අලි ගහන කැලේ ගමේ පාසල් ශිෂ්‍යත්වයෙන් මුලට | සිළුමිණ

අලි ගහන කැලේ ගමේ පාසල් ශිෂ්‍යත්වයෙන් මුලට

* වැසී ගොස් යළි ඇරැඹුණු පාසල ‍පළමු තැන
* බීමට දිය පොදක් නැතත් පාසල දෙවැනි තැන
* අලි වැටකින් වටවූ එකම පාසල තෙවැනි තැන

රටෙන් එක,දෙක හා තුන පුංචිම පුංචි දුෂ්කර ගම් තුනකින් බිහිවූ මේ කතාව අධ්‍යාපනයේ තවත් වෙනසකට මුල පිරුවා සේම අපේ රටේ නමගිය පාසල් කරාම දුව යෑමට පෙලඹෙන බොහෝ දෙනකුට ඇස් ඇරවීමට සමත් වේයැයි අපට සිතේ. අපි අපේ දරුවන්ට රටේ නමක් ගිය නගරයේ ජනප්‍රිය පාසල් උරුම කර දෙන්නට බොහෝ වෙහෙසක් ගත්තද, ඉගෙනීමේ හැකියාවක් නැතිනම් ඉදිරියට යන්නට මේ භෞතික පරිසරයන්ගෙන් වැඩක්ම නැත්තේය. 'ඉගෙන ගන්නා කොහෝ සිටියත් ඉගෙන ගනියි.' මෙය එදා අපේ මුවඟ නිතර රැදුණු වදනක් වූයේ ඉගෙන ගන්න දක්ෂ දරුවන්ට නගරයේ පාසල් හෝ ගමේ පාසල් කියා කිසිදු භේදයක් නැති නිසාය. බුදු පුදට ගන්නේත් මඩ ගොහොරේ පිපි නෙළුම් මල්ය. සියලු බාධක මැඩ ගනිමින් ගමේ පුංචි පාසලේ අකුරු කරනා පුංචි දරුවෝද මේ නෙළුම් මල් හා සමානය. අද රට බබළවන්නේද රට හැඩ කරවන්නේද බොහොමයක් මේ ගමේ පාසලින් පිපුණු සුවඳැති කුසුම් ය.

මේ වෙද්දී ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වී දෙසතියක් නික්ම ‍ගොසිනි. එහෙත් ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන කරන කතා බහ තවමත් අඩුවී නැත්තේය. විභාග දෙපාර්තමේන්තුව ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව සෑම වසරකම ශිෂ්‍යත්ව කාර්ය සාධක දර්ශකයෙන් ලංකාවේ හොඳම ප්‍රතිඵල පෙන්වූ පාසල තේරීම සිදු කරයි. මෙය ජනප්‍රිය පාසල් පසුපස හඹා යන බොහෝ දෙනාගේ ඇස් අරවන්නට හේතුවෙයි. නගරයේ සුපිරි පාසල්ම පරදා හද්දා පිටිසර වැසී යෑමට ආසන්න පාසල් පෙරට එනුයේ කතා කරන්නට තවත් මාතෘකාවක් ඉතිරි කරමිණි. මහව අධ්‍යාපන කලාපයේ අති දුෂ්කර පාසල් තුනක් ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් ලංකාවේ හොඳම පාසල් අතරට එක්වූයේ පසුගියදාය. ඒ අති දුෂ්කර නිකවැරටිය ගල්ගමුව පළාතේ අඹන්පොළ හෙන්රි ඕල්කට් විදුහල හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් ලංකාවෙන්ම හොඳම පාසල ලෙසද, රඹෑව අති දුෂ්කර මාර්ගයක පිහිටි ඇහැටුවැව ඒරියාව කනිෂ්ඨ විදුහල ලංකාවෙන්ම හොඳම දෙවැනි තැනටත් ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විදුහල හා කුලියාපිටිය විශාකා බාලිකා විදුහල ලංකාවෙන්ම තෙවැනි තැනටත් තේරී ඇත්තේය. මෙයින් කුලියාපිටිය විශාකා බාලිකාව හැරුණු කොට අනිත් පාසල් තුනම දුෂ්කර මහව අධ්‍යාපන කලාපය නියෝජනය කරන පාසල්ය.

මූලික පහසුකම් හැරෙන්නට මෙහි දරුවන්ට වෙනත් කිසිදු පහසුකමක් නැත්තේය. ඔවුන්ට ඩිජිටල් පංති කාමර වෙනුවට ඇත්තේ ටකරම් මඩුය. වයිට් බෝඩ් වෙනුවට ඔවුන් අකුරු කරනුයේ කළු ලෑලිවලය. පෙළපොත හැරෙන්නට ඉගැන්මට කිසිදු විද්‍යුත් උපකරණයක් නැත්තේය. යටගිය දවසක මේ පාසල් සියල්ලම වැසීයමින් පැවැති පාසල්ම විය. තවත් ඒවා වැසීගොස් යළි විවෘත කෙරුණු පාසල්ය. කිසිදු අමතර පංතියකින් අධ්‍යාපනයක් නොලද මේ දරුවන් ශිෂ්‍යත්වයෙන් මෙවන් ජයක් ලැබුවේ සිය පාසලෙන්ම දෙන දැනුමින් පමණි.

පාසල නිමවූ පසු පාසල අසල වැවෙන් නා පිරිසුදුවන මේ දරුවන් මීළඟට සැරසෙනුයේ සවස් කාලයේ ගුරුවරුන් දෙන දැනුම ලබන්නටය. එහෙත් රාත්‍රිය එළඹෙන්නට මත්තෙන් මේ ගුරු සිසුන් නිවෙස්වලට ඇදෙන්නේ පාරට බසින සද්දන්තයන්ගෙන් බේරි නිවෙස්වලට යා ගැනීමටය. එහෙත් මේ සියලු දේ ඔවුනට බාධකයක් වූයේ නැත.

හිත ඇත්නම් පත කුඩාද කියන්නා සේ මේ දරුවන් ගිය පාසල් රටේ හොඳම පාසල් අතරට එක් විය.

මහව අඹන්පොළ හෙන්රි ඕල්කට් විදුහල මෙවර ලංකාවෙන්ම හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිපල පෙන්වූ පාසලය. අඹන්පොළ නගරයේ සිට කිලෝ මීටර 8 ක දුෂ්කර ගමනක් ගෙවා යායුතු මේ පාසල එදා වැසී ගිය එකකි. මේ පාසල නැවතත් ආරම්භ වූයේ 2005 වසරේදී වත්මන් විදුහල්පති ධම්මික සමන්ත හේරත් මහතාගේ ඉමහත් කැපවීමෙනි. දෙමැට්ටෑව හන්දියේ සිට කිලෝමීටරයක් දුරින් පිහිටියද මේ පාසලට එදා දරුවෝ අකුරු කරන්නට නොපැමිණියහ. එහෙත් උත්සාහයම එකම ධෛර්යය කරගනිමින් මේ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් මහත් වෙහෙසක් ගත්තේ ප්‍රාථමිකයක් වන තම පාසල ශිෂ්‍යත්වය ප්‍රතිඵලවලින් ඉහළ තැනකට ගෙන ඒමටය.

“අපේ පාසල හරිම දුෂ්කරයි. වැහිලා ගිය මේ පාසල යළි පටන් ගත්තේ දරුවෝ 17 දෙනෙකුගෙන්. කොහෝම හරි මේ පාසල ලංකාවෙන්ම එක කරවනවාමයි කියා එදා අපට ඉලක්කයක් තිබුණා. මෙහෙම හිතලා අපි ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධක පාසලක් ලෙස මේ නමින් ආරම්භ කළා. ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම නිසා මේ පාසල බොහෝ ජනප්‍රිය වුණා. මේ අතර අපි ශිෂ්‍යත්ව පංති සම්මන්ත්‍රණ කරන්න ගත්තා. මේ වැඩ කරනවිට අපේ පාසලට ළමයින් 200 කට වැඩි ගණනත් එකතු කරගන්න පුළුවන් වුණා. එදා මේ ගමේ ළමයි මේ පාසල බල බලා නගරයේ පාසල්වලට ගියා. ඒත් අද නගරයේ දරුවෝ අපේ පාසල සොයා ගෙන එනවා. මම ගමේ කෙනා. ඒ නිසා මට පුළුවන් වුණා දරුවෝ රෑ වෙනකල් තියාගෙන අමතර ශිෂ්‍යත්ව පන්ති කරන්න. රෑට මේ පාරේ යන්න බැහැ අලි එනවා. පාසලටත් අලි ඇවිත් විනාශ කරලා යනවා. මේ නිසා ගොඩාක් රෑ වෙනකම් පන්ති කරන්න නොලැබෙන නිසා අපි උදේ 6 ට පාසල පටන් ගන්නවා. විභාගය ළංවෙනවිට මම සෙනසුරාදා ඉරිදා දෙකේත් පන්ති කළා. අපේ දරුවන්ට ෆොටෝ කොපි කරලා දෙන්නවත් පාසලේ පහසුකම් නැහැ. අපි කොහොම හරි මේ ගමන ආවේ ගොඩාක් බාධා මැදයි”විදුහල්පති ධම්මික හේරත් මහතා පවසන්නේ ය.

මේ දුෂ්කර ගමේ පාසලින් මෙවර ශිෂ්‍යත්ව විභාගයට ළමයින් 47 දෙනෙක් පෙනී සිට ඇති අතර එයින් 29 දෙනෙක්ම කඩඉම් ලකුණින් එහා ලබා ගෙන ඇත. වැඩිම ලකුණු 184 ක් ලබා ගෙන ඇති අතර පාසලේ අවම ලකුණ 132කි. කිසිදු දරුවෙකු ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත්ව නැති අතර මෙම ජයග්‍රහණයට හේතු වී ඇත්තේද එයමය.

රටේ පළමු වැනි තැනට පත්වූ මේ පාසලේ අඩුපාඩුකම් බොහෝය.

මේ ප්‍රාථමිකය උසස් පෙළ දක්වාම පවත්වන්නයැයි මේ ගම්මු

අදාළ බලධාරීන්ගෙන් ඉල්ලති. තවමත් පහේ විභාගයට පෙනී සිටින දරුවන් ඉගෙන ගන්නේ වැස්සට තෙමෙන ටකරම් මඩුවේ ය. පාසලේ වැට අලින් විසින් විනාශ කර ඇත්තේය. හෙට දිනයේත් ඔවුන් මෙවන් අභියෝග ජය ගන්නට සැරසෙන්නේ මේ සියලු බාධක මධ්‍යයේ ය.

මහව අධ්‍යාපන කලාපයේම පිහිටි ඇහැටුවැව ඒරියාව කනිෂ්ඨ පාසල පසුගිය වසරේ ලංකාවෙන්ම හොඳම පාසල ලෙස තේරිණි. මෙවර දෙවැනි ස්ථානයට පත්වූයේ බොහෝ අභියෝග රැසක් මධ්‍යයේය. අඹන්පොල නගරයේ සිට කිලෝ මීටර් 15 ක් පමණ දුරින් පිහිටි මේ පාසල අති දුෂ්කර පාසල් ගනයට වැටෙන්නේ ය. පාසලට යෑමට හරිහැටි පාරක් හෝ නොමැති මේ මාර්ගයේ නිරන්තරයෙන් සැරිසරන්නේ වල් අලිය. මෙවර නියඟයට දැඩි සේ ගොදුරු වූ මේ ප්‍රදේශයේ දරුවන් මෙදා ශිෂ්‍යත්වයෙන් මෙවැනි ජයක් ලද්දේ බීමට වතුර පොදක් හෝ නොමැතිවය.

“ අපි දරුවන් 20 දෙනෙක් විභාගයට සූදානම් කළා. ඒ විජේකෝන් ගුරුත්මිය යටතේ. එයින් 13 දෙනෙක් ඉහළින්ම සමත්. වැඩිම ලකුණ 187 යි. අපි මේ දරුවන්ට සවස 6.30 වෙනකම් පන්ති කළා. විභාගය කිට්ටුව රෑ 10 වෙනකල් පන්ති කළා. මේ දරුවන් කිසිම අමතර පන්තියකට ගියේ නැහැ. මෙදාපාර මේ දරුවන් විභාගයට සූදානම් කළේ දැඩි නියඟයක් මැද්දේ. පාසලේ වතුර නැහැ. ෆිල්ටර් එකක් තිබුණට වතුර නැහැ. දරුවන්ගේ අම්මලා තමයි වතුර එකතු කරලා පුරවලා දෙන්නේ. පාසල ඉස්සරහ වැව තියෙනවා. ඒකත් හිඳිලා. මේ පළාතේ වල් අලි තර්ජන. මේ හැම බාධක මැද තමයි මේ දරුවන් මේ වගේ ජයක් ලැබුවේ.” විදුහල්පති ආර්. එම්. තිලකරත්න මහතා පවසන්නේය.

ඒරියාව කනිෂ්ඨයේ මේ ජයග්‍රහණයන් පසුපස සිටින්නේ අමිල ප්‍රසාද් ජයසේකර ගුරුමහතා ය. පසුගිය වසරේ ඔහු යටතේ ලංකාවෙන්ම හොඳම පාසල වූයේද මෙවැනි බාධක මධ්‍යයේය. සිළුමිණ පුවත්පත ඒ ගැන වාර්තා කිරීමෙන් අනතුරුව පාසලට බොහෝ පරිත්‍යාගය ලැබුණු බව ඔහු පැවැසූයේ කෘතවේදීවය. එහෙත් තවමත් පාසලේ නොවිසඳුණු ගැටලු බොහෝ ඇත්තේය.

“ අපිට වැසිකිළි පහසුකම් හා අලුත් ගොඩනැගිල්ලක් ලැබුණා. ඒත් දැන් පාසලේ වැට අලි කඩලා. දරුවන්ට රැස්වීමක් තියන්න ගොඩනැගිල්ලක් නැහැ. පාසලට වතුර නැහැ. නල ළිඳක් අවශ්‍යමයි. පාසලට යන්න හරිහැටි පාරක් නැහැ. කවුරු හරි මේ දේවල් කරලා දෙනවා නම් අපිට මීට වඩා ඉදිරියට යන්න පුළුවන්” අමිල සර් පවසයි. මේ සියලු බාධක මධ්‍යයේ වුවද ඔවුන්ගේ අපේක්ෂාව ලබන වතාවේ ලංකාවෙන්ම එක වීමටය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් තෙවැනි තැනට පත්වූ පාසල් දෙක අතුරින් එකක් අයත් වන්නේ ද මහව අධ්‍යාපන කලාපයටය. ඒ ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමිකයයි. අනෙක් පාසල කුලියාපිටිය විශාකා බාලිකා විදුහලයි. ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමිකය නගරයේ පිහිටියද ලංකාවේ දුෂ්කර පාසල් අතරට වැටෙන්නේය. ලංකාවේ පාසලක් වටා අලි වැටක් ඉදිකර ඇති එකම පාසල සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමිකයයි.

“ අපේ පාසලේ ළමයින් 107 දෙනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට ලිව්වා. එයින් 49 දෙනෙක් සමත් වුණා. මේ පාසල වටාම වල් අලි තර්ජන. 2003 ආරම්භ කළ මේ පාසල මුලින්ම ශිෂ්‍යත්ව විභාගයට දරුවන් යැව්වේ 2007 දි. ඒ අවුරුද්දේම අපි ලංකාවෙන්ම එක වුණා. මේතාක් අපි නොකඩවා හැම අවුරුද්දකම ලංකාවේ මුල් පාසල් 10 අතර සිටියා. අපි සෑම වසරකම අභියෝග රැසක් මැද දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රායෝගික වැඩ සටහන් ක්‍රියාත්මක කළා.” යැයි විදුහල්පති වරුණ බණ්ඩාර මහතා පවසයි.

මේ සියලු ජයග්‍රහණයන්ට තවත් හේතුවක් වූයේ මහව අධ්‍යාපන කලාපය විසින් මේ සඳහා ක්‍රියාත්මක කළ නව වැඩපිළිවෙළය.

“අපේ කලාපයේ ක්‍රියාත්මක වූ සාමූහික වැඩ වැඩපිළිවෙළ නිසා මෙවැනි ජයග්‍රහනයන්ට හේතුවක් වුණා. අපි මේ සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සකස් කළා. ප්‍රශ්න පත්‍ර කලාපය මඟින් සකස් කර නොමිලයේ බෙදා හැරියා. පොකුරු පාසල් ලෙස පාසල් කිහිපයක් එකතු කරගෙන සම්මන්ත්‍රණ වැඩමුළු පැවැත්වුවා. මෙවැනි ජයග්‍රහණයක් ලැබීම ගැන හරිම සතුටුයි. ගිය වසරේ වගේම මේ වසරේත් ලංකාවෙන්ම එක වුණේ මහව කලාපය. අපි මේ ජයග්‍රහණය ඉදිරියටත් පවත්වාගෙන යනවා.” යනුවෙන් අප හා ප්‍රකාශ කළේ මහව අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්. අරුණ ශාන්ත මහතා ය.

හෙට දිනයේ රට බබළවන්නට සැරසෙන මෙවන් දුෂ්කර පාසල්වලට අත්වැලක් සපයන්නට අපට හැකිනම් එය රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හා අපේ රට වෙනුවෙන් අපි කරන්නාවූ අගනා මෙහෙවරක්ද වනු ඇත. මේ පාසල් තුනේ තවමත් නොවිසඳුණු ගැටලු එමටය. එහෙත් ඔවුහු ඒ අභියෝග මැදින් ඉදිරියටම යන්නෝය. ඔබේත් යම් දායකත්වයක් මේ පාසල් අඩුපාඩු කෙරෙහි යොමුවේ නම් කෙදිනක හෝ එය ඔබේද පාසල වනු ඇත. ඔවුන්ගේ ජයග්‍රහණයට ඔබද දායක වූවා වනු ඇත. ඔබේ සුළු පරිත්‍යාගද ඔවුන්ට මහ මෙරක් සේ වටින්නේ ය.

මේ දරුවන්ගේ පාසල් සඳහා ආධාර උපකාර කිරීමට ඔබත් කැමතිනම් පහත සඳහන් දුරකතන අංකයන්ට අමතා අප හා දායක වන්න.

0112429264, 0112429265

පසුබිම් තොරතුරු හා ඡායාරූප
අනිල් ගාමිණි විජේරත්න
අඹන්පොළ සමූහ

Comments