
ලෑන්ග් මුලින්ම කැලයෙන් එළියට ආ දා.....
පියා
ටාසන් කියූ පමණින් අපේ රටේ නොදන්නා කෙනකු නැති තරම්ය. ඇමෙරිකානු ලේඛක එඩ්ගා රයිස් බරෝ ගේ මේ මනඃකල්පිත චරිතය කාටූන් චිත්‍ර, කතාන්දර පොත්, නවකතා හා කාටූන් චිත්‍රපටවලින් අපේ සිත් වසඟ කරද්දී ටාසන් චිත්‍රපට පෙළින් ටාසන් තවත් අප හා සමීප විය. මනඃකල්පිත ටාසන් එසේ අපේ සිත් වසඟ කරද්දී සැබෑ ලොවේද ටාසන් මෙන් මහා වනාන්තරයක ජීවත් වූ පුද්ගලයන් දෙදෙනකු ගැන මුලින්ම වාර්තා වූයේ මින් වසර තුනකට පමණ පෙරදීය. වියට්නාමයේ මහා ඝන වනාන්තරයේ වසර 41ක් මෙලෙස කල් ගත කළේ පියකු හා පුතෙකි. ඔවුන් දෙදෙනාගේ ජීවිත මහා කැලෑවේ ගෙවී ගියේ ටාසන් ගේ ජීවිතය මෙනි. ඔවුන්ට කැලයේදී ගස් වැල් මුල් හා පලවැල හා මී පැණි ඇතිතරම් ලැබිණි. මත්ස්‍යයන්, මීයන්, වඳුරන්, නයින්, ගෙම්බන්, වවුලන් හා කුරුල්ලන්ද ඔවුහූ සිය ආහාරයට එක් කර ගත්හ. මේ දෙදෙනාම විළිවසාගත්තේ 'ටාසන්' මෙන්ම ගස්වල අතු කොළ හා පොතුවලිනි. ඔවුන්ගේ හිසට සෙවණ දුන්නේද රූස්ස ගස් මුදුන්වල තාවකාලිකව ඉදිකර ගත් කොළ අතු පැල්කොටය.
මේ වියට්නාම ටාසන් හා ඔහුගේ පියාගේ කතාව ලෝක මාධ්‍ය වෙත හෙළි වූයේ එක්තරා පුද්ගලයකු නිසාය. ඔහු ඇල්වාරෝ සෙරෙසො ය. හෙතෙම ලෝකයේ මිනිස් වාසයෙන් තොර හුදෙකලා ප්‍රදේශ කරා සංචාරයන් රැගෙන යන සුප්‍රසිද්ධ සංචාරක සමාගමක ප්‍රධානියෙකි.
ඔවුන්ගේ කතාව ඇරැඹෙන්නේ 1972 වසරෙනි. ඒ වෙද්දී ඇමෙරිකානු හමුදා වියට්නාමයට ගුවනින් බෝම්බ හෙළමින් සිටියේය. හෝ වෑන් තාන්හ් සිය බිරිය හා පුතුන් දෙදෙනා සමඟ ජිවත් වූයේ ට්‍රා කෙම් නම්වූ වියට්නාම කුඩා ගම්මානයකය. යුද්ධයට බියෙන් ජීවත්වූ වෑන් තාන්හ්ට ගමේ ජීවිතය එපා වූයේ ඔහුගේ බිරිය හා පුතුන් දෙදෙනකු බිම් බෝම්බයකට හසුවීමත් සමඟය. ඔවුන්ගේ බාලම පුතු හෝ වෑන් ලෑන්ග් ඒ වෙද්දී දෙහැවිරිදිය. බිරියගේ මරණයෙන් කම්පාවට පත් වෑන් තාන්හ් දෙවරක් නොසිතා පසුදාම සිය ළදරු පුතු ද කැටිව කැලයට පැන්නේය. එදායින් එදාට පසු මේ පිය පුතු දෙදෙන යළි කිසිදා ගම්මානයක් අසලටවත් පා නොතැබූහ. දිනෙන් දින මහා කැලෑවටම රිංගූ ඔවුන් නතර වූයේ එරට ටේ ට්‍රා දිස්ත්‍රික්කයේ කේවෑන්ග් න්ගායි නමින් හඳුන්වන මහා ඝන කැලෑවේය. කාලය පියඹා යමින් ගම්මාන පුළුල් වෙද්දී මේ පියා පුතා ද කැටිව තව තවත් කැලයටම වැදුණේය. ඉන්පසු දශක හතරක් තිස්සේ මිනිස් පුලුටක්වත් ඇස නොගැසී ළදරු පුතු හැදුණේ වැඩුණේ පියාගේ මනාපය පරිදිය.
කැලෑ ජීවිතයට ගැළපෙන පරිදි ජිවත් වන අන්දම පුතාට ඉගැන්වූ පියා වනාන්තරයේ කෑමට සුදුසු අල වර්ග කැලෑ කොළ හා ඵල වැල සොයා ගන්නා අන්දම පුතාට වටහා දුන්නේය. ඇතිතරම් ජලය ඇති කැලෑවේ ඇළ දොළවලින් ඔව්හූ ඇති පදම් මාළු අල්ලා ගෙන කෑමට ගත්හ. මාළු නොමැති දිනවලදී ඔවුන්ගේ ආහාරය වූයේ කැලයේ අල්ලා ගන්නා මීයකු දෙන්නකු වවුලකු හෝ කුඩා සතෙකි. මේ සතුන් පලහා කෑමට ඔවුන් සතුව කිසිදා නිවා නොගෙන දල්වා ගත් ගිනි ගොඩක් විය. ඇතැම් අවස්ථාවල මේ දෙදෙනා කැලය එළි කර ධාන්‍ය වවා ආහාරයට ගත්හ. ඔවුන් රාත්‍රිය ගත කළේ කැලයේ මහා රූස්ස ගසකට යාකර පොළොව ම්ට්ටමේ සිට අඩි පහක් හතක් තරම් උසින් අටවා ගත් අතු පැලවලය.
මේ අපූරු ටාසන් පුතා හා පියා වසර 41ක් කැලයේ කල් ගත කළ අන්දම ලෝකයාට හෙළි වූයේ ද ඔවුන් කැලයෙන් බැහැරව යළි මිනිස් වාසස්ථානයකට පැමිණීමත් සමඟය. මහා වනාන්තරයේ වෙසෙන අද්භූත පුද්ගලයන් දෙදෙනකු දැක කුතුහලයට පත් දර එකතු කිරීමට කැලයට ගිය ගම්මුන්ට මේ දෙදෙනා නෙත ගැටුණේ 2013 වසරේදීය. එතැන් පටන් ඔවුන් ගැන දැඩි අවධානයක් යොමු කළ අයෙක් විය. ඔහු හෝ වෑන් ට්‍රී ය. බිම් බෝම්බයට හසුව බිරියත් සමඟ මිය ගියායැයි වෑන් තාන්හ් සිතා සිටි අනෙක් පුතා ඔහුය. බිම් බෝම්බයෙන් බේරුණු ඔහු මව හා පියා නොමැතිව ගමේ අනෙක් අය හා ඇතිදැඩිවී ලොකු මහත් වූ දා සිට සිය මතකයේ සිටි පියා හා සොහොයුරා සෙවිමේ නිරත විය. එතැන් පටන් වරින් වර කැලයට ගිය ඔහු ක්‍රමයෙන් මේ හුදෙකලා මිනිසුන් දෙදෙනාගේ විශ්වාසය දිනා ගත්තේය. මේ දෙදෙනා ගැන බලධාරීන්ට දැන්වීමෙන් පසු ඔවුන් රැගෙන ඒම සඳහා මහා වනයට යෑමේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය. ඔවුන් සිටින ඉසව්වට ගියද අදාළ පිරිසට ඔවුන් සොයා ගැනීමට පැය හත අටකට වඩා කාලයක් ගතවිය.
“මේ අය ගමට රැගෙන එද්දී ඔවුන් දැකීමට පැමිණි පිරිස නිසා ඔවුන් බෙහෙවින් බියට හා කලබලයට පත් වුණා. ඔවුන් කතා කිරීමට දැන සිටියේ එක් ගෝත්‍රික භාෂාවක් පමණයි. අප ඔවුන් හා අදහස් හුවමාරු කර ගත්තේ අංග චලනයෙන් ” යනුවෙන් මේ පිය පුතු දෙදෙනා ගම්මානයට රැගෙන ඒමට ගිය කණ්ඩායමේ ප්‍රධානියා පවසා තිබිණ.
ගම්මානයට කැටුව ආ මේ දෙදෙනා ප්‍රථමයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරිණ. ඔවුන්ගෙන් ආගිය තොරතුරු විමසුණේ ක්‍රමයෙනි.
“වෑන් තාන්හ් වනාන්තරයෙන් එළියට එනතුරුම සිතා සිට ඇත්තේ ඇමෙරිකානු වියට්නාම යුද්ධය ඒ වෙනතුරුත් පවතින බවයි. ”
වනාන්තරයේ සිට සොයා ගත් මේ පිය පුතු දෙදෙන ඉන්පසු පදිංචි කෙරුණේ කැලෑබද නිවෙසකය. ඒ වෙද්දී පියා 85 හැවිරිදිය. පුතා 44 හැවිරිදිය. පියාගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය පිරිහෙද්දී වෑන් ලෝන්ග් පුතා සොහොයුරා සමඟ හේනේ වැඩට එක්විය. වසර තුනක් තිස්සේ ගමේ පදිංචිව සිටියද ඔවුන් සාමාන්‍ය ජන ජිවිතයට හුරු වූයේ ඉතා සෙමෙනි.
මේ දෙදෙනා ගැන ඇල්වාරෝ සෙරෙසොගේ සවනත වැකුණේ 2015 වසරේදීය.
“වනගත අලුත් අත්දැකීම් ලැබ ගැනීමේ චාරිකා සඳහා මිනිසුන් රැගෙන යන මට මේ දෙදෙනා මේ සා කාලයක් වනාන්තරයේ ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව සතුටින් සිටි අන්දම දැන ගැනීමට අවශ්‍ය වුණා. එහෙත් මා නොදැනීම මට මගේ ජිවිතයේ දුටු පුදුමාකාර පුද්ගලයන් දෙදෙනෙකු දැක ගැනීමට ලැබුණා. ” පිය පුතු දෙදෙනා සොයා ආ ඇල්වාරෝ පැවසුවේ එලෙසිනි.
ගම්මානයේ ඔවුන් වෙසෙන නිවෙසට පැමිණියද ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන කතාබහ ඇරැඹීමට ඔහුට දින ගණනක් ගත විය. මුලදී බියවූ සතකු ලෙසින් මුල් ගැන්වුණු ලෑන්ග් පසුව ඇල්වාරෝට හා ඔහු අත වූ කැමරා මෙවලම්වලට හුරුවිය. මුළු ජීවිතය පුරාම ලෑන්ග්ට කාලය ගැන හැඟීමක් තිබුණේ දිවා හා රාත්‍රී කාලය ගැන පමණි. සූර්යා හා ගින්දර හැර වෙනත් ශක්ති ප්‍රභවයක් දැක නොතිබූ ලෑන්ග් නිවෙසේ දැල්වෙන විදුලි බල්බය, විදුලි පන්දම දැක පුදුමයෙන් පුදුමයට පත්විය. අහස පීරාගෙන එන ඇමෙරිකානු ප්‍රහාරක යානා හැරුණු කොට ශිෂ්ටාචාරවත් ලෝකය ගැන ඔහු දැන සිටියේ පියා කියා දුන් දෙයක් පමණි. සිය පුතුට වනාන්තරයෙන් පිටස්තර ලෝකයක් ගැන දැනුම දීම පියා සීමා කර තිබුණේ අනෙක් පුද්ගලයන් ගැන පුතුගේ සිතේ බියක් ඇති කරවමිනි. ඊට හේතු වුයේ ඒ වෙද්දීත් මිනිසුන් නසන යුද්ධය තම ගම් පළාත් ගිල ගෙන ඇතැයි පියා සිතා සිටි නිසාය.
“ඔබ ගැහැනුන් ගැන දන්නවාද? ”වරක් ඇල්වාරෝගේ භාෂා පරිවර්තකයා ලෑන්ග් විමසීය.
“නෑ. තාත්තා කීවේ නෑ ” බොහෝ දේ සඳහා ලෑන්ගේ පිළිතුර වූයේ එයයි. ගැහැනුන් ගැන පුතුට කිසිම දෙයක් නොකීමට පියා තීරණය කර ඇත්තේ පුතා ගැහැනුන් සොයා ජනාවාස කරා යතැයි සැක සිතූ හෙයිනි. ලෑන්ග් ට ද ගැහැනුන් ගැන කිසිම හැඟීමක් නැත.
දින කීපයක් ඔවුන් හා නිවෙසේ රැඳුණු ඇල්වාරෝට අවශ්‍ය වූයේ ලෑන්ග් හා ආපසු වනාන්තරයට ගොස් ඔවුන් එහි දිවි ගෙවූ ආකාරය සැබැවින් දැක බලා ගැනීමටය. ඒ ඇසූ ලෝන්ග් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය. ඇල්වාරෝ සමඟ වනාන්තරයට යන ගමනට ලෑන්ග් ගේ සොහොයුරා සහ භාෂා පරිවර්තකයෙක් එක්වූහ. 2015 නොවැම්බර් මාසයේ දිනක ගමන පිටත් වූ ඔවුහූ ඝන කැලෑ පීරමින් කටු අකුල් ළැහැබ් කපා දමමින් දවසක් තිස්සේ ඔවුන් විසූ ස්ථානය සොයා ගියහ. ඔවුන්ට මඟ පෙන්වූයේ ලෑන්ග් ය.
දවස පුරා බුලත් හපන ලෑන්ග්ගේ කතා බහ අඩුය. අසන දේට පිළිතුරු දෙන්නේ වචනයෙන් දෙකෙනි. බොහෝ දේ පවසන්නේ අංග චලනයෙනි. හැබැයි නිතර සිනාසෙන්නේය. වසර තුනක් තිස්සේ සාමාන්‍ය ඇඳුමින් සැරසුණු ලෑන්ග් සිය වන රජ දහනට පිවිසි වහාම ඔවුන් එහිදී ඇඳ සිටි ආකාරයේ කැලෑ ගස් පොතුවලින් සැකසූ ඇඳුමක් ඇඳ ගත්තේය. ගමෙන් යනවිට රැගෙන ආ එකල ඔහු භාවිත කළ ආයුධ අඩංගු මල්ලෙන් ආයුධ ගෙන එදා තමා දිවි පෙවෙත ගත කළ අන්දම ලෑන්ග් අමුත්තන්ගේ ඉල්ලීම පරිදි කර පෙන්වූයේය.
ඔවුන් ඒ ආයුධ තනා ගෙන ඇත්තේ වනාන්තරයට යුධ සමයේ ඇද වැටුණු ඇමෙරිකානු හෙලිකොප්ටර් යානයක ලෝහ කැබලි ලීවල වැල් ආධාරයෙන් ගැට ගසා ගෙනය. ඔවුන්ට උයා පිහා ගැනීමට අවශ්‍ය භාජනද එලෙස කඩා වැටුණු යානාවලින් එක් රැස් කරගත් ඒවාය. තවත් උපකරණ බෝම්බ කවරවලින් තනාගෙනය. ආහාර කූරුවලින් මිස කෑම නොකෑ ඔවුන් සතුව උයන පිහන මෙවලම් විස්සකට අධිකව තිබිණ. ඒවා ගමට රැගෙන ගොස් ගමේදීද භාවිත කරනු දැක ගත හැකිවිය.
ඇල්වාරෝ කැලයේ රැඳී සිටි දින පහේදී සිය ‘බ්ලොග්‘ පිටුව සඳහා ලෑන්ග් ගැන අපූරු තොරතුරු ගොන්නක් එක් රැස් කර ගත්තේය. පසුව ඒ තොරතුරු ඇසුරෙන් කෙටි චිත්‍රපටයක්ද නිපැදවීය.
“ලෑන්ග් හරියට කුඩා ළමයකු වගෙයි. ඔහු ජීවිතයේ සියලු දේ ඉගෙන ගෙන ඇත්තේ පියා පැවසූ දෙයින් පමණයි. ඉන් එහා කිසි දෙයක් ඔහු දන්නේ නැහැ. කැලයේදී අල්ලා ගන්නා සතුන් පුලුස්සා කන ඔහුට එහි ඉවත දැමීමට කිසිම කොටසක් නෑ. ඔහු පිලිස්සූ වවුලන් කන්නේ ඔලිව් කනවා වගෙයි. ”ඇල්වාරෝ පවසයි.
ගෙවීගිය දශක ගණනාවකදී දැඩි ලෙස වනාන්තර හෙළි වෙද්දී ලෑන්ග් හා පියා තව තවත් ගන වනයට වැදුණහ. එහෙත් ඒ පවුලේ අනෙක් පුතා ඔවුන් සොයා ගත්තේය. එසේ වුවත් පියා තවමත් ඒ අලුත් පුතා සිය පුතකු වශයෙන් පිළි නොගනී. ඔහු සිතන්නේ ලෑන්ග් හැර මුළු පවුලම මිය ගොස් ඇති බවකි. ජනාවාසවලට පැමිණියාට පසු රෝගී වූවා මිස මොවුන් කැලයේ ගත කළ කාලය පුරාම බරපතළ ලෙස රෝගී නොවීම කාටත් පුදුමයකි. එයට හේතුව ඔවුන් ස්වභාව ධර්මය සමඟ දිවි ගෙවීම යැයි ඇල්වාරෝ පවසයි. එහෙත් සිය පියා වියපත්වන බව දන්නා ලෑන්ග් දැන් පියා තමන්ට අහිමි වේයැයි බියෙන් රාත්‍රිය පුරා නිදි වර්ජිතව සිටින්නේය.
ලෑන්ග් දැන් ගම්මානයේ දිවි ගෙවන්නේය. ඔහුට සමාජය ගැන කිසිම තැකීමක් නැත. වත්මන් සමාජයේ ගැටලු ගැන වද විමට තරම් හේතුවක් ඔහුට නැති තරම්ය. එනිසා ඔහු සිටින්නේ සතුටිනි.