
මහා භාරතයට ඉගිළ ගොස් හෝ ප්‍රියදෝණි මහමායා දැක ගැනීමේ මහා පිපාසයකින් පීඩිතව වියැළෙන හදවත ගිලන්ගතව රිදුම් දීම ස්වකීය කායික මෙන් ම මානසික සෞඛ්‍යයට ද හිතකර නොවේ යැයි නරේන්ද්‍ර සිතුවේ ජීවිතය පිළිබඳව බියක් ඇති කර ගනිමිනි.
පළමුව මිතුරු සරසවි ආචාර්යවරයෙකු මඟින් ඔහු ඇයගේ ශිෂ්‍යත්වයේ අග මුල සොයා බැලුවේය. ලේකම්වරයා පවසා ඇත්තේ සත්‍යයකි. ඇයට ශිෂ්‍යත්වයක් ලැබී ඇත.
ඉන්දියානු දේශපාලන සංස්කෘතියෙන් ශ්‍රී ලංකාව ලත් ආභාසය පිළිබඳව ඉතිහාසය ඇසුරෙන් ගවේෂණාත්මක ග්‍රන්ථයක් කිරීම ඇය ලත් ශිෂ්‍යත්වයේ පරමාර්ථය යැයි මිතුරු ආචාර්යවරයා කීවේ උපහාස සිනාවක් පාමිනි.
නරේන්ද්‍ර තමා දන්නා කියන කාන්තාවන් අතරින් ප්‍රියදෝණි මහමායා වෙන්කර හඳුනා ගැනීමට, වෙන්කර තබා ගැනීමට උත්සාහ ගත්තේය.
එම උත්සාහය සමුද්‍රා ලෙන්දාර සහ නරේන්ද්‍ර අතර අසංවර වාග් ගැටුම් ඇති කිරීමට ද සමත් විය.
“සමුද්‍රා මේ මෝඩ ගොං කතා නතර කරනවද? මට ඔයා දරුණු හිසරදයක්. අවුරුදු විස්සෙ දහ අටේ කෙල්ලො කොල්ලො වගේ හැසිරෙන්න ඔයාට පුළුවන් වුණාට, මං මහජන නියෝජිතයෙක් කියන එක අමතක කරලා වැඩ කරන්න මට බැහැ.”
“නරේන්ද්‍ර මමත් මහජන නියෝජිතවරියක්. ඒක ඔයාට අමතක වෙලා. ඒත් අපිත් මනුස්සයො.”
“මනුෂ්‍යයො හරි අමනුෂ්‍යයො හරි හැමදේකට ම සීමාවක් තියෙනවා.”
“ආදරේට සීමා මායිම් නැහැ කියලා ඔයාමනෙ කිව්වෙ. දැන් මොකද මේ?”
“සීමා මායිම් නැත්තෙ ආදරේට. පිස්සු හැඟීම්වලට නෙමේ.”
තම වචන සමුද්‍රා ලෙන්දොර කෝපයට පත් කළ සැටි තමාට සතුටක් වූයේ ඇගෙන් නිදහස් වීමේ මඟක් පෑදුණු නිසා නොවේදෝයි සිතුවිල්ල ඇගේ උපහාසයට ලක්වූ සැටි අමතක කළ නොහැකිය.
ඇය ප්‍රියදෝණි මහමායාට අකාරුණික ලෙස දෝෂාරෝපණය කරන්නට වූවාය. ප්‍රියදෝණි මහමායා ආතක් පාතක් නැති ඥාති මිත්‍රයින් නැති කුලී නිවෙසක ජීවත් වන අභාග්‍ය සම්පන්න ගැහැනියකැයි ඇය කීවේ සමච්චලයෙනි. එවැන්නියකගේ ඇසුරෙන් ඔහුගේ කීර්ති නාමයට අපකීර්තිය එක් වනු දැකීම ඇයට ද කනගාටුවට කරුණක් වී ඇතැයි ඇය සිනාවෙන් තොරව පැවසුවාය. නරේන්ද්‍ර අසා සිටියේ කෝපයෙනි.
“දැන් ඇති”
අවසන ඔහුගේ සුපුරුදු තර්ජනාත්මක කෝපය වචන ලෙසින් මුවින් පිටතට පැන්නේය.
“ඔහේ තමා එතකොට ලෝකෙ ඉන්න වාසනාවන්ත භාග්‍යසම්පන්න ගෑනි. මගෙන් මොකුත් අහගන්නෙ නැතිව කට වහගන්නවද? ඇත්තටම ඒ අහිංසක මනුෂ්‍යයා නිසා මගෙ ජීවිතේ කාලකණ්ණි වුණොත් මං ඒ කාලකණ්ණිකමත් ගෞරවයක් විදිහට සලකනවා. දැන් ඇතිනෙ. කතා කරන්නෙ නැහැ මට...”
නරේන්ද්‍ර සමුද්‍රා ලෙන්දොරගේ ඇසුර අවසන් කළේ ස්විස් ගමනට සහභාගී වූ දේශපාලනඥයින්ගේ හාෙස්‍යා්ත්පාදක විහිළු සිනාවන්ට එවැනි ම විහිළුවෙන් උත්තර දෙමිනි.
කවර ගැහැනියකගේ පැවැත්මක් වුවද සරලව ගෙන ග්‍රහණයෙන් මිදුණ ද ප්‍රියදෝණි මහමායා එවැනි අවසරයක් තමාට නොදී තමා දැඩි ශක්තිමත් රැහැනකින් තරව බැඳගෙන ඇතැයි සිත නරේන්ද්‍රට වද දෙමින් තිබිණි.
“මං ඉන්දියාවට ගිහින් එයාව මුණ ගැහෙනවා.”
අවසානයේ ඔහු තීරණයක් ගත්තේය. එම තීරණය අධිෂ්ඨානශීලී ප්‍රාර්ථනාවක් හෝ කඩා බිඳ නොවැටෙන බලාපොරොත්තුවක් වීම වේගවත් විය. ඉන්දියාව මහා දේශයකි. පළමුව ඇය සිටින්නේ කොතැනකදැයි සොයා ගත යුතුය.
ඔහු සිරිමෙවන් ලේකම්වරයා ද සමඟ ප්‍රියදෝණි මහමායාගේ කුඩා නිවෙසට ගියේය. ඇගේ මිතුරිය වූ සහකාර කථිකාචාර්යවරිය පාසල් ශිෂ්‍යාවක වූ දැරියක සමඟ නිවසේ සිටියාය.
“එන්න. ඇවිත් වාඩිවෙන්න.”
සාරංගා කීවේ නොකියා බැරිකමට මෙනි. තමාගේ පැමිණීම ඇයට අසතුටක් වී ඇති සැටි ඔහුට පෙනිණි.
“සාරංගා මිස්. මට ඔයාගෙන් උදව්වක් ඕන. ඒක ඔයාට කරන්න පුළුවන්.”
ඔහුගේ ආඥාදායක ඉල්ලීම ඇය කෝප කළ සැටිද ඔහු දුටුවේය. සාරංගා විසිත්ත කාමරයේ තවත් විදුලි පහන් දෙකක් දැල්වූවාය.
“සාරංගා මැඩම්, රහසක් නෙමේ. ඔබතුමිය දන්නවා ප්‍රියදෝණියි මායි අතර සම්බන්ධයක් තියෙනවා කියලා.”
“අපි හිතුවෙ ඒක දැන් නැහැ කියලා?”
සාරංගා මවිතය පළ කළාය.
“මොකක්? මොකක්ද නැහැ කියලා හිතුවෙ?”
නරේන්ද්‍රට තම වචන පාලනය කර ගත නොහැකි විය. සිරිමෙවන් කල්යල් බලමින් සිට වහා ඉදිරියට පැන්නේය.
“සර්ගෙ හිතේ වේදනාවට මේ මැඩම් මොනවා කරන්නද? කරුණාකරලා සන්සුන් වෙන්න. මෙතුමිය කියන්නෙ මෙතුමියට දැනුණු දේ.”
“සමාවෙන්න මට”
ඔහු කීවේ ව්‍යාජයෙන් තොර පසුතැවිල්ලෙනි.
“මට ප්‍රියදෝණි හොයා ගන්න ඕන. උදව් කරන්න මට. කුරුලු කූඩු කඩා වැටෙනකල් බලා ගෙන ඉන්න එපා. මට දෙන්න ප්‍රියදෝණිගෙ ඊ මේල් එඩ්ඩ්‍රස් එක. ටෙලිෆෝන් නොම්බරේ. එයා නැවතිලා ඉන්නෙ කොහෙද?”
“මං දන්නෙ නැහැ.”
සාරංගා තරහෙන් කීවා. ලේකම්වරයා දෙවැනි වරටත් දෙදෙනා අතරට ආවේය.
“මැඩම් මේ ඉල්ලීම සරලව ගන්න එපා. මේ මන්ත්‍රී තුමා හර්ද ශල්‍යකර්මයක් කරපු කෙනෙක්. සීමාව ඉක්මන දුක සතුට දෙකම අකැපයි. කොතනක හරි පුංචි වැරැද්දක් වෙලා ඇති. ඒකට ජීවිතයෙන් වන්දි ගෙවන්න ඕන ද?”
“ඔය සම්බන්ධෙ කැඩිලනෙ. ඇයි තවත් එයාට කරදර කරන්නෙ? මට දොස් අහන්න වෙයි.”
සාරංගා සැක සහිත වූවාය. නරේන්ද්‍ර සිත කුඩා සතුටක් අවදි විය. මේ සිත් බිඳීම ප්‍රියදෝණියගේ වැරැදි වැටහීමක් නිසා සිදුවීමක් යැයි ඇයට දැනෙන්නට ඉඩ හැරීම ඇගේ සිත මෘදු කරලීමට සමත් වේයැයි සිතූ නරේනද්‍ර ලේකම්වරයා දෙස බලා සිටියේ නැවතත් ඉදිරිපත් වන්නැයි ඉල්ලා සිටින්නාසේ ය.
“මැඩම්, අපිට උදව් කරන්න. මේක බරපතළ ප්‍රශ්නයක්. විහිළුවක් නෙමේ. චිත්‍රපටි කෑල්ලකුත් නෙමේ. විශ්වාසයක් ගෞරවයක් ඇතිවයි අපි ඔබතුමිය හොයා ගෙන ආවෙ. අපිට උදව් කරන්න.”
සාරංගා කල්පනාවකට වැටුණාය. තමාගේ අවිනීත ස්විස් ගමනේ සැබෑව ප්‍රියදෝණි ඇයට ද කියන්නට ඇත.
නරේන්ද්‍ර නැගී සිටියේය. ලේකම්වරයාට යමුයි කීවේ දෙනෙතිනි.
“අපි මැඩම්ට කරදර කළා නම් අපිට සමාවෙන්න. ඉන්දියාව ලොකු රටක් වුණාට පැකල්ටියෙන් පැකල්ටියට ගිහින් හරි මං එයාව හොයා ගන්නම්. අපි යමු සිරිමෙවන් මහත්තයා. අපිට අපහසු නෑ මේ වැඩේ.”
සිරිමෙවන් යෑමට සූදානමක් තිබුණේ නැත. ඔහු තම ස්වාමියා සහ කථිකාචාර්යවරිය දෙස වරින් වර බැලුවේ අවසානය මෙසේ නොවිය යුතුයැයි නිහඬව කියන්නාසේය.
“සර් ටිකක් සන්සුන් වෙන්නකො. අපිට මේ ප්‍රශ්නෙ විසඳගන්න පුළුවන්. අපි හැමෝම මිනිස්සු. මිනිස්සු අතින් වැරැදි වෙනවා. ඒවා සිහි බුද්ධියෙන් කල්පනාවෙන් නිවැරැදි කර ගන්න ඕන.”
ඔහු දෙදෙනාට ම අවවාද දෙන්නට විය. සාරංගා කෙමෙන් කෙමෙන් ලේකම්වරයාට අවනත වන බවක් නරේන්ද්‍ර දුටුවේය.
“බොන්න මොනවා හරි හදන්නද? කැමති මොනවටද?”
ඇය ආචාරශීලී වූවාය. තමා ප්‍රියදෝණි සොයා යෑම සාර්ථක වී යැයි හැඟීමෙන් නරේන්ද්‍ර වෙතින් මඳ සිනාවක් උපන්නේය.
“ස්තුතියි මැඩම් අපිට ඉක්මනට යන්න ඕන. මගෙ නෝනාව ඩොක්ටර් ළඟට එක්ක යන්න තියෙනවා.”
ලේකම්වරයා වඩ වඩා ගැඹුරු හඬකට පිවිසෙන්නට විය. සාරංගා වහා ඇතුළු ගැබකට ගොස් අවශ්‍ය ලිපිනය, දුරකථන අංක පැහැදිලිව සටහන් කළ කොළයක් රැගෙන විත් එය නරේන්ද්‍ර වෙත දිගු කළාය.
“යන්න ප්‍රියදෝණි බලන්න. ඒත් එයා ඉන්නෙ දුකෙන්. තව තවත් එයාට දුක් දීලා කරදර කරලා එයාව මරා දාන්න එපා. ඒක අපරාධයක්. එයාගෙ ජීවිතේ මැරිලා.”
නරේන්ද්‍ර හිස සැලුවේය. ඔවූහු වාහනය වෙත ආහ.
“සිරිමෙවන් ඔයා ඩ්‍රයිව් කරන්න.”
ඔහු ලේකම්වරයාට යතුර දෙමින් කීවේය. බොහෝ දුරක් යන තුරු දෙදෙනා අතර කතා බහක් ඇති වූයේ නැත.
“සිරිමෙවන්.”
නරේන්ද්‍ර මුනිවත බින්දේ නිවසට ළං වෙමින් සිටියදීය.
“කියන්න සර්”
“මොකද මට වෙලා තියෙන්නේ?”
“සර්ට මොනවා වෙන්නද? ඔය යසට ඉන්නෙ.”
“නෑ සිරිමෙවන් මම ලජ්ජා බය හඳුනන්නෙ නැති යකෙක්. මට දැන් මං ගැනම ලජ්ජයි. මොකද මට වෙලා තියෙන්නෙ?”
“ඒ ඉතින් ප්‍රියදෝණි මැඩම් සර්ව දාලා ගියා කියන දුකනෙ...”
“නෑ දුකක් නෙමේ. කේන්තියි. මිනිහෙක් ගෑනියෙකුට මේ තරම් බාල්දු වෙන්න ඕනද? අර ගෑනිත් එක්ක කතා කළා කියලා මේ තරම් වෛරයක්, පළිගැනීමක්, ඊර්ෂ්‍යාවක්. මං මේ රටේ සංස්කෘතිය, මානව සංස්කෘතිය, සමාජ සංස්කෘතිය කාබාසිනියා කරලා දාපු අලජ්ජි මිනිහෙකුට සලකන්න වගේ මේ ගෑනි මට සලකන්නෙ. මට මරාගෙන මැරෙන්න හිතෙනවා. වචන සාමකාමී වුණාට හිත ක්රූරයි.”
“සර්, ඔබතුමා කියන ඔය මොන සංස්කෘතිය කාබාසිනියා වුණත් ප්‍රියදෝණි මැඩම්ට දුකක් නෑ. ඒත් එයාට දුක සර්ගෙ පෞද්ගලික සංස්කෘතිය කාබාසිනියා වෙනවට. මොන මළ ඉලව් සංස්කෘතියක් තුළ හරි පෞද්ගලික සංස්කෘතියට සදාචාරයක් පිරිසුදුකමක් වංචාවෙන් තොර වීමක් එකතු වෙන්න ඕන.”
“හරි හරි තමුන් එයාගෙ සංස්කෘතියෙ ප්‍රචාරක ලේකම්. පන්දමා. ඒකනෙ තමුන්ට කියලා ගිහින් තියෙන්නෙ.”
“විකාර කතා කියන්න එපා සර්. දැන්වත් මොළේ පාවිච්චි කරලා වැඩ කරන්න.”
නරේන්ද්‍ර යළිත් නිහඬ විය.
නරේන්ද්‍රගේ භාරත ගමන ඉක්මනින් සකස් කිරීමේ කාර්යය සිරිමෙවන් ලේකම්වරයාට පැවරිණි. මින් හාර පස් මසකට පෙර ඔහු බිරිය සමඟ ඉන්දියාවට ගියේ අර්ධ වන්දනා චාරිකාවක් සඳහාය. එහිදී ඔවුන් දෙදෙනා ලැගුම් ගත් මහා මන්දිර් හෝටල් සංකීර්ණයෙන් ලැගුම් කුටියක් නරේන්ද්‍ර සඳහා වෙන් කරවා ගැනීමට අන්තර්ජාලය ඔහුට උපකාර කළේය. එහෙත් ඔහු ලේකම්වරයාගේ උත්සාහයට කිසිදු අගයක් දුන්නේ නැත.
“සර් හෝටලේට ගිහින් මැඩම්ට කෝල් එකක් දෙන්න. හැබැයි ලෙඩා වගේ රඟපාන්න ලෑස්ති වෙන්න එපා. විශ්වවිද්‍යාලෙ ඉඳලා මහා මන්දිර්වලට කිලෝ මීටර් දහයක් විතර දුරක් තියෙනවා. හෝටලේ වාහන තියෙනවා කුලියට දුවන.”
“හරි. හරි. මං පුරුදු වෙන්න පිට රටකට යනවා නෙමේනෙ?”
“පුරුදු වැඩි වුණ එකනෙ ප්‍රශ්නෙ. හැබැයි චණ්ඩිකම් කරන්න ලෑස්ති වෙන්න එපා. පව්. සර්ව අතාරින්න එයාට දැන් පුළුවන් නිසානෙ කියන්නෙත් නැතුව ඔය ගමන ගියෙ. එයාව හෑල්ලු කරන්න එපා.”
“ම්හ්”
“දැන් තේරෙනවා නේද ජීවිතය විහිළුවක් නෙමේ කියලා.”
“හරි. හරි. තේරුණා. මදෑ ඔය කියෙව්වා. වෙන දෙයක් වෙයි.”
නරේන්දු ගුවන් තොටුපොළට ගියේ ලේකම්වරයා සමඟය. ගමන ගැන නිවෙසේදී බිරියටවත් නොකියන ලෙස ඔහු ලේකම්වරයා පොරොන්දු කරවා ගත්තේය.
ඇය තමා ප්‍රතික්ෂේප කිරීමට ද අවකාශ නැතුවා නොවේ. එවන් ප්‍රතික්ෂේපයක අවසානය වන්නේ එදින ම හෝ ඊළඟ දිනයේ ආපසු ඒමය. ඇගේ සුපුරුදු මිනිස් කරුණාව හිමි වුණොත් පසුතැවෙන සිත සුවපත් කරවන සතුටකින් කාලය ගත කිරීමේ වාසනාව උදා වනු ඇත.
ගුවන් යානයට පිවිසෙන්නට ආසන්නව තිබියදී ලේකම්වරයා නැවතත් නරේන්ද්‍ර අමතමින් කියා සිටියේ රිදුණු සිතකින් පසුවන ගැහැනියකට තව තවත් නිකරුණේ රිදවීම අසාධාරණ බවයි.
“මොට්ට කතා කියන්න එපා සිරිමෙවන්. මං මේ තරම් වැඩ රාජකාරි තියෙද්දි, අසනීපයක් තියෙද්දි මේ ගමන යන්නෙ මැරෙන්න කලින් තව එක සැරයක් හරි තමාගෙ ඔය මහා ලොකු මැඩම් එක්ක වචනයක් කතා කරලා එන්න. කාටවත් මාව තේරෙන්නෙ නැහැ. මං විතරයි වැරදි...”
“ඔය ඉතින් දැනටමත් සර්ට තරහ ගිහින්. ඔහොම පුළුවන්ද ප්‍රශ්නයක් විසඳගන්න? කරුණාවෙන් කතා කරලා හිත හදන්න. මට තේරෙනවා සර්ගෙ හිතෙත් ලොකු වේදනාවක් තියෙනවා.”
“නැහැ මම දුක වේදනාව පීඩාව හඳුනන්නෙ නැති නරුමයෙක්. මගෙ පපුව හැදිලා තියෙන්නෙ යකඩවලින්.”
“ඉතින් ඒකනෙ කියන්නෙ. යකඩත් උණු වෙනවා.”
“මේ ගමන යන්න තිබුණෙ මං නෙමේ. තමා.”
ලේකම්වරයාගේ මුවට නැගුණ කාරුණික සිනාව නරේන්ද්‍රගේ සිතට සිසිලක් ගෙන දීමට සමත් විය.
ගුවන් යානයේදී නරේන්ද්‍ර නින්දට වැටීමේ අසාර්ථක උත්සාහයක් ගත්තේය. නොනැවතී සිතට ගලා එන විවිධ සිතුවිලිවල ඉමක් කොනක් නොපෙනෙයි. විටක සිත දැඩි කෝපයකින් ගිනි ගත්තා සේය. විටක තමා පිළිබඳව ම උපන් ශෝකයකින් සීතල වෙමිනි.
ලබන සතියට