
අබලන් වූ ගොඩනැගිලි සමඟ භූමිය අක්කර 98ක්
බිය වන්නට හේතුවක් නැත. දැන් ලාදුරුවලට නිට්ටාවට සුව වීමට බෙහෙත් ඇත්තේය. එසේ වුවද අතීතයේ මෙන් වනගත වීම හෝ සමාජයෙන් සැඟවීමට අවශ්‍ය නැත. කළ යුත්තේ රෝගීන් ඒ පිළිබඳ දැනුම්වත් වී දිගින් දිගට ප්‍රතිකාර ගැනීම පමණි.
මඩකළපු නගරයේ සිට කල්ලඩි පාලම දෙසට ගිය අප කළපුව අසලට වී බලා සිටියේ කොයි මෙහොතේ හෝ දුපතට යෑමට බෝට්ටුවක් පැමිණෙන තුරුය. බොහෝ වේලාවකට පසු ඩිංගි බෝට්ටුවක් එතැනට ළඟාවිය. අපි විනාඩි ගණනකට පසු දූපතේ ජැටියට ළඟා විමු. ඒ වනවිටත් වේලාව උදෑසන නවය නවය හමාර වන්නට ඇත. වියළි කාලගුණයට පොළොව පමණක් නොව ගහකොළ පවා වියැළී ගොස් තිබිණි. නමුදු සියල්ල යට කරමින් ඉතා සරුසාරව හිස ඔසවා තිබෙන මාන පදුරු මෙන්ම තවත් කැලෑ ගහ වැල විසින් ඒ බිම ඇති ගොඩනැගිලි පවා වසාගෙන ඇත්තේය. පුළුල් ගුරු පාර දිවෙන්නේ කෝවිල වෙතය. කෝවිලට යෑමට පෙර අප ඇස් දිවෙන්නේ පැරැණි ගොඩනැගිලි වෙතය. මුලින්ම කොහේ යන්න ද සිතා ගැනීමට නොහැකි ව අපි මදක් නතර විමු. වම් පස බැලූ විට ඇත්තේ ගරාවැටුණ ගොඩනැගිලි පෙළකි. දකුණු පස බැලූ විට ඇත්තේ තවත් ගොඩනැගිලි රැසකි. උස්ව වැඩුණු මානා පඳුරු අතරින් ඈත බැලූ විට සොහොන් කොත් කිහිපයක මුදුන් පෙනේ. නමුදු ඒ ආසන්නයකටවත් යා නොහැකි තරමට කැලෑව වැවී ඇත්තේය.
මට අතීත ලංකාවේ ලාදුරු වසංගතය පිළීබඳ වැඩිහිටියන්ගෙන් දැනගෙන ඇති තොරතුරු යළි යළි සිහිපත් වෙයි.
“ඒ කාලේ ලාදුරු කියලා දැන ගත්තම මිනිස්සුන්ව කොන් කරනවා පවුල් පිටින්ම. හරි හමන් බෙහෙතක් තිබුණේ නැහැනේ. වැලිසරත් රෝහලක් තිබුණා. ගාල්ල රූමස්සලත් එකක් තිබුණා කියලා අහලා තියෙනවා.” ලාදුරු රෝගය පිළිබඳ විමසු විටෙක විශ්‍රාමික හෙදි නිලධාරිනියක එසේ පැවැසුවාය. ඒ තොරතුරු සිහිපත් කරමින් පැරැණි ගොඩනැගිලි අතර සිටගෙන මොහොතකට දෑස් පියා ගතිමි. ඒ සැණින් මා දෑස් ඉදිරියේ මැවුණේ කාර්ය බහුල රෝහල් සංකීර්ණයකි . එකල එහි වෙනස්ම සංස්කෘතියක් හා සමාජයක් තිබෙන්ට ඇත . මම දැස් විවර කළෙමි. අප අතරමංවූවා සේය. කොයි අතට යන්න ද කියා නිනව්වක් නැත. කාගෙන් මඟ අසන්නේදැයි විමසමින් සිටි මොහොතක රෝහලේ හෙද නිලධාරියෙක් පා පැදියක නැගී අප පසුකර යන්නට වුයේය. අපි ඔහු නතර කර ගත්තෙමු.
“අවසර නැතිව කිසිම දෙයක් කියන්න කැමැති නැහැ.”
ඔහු නම ගම හෙළි කරීමට පවා අකමැති වූයේය. ඔහු යන්නට ගියේය.
ඉතින් කුමක් කරන්නද?
“හරිහමන් බෙහෙතක් සොයාගෙන නොතිබුණු ඒ කාලයේ ලාදුරු රෝගීන් බොහොමයක් ඉඳලා තියෙනවා. දුප්පත් අය විතරක් නෙමෙයි ඒකාලේ යමක් කමක් තිබුණු අයත් රෝගය හැදුණාට පස්සේ මේ රෝහලට ගෙනැල්ලා දාලා තියෙනවා. ඒ අයගෙන් ඇතැම් අය මෙහෙදි යාළු වෙලා විවාහ වෙලා තියෙනවා. සමහරු මෙහෙදිම මැරිලා. එහෙම මැරුණු අය භූමදානය කරන්න තමයි ඒ ඒ ජාතීන්වලට අයත් විදිහට සුසාන භූමි වෙන් කරලා තියෙන්නේ. ගම්වලට ලියුම් යවන්න ඔවුන්ට ගම්වලින් එවන සල්ලි ගන්න තැපැල් කන්තෝරුවකුත් මේක ඇතුළෙම තිබිලා තියෙනවා. යුද්ධ කාලෙ මෙහෙත් හමුදාවෙන් හිටියා. මේ රෝහල් සකස් වී තියෙන්නේ ඒ රෝගීන්ගේ අවශ්‍යතා අනුව. අපේ අම්මා තාත්තා කියලා තියෙන්නේ එහෙමයි.” මඟ පෙන්වීමට ගිය මඩකළපුවේ පදිංචි දේවා රෝහල ගැන අප නොදන්නා බොහෝ දේ පැවැසුවේය.
තවත් තොරතුරු දැන ගැනීමට අපි රෝහලේ වගකිවයුත්තෙකු සොයන්නට විමු. අවසානයේ අප ගියේ වවුලන්ගේ වසුරුවලින් අපවිත්‍ර වූ තෙත බරිත පුස් ගඳින් පිරි ගරා වැටුණු ගොඩනැගිල්ලක ඉහළ මහල කරාය. ඒ රෝහලේ ප්‍රධාන ලිපිකරු හමුවීමටය. නමුදු කිසිදු වගකිවයුත්තෙකුගේ අනුමැතියක් නැතිව තම නම ගම කීමට හෝ කිසිදු තොරතුරක් කීමට ඔහුද අකමැති වුයේය. අප මඩකළපුවට ගියේ වෙනත් කටයුතු කිහිපයක් සඳහාය. මාන්තිව් කුරුලු දූපතේ ලාදුරු රෝහල බැලීමට යෑම හිතුවක්කාර ගමනකි. කෙසේ වෙතත් එහි වෙසෙන රෝගීන් බැලීමට යෑමට අපට අවස්ථාව ලැබිණි.
ලංකාවේ ලාදුරු රෝහල ආරම්භ කර ඇත්තේ ඕලන්ද යුගයේදීය. ඒ අනුව ලාදුරු රෝගීන් වෙනුවෙන් 1708 දී පමණ හැඳල ලාදූරු රෝහල ආරම්භ කර ඇත්තේය. එකල මතය වී ඇත්තේ ලාදුරු රෝගයට ගොදුරු වන සියලු රෝගීන් රෝහල් ගතකළ යුතු බවය. මේ අනුව හැදල රෝහලින් පසුව මඩකළපුව මාන්තිව් දුපතේ ලාදුරු රෝහලක් ආරම්භ කර ඇත්තේය. එකල දකුණෙන් උතුරෙන් මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මාන්තිව් දුපතේ ලාදුරු රෝහලට රෝගීන් එවා ඇත්තේය. පෙර කල මෙම රෝහලේ රෝගීන් තුන්සියයකට වැඩි ප්‍රමාණයක් සිටින්නට ඇතැයි යන්න අතීත තොරතුරු දන්නෝ පවසති . ඇතැම් ලිපි ලේඛනවලද ඒ බව සඳහන් වේ. කෙසේ වුවත් අද වනවිට සිය වසකටත් වඩා පැරැණි මේ රෝහලේ සිටින්නේ රෝගීන් තිදෙනෙකු පමණි. දැන් මේ රෝහලේ කාන්තා රෝගීන් නැත. සිටින්නේ පිරිමින් පමණි. නමුදු ඔවුන්ට ද තම අතීතය කියන්නට මතක නැත. 1998 පමණ වන විට ද මෙම රෝහලේ රෝගීන් පනහක් පමණ සිට ඇත . දැන් රෝහල පාලනය කෙරෙන්නේ මඩකලපුව රෝහලිනි. මඩකලපු රෝහල් කුස්සියේ ඉදෙන කෑම මාන්තිව්වලට ගේන්නේ බෝට්ටුවෙනි. සතියකට වතාවක් රෝගීන් බැලීම සඳහා වෙද්‍යවරයා පැමිණෙන්නේද මඩකලපුව රෝහලේ සිටය.
රෝහලේ වාට්ටු කිහිපයකි. නමුදු රෝගීන් සිටින්නේ එක් වාට්ටුවක පමණි. සියල්ල අභාවයට ගොස් ඇත්තේය.
ෂර්ලි එහිදී අපට හමුවු එක් අයෙකි.
“ මගේ ගෙවල් හක්මන. මට මගේ වයස මතක නැහැ. නෑයෝ දැන් නැතුවත් ඇති. කවුරුවත් මාව බලන්න එන්නේ නැහැ. මෙහෙට ආව කාලයවත් මට මතක නැහැ.” ඔහු පවසන්නේ සංවේගයෙනි. ඔහු හැඳ සිටින්නේ පරණ සරමක් හා කමිසයකි. දෙපයේ වූයේ අබලන් සෙරෙප්පු දෙකකි. ඔහුගේ අතක ඇඟිලි කිහිපයක් නැත. පා ඇඟිලි විකෘතිය. ඒ ලාදුරු රෝගයේ ස්වාභාවයය. නිතර ළඟ දැවටෙන පූසකු දෙන්නෙකු හැර මේ රෝගීන්ගේ පාළුව මකන්න වෙන කවුරුත් නැත. ඔවුන් යන යන තැන මේ පූසෝ ද ඔවුන් හා දැවටෙමින් යති.
අපි වාට්ටුව පුරා ඇවිද්දෙමු . එක් රෝගියෙකු සිටියේ ඇඳ මත නිදාගෙනය. නමුදු අප පා හඬ ඇසී ඔහු හිස හරවා බැලුවේ අපේක්ෂාභංගත්වයට පත්වූ දෑසිනි. ඔහුගේ දෙපා වෙළා ඇත්තේය. ඒ මත අලුත්ම ලේ පැල්ලම්ය. ඉදින් ඔහුට ඇවිදින්ට බැරිය. නමුදු සෙමෙන් සෙමෙන් ඔහු ඇඳ මත වාඩි වූයේය.
“මගෙ නම කුරුනාදන්. වයස අවුරුදු හැට දෙකක් වෙන්න ඕනෑ මට මතක හැටියට. මුලින් මුලින් ලෙඩේ මොකක්ද කියලා හොයා ගන්න බැරි වුණා. නමුත් 2010 වසරේ තමයි මම මෙහෙට ආවේ. දවස ගානේ බෙහෙත් දානවා. ඉපදුණේ මඩකලපුවේ. අම්මා තාත්තා නැහැ .අවුරුදු තුනේ වගේ ඉඳලා කෝවිලක හැදුණේ. දැන් මට කවුරුවත් නැහැ. බලන්න එන්න කෙනෙක් නැහැ. මොනවා කරන්නද මේක තමයි ජීවිතේ . මැරෙන තුරු මෙහෙම ඉන්න වෙයි.” එසේ පවසමින් ඔහු යළිත් ඇඳේ වැතිරිණි. බිම දැවටි දැවටී හුන් පූසකු ඇද විත්තමට නැඟ ඔහු අසලින්ම වැතිරුණේය.
අප රෝහලේ සිටින බව කියූ අනෙක් රෝගියා දුටුවේ වාට්ටුවෙන් එළියට පැමිණි විටය. ඔහු සිටියේ අව්ව තපිමිනි. ඒ වෙද්දී ඔහු ළඟද පූසෙක් දැවටේ. අප හා නම කීම ප්‍රතික්ෂේප කළ ඔහු පූසා ඉවසා සිටින්නා සේය. මඳ වේලාවකදී ඔහු කියවා ගෙන යන්නට වූයේය. එහෙත් නම දැන ගැනීම අසීරුය. ඔහු කියන කිසිවක් අපට නොවැටහේ. ඔහු තම වයස කියන්නට දන්නේ ද නැත. ඔහුගේ ජීවිතය රෝහලටම ගෙවී ඇත්තේය. දීර්ඝ කාලයක් තිස්සේ හුෙදකලාවේ සිටි නිසාදෝ ඔහු ඔහුගේම ලෝකයක හුදෙකලා වී ඇතිසේය.
අපේ ගමන් සගයා වූ දේවා පැවසුවේ කලකට පෙර ඔහු එහි එන විට ද මේ රෝගියා සිටි බවය. අප එහි රැගෙන ගිය ඩිංගි බෝට්ටුවේ සිටි සොහොයුරන් පැවැසුවේ ද මොහු මෙම රෝහලේ සිටින පැරැණිම රෝගියා වන බවය.
පරණ ගොඩනැගිලි අතරින් වල් වැදුණු පරිසරයෙන් මිදී අපි යළිත් එළිමහනට ආවෙමු. කම්කරුවෙක් පාර සුද්ද කරමින් සිටියේය. ඒ රෝහල තුළ ඇති කෝවිලේ මංගල්‍යය සඳහා සුදානම් වීමකි. පැරැණී ගොඩනැගිලි දකින විට සිතෙන්නේ මේ සියල්ල පිළිසකර කර ආර්ථීක මාර්ගයක් සැකසිය හැකි නොවේද කියාය. අක්කර අනුඅටක භූමියක් මාන්තිව් කුරුලු දුපතට හිමිය. නමුදු කලක් තිස්සේ කිසිදු පල ප්‍රයෝජනයක් ගෙන නැත. ලාදුරු රෝගය යළිත් රටේ පැතිරෙන්නට පටන් ගෙන ඇත. බිය වන්නට හේතුවක් නැත. දැන් ලාදුරුවලට නිට්ටාවට සුව වීමට බෙහෙත් ඇත්තේය. එසේ වුවද අතීතයේ මෙන් වන ගතවීම හෝ සමාජයෙන් සැඟවීමට අවශ්‍ය නැත. කළ යුත්තේ රෝගීන් ඒ පිළිබඳ දැනුම්වත් වී දිගින් දිගට ප්‍රතිකාර ගැනීම පමණි. කොහොම වුවත් සමාජයෙන් වෙන් වී හුදෙකලා වී සිටින මේ මිනිසුන්ගේ හෙට කුමක් වේද? නෑයකු දරුවකු මල්ලකු නැති ඔවුන්ට හෙටට කියා බලාපොරොත්තු ද නැත.
මේ මිනිසුන් පිළිබඳ හද උපන් සංවේගයද හිත සඟවාගෙන අපි ආපසු එන්නට පිටත් විමු. අව් රශ්මිය ගතට ගෙන එන්නේ දැඩි විඩාබර බවකි. සරුසාරව ඵල පිරුණු දිවුල් ගසක පහළ අත්තකින් ගෙඩියක් දෙකක් කඩාගෙන කමින් අපි යළිත් ජැටිය වෙත ආවෙමු. ආ මඟ හැරී බැලිමි. රෝහල වෙත කෙළින් දිවෙන මාර්ගයත් දෙපස කැලෑවත් හැරුණු විට කිසිවක් නොපෙනේ. අඩුම තරමින් මේ දූපත ගැන කිසිවක්ම නොදැන ගියේ නම් දූපතේ කුමක් ඇතිදැයි කියා හෝ එහි කෙරෙන්නේ කුමක්දැයි කියා හෝ කිසිවෙකු නොදනිනු ඇත. දෙදෙනෙකු තිදෙනෙකු වුවද මොවුන් ද අපේ මිනිසුන්ගෙන් කොටසකි.
දූපතේ කොකුන් වර්ග කිහිපයකුත් තවත් කුරුල්ලන්ද සිටින බව පැවසුණද ඒ දහවලේ මාන්තිව් කුරුලු දුපතේදී පක්ෂීන් දැකිය නොහැකි විය. නමුදු කුරුලු වසුරුවලින් අපවිත්‍ර වු ඒ බිමේ ගහකොළ අතර උදෑසන සන්ධ්‍යාවේ මෙන්ම රාත්‍රි කාලයේ කුරුල්ලන් වසන බවට ලකුණු අපි දුටුවෙමු.
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු