සාමසර කන්දේ නිවාස සිහිනය සැබෑ වෙයි | සිළුමිණ

සාමසර කන්දේ නිවාස සිහිනය සැබෑ වෙයි

වල්වැදුණු සාමසර කන්ද දිනෙක වියරුව ගම්බිම් යට කළ වගක් එදෙස බලන්නෙකුට කිසි විටෙකත් අද නොසිතෙනු ඇත.

රජයෙන් ගෙවල් දුන්නේ නැත්නම් අපි තාමත් කඳවුරුවල

ජීවිත ගණනාවක් මහපොළව යට සඟවමින් සාමසර කන්ද නායගියේ මෙයින් වසරකුත් මාස කිහිපයකට පෙරය. සිදුවූ ජීවිත හානිය දේපළ හානිය සුළුපටු නොවේ. කන්ද නාය ගියදා අනූනවයෙන් දිවි ගලවා ගත් අය මෙන් ම අවදානම් කලාපයේ ජීවත් වූවෝ බොහෝකල් කඳවුරුවල වාසය කළහ. ඔවුන්ගේ අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට අපි විටින් විට කන්දුන්නෙමු.

‘අපි ඉක්මනින් මේ අයගේ නිවාස ප්‍රශ්න විසඳනවා’ රජය මෙන් ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පසුගිය කාලය පුරා ම එසේ පැවැසුවේය. සැබවින් ම නායයෑමෙන් අවතැන් වූවන්ගේ ජීවිතවල දැන් තත්ත්වය කෙසේදැයි විමසන්නට පසුගිය දාක අපි එහි ගියෙමු.

ආයතන කිහිපයක දායකත්වයෙන් එනම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, අපදා කළමනාකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රූපවාහිනිය, ලේක්හවුස් ආයතනය හා ඩයලොග් ආයතනය එක්ව මුලින් ම ජනතා අයිතියට පැවැරූ වසන්තගම ‘සෙනෙහෙ සියපත’ ගම්මානයේ අද වන විට පවුල් පනස් හයක් වෙසෙන්නේය. මීට මාස කිහිපයකට පෙර අප එහි යන විට නිවාස ඉදිකර එහි ජනතාව පදිංචි වී සිටිය ද නිවෙස් අවට බිම හිස්ව තිබිණි. උදේ හවස පෙනෙන සාමසර කන්ද දෙස බලමින් සුසුම් හෙළමින් කඳුළු සලමින් සිටියා ඇති යැයි ඇතැම්විට ඔවුනට සිතෙන්නට ඇත. කෑත්ත උදැල්ලට හුරු දෑතින් කම්මැළිකම, දුක ශෝකය පසෙක තබා ඔවුන් වවන්නට පටන්ගෙන ඇත. සෑම නිවෙසකම පාහේ කොච්චි, මඤ්ඤොක්කා, බඩඉරිඟු වවා ඇත්තේය. එමෙන් ම මෑ වැලක්, දඹල වැලක්, නැති ගෙවත්තක් නැති තරම්ය.

“හැමදාම දුක්වෙන්න බැහැ. ඒත් දරුපැටවු අමතක කරන්න අමාරුයි. නිකම්ම ඉන්න එකේ මම වගාකරන්න ගත්තා. අපට මහ ලොකු ඉඩම් නැහැ. මේ තියෙන දේවල්වලින් වේලක් පිරිමහ ගන්න පුළුවන්. ”ජීවිතය අලුතෙන් පටන්ගෙන සිටින ජයරත්න පවසන්නට වූයේ එසේය.

වසන්තගම සෙනෙහෙ සියපත ගම්මානයේ වෙසෙන්නේ නාය යෑමෙන් තම පවුල්වල සාමාජිකයන් අහිමි වූ හෝ බොහෝ අසරණභාවයට පත්වූවෝය. ඔවුන්ගේ ජීවිත තවමත් දුක්බරය. අපි ඇගේ නිවෙසට ද ගොඩවූයෙමු. ඇය සුමනාවතී. වයස අවුරුදු පනස්පහයි. අංශභාග රෝගයෙන් පෙළෙන ඇගේ මව රෝද පුටුවට වී ඔ‍හේ බලා සිටින්නීය. අප දැකීමෙන් ඈ හිනැහුණාය. නමුදු වදනක් හෝ කතා කිරීමට බැරි නිසා ඇය මහ හඬින් හඬන්නට වූවාය. කන්ද නාය යනකොටත් අම්මා මේ වගේම අසනීපෙන් හිටියේ. එදා අපේ ගෙයි උල්පත් වලින් වතුර ආවා. ළිඳ උතුරලා වතුර පිටාර යනවා. හැන්දෑවේ නාන්න ගිය මම සීතල නිසා නාන්නේ නැතිව ගෙදර ආවා. කන්ද පැත්තේ විදුලි කොටනවා වගේ එළි විහිදෙනවා. අපි හිටියේ කංචිවත්ත අමුණ වතුරින් යටවෙලා. අපේ ගේ තිබුණේ කුඹුරු යාය අයිනෙම. ගේ වටේට උණුවතුර උල්පත් ඇවිත් තිබුණා නාය යන දවසේ. කන්ද කඩාගෙන ගේ උඩට එනවා දැක්ක ම මම රෝදපුටුවේ හිටපු අම්මවත් උස්සගෙන දිව්වා. පාර දිගේ මිනිස්සු දුවනවා. හත්ගම්පල ඉස්කෝලෙට තමයි මුලින් ම ගියේ. අම්මා අසනීප නිසා රෝහලට ගෙනියන්න ඕන. ඒත් මට අම්මව ගෙනියන්න විදිහක් තිබුණේ නැහැ. ඉස්කෝලේ පිට්ටනියේ හිටපු අවුරුදු විසිපහේ විතර ළමයි පිරිසකට මං දණ ගහලා වැඳලා කිව්වා පුතේ මගෙ අම්මව රෝහලට ගෙනියන්න උදව් කරන්න කියලා. එදා ඒ ළමයි මට උදව් කළා. අපි කරාබු නැටි සාදික්කා වවලා තිබුණා. මම අවුරුදු පහළොවක් මැදපෙරදිග හිටියේ. වී ලාස් නවයක කුඹුරු තිබුණා. අක්කර ගණන් ඉඩම් තිබුණා. දැන් ඒ මොකවත් නැහැ. නාය යනකොටත් කාමරයක් පුරවලා වී තිබුණා. කරුංකා ගෝනි විස්සක් විතර තිබුණා. ගෙයි රුපියල් පනස්දාහක් තිබුණා. ඒත් අන්තිමට ඇඳන් ඉන්න ඇඳුම විතරයි ඉතිරි වුණේ. රජයෙන් මේ ගේ දුන්නේ නැත්නම් අපි තවමත් කඳවුරුවල.”

සුමනාවතී තමන්ට වූ දේ පවසන විට ඇගේ මව තව තවත් හයියෙන් හඬන්නට වූවාය. එකල කොතරම් දේ තිබුණ ද දැන් ඇය ජීවත් වන්නේ මවට ලැබෙන රුපියල් දහසක පිංපඩිය, සමෘද්ධි දීමනාව , ගොවි විශ්‍රාම වැටුපෙනි. නමුදු එය ‍මහා ලොකු මුදලක් නොව රුපියල් පන්දහසටත් අඩු මුදලකි.

වසන්තගම ජීවත් වන පවුල්වලට දැන් ඇති එකම ප්‍රශ්නය ජලය හිඟකමය. එය ද‍ බොහෝ ඉක්මනින් විස‍ඳෙනු ඇත. ඊට විසඳුම ලෙස මේ වන විට ජල ටැංකි ද, නළ ළිඳක් ද ඉදිකරමින් තිබෙන්නේය. එය නිමවනතුරු ප්‍රාදේශීය සභාව විසින් බවුසර් මඟින් ඔවුන්ට ජලය ලබා දෙන්නේය.

විපතට පත්වූවන් සඳහා කඩිනමින් සුබසාධන කටයුතු කෙරුණේය. නමුදු ජනතාව බොහෝ මැසිවිලි නැගූහ. එසේ වුවද මේ වන විට ජනතාව තමන්ට උදව් කළ කාට කාටත් පිං දෙන්නේය.

උස්සාපිටිය කඳවුරේ සිටියේ අධි අවදානම් කලාපවල පදිංචිව සිටි අයය. ඔවුහු තමන්ට හරි හමන් තැනක් නිවසක් නැතැයි මැසිවිලි නැගූහ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔවුන් සඳහා තට්ටු නිවාස ලබාදෙන්නට යන විට ඔවුහු මුලින් මුලින් එය ප්‍රතික්ෂේප කළහ. නමුදු දැන් ඔවුන් බලා සිටින්නේ සාදමින් පවතින නිවාසවල කොයි මොහොතේ පදිංචියට යන්නේ ද කියාය.

උස්සාපිටිය මහජන ක්‍රීඩාංගණයේ තිබූ කූඩාරම් ප්‍රමාණය දැන් අඩුවී ගොස් ඇත. එහි මේ වන විට සිටින්නේ පවුල් නවයක් පමණි. අප එහි යන විට කිසිවෙක් එහි නොසිටියහ. ඒ ඔවුන් රැකියා සඳහා ‍හෝ වෙනත් කටයුතු සඳහා බැහැර ගොස් සිටි බැවිනි. කූඩාරමේ සිට ශිෂ්‍යත්ව විභාගය ලියා ලකුණු එකසිය හැත්තෑ එකක් ලැබූ තරුෂිකා දියණියගේ මව හා සොයුරිය අතරමඟදී හමුවූවාය.

“අපිට ගෙවල් ලැබෙන්නේ රුවන්දෙණියෙන්. නායගිය ගේ මේ වගේ හොඳට හදලා තිබුණේ නැහැ. දරුවෝ දෙන්නත් ආසයි අලුත් ගෙදරට යන්න. අවුරුදු එකහාමාරකට වැඩිය අපි මේ කඳවුරුවල දුක් වින්ඳා. ඒත් මේ තරම්ම ඉක්මනින් අපිට හොඳ ගෙයක් ලැබේවි කියලා හිතුණේ නැහැ. කඳවුරෙන් අලුත් ගෙදරට යනතුරු ඉවසිල්ලක් නැහැ.” තරුෂිකාගේ මව අනෝජා පවසන්නට වූයේ අපමණ සතුටකිනි. උස්සාපිටිය කඳවුරේ ඇත්තෝ ඉඩක් ලද විටෙක රුවන්දෙණියට ගොස් චීන ආධෘර යටතේ තමන් වෙනුවෙන් ඉදිකැරෙන නිවාස ගැන සොයා බලන්නේය. අවතැන් වූවන්ගෙන් කොටසක් මීට මාස කිහිපයකට පෙර පදිංචි කැරුණේ කළුගල ප්‍රදේශයේය. ඔවුන්ගේ බොහෝ ගැටලු මේ වන විට විසඳී තිබුණ ද ගමට යන්නට හරි හමන් පාරක් නැති කමින් ඔවුන් පීඩා විඳිති. නමුදු මේ පිළිබඳ කළ විමසුමකදි ප්‍රාදේශීය ලේකම්වරයා පවසා සිටියේ කළුගලට යන මාර්ගය තාර දමා කාපට්කර සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන ලක්ෂ හාරසිය හතළිහක මුදලක් වෙන්වී ඇති බවය. මාර්ග සංවර්ධන අධිකාරිය මේ සඳහා දෙවරක් ම ටෙන්ඩර් කැඳවුව ද කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් වී නොමැති බවය.

රජය මුදල් වෙන්කර තිබියදිත් මහජනතාවට නිසි මාර්ගයක් නැතිකමින් පීඩා විඳීමට සිදුවීම කොතරම් නම් ඛේදවාචකයක් ද?

‍“වීල් එකකින් ගමට එන්න විශාල මුදලක් යනවා. දරුවෝ උදේ හවා ඉස්කෝලේ යන්නේ එන්නේ නාහෙන් අඬ අඬා. අපිට අපේ හැමදේම නැති වුණා. බලධාරින්ගෙන් ඇහුවම කියනවා අද හදනවා. හෙට හදනවා කියලා. කවද ද අපිට පාර හදලා දෙන්නේ.”කළුගල ගැමියෙකු ප්‍රශ්න කරන්නේ අපෙන් ය.

හැමගේ ම ප්‍රශ්න අසා සුවදුක් විමසා අවසානයේ අපි කලකට පසුව සාමසර කන්දේ නායගිය කොටසට යන්නට තීරණය කළෙමු. නාය ගිය අලුත ඒ පෙදෙස මඩවගුරකි. කන්ද වුව අලුත් පස්තට්ටුවක් සේ බො‍හෝ ඈතට පෙනිණි. නමුදු දැන් ඊට වෙනස්ය. නාය ගිය පෙදෙස ම දැන් කැලේ වැවී හමාරය. තවත් ටික කලක් යන විට එය ඝන කැලෑවක් වනු ඇත. එදා බේරී තිබූ බෝගස හා බුදු මැදුර ද කැලෑව විසින් යටකරගෙන යමින් තිබේ. දැන් එහි පහන් දැල්වෙන්නේ නැත. නාය යෑමෙන් සැදුණු අලුත් දිය පාරවල් තවමත් ගලන්නේය. අපි පාලම පසුකර කන්ද දෙසට යන්නට වීමු. අපට ඉදිරියෙන් ද පිටුපසින් ද කන්ද දෙසට මිනිසුන් යන්නේය.

‘කොහෙද මේ මිනිස්සු යන්නේ’

“උඩහ නාන්න පුළුවන් තැනක් තියෙනවා. ඒත් ඔය අය නම් යන්නේ ඒකට නෙමෙයි. දැන් මේ කැලෑවේ කසිප්පු ති‍ප්පොළක් තියෙනවා. කැලේ හැම තැනම හංගලා තියෙනවා. මිනිස්සු යන්නේ එතැනට. පොලිසියෙන් ඇල්ලුවත් තාම නම් නතර වුණේ නැහැ.”ගැමියා පැවසූයේ කනගාටුවෙනි.

වල්වැදී ඇති බිම අඩිපාරවල් දිගේ අපි යන්නට වූයේ සීලක්කා සොයාගෙනය. ඇය ද නාය යෑමෙන් උන්හිටිතැන් අහිමි වූ කාන්තාවකි. “මේ පැත්තේ නිතර යන එන අය කියනවා හැන්දෑවරුවට අඳෝනා ඇහෙනවා කියලා. ගමේ හිටියා කොකෝවත්තේ පොඩි මහත්තයා කියලා කෙනෙක්. එයා හොඳ සල්ලිකාරයෙක්. කවදාවත් බැංකුවල සල්ලි දැම්මේ නැහැ. කවුරු ඉල්ලුවත් සල්ලි දෙනවා. පොලියක් ගන්නේ නැහැ. හැබැයි දෙන්න පොරොන්දු වුණු දවසට පොඩි මහත්තයට සල්ලි දෙන්න ඕන. නාය යන දවසේ එයාගේ ගෙදර ලක්ෂ අනූවක් තිබිලා තියෙනවා. මොකක් හරි ආදායමක් ලැබිලා. ඒත් පොඩි මහත්තයාගේ ගේ නායට අහුවුණා. අන්තිමට පොඩි මහත්තයගේ ඔළුව විතරයි හමුවුණේ”

සීලක්කා සිටින තැන පෙන්වන්නට යන අතරේ තුරේ ගැමියා පවසන්නට වූයේය. ගල් උඩින් පනිමින් පුංචි කැලෑරොදකින් අපි සීලක්කා සිටින්නේ යැයි කියන තැනට ආවෙමු. සෙමෙන් ඇසෙන ගැහැනු කටහඬට අපි නිසොල්මන් වී සවන් දෙන්නට වීමු.

“ඔබ වහන්සේට අපි අවුරුදු පනහක වැඩිය පුද පූජා කරනවා. නාය ගිය දවසේ බේරුණේ ඔබ වහන්සේ විතරයි. කවුරු හරි පිහිට වෙලා මට පර්චස් දහයක් හරි ලැබෙනවා නම් මම ඔබවහන්සේ එතැනට වඩම්මවනවා.”

ඒ තනිවම කියවන්නී සීලක්කාය. ඇය සියල්ල පවසන්නේ එදා තම නිවෙස පිහිටි භූමියේ අද ඉතිරිව තිබෙන බුදු කුටියේ බුදු පිළිමයටය. ඒ සැන්දෑවේ ඇය බුදු පිළිම වහන්සේට පැන් මල් පහන් පුදමින් සිටියාය.

“මං හැමදාම මෙතැනට ඇවිල්ලා වැඳලා කරලා යනවා. මල්ලිගෙ ගේයි මහ ගේයි තිබුණේ ළංළංව. මමයි අම්මයි මහගෙදර හිටියේ. අම්මා මීට ටික කාලෙකට පෙර මැරුණා. දැන් මගෙ වයස අවුරුදු පනස් නවයයි. තාත්තා මැරුණේ මං පුංචි කාලේ. අම්මට නංගිලා මල්ලිලා හදා ගන්න උදව් වෙන්න මං රට ගියා. අවුරුදු ගාණක් හිටියේ මැදපෙරදිග. ඒ හම්බකරපු සල්ලිවලින් ඉඩම් මිලට ගත්තා. කවදා හරි කවුරු හරි බලයිනේ කියලා. නමුත් ඒ හැමදේම නැති වුණා. පේනවනේ හොර හතුරෝ ඇවිල්ලා ගස්වල තැඹිලි ටිකත් කඩාගෙන ගිහිල්ලා. කරාබු නැටි ටික කඩාගෙන යනවා. හැ‍මෝටම ගෙවල් තිබුණා. ඉඩම් ලැබුණා. වන්දි ලැබුණා. නමුත් මට ඒ කිසිම දෙයක් නැහැ. අවුරුදු පහක් මගේ නම ඡන්ද ලේඛනයේ තිබුණේ නැහැ කියලා. මට මුකුත් ලැබුණෙ නැහැ. මං ලියකියවිලි ලියලා මට වුණ අසාධාරණය ගැන හැමෝටම කිව්වා. ඊට පස්සේ තමයි මට කූඩාරමක් ලැබුණේ. ඒත් මට ගෙයක්වත් ඉඩමක්වත් ලැබුණේ නැහැ. ලැබෙන පාටකුත් පේන්න නැහැ. අනේ මට කවුරුහරි පර්චස් පහක් හරි දෙනවා නම් ලෑලිවලින් හරි ඉන්න තැනක් හදා ගන්න එක ලොකු පිනක්.” ඇය දෑත් එක්කර වැඳ පවසන්නීය.

කන්ද නාය නොගියේ නම් ඇය මෙසේ කාටවත් පින්සෙණ්ඩු වන්නේ නැත. ඒ ඇයට බොහෝ ඉඩම් තිබූ බැවිනි. (පිං කැමති කවුරුන් හෝ සිටී නම් ඡන්ද ලේඛනවල නම තිබේදැයි නොබලා ඇයට පිහිට වන්න. තවත් සිතක ඇවිලෙන ගිනි නිවීම මහඟු පිනකි. හිසට සෙවණක් හිතට නිවනක් ලබා දීමට ඔබට පින් සිතක් පහළ වේ නම් අමතන්න සිත්මල්යාය - 0112429265)

සාමසර කන්ද නාය ගියදා පටන් උදේ හවස කන්ද දෙස බලමින් තමන්ට අහිමි වූ දේ ගැන සුසුම්ලන බේබි අම්මා මෙවර අප දැක හිනැහුණාය. ‍

“දුව ගේ හදනවා. මට එහෙ යන්න පුළුවන්. අනේ අප්පේ මට නාරං ගස් තිබුණා. කරාබු නැටි සාදික්කා තිබුණා. දැන් ඉතිං ඒ හැම දේම ආන් අර කැලෑවේ. තාමත් මිනිස්සු මේක බලන්න එනවා.”

බේබි අම්මාගේ දියණිය අලුතින් ගත් ඉඩමේ නිවෙස තනන්නේය.

“අප ගේ හදන්නේ තට්ටු දෙකට. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපට ලක්ෂ දොළහක් දෙනවා. වැඩ කරන පිළිවෙළ බල බලා තමයි සල්ලි දෙන්නේ. මේ වෙනකොට මට ලක්ෂ එකොළහක් ලැබිලා තියෙනවා. ප්‍රාදේශීය‍ ලේකම් කාර්යාලයෙන් අපිට ස්තුති කරලා ලියුමකුත් එවලා තිබුණා ඉක්මනින් ගේ හදනවා කියලා. මගේ මහත්තයා බාස් කෙනෙක්. කන්ද කඩා වැටෙන කොට මේ පුතාට මාස දෙකයි. දැන් පුතාට අවුරුද්දයි මාස හතයි. අපිට රජයෙන් දුන්න මුදල් අපි නාස්ති කළේ නැහැ. බඩගින්නේ ඉඳලා ඇල්වතුර බීලා හරි ඉන්න තැන හදා ගන්නවා.” නිරෝෂා පවසන්නේ අධිෂ්ඨානශීලීවය.

හැමකෙනෙකුගේ ම සිහිනය නිවෙසකි. සාමසර කන්ද අවට ගම්මානවල වැසියෝ අද තමන්ට අහිමි වූ දේ ගැන තැවෙන්නේය. හඬන්නේය. නමුදු ඔවුහු රජයේ මෙන් ම රාජ්‍ය නොවන සංවිධාන මඟින් ලද ආධාර මතින් ගොඩනැගෙන්නේය. දැන් ඔවුහු සාමාන්‍ය දිවි පෙවෙතකට හුරුවී සිටිති. ඔවුන්ගේ සියලු බලාපොරොත්තු, අපේක්ෂාවන් යටකරගත් එදවස වියරු වූ සාමසර කන්ද දැන් නිසොල්මනේ බලා හිඳින්නේ මේ මිනිසුන් දෙස අනුකම්පාවෙන් මෙනි.

මේ වසරේ සැමටම නිවාස

සාමසර කන්ද නාය යෑමෙන් අවතැන් වූ ජනතාව සඳහා සහන සැලසීම මෙන්ම ඔවුන්ගෙ සුබසාධන කටයුතු කිරීමේ පෙරමුණ ගත්තේ අරණායක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයි. පුර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ මේ වන විට අවතැන් වුවන් වෙනුවෙන් කරණ ලද කාර්යයේ සාර්ථක භාවය පිළිබඳ විමසීමට අපි අරණායක ප්‍රාදේශිය ලේකම් ඉසෙඩ්.ඒ.එම් .ෆයිසල් මහතා හමු වූයෙමු‍. “ඉකුත් වසරේ සාමසර කන්ද නාය යෑමෙන් සෘජුවම පවුල් හැත්තෑ දෙකක් නාය යාමට හසු වුණා. පවුල් දාහතරක කිසිම කෙනෙක් ඉතිරි වුණේ නැහැ. මේ වන විට පවුල් විසි ගණනක් මේ දිස්ත්‍රික්කයෙන් පිටවෙලා ගිහින්. ඔවුන්ට වන්දි ලැබුණා. ඉතිරි පවුල් පනස් හයට වසන්තගම සෙනෙහෙසියපත ගම්මානයේ නිවාස සාදා දී තිබෙනවා. මොවුන් සඳහා ස්වයං රැකියා ආරම්භ කිරිමට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. අධි අවදානම් කලාපවල ජීවත් වූ අය‍ටත් ඉඩම් ලබා දී නිවෙස් ඉදිකර ගැනීමට මුදල් ලබා දී තිබෙනවා. මේ අයගෙන් සමහර අය ඉඩම මිලට ගත්තා. මේ වෙද්දී නිවාස පන්සිය පහළොවක් ඉදිකර තිබෙනවා මේ වන විට. රාජ්‍ය හා රාජ්‍ය නොව ආයන විසින් ගෙවල් එකසිය දහතුනක් සාදා දී තිබෙනවා. චීන රජයේ ආධාර යටතේ පළමු අදියරේ ඉදිකරගෙන යන නිවාස හැට මේ දෙසැම්බර් අවසානයේදී ජනතාවට භාර දී මට නියමිතයි. කළුගල ප්‍රදේශයේ ඉදිකර ඇති නිවාස වල පදිංචි ජනතාව‍ට තිබෙන ප්‍රශ්නයක් තමයි ගමට යන පාර දුෂ්කර වීම මෙම මාර්ග පද්ධතිය සකස් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් මුදල් ‍වන්කර තිබෙන්නේ. ටෙන්ඩර් කැඳවා තිබුණත් කවුරුවත් තාම ඒ සඳහා බාරගෙන නැහැ. ඒකට හේතුව මොකක් ද කියන්න අප දන්නේ නැහැ. අරණායක අධි අවදානම් කල‍ාපවල පදිංචිව සිටි අය දැන් ඒ ප්‍ර‍දේශවලින් ඉවත් කර සිටින්නේ. ‍අධි අවදානම් කලාපවල ඉඩම්වල වගාවන් තියෙන අයට ගිහිල්ලා ඒවායේ අස්වැන්න නෙළා ගන්න පුළුවන්. නමුත් එහි ගොඩනැගිලි ඉදිකිරීමට හෝ ගස් කැපීමට කිසිදු අවසරයක් නැහැ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මෙම ප්‍රදේශය අධි අවදානම් කලාපයක් ලෙස නම් කර තිබෙන්නේ. නිවාස ඉඩම් ඉල්ලපු කිහිප දෙනෙකුගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප වුණා. ඒවාට සාධාරණ හේතු තියෙනවා . ඒ වගේම කිහිප දෙනෙක් කිසිම දෙයක් එපා කියා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ වසරේ දෙසැම්බර් මාසයේ තිස් එකෙන් පස්සේ අපි මේ පිළිබඳ කටයුතු අවසාන කරනවා ”

ඡායාරූප - රුවන් ද සිල්වා 

Comments