ සෙනෙහස තියෙනවා. අපි අදහන හැම ආගමකම මේ ආදරය බෙදා ගන්න කියලා තියෙනවා. ඒක හොඳටම තියෙන්නේ තරුණ හිත්වලයි. අපි මේ තරුණ පිරිස මඟින් ඒ නිර්මල ළෙන්ගතුකම සමාජගත කරන්න උත්සහ කරමු. ඒ අයට පුළුවන් එහෙම කළොත් අනෙක් අයගේ අනර්ථකාරි න්‍යාය පත්‍ර පරාජය කරන්න. තරුණයන්ට මේ කාරණය පහදා දී ඔවුන්ව හරි තැනට ස්ථානගත කිරීම වැඩිහිටියන්ගේ වගකීමක්.
1907 පිලිපීනයේ සැම්බාලේස් හි දි උපන් රාමොන් ඩෙල් ෂියරෝ මැග්සෙසේ, 195 පිලිපීනයේ හත්වන ජනාධිපති ලෙස පත්වී, 1957 දි ගුවන් යානා අනතුරකින් මිය යන්නේ ය. ඔහු නමින් පිහිටුවන අරමුදල් භාරය විෂය ක්ෂේත්‍ර හයක් පාදක කර ගනිමින් 1958 සිට වාර්ෂිකව රාමොන් මැග්සෙසේ සම්මාන ප්‍රදානය සිදු කරයි. එදා සිට අද දක්වා ශ්‍රී ලාංකිකයන් අට දෙනකුට මෙම සම්මානය හිමි වී ඇත. එම සම්මානය ලද ප්‍රථම ශ්‍රී ලාංකේය කාන්තාව වන්නේ ගෙත්සි ෂන්මුගම් මහත්මිය ය.
ඊට පෙර ඇයට අවස්ථා කිහිපයකදි මෙරට සහ ජාත්‍යන්තර උපහාර ලැබී ඇත. පසුගිය වසරේදි මෙරට ළමා අයිතීන් වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් කළ පුද්ගලයා ලෙස ඇයට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය උපහාර පුද කළාය. විශේෂයෙන් එහිදි ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනයේ දි දැක්වූ දායකත්වය ඇගයීමට ලක් විය. ඇයගේ සැමියා මුතුවේලු ෂන්මුගම් මහතා විශ්‍රාමික අධ්‍යාපන ප්‍රකාශන නිලධාරියෙකි. දියණියන් දෙදෙනා විදෙස්ගතව ජීවත් වෙති.
පරිවර්තන සහය සහ ඡායාරූප
සිවරාජා තකීෂන්
උපුල් ජනක ජයසිංහ