වැඳි­රි­යක වූ යහ­පත් දැරිය | සිළුමිණ

වැඳි­රි­යක වූ යහ­පත් දැරිය

එක් දූපතක පුංචි දැරියක් හිටියා. මේ දැරියගේ පියා ඉතා සාධාරණ නඩුකාරයෙක්. මේ දූපතේ කපටි බලවත් අපරාධ කල්ලියකට මේ නඩුකාර පියා රුස්සන්නේ නැහැ. ඒ අය හැදුවෙම නඩුකාරයාගෙන් පළිගන්නයි. නඩුකාරයා තමන්ගේ දුවට හරිම ආදරේ බව මේ කල්ලිය දැනගෙනයි හිටියේ. ඔවුන් නපුරු මායාකාරියක් හොයාගෙන තාන්න මාන්න දී මේ දැරියට විපතක් කරන්න පොලඹවා ගත්තා. දවසක් මේ දැරිය පාසල් ඇරී කැලයක් මැද්දෙන් පිටේ පොත් බෑගයත් එල්ල ගෙන එනවා. නපුරු මායාකාරිය කාන්තාවකගේ වේශයක් මවා ගෙන දැරිය ඉදිරිපිටට ආවා.

“පුංචි කෙල්ලේ උඹ කොහෙද යන්නේ? ” මායාකාරිය ඇහුවා.

“ මං ගෙදරනේ යන්නේ ” දැරිය පිළිතුරු ‍දුන්නා.

“ නෑ නෑ ගෙදර යන්න දෙන්නේ නෑ. මං උඹ වැඳිරියක් කරනවා ” මෙහෙම කියූ මායාකාරිය දැරිය වැඳිරියක් කළා. පොත් බෑගය එල්ලා ගෙන ඉන්න වැඳිරිය දුටු කොල්ලෝ ටිකක් බෑගය උදුරා ගන්න මාන බැලුවා. ඒනිසා වැඳිරිය හඬමින් පොත් බෑගයත් එල්ලා ගෙන කැලේ ඇතුළට ගියා. දැන් එයා ඉන්නේ කැලේ. මේ අතරේ දැරියගේ දෙමවුපියන් එයා සොයමින් හඬමින් කැලේ පුරා ඇවිද්දා. ඒත් වැඳිරියට ඔවුන් ඉදිරියට එන්න බැහැ.

ඔය අතරේ කැලේ සතුන් නගරයේ සත්ව උද්‍යානවලට විකුණන කල්ලියක් මේ වැඳිරිය අල්ලා ගෙන රුසියාවේ මොස්කව් සතුන් වත්තට ගෙන ගියා. එදා පටන් වැඳිරිය ජීවත් වුණේ ලොකු කූඩුවක. වඳුරන්ට කෑමට පලතුරු දමද්දි අනෙක් වඳුරො පොර කෑවත් මෙයා පොරකන්නේ නෑ. පැත්තකට වෙලා ඉන්නවා. ඉතුරු වුණොත් කනවා.

කැලේ පුරා තමන්ගේ දියණිය සොයමින් ගිය දැරියගේ මවුපියන්ට මේ අතරේ කැලේ මැද වැටී තිබී සිය දියණියගේ පොත් බෑගය හම්බ වුණා. ඔවුන් එය දුටුගමන් හඳුනා ගෙන ගෙදර ගෙන ගියා. එදා සිට ඔවුන් තම දියණියට වන සතුන්ගෙන් කරදරයක් වී ඇතැයි සිතාගෙන හඬමින් ජීවත් වුණා.

(ඉතිරි කොටස ලබන සතියේ)

රුසියාවේ කිර්ගීසියානු ලේඛක චිංගිස් අයිත්මාතොව් ගේ කතාවකි.

සිතුවම - කුමුදු පීරිස්

Comments