
නිල්වලා ගඟේ මිනී කන කිඹුලන් ගැන අපි කලක සිටම අසා ඇත්තෙමු. පසුව මේ කිඹුල් කරදරය තවත් ප්‍රදේශ කරා පැතිර ගියේ කිඹුල්ගහනය වැඩි වීමත් සමඟය. කලෙක මිනිස්සු ද කිඹුල් මසට ලොල් වූහ. එහෙත් දැන් වැඩිපුරම අසන්නට ලැබෙන්නේ මිනී මසට ලොල් වූ කිඹුලන් ගැනය. කිඹුලකුට අසුවුණහොත් ලෙහෙසියෙන් බේරී යෑමක් ගැන සිතීමට උගහටය. එහෙත් මේ කියන්නට යන්නේ මෑතකදී කිඹුල් කටට ගොස් බේරී ආ දෙදෙනකු ගැනය. මේ කතා දෙකම අසන්නට ලැබුණේ මෑත සති දෙකක් ඇතුළතදීය. ඒ කතා ඇසූ අපට සිතුණේ ඔවුන් බේරුණේ ඒ දෙදෙනාගේම ධෛර්ය හා වාසනාව නිසා බවය.
චානක මධුෂාන් මාදම්පේ සේනානායක ජාතික පාසලින් උසස් අධ්‍යාපනය හැදෑරුවේ ගණිත අංශයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය උරුම කරගනිමිනි. මාදම්පේ පැරැණි නගරයේ තනිවැල්ල දේවාලය අසල පදිංචි ඔහුට බාල සහෝදරයෝ තිදෙනෙකි. උපාධියෙන් අනතුරුව හලාවත පෞද්ගලික කල්බදු ආයතනයක රැකියාවක් ලද චානක පසුගිය සෙනසුරාදා සිය නිවාඩු දිනයේ මහවැව ගොස් සවස පහමාරට පමණ යතුරු පැදියේ නැගුණේ වැඩ කටයුතු නිමවී නිවෙස බලා යෑමටය.
එතැන් පටන් සිදු වු දේ අප හා පැවසුවේ චානක ගේ සොහොයුරු චාමර ය.
“අයියා එයාගේ වැඩ ඉවර වෙලා එන ගමන් යාළුවෙක් මුණ ගැහෙන්න අපේ ගෙදරට මීටර 500 ක් පමණ දුරින් තියෙන ලුණු වී පාලම ගාව නැවතිලා තියෙනවා. එතැන මීටර 100 ක් විතර පහළින් තියෙන්නේ වැවත් වැව් බන්ට් එකත් කුඹුරත්. මෙතැන ඉන්නකොට අයියට එයාගේ යාළුවෙකුගෙන් කෝල් එකක් ඇවිත් තියෙනවා. පාලම ගාව අව්ව නිසා අයියා නිදහසේ කතා කරන්න කියලා හිතාගෙන බයික් එකත් අරගෙන වැව් බන්ට් එක ගාවට ඇවිත් බයිසිකලේ නවත්තලා එතැන තියෙන ගහක් යට හෙවණකට ගිහින් කතා කරමින් ඉඳලා තියෙනවා. විනාඩි දෙකක් වත් ගිහින් නැහැ. වතුර දෙබෑ කරගෙන විශාල කිඹුලෙක් මතුවෙලා. කිඹුලා දැක්ක ගමන් අයියා දුවන්න හැරුණත් එයාට දුවගන්න වෙලාවක් තිබිලා නැහැ. වතුරෙන් මතුවුණු කිඹුලා අයියගේ දකුණු කකුල අල්ලගෙන තියෙනවා. මේ වෙලාවේ අයියාගේ අතේ තිබුණු ෆෝන් එකත් විසිවෙලා. වැව් බන්ට් එකත් වතුරත් අතර පරතරය දණහිසේ උසට ඇති. අයියා එකපාරටම වැව් බන්ට් එකේ කුඹුක් ගාලේ එල්ලිලා. ඒත් අයියට වැඩිය වැරෙන් කිඹුලා අයියව වතුරට අදිනවා. අයියගේ කකුලේ දණහිස දක්වාම කිඹුලගේ කටේ. ඒ තරම් විශාල කිඹුලෙක්. කිඹුලා අයියව ඇදපු වේගෙට අයියා අල්ලන් හිටපු අත්තත් අතහැරිලා වතුරට වැටිලා.
මේ හරිය ගඟ ගැඹුරුයි. අයියගේ බෙල්ලේ කරවටක් වෙනකම් කිඹුලා වතුරට ඇදලා අරගෙන. මේ වෙලාවේ එයාගේ අනික් කකුලට වැවේ අඩිය පෑගිලා. එයා කොහොම හරි වෙර අරගෙන ඒ කකුලෙන් පුළුවන් තරම් වේගෙන් කිඹුලගේ හිසට ගහලා තියෙනවා. මේ වේගයට එයාගේ කකුල කිඹුලගේ කටින් අතහැරිලා. අයියට පීනන්න බැහැ. ඒත් එයා කොහොම හරි වැව් ඉවුරට පැනගෙන. එයාට කකුලක් තියෙන බවවත් දැනිලා නැහැ. ආයෙත් කිඹුලා එයි කියලා එයා වැව් බන්ට් එකෙන් බඩ ගාගෙනම කකුලේ ලේ වැක්කෙරීගෙනම වෙල හරියට ගිහින්. මේ වෙලාවේ මේ හරියේ කියන්න කවුරුත් ඉඳලා නැහැ. හවසට හරිම පාළුයි. ඒත් එයාගේ වෙලාවට විසික්වුණු ෆෝන් එක හම්බවෙලා. වේදනාව දරා ගෙනම එයා මට කෝල් කළා. සිද්ධිය කිව්වේ නැහැ. කරදරයක් ඉක්මනට එන්න කිව්වා.
ලොකු කරදරයකින් දෙවියෝ අපිව බේර ගත්තා. මේ ගඟේ කිඹුල්ලු ඉන්නවා කියලා තිබුණත් මේ වගේ දෙයක් අහලා තිබුණේ නැහැ. අපි හිතුවේ කිඹුල්ලු මිනිසුන්ට බයයි කියලා. කිහිප වතාවක්ම පැටවු ඉඳලා දැල්වලට ඇමිණිලා වෙනත් තැන්වලට ගිහින් දාලා තියෙනවා. මීට කලින් වතාවක අඩි 15ක 20 ක විතර දිග කිඹුලෙක් මේ ගඟේ ඉන්නවා මිනිස්සු දැකලා තියෙනවා. සමහර විට මේ ඒ කිඹුලා වෙන්න ඇති. මේ හරියට මිනිස්සු බහින්නැහැ.”
චානකගේ පාදය ශල්‍ය කර්මයකට භාජනය කර ඇති අතර ඔහු දැනට උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ සිදුවීම වූයේ මාදම්පේය. මේ කොළඹට ආසන්න බොල්ගොඩය. පසුගිය 24 වැනි දින බොල්ගොඩ ගඟේදි මෙවන්ම වූ කිඹුල් ප්‍රහාරයකට ගොදුරුව දිවි බේරාගත් අනෙක් තැනැත්තා වූයේ කහපොල නීල් පෙරේරාය.
ඔහුද සිය ජීවිතය බේරාගත්තේ බිහිසුණු සටනකින් අනතුරුවය.
“ මම වැඩ ඇරිලා රාත්‍රී හතට විතර කහපොළ තොටුපොළට බැස්සා ඇඟ ටිකක් හෝදා ගන්න. ටික වෙලාවක් යද්දි කකුල තදින් අල්ලනවා වගේ දැණුනා. මට ලොකු වේදනාවක් ආවා. මම දැනගත්තා කිඹුලෙක් කියලා. මට හිතන්නට වෙලාවක් තිබුණේ නැහැ. ඒත් මම පේමන්ට් එකෙන් රුපියල් 20 කට ගත්තු පොතක කිඹුලන්ගෙන් බේරෙන විදිය ගැන කියැවූ දෙයක් එවේලේ මට මතක් වුණා. පොතේ තිබුණු විදියට මගේ මහපට ඇඟිලි දෙකෙන් කිඹුලාගේ ඇස් දෙක තදින් තද කරගෙන හිටියා. ටික වෙලාවක් යද්දි මට තේරුණා උගේ කටින් මගේ කකුල අත හැරෙනවා. මම කැඩුණු කකුලත් ඇදගෙනම ගොඩට පැනගත්තා. මේ වෙලාවේ මගේ දුරකතනය ඒ හරියේ වැටිලා තිබුණා මම දැක්කා. මම ඒක අරගෙන යාළුවෙකුට කෝල් කළා” එලෙස කිඹුල් කටින් බේරුණු නීල් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ එක් කකුලක් කපා ඉවත් කර ඇත.
“මේ තොටුපළවල් අපේ ජීවිතයට හරිම සමීපයි. අපි නාන්නේ කරන්නේ කහපොළ වගේම ඉඳිගොල්ල තොටුපළවලින්. ඒත් අද මේවායේ කිඹුල් පැටවු පිරිලා. අපිට නිදහසේ අපේ තොටුපළකට බහින්න විදියක් නැහැ. කිසිම කෙනෙක් මෙයට පිළියම් යොදන්නේ නැහැ” නීල් ගේ බිරිය රෝහිණි දිල්කා පවසන්නීය.
අපේ රටේ බොහෝ ජනතාවගේ ජීවිතය ගංගා වැව් ඇළ දොළ හා බැඳී ඇත්තේය. දියකට නොබැස ඔවුනට ජීවිතය ගෙන යෑම අපහසුයය. මේ වෙද්දී කිඹුල් ගහනය වැඩි වී ඇති නිසා ඒ දිවි පැවැත්මට බාධා එල්ල වී ඇත්තේය. මෙයට පිළියම් යෙදීම බලධාරීන්ගේ වගකීමය.
සුභාෂිණි ජයරත්න
පසුබිම් තොරතුරු හා ඡායාරූප ලයනල් පී පෙරේරා (කැලණිය විශේෂ)
සෙනෙවිරත්න කහටපිටිය (බොරලැස්ගමුව සමූහ)