
ඇය විටෙක ළමා පරපුරට සෙනෙහබර මවකි. කාන්තාවන්ට දිරිය දෙන සහෝදරියකි. ඒ සියල්ලම කැටිව ඇය සෑම මොහොතකම පාහේ සේවයට කැපවුණු අතිදක්ෂ පොලිස් නිලධාරිනියකි. ඒ අන් කවරකුවත් නොව පසුගියදා පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පැවැති 151 වැනි පොලිස් දින උත්සවයේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සුරතින් ශ්‍රී ලංකා පොලීසියේ විශිෂ්ටතම පොලිස් පරීක්ෂිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ වරුණි බෝගහවත්ත මහත්මියයි. මාතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ ස්ථානාධිපතිනී ලෙස රාජකාරි කරන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්ත නිර්භීතකමත්, ජවසම්පන්න බවත් කරන උපරීම කැපවීම නිසාත් රාජකාරියට නියම වටිනාකමක් එක්කරන චරිතයක් ලෙස ප්‍රචලිතය.
පොලිස් දෙපාර්තමේන්තුවෙන්ම විශිෂ්ටතම පොලිස් පරීක්ෂිකාව වනවා යනු ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේ ඒ සඳහා කඩඉම් කීපයක්ම පැනිය යුතු හෙයිනි. වරුණි කේශලා බෝගහවත්ත පොලිස් පරීක්ෂකවරිය ලැබුණ සම්මානයෙන් නිහතමානී සතුටක් භුක්ති විඳින මොහොතක ඇය සමඟ කතාබහක නිරත වීමට මා හට හැකි විණි.
“ඇත්තටම මට සතුටුයි. මොකද මහජනයා වෙනුවෙන් කරන සේවය ඇගැයීම ගැන. මම සාමාන්‍යයෙන් මගේ රාජකාරිය මහජනයාට දැනෙන ලෙස උපරීම ආකාරයෙන් කිරීම යි සෑම විටම උත්සාහ ගන්නෙ. එතැනදී මට ඒ සඳහා වෙලාවක් කලාවක් ඇත්තටම නැහැ. ඒ වගේම මට මෙවැනි සම්මාන ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ-පහළ සියලු නිලධාරීන්ගෙන් ලැබෙන්නෙ මහත් ධෛර්යයක්.”
එසේ සම්මානයට පාත්‍ර වූ වරුණි පොලිස් පරීක්ෂකවරිය මුලින්ම 2001 වර්ෂයේදී ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව 2003 දකුණු පළාත් කාන්තා විරු සම්මානය, 2009 ආණ්ඩුකාර පොලිස් මහජන සේවා සම්මානය, 2011 දක්ෂිණ ලංකා සම්මානය, ඇතුළු සම්මාන රැසකින්ම පිදුම් ලබා තිබෙනුයේ මහජනයාට කළ අවංක සේවයට ගරු බුහුමන් ලෙසිනි.
රැයක් දවාලක් නොබලා රාජකාරියට කැප වී සිටින වරුණි මහත්මියගෙන් මා විමසා සිටියේ පොලිස් සේවයට එක්වූ අයුරුයි.
“1996.04.16 වැනිදා මම පොලිස් සේවයට එකතු වුණේ උපපොලිස් පරීක්ෂකවරියක් ලෙස. මගේ තාත්තාත් පොලිස් සේවයේ හිටියේ. මට ඉතින් පොඩි කාලේ ඉඳන්ම පොලිසීය කියන්නෙ ආගන්තුක තැනක් නොවෙයි. මට මතකයි මං පොඩි කාලෙත් තාත්තගේ අතේ එල්ලිලා පොලිසිය ඇතුළට යනවා. කොහොමහරි අවුරුදු 12දී වගේ මට කියවන්න ලැබුණා ලංකාවේ හිටිය ප්‍රථම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනිය වූ ප්‍රමිලා දිවාකර මහත්මියගේ පුවත්පත් ලිපියක්. එදා තමයි මං හිතාගත්තෙ, ‘මාත් කවදාහරි පොලීසියට බැඳෙනවා’ කියලා.“ එසේ පොලිස් සේවයට එක්වීමට අදිටන් කරගෙන සිටියත් වරුණිට ප්‍රධාන බාධකය වී ඇත්තේ තම මෑණියන්ය. එහෙත් තම පියාණන් වූ පොලිස් නිලධාරියකු ලෙස විශ්‍රාම ගිය ඔවිනල් බෝගහවත්ත.... මහතාගේ ආශිර්වාදය පොලිස් පරීක්ෂකවරියට ඉහළින්ම ලැබී තිබේ. ගාල්ල සවුත්ලන්ඩ් සහ මාතර මහාමායා විදුහල්වලින් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසුව පොලිස් සේවයට එක්වූ ඇය මුලින්ම රාජකාරියට එක්වී ඇත්තේ එ’සමයේ යුද භීතියෙන් ඇළලී තිබූ වවුනියාව ප්‍රදේශයෙනි.
“ඒ කාලෙ වවුනියාව පැත්තෙ රාජකාරි කරනවා කියන්නෙ හරිම භයානකයි. මට මතකයි ඉතින් ඒ කාලේ අපේ ගෙවල්වලිනුත් හිටියේ මං ගැන හරිම බයෙන්. මටනම් ඒව ගාණක් තිබුණේ නෑ. මොකද මං කොහොමත් පොඩි කාලේ ඉඳන්ම අභියෝගවලටයි කැමැති වුණේ.”
වවුනියාවෙන් පටන්ගත් රාජකාරි සේවය මහියංගණය, මහවිලච්චිය ආදි පෙදෙස්වලින් පසුව ඇය 1998 වර්ෂයේදී තම උපන් ගම වූ මාතර ප්‍රදේශයට පැමිණ තිබේ. එදින සිට වර්තමානය දක්වාම මාතර කොට්ඨාසයේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනී ලෙස කටයුතු කරන ඇය සිය දක්ෂතා නිසාම රට වටාම සිදුවන ඇතැම් රාජකාරිවලදී පොලිස් දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය චරිතයක් වී සිටී. එලෙස රාජකාරි ජීවිතයේදී ලැබූ අත්දැකීම්ද ඇය මා හා පැවැසුවාය.
අපරාධ මඬින්න, අපරාධකාරයන් කොටුකරගන්න හිසේ කෙස් ගාණට දායක වෙලා ඇති. ඒ අතර මට විශේෂයි කොටකෙත, කන්තලේ, කුඩු අල්ලන්න වනාතෙට ගිය සිද්ධි... ඒ වගේම මාතරට ආව මුල් කාලෙදිම වගේ 2001 වර්ෂයේදී කසිප්පු ජාවාරමක් අල්ලන්න ගිහින් මගේ ජීවිතෙත් බේරුණේ අනූනමයෙන්.”
2001 වර්ෂයේදී කසිප්පු ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට ඇය නිල්වලා ගඟේ පිහිනමින් කළ නිර්භිත ක්‍රියාදාමය එසමයේ ප්‍රසිද්ධ කතාන්දරයකි.
කාන්තා පොලිස් නිලධාරිනියක් වශයෙන් සේම ඇයගේ නිර්භීතකම නිසාම වරුණි මහත්මිය රාජකාරියෙන් පරිබාහිරවද දූෂණ විරෝධී ක්‍රියාදාමයන්ට එරෙහිව වැට බඳින්නට වූ සිදුවීමක් ගැන ද කීවාය.
“පහුගිය දවසක අපි පවුලේ අය ට්‍රිප් එකක් ගියා. එතෙන්දි මහියංගණෙත් ගියා වැද්දො බලන්න. වැද්දො බලල එන අතරෙදි මං දැක්කා පාර අයිනේ කැලෑවකට හරක් වගයක් බලෙන්ම වගේ ගාල් කරනවා... මට නිකන් පොඩි සැකයක් හිතුණා. මං කළේ වාහනේ නතර කරන්න කියලා ගිහින් පොඩ්ඩක් සෝදිසි කරලා බැලුවා. බැලින්නම් හරක් රංචුවක්ම කැලේට ගාල් කරලා. මරන්න අරගෙන යන්නයි. මං කොහොමහරි එතැන හිටපු තුන්දෙනාම අල්ලගත්තා. අන්තිමට මහියංගණය පොලීසියට බාර දීලා තමයි අපේ ගමන ගියේ...”
ඇය ගෘහිණියක වශයෙන්ද සාර්ථක දිවියක් ජීවිතයක් ගත කරන්නීය. “මගේ සැමියා දිමුතු ඉන්දික පෞද්ගලික ආයතනයක සේවය කරන්නෙ. මට පුතාලම තුන්දෙනෙක් ඉන්නෙ. තුන්දෙනාම වයස අවුරුදු 10ට අඩුයි. රාජකාරියත් එක්ක කොහොමහරි සැමියගෙයි බාබාලගෙයි වැඩ ටිකත් කරගන්නවා. හැබැයි මට එතෙන්දි මගෙ අම්මගෙන් ලැබෙන්නෙ කියා නිම කළ නොහැකි සේවයක්. ඒ නිසා තමයි මට මහජනයා වෙනුවෙන් උපරීමව කැපවෙන්න හැකි වෙලා තියෙන්නෙ... මොකද මම සමහර ‘කේස්‘වලට දවස් ගණන් ගෙදරින් පිට ඉන්නවා. මට මතකයි මෑත කාලයේ ආන්දෝලනයක් ඇතිකළ කොටකෙතන සිද්ධියේදී දවස් ගණන් අපි එහෙම ගිහින් හිටියා.”
“මට අවශ්‍ය, රාජකාරියෙන් මහජනයා අතර හොඳ නමක් තබා ගැනීම පමණයි. මොකද අපි මේ තාන්න-මාන්නවලින් ගියදාටත් මිනිස්සු අපි ගැන හොඳ කියනවනම්. අන්න එච්චරයි මට ඕන.” ශ්‍රී ලංකා පොලීසියේ විශිෂ්ටතම පොලිස් පරීක්ෂිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ වරුණි මහත්මිය පොලිස්පතිතුමා පොලිස් දෙපාර්තමේන්තුවට නව අංග එක්කරමින් කරන සේවයද ගෞරවයෙන් සිහිපත් කළාය. එසේම ඇයගේ කාර්යාංශයේ සියලු දෙනා සේම මාතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කේ. ජයලත් සහ මාතර කොට්ඨාස බාර පොලිස් අධිකාරි ජී. එච්. මාරපන ඇතුළු සියලු නිලධාරීන්ගෙන් මෙවැනි සම්මානයක් ලබා ගැනීමට මහඟු අත්වැලක් සැපයුණු බව ඇය මතකයට නැඟුවාය. කෙතරම් සම්මාන ගරු බුහුමන් ලැබුණත් වසර 21ක පමණ සේවා කාලයකට හිමිකම් කියන වරුණි බෝගහවත්ත පොලිස් පරීක්ෂකවරිය ද පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැමුන් විඳින උසස්වීම් ප්‍රමාදයේ ගැටලුවට මුහුණදී සිටී.