මැණික් ගැරීමට අවසර ගැනීම අනිවාර්යය. එහෙත් රත්නපුරයේ අනවසර මැණික් ගැරීම් බහුලය. තම ගොවිතැන් කටයුතු අහවර කළ ගැමියෝ දෙතුන් දෙනා එකතුව පතල් හාරති. ඒ එකවර මුදලක් අතට ගැනීමේ අපේක්ෂාවෙනි.
ආරොන් සයිමන් හා සුවාරිස් යන මිතුරන්ද ගමට ආසන්න කැලයට වැදුණේ හොරෙන් මැණික් ගැරීමටය. මොවුහූ විනෝදකාමීහුය. වැඩපළ කරන අතරවාරයේ කවි ගී පද ගැයුවේ ගතට දැනෙන විඩාව ද මකා ගැනීමටය.
පතලයේ ඉල්ලම් ගොඩ ගෙන හමාරය. සුවාරිස් හා සයිමන් වැඳ නමස්කාර කර ගැරීම ආරම්භ කළහ. ආරොන් ගොඩ සිට දෙදෙනාට ඉල්ලම් ලබා දෙයි. මේ කරන්නේ හොර මැණික් ගැරීමක් බව දන්නා ඔහු වරින් වර වටපිටාව දෙස ද නෙත් හෙළන්නේ කොයි මොහොතේ පොලිසියෙන් පනීවිදැයි සැකයෙනි.
රතු පාටින් වරෝ වරෝ
නිල් පාටින් වරෝ වරෝ
කහ පාටින් වරෝ වරෝ
සුවාරිස් හා සයිමන් මෙසේ කියමින් දැන් ජයටම ගැරීම කරති. මක වේලාවක් ගත වෙද්දි ඈතින් එන පිරිසක් ආරොන්ගේ නෙත ගැටිණි.
'' අන්න යකුනේ කාකි පාටින් එනෝ එනෝ" මෙසේ කී ආරොන් තමා අත තිබූ කූඩය ද විසිකර දුවන්නට වූයේය. ආරොන් ගේ හඬ ඇසුණු සයිමන් හා සුවාරිස් උඩ බලා හණික ගොඩ එන්නට දඟලන්නට වූහ. එහෙත් උත්සාහය අසාර්ථක විය. දඟල දඟලා ඔවුන් ගොඩට පැමිණියේ පොලස් නිලධාරීන් වළ ළඟටම පැමිණි පසුය.
ආරොන් පසුදිනෙක පොලිසියට ගොස් කරුණු පහදා දී මිතුරන් දෙදෙනාට ඇප දී නිදහස් කර ගත්තේ නැවත කිසි දිනක පතල් ගැරීමට නොයන බවට දිවුරමිනි.