ගැහැනු දරුවා සුරැකීමට හොඳම පිළියම පවුලේ ආදරයයි | සිළුමිණ

ගැහැනු දරුවා සුරැකීමට හොඳම පිළියම පවුලේ ආදරයයි

ලෝකය ලස්සන වන්නේ ගැහැනු දරුවන් නිසාය. නීරෝගී ප්‍රජාවක් අඛණ්ඩව පවත්වාගෙන යාමේ, නීරෝගී පරපුරක් බිහිකිරීමේ තීරණාත්මක වගකීම දරන්නී ගැහැනු දරුවාය. එබැවින් ම ඇය විශේෂිත වේ. ජීව විද්‍යාත්මකව මෙන්ම සමාජයේ පැවැත්ම හා සංස්කෘතිය ඉදිරියට රැගෙන යාමේ වාහකයා වන්නේ ගැහැනු දරුවාය. එබැවින් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය, පෝෂණය, අධ්‍යාපනය, හා ආකල්ප ඉතා උසස් මට්ටමක තිබිය යුතුවේ.

ශ්‍රී ලාංකේය සමාජයේ බොහෝවිට තවමත් ගැහැනු දරුවා දෙවනස්ථානයෙහි ලා සැලැකේ. එහෙත් අධ්‍යාපන විෂය දැනුම හා අවබෝධය පිළිබඳ විමසීමේදී ශ්‍රී ලාංකේය ගැහැනු දරුවා යම් පමණ උසස් සමජ මට්ටමක වෙසේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැහැනු දරුවන් සඳහා වසරේ ඔක්තෝබර් එකොළොස් වැනිදා වෙන් කර තිබේ.ඒ මානව ප්‍රජාවගේ පැවැත්මේ තීරණාත්මක සාධකය වන ගැහැනු දරුවාගේ සුරක්ෂිතතාව වෙනුවනි. ජීව විද්‍යාත්මක ක්‍රියාවලියත් සමඟ අසියාතික රටවල ළදැරියෝ අවධානමට ලක් විම වැඩිය. යුරෝපීය රටවල් අතර මේ තත්ත්වය අවම වේ.ඊට හේතුව වී ඇත්තේ එම රටවල් පාසැල තුළදීම දරුවන් ට අවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබා දීමයි. වැඩිහිටියන් ලිංගිකත්වය හා ලිංගික අත්දැකීම් දරුවන් හා විවෘතව කතා නොකරයි. ලංකාවේ සංස්කෘතිය තුළ ලිංගිකත්වය පිළිබඳ කතා නොකිරිම සීලාචාර කමක් සේ සැලැකේ. මෙය ගැහැනු දරවන් කෙරෙහි ඇති අවධානම වර්ධනය කරයි. මෙහිදී ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබා දීම ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ කියා දීම හෝ ලිංගික සබඳතා පවත්වන අයුරු කියා දීම සේ සැලැකිය යුතු නොවේ. ගැහැනු දරුවා කුතුහළයෙන් යුතුය. එබැවින් ඔවුන්ට තම ශරීරය එහි ක්‍රියාකාරීත්වයේ වැදගත් කම, වැඩිවියට පත්විමත් සමඟ සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වය, තම ශරීරයේ එක් එක් ඉන්ද්‍රියයෙහි වැදගත් කම, තමන් අරක්ෂා වීම හා ආරක්ෂා වීමේ වැදගත්කම, හා සමාජයේ පුරවැසියෙකු ලෙස තම වගකීම, ඒ වගකීම ඉටු කිරිමෙහිලා කායික හා මානසික නීරෝගී අයෙකුවිමේ වැදගත් කම කියා දිය යුතුය. විශේෂයෙන්ම ගැහැනු දරුවන්ට ප්‍රතික්ෂේප කිරිමේ අවස්ථා පැහැදිලි කර දිය යුතුය. ප්‍රතික්ෂෙප කිරීමේ හැකියාව හා ශක්තිය දරුවාට ලබා දිය යුතුය. ගැහැනු දරුවාට මෙන්ම පිරිමි දරුවාටද මේවා පොදුය. මේ අනුව පාසල් තුළ ලිංගික අධ්‍යාපනය ලබා දීම හා ඊට අදාළ විෂය නිර්දේශ සකස් විය යුතුවේ.

ශ්‍රී ලංකාවේ 1970 -80 දශකයේ සිදු වූ සමාජ සංස්කෘතික වෙනස් වීම් වර්තමාන ගැහැනු දරුවා කෙරෙහි ප්‍රබල ලෙස බලපෑම් කළේය. එය ගැහැනු දරුවාගේ සමාජානුයෝජනය කෙරෙහි කළ බලපැම විශාලය. විස්තෘත පවුල න්‍යෂ්ටික පවුල බවට පත්වීමත් සමඟ ගැහැනු දරුවාගේ රැකවරය ආරක්ෂාව කෙරෙහි එය බලපැම් කළේය. ඉන් සමුහය තුළ ඇයට පැවැති අවධානම තවත් වැඩිවිය. ලිංගික පරිණාමය තුළ හැඟීම් පුබුදුවා දරුවන් රවටනු හැකිවිම මෙයට මහත් උපකාරයක් වී ඇත. විස්තෘත පවුල තුළ දරුවාට විශ්වාස වන්ත මිතුරු සමාජයක් පැවැතිණ එහෙත් න්‍යෂ්ටික පවුල තුළ එවන් මිතුරු සමාජයක් නොවීම හරහා දරුවන් තනිවිය. මෙසේ හුදකලා වීම දරුවන් කෙරෙහි අනර්ථයක් කළේය. සමූහය තුළ ගැහැනු දරුවාට අති අවධානය වැඩි විමත් සමඟම අවදානම වැඩිවිය. අවකාශ වැඩිවිය. ඒ අවකාශ වසා දැමිමෙහිලා සමත් වැඩිහිටි සමූහයක් නොවීය. මෙනිසා ගැහැනු දරුවන් වැරැදි පුද්ගලයන් සමග සබඳතා ගොඩනඟා ගැනිම හේතුවෙන් අතවරයට අපයෝජනයට ලක්විය. මේ හේතුවෙන් ඇතිවන කායික මානසික පිඩනය අතිමහත් හා දිගු කාලීන ප්‍රතිඵල දැරියන් කෙරෙහි ලබා දේ. ඉන් දැරියන් මුදවා ගැනීමේ වගකීම මව පියා සතුය. ඔබේ දියණිය අවධානම් සහිත දැරුවෙකු නම් ඇය අපයෝජනයට ගොදුරුවිමේ ඉඩ අහිමි කළ යුතුය.

මේ සබඳතා ගොඩනැගිම ග්‍රාමීය පරිසරයේදී හා නාගරික පරිසරයේ දී දෙආකාර වේ. එහෙත් පරිගනක තාක්ෂණය හා අන්තර්ජාලය ව්‍යාප්ත වීමත් සමඟ එය එකක් වෙමින් පවති. ග්‍රාමීය පරිසරයේ දී අසල්වැසියා හෝ ඥාතියා අතින් ලැබූ ලිංගික උත්තේජනය අන්තර්ජාලය හරහා නොදන්නා අයෙකුගෙන් ලැබිමට යොමු වීම හා ඒ ඔස්සේ පීඩාකාරී තත්ත්වයන්ට ගොදුරු වීම දැක ගත හැකිය. වර්තමානයේ හුදකලාවන දරුවන් අන්තර්ජාලය හරහා සිදුවන දැන හඳුනා ගැනීම් සමඟ කතාකරනුයේ ලිංගිකත්ත්වය, ප්‍රේමය, ආදරය, හෝ ප්‍රචණ්ඩත්වය පිළිබඳවය. ඒ තාක්ෂණික මෙවලම දැනුම බෙදාගැනීමට හෝ දැනුම සොයා යාමට භාවිත කරන්නේ අල්ප වශයෙනි. මේ හේතුවෙන් ලිංගිකත්වය උළුප්පා දක්වන සමාජ තත්ත්වයක් තුළ පොළඹවා ගැනීමේ හැකියාව වැඩි බැවින් අනවබෝධය නිසා ගැහැනු දරුවා අවධානමට ලක්වේ.

වර්තමාන පරපුර ප්‍රේමය ආදරය ලෙස හඳුනාගෙන ඇත්තේ ලිංගිකත්වය යි. මේ හේතුවෙන් අන්තර්ජාලයේ හමුවන නාඳුනන්නා තම මවට පියාට වඩා විශ්වාස කොට තොරතුරු හුවමාරු කර ගැනිමට හා දුක්ගැනැවිලි කීමට පෙලැඹේ. ඒ අනුව ගැහැනු දරවා වර්තමානයේ තවදුරටත් අවධානමට ලක්වේ. වර්තමාන ලංකාවේ ගැහැනු දරුවා ගැන සතුටු වෙන්න නොහැක. ඔවුන් ඥාති සමූහය මිතුරු සමූහය තුළ අවධානමට ලක්වී ඇත.

යමක් සිදුවූ පසු පොලීසියට, පාසලට, කාන්තා කාර්යාංශයට හෝ ළමා රක්ෂණ සඳහා වන ආයතනයන්ට දොස් කියමින් දිවිම වැදගත් නොවේ. ඊට පෙර තම දරුවා වෙනුවෙන් මව් පියන් ක්‍රියාත්මක වී අවධානය යොමු කළ යුතුයි. ඔබේ දියණිය අවධානමට ලක් වූ දැරියක්නම් ඈ කෙරෙහි රැකවරණය සැලැසීමට දෙවරක් නොසිතිය යුතුයි. ඒ ඔබේ දරුවා නිසා පමණක් නොවේ. ඇය මහා සමාජයේ සම්පතක් වන බැවිනි.

වර්තමානයේ දෙමාපියන් හා ගුරුවරුන් දරුවන් සමඟ පවත්වන්නේ නිල සබඳතා පමණි. දරුවන් සමඟ සාකච්ඡා කීරීමට හෝ ඔවුන්ට ඇහුම්කන් දීමට වේලාවක් නැත. ඊට හේතුවී ඇත්තේ මව්පියන් මෙන්ම වර්තමාන සමාජ, ආර්ථික ,අධ්‍යාපනික රටාව තුළ කාර්ය බහුල වීමයි. මේ තරගය හේතුවෙන් දරුවන් මෙන්ම මව්පියන් ද ආතතියෙන් ඉලක්ක සොයා හඹා යයි. මේ නිසා ගැහැනු දරුවා රැක ගැනීම සඳහා සමාජයේ විශාල පරිවර්තනයක් සිදුවිය යුතුය. එහෙත් එය සිදුවන දෙයක් නොවේ. එබැවින් තම දරුවන් හා හැඟිම් බර හෘදයාංගම විශ්වාසවන්ත සබඳතා පවත්වා ගැනිමට මව්පියන් උත්සුක විය යුතුවේ. එහිදී ගුරුවරයා කෙරෙහිද වගකීමක් තිබේ.

ටෙක්ලා පද්මිණී කාරියවසම්

 

Comments