අපට දැන් වකුගඩු රෝග බය නැහැ | සිළුමිණ

අපට දැන් වකුගඩු රෝග බය නැහැ

මුළු උතුරු පළාතටම වතුර දෙන පේරාරු ජල ව්‍යපෘතිය

සාමයෙන් පසු උතුරේ නිවාස, මාර්ග හා වාරි ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වුවත් ජීවිත දස දහස් ගණනක් මරණයේ රකුසාගෙන් බේරා ගැනීමට සමත් මානව දයාවෙන් සපිරුණු ව්‍යාපෘතියක් ඇත්නම් ඒ එයමය. මෙය දැවැන්තය. එලෙසම මෙය වවුනියා ජනතාවගේ පිපාසය නිවා දැමීමටද සමත්ය. ඒ නිසාම මෙය සුවිශේෂය. ඒ 09 මාර්ගයේ වවුනියාව සිට උතුරු දෙසට කිලෝමීටර් එකක් පමණ ගමන්කර තාන්ඩිකුලම් හන්දියෙන් වමට හැරී ඊච්චන්කුලම් මාර්ගයේ තවත් කිලෝමීටර් පහක් පමණ ගොස් 05 කණුව පසු කළ පසු දකුණට හැරී මීටර් 500ක් පමණ යන තැන මේ ව්‍යාපෘතිය හමුවෙයි.

එය නමින් පේරාරු පානීය ජල ව්‍යාපෘතියයි. පේරාරු ඇළ හරස්කර ඉදිකරන ලද බැම්මක අධාරයෙන් අලුතෙන්ම ඉදිකළ ජලාශයක් පදනම් කරගනිමින් මෙය කියාත්මක වෙයි.

රුපියල් මිලියන 5800 ක මුදල් වැයකරමින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් පහළොස් දහසකට වස විසෙන් තොර පිරිපහදු කරන ලද පානිය ජලය ලබා දීම සිදුවෙයි. මේ සඳහා පොම්පාගාරයක්, පිරිපහදු ඒකකයක් හා ජලය බෙදා හැරිම සඳහා වූ ජල කුලුනු පද්ධතියක් ඇතුළු ඉදිකිරීම් රැසක් සිදුවෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර ලබා දෙනු ලබන්නේ ආසියානු සංවර්ධන බැංකුව විසිනි. වියළි කලාපීය නාගරික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මකය.

පේරාරු ජල ව්‍යාපෘතියේ වැඩ කටයුතු හතරෙන් තුනක්ම දැන් නිම කර අවසන් බව වවුනියාව දිසාපති එම්.බී.රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.

“මේ ජල ව්‍යාපෘතිය මගින් වවුනියාව දිස්ත්‍රික්කයේ මෙතෙක් පැවැති පානීය ජල ප්‍රශ්නය විසඳෙනවා. සම්පූර්ණ ප්‍රදේශයම අවරණය වන පරිදි මේ වසරේදී සැමටම ජලය ලබා දිම අපහසු විය හැකි වුවත් මේ වසර අවසාන වීමට පෙර එක් ජල කුලුනක් මගින් වවුනියාව නගරයෙන් අඩකටත් තවත් ග්‍රාම නිලධාරි වසම් 09 ක ජනතාවටත් පානීය ජලය ලබාදිමට හැකියාව තියෙනවා. මෙය දැනට ජලයෙන් පිරී වාන්දමමින් තිබෙනවා. ඉහළ තාක්ෂණයෙන් යුතු පවිත්‍රාගාරයක් නිසා බීමට ඉතාමත් සුදුසු ජලය මින් ලැබෙනවා”

එපමණක් නොව උතුරු පළාතේ කිසිම දිස්ත්‍රික්කයක මෙවැනි හොඳ මට්ටමේ ජල පවිත්‍රාගාරයක් නොමැති බවත් මෙය උතුරු පළාතේ ඉදිවූ මුල්ම ජල පවිත්‍රාගාරය බවත් පැවසේ.

ඉතාමත් පිරිසුදු හා අහිතකර රසායන ද්‍රව්‍යයන්ගෙන් තොර පානීය ජලය ජනතාවට මින් ලබා දිය හැකි බවත් වවුනියාවේ බහුලව ඇති වකුගඩු රෝගයට මෙය යහපත් විසඳුමක් ගෙනෙන බවත් දිසාපතිවරයා පවසයි.

වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ස්වල්පයක් හැරුණුවිට බොහෝ ප්‍රදේශ භූ ගත ජලයෙන් පොහොසත්ය. එහෙත් ප්‍රශ්නය වන්නේ ළිං මගින් ලබා ගන්නා මෙම ජලය පරිභෝජනයට නොසුදුසු විමයි. ජලය අධික කිවුල් රසය. ඇතැම් විට රසයක් නොදැනුණත් ජලයේ විෂ රසායන අඩංගුය. එනිසා මේ ජලය බීමට තබා ආහාර පිසීමට තරම්වත් නොසුදුසු බව ජනතාව හොඳින් අවබෝධ කරගත්තේ ගෙවී ආසන්න වසර දෙක තුනක් ඇතුළතය. ඒ නිසාම කුඩා පරිමාණයේ පිරිපහදු මධ්‍යස්ථාන පෞද්ගලිකව මෙන්ම රාජ්‍ය මට්ටමින්ද බිහිවිය. මේවායෙන් මුදලට හෝ නොමිලයේ යම් ජල ඒකක ප්‍රමාණයක් ජනතාවට ලබා ගැනීමේ හැකියාව උදාවිය. එහෙත් මෙම අවස්ථා සෑම ප්‍රදේශයකම සමානව බෙදීයෑමක් නොවූ අතර මේ නිසාම වවුනියාවේ ජනතාවට බීමට පමණක් නොව ඉහුම් පිහුම්වලටද ජලය ලබා ගැනීමට සැලකිය යුතු මුදලක් වැය කෙරිණි. මෙනිසා ජලය අතීතයේ මෙන් නොව වෙළෙඳ භාණ්ඩයක් බවට පත්විය.

වවුනියාවේ සිංහල ගම්මාන අතරින් වකුගඩු රෝගය නිසා වැඩිම පිරිසක් මිය ගොස් ඇති ගම්මානය ලෙස සැලකෙන්නේ මහමයිලන්කුලම ගම්මානයයි. එම ගම්මානයේ පදිංචි නිෂාන්ත පේමරත්න මහතා පවසන්නේ මේ අවසනාවන්ත රෝගය නිසා තමන්ගේ ඥාතීන් විශාල පිරිසක් අකාලයේ මියගිය බවයි.

“මේක සාපයක් වගේ වුණා. එක් අයෙක් මිය ගොස් අවසන් කටයුතු සිදු කර අත ගන්නට පෙර තවත් මරණයක් සිදුවෙන තැනට වැඩ සිදු වුණා. මේ විදිහට අකාලයේ මිනිසුන් මැරෙනකොට හැමෝම බයෙන් තමයි හිටියේ තමන්ටත් ඒ රෝගය හැදෙයි කියලා. හොඳ වතුර බොන්න ගත්තට පස්සේ හොඳ පුරුදු ඇතිකර ගත්තට පස්සේ රෝගයේ අඩුවක් දකින්න පුළුවන්. මේ විදියට හොඳ වතුර අපේ මිනිස්සුන්ට ලැබෙනවා තවත් ජීවිත ගණනක් බේරෙයි.පිරිසුදු පානිය ජලය ලැබීම අපිට විතරක් නෙවෙයි හැමෝටම කියන්න බැරි සතුටක්”

වවුනියාව මූඩිමරුප්පුව පදිංචි ආර්.ඒ. දිනේෂ් මහතා ද මේ ජල ව්‍යාපෘතියෙන් ජලය ලද අයෙකි.

“මෙලෙස බීමට පිරිසුදු ජලය ලැබීමෙන් අපට නිරෝගීකම මෙන්ම මුදල් ද ඉතිරි වෙනවා. මේතාක් කාලයක් අපි ජලය සොයා ගෙන බොහෝ දුර ගියා. අද ඒ කාලයත් ඉතිරියි.”

බන්දුල සෙනෙවිරත්න

Comments