
බින්තැන්නේ ඇත්තෝ තමන් වගා කරන මඤ්ඤොක්කා හෙවත් අල ගස් උදුල්ලා අල තම්බා කෑමට මහත් රුචියක් දක්වති. පොතු ගලවා, කෑලි කපා තම්බා ගන්න අල කොරහකට ඔරවා පදමෙට ලුණු ඉස ලුණු කුඩු එක්ක කොටා බාන්ට ගැමියෝ කැමැත්තක් දක්වති. එහෙත් ලුණු කුඩුත් සමඟ අල කොටාබෑවාම ඔවුහු ප්‍රිය කරති. අල කොළ මැල්ලුම ද හදා ගැනීම පෙර කී පරිදි සිදු කරයි. වන්නි ඇත්තෝ මිරිස් කරලක් දෙකක් පුළුස්සා තම ආහාර සඳහා යොදා ගනිති. වෙළෙඳ පොළේ ඇති වියළි දිග මිරිස්වලට කෝටු මිරිස් කියන ඔවුහු ඒවායේ සැර ගතිය අඩු හෙයින් වන්නි මිරිස්, කොච්චි මිරිස්, සුදු කොච්චි, ආදිය හේන්වල වපුරා ඒවා තම අවශ්‍යතා වෙනුවෙන් සකස් කර ගනිති.
අල බතල පළහා කෑමට ද ඔව්හු දනිති. හේනේ පැල් රකින විටක හෝ ගෙදරක ගත කරන දිවියේදී ඇතැම් විටක අමතර ආහාරයක් ලෙස අල පළහා කෑම සිදු කරයි. ගින්නේ ලා පුළුස්සා ගන්නා ලද අල පොතු හැර ගත් විට හුදට හුදේ දිස් වෙයි. එමෙන්ම ඒවා තැම්බූ අලවලට වඩා රසයෙන් ද වැඩිය.
කිරි ඉරුං හෝ අල වරිග ගින්නේ ලා පළහා ගන්නා විට හෝ තම්බා ගන්නා විට ගින්දර මදිකම නිසා ඇතැම් විට නිසි ආකාරෙට නොතැම්බිය තිබිය හැකිය. එවිට ඒවා කිරි නෑවුණු ඒවාය. ඇට්ටකුණා යනුවෙන් වෙනත් පෙදෙස්වල වහරන්නේ බින්තැන්නේ කිරි නෑවුණා කියන එකටය. බාගෙට තැම්බී තිබීම ඌරු වීමකි.
මේ ආකාරෙට ඉරුං ඇට හෝ වෙනත් ධාන්‍ය වරිගයක් කබලේ බැද ගනින්දී ගින්දර මදිවී හරි හැටි නොබැඳුණොත් එය මොවුන්ට යක්කටු ගැහීමකි, නැතහොත් යක් හාල් වීමකි.එහෙත් බොහෝ කරහයින් සිටින ඇත්තන්ට යක්කටු ගැහුන ඉරුං ඇට පතක් වුණත් එක හුස්මෙට කොටා බාන්ට හැකිය. කරහයින් යනු කෑම බීම නැතිව අහේනියෙන් සිටීමය. කරල් සාය සන්දියේ බින්තැන්නේ ඇතැම්හු තරහයින් පෙළෙති .එහෙත් කරල්සාය ගෙවිලා උන්ට කන්ට වදින්න ලැබුණම ගජ මඟුල්ය. ආහාර හිගය මගහැරී කෑම බීම තිබෙන කාලය එළඹීම කන්ට වදින කාලයයි.
බින්තැන්නේ ඇත්තෝ ආහාර පිසීමට ගන්නේ ඉරුං, කුරක්කන්, හාල්, පොල්, තෙල්, එළවළු, පල සිලව් ආදියයි. මේ සියල්ලටම ඔවුන් කියන්නේ බතහලය. “බොටා ලබන දෙපෝයට මයියංගනේ හාදුරුවන්ට දානේ දෙන්ට හිතන් මේ නැහෙන්නේ බතහල අඩුවක් නැතුං සොයා උපයා ගන්ට”
යැයි කෙනෙක් කියන්නේ “මස්‍සිනේ මම මේ මහන්සි වෙන්නේ මේ පෝයට පසු පෝයදාට මහියංගනේට දානේ දෙන්ට අවශ්‍ය අඩුම කුඩුම හෙවත් අවශ්‍ය දේ සපයා ගැනීමටයි”. යන්නය.මඤ්ඤොක්කා හෙවත් අල හැර බතලද, කටුවල,ගෝනල, වැල් අල, කොකිස් අල, ආදිය ද බින්තැන්නේ ගැමියන්ගේ ආහාරය. අල මණ්ඩියක් ඔවුනට එක් වේලකට පිරිමැහේ. මණ්ඩියක් යනු එක පඳුරකි. අල තැබ්බුම ප්‍රධාන ආහාර වේලක් ලෙස ගන්නා අතර බතල ද තම්බා ආහාර වේලක් වශයෙන් කෑමට ගනියි. කොකිස් අල කිරි අලය ඒවා මාළුවට ගනියි. වට්ටක්කා තැම්බුම
වට්ටක්කා ද තම්බා ආහාර වේලක් වශයෙන් ගැනීම බින්තැන්නේ සිරිතකි. බින්තැන්නේ ඇත්තන් මෑතක් වනතෙක් වට්ටක්කාවලට කිව්වේ පුහුල් කියාය. එහෙත් වර්තමානයේ දී අළු පුහුල්වලට පුහුල් යැයි වහරයි. පැරණි ගැමි වහරේ පුහුල් නමින් හැඳින් වුයේ දැනට වට්ටක්කා නමින් හඳුන්වන ගෙඩිවලටය. එකල දැන් පුහුල් යැයි වහරණ අළු සහිත ගෙඩි හැඳින් වුයේ අළු පුහුල් නමිනි.
බින්තැන්නේ හේන්වල වගා කෙරුණ පුහුල් වට්ටක්කා, කොටුවේ පුහුල්, හුදු වට්ටක්කා ය. දැන් ඒවා රට වට්ටක්කා ය. වර්තමානයේ රට වට්ටක්කා මෙන් ම හේන්වල වැවෙන ප්‍රමාණයෙන් විශාල වට්ටක්කා ද වඳවී ගොස් ය. රට වට්ටක්කා හෙවත් සුදු වට්ටක්කාවලට කොටුවේ පුහුල් යැයි වහරණ ලද්දේ ඒවා එළවළු කොරටු තුළ වගා කළ භෝගයක් නිසාද, එසේත් නැතිනම් කොළඹ කොටුවේ සිටි විදේශිකයින් ගෙනවිත් බෝකරණු ලැබු භෝගයක් වු හෙයින් ද යන්න නිශ්චිතවම කිව නොහැකිය. කෙසේ වෙතත් මේ මේ පුහුල් (වට්ටක්කා) දෙවර්ගයම අබිබවා ඩුබායි වට්ටක්කා ද, මිනි වට්ටක්කාද දැන් බින්තැන්න ආක්‍රමණය කර ඇත.
කෙසේ වෙතත් ඉහතින් කී වට්ටක්කා හෙවත් පුහුල් දෙවර්ගයම හොඳින් පැසී නෙළා ගත් විට මාස කිහිපයක් තබා ගත හැකිය. කල් ගතවෙන විට ඒවායේ පැණිරහ වැඩි වෙයි. පුහුල් පැණි බහින කාලෙදී හෙවත් වට්ටක්කා හොඳින් පැහුණු කාලෙදී කඩා අටුවේ තැන්පත් කර තබා ගන්නා ගැමියන් මේ පුහුල් ගෙඩි පොල්ලන්කර හෙවත් ලොකු කැටවලට කපා මදය හා ඇට ඉවත්කර තබ්බා ලුණු මුහු කොට ලුණු කුඩුත් සමඟ කෑමට ගනියි.
බින්තැන්නේ ඇත්තන් තෙල් පුහුල් කෑමට මනාප නැත. තෙල් පුහුල් යනු ෙනාපැසුන වට්ටක්කා ය. ඒවායේ පොත්ත තෙල් පැහැයෙන් දිලිසෙමින් තිබෙන හෙයින් නොපැසුන වට්ටක්කා තෙල් පුහුල් බවට පත්වී ඇත. එහෙත් අටුවේ තිබෙන පුහුල් ඔටයක් පොල්ලන් එක්ක තම්බා කෑමට ඔවුන් මනාපයක් දක්වයි.පුහුල් ඔටයක් යනු ලොකු පුහුලක්ය. පැසුණු පුහුලක්ය. හෙවත් ලොකු වට්ටක්කා ගෙඩියකි. පැසුණු වට්ටක්කා ගෙඩියකි. පොල්ලන් කේන යනු කෑලිවලට කපා ගැනීමය.
පෙර සඳහන් කළ පරිදි වට්ටක්කා හෙවත් පුහුල් ද දිය ලබුද, අළු පුහුල්ද හේන්වල වගා කෙෙරයි. තම්පලාද , දඹලද , අසමොදරන්, අබ, බණ්ඩක්කාද හේන්වල වගා කෙරෙයි. පිට හුදු තෙල්ටිය හෙවත් සාරණ, ගිරා පලා, මුකුණු වැන්න, වැලි වැන්න, පොල් පලා, ආදිය හේන් බිම්වල ඉබේ වැවේ. මේවා සියල්ලක්ම පලා කොළ වශයෙන් මැල්ලුමට ගනියි. ඒ හැරෙන්නට පොල්පලා තබ්බා බීමට ගනියි. අසමොදරන් යනු අසමොදගන්ය.
බින්තැන්නේ ඇත්තන්ගේ ආහාර සකස් වුයේ හේනෙ කුඹුරෙන් හා අවට කැලයෙනි. ධාන්‍ය වර්ග හේනෙන්, කුඹුරෙන් ලැබුණ අතර එළවළු අල වර්ග හේනෙන් ලැබුණි. ඇතැම් පලතුරු ද අතුරු ආහාර ද හේනෙන් ගෙවත්තෙන් හා පරිසරයෙන් ලැබුණි. මස් කිසිදාක මුදලට නොගත් ඔවුන් මාළු බා ගන්නේ දිය වළවල් වලිනි, දිය කඩිති වලිනි.මී පැණි ද බඹර පැණිද කැලයෙන් ලැබුණි. මොවුන‍්ගේ ආහාරයට බැහැරින් යමක් එක් වුයේ නම් ඒ ලුණු පමණකි. එකල ඔවුන් ලුණු උපයාගන්ට ලුණු පාරේ යයි. ලුණු පාරේ යන්නේ ලුණු පෑහෙන ජුලි අගෝස්තුවේදීය. ලුණු පාරේ යැම ලුණු කඩාගෙන ඒමට යාමය. ලුණු පෑහෙනවා කියන්නේ කලපුවල ලුණු මිදෙනවාට ය.
ලුණු වාරෙට තවලම් ගොනුන් දක්කාගෙන හෝ කරත්ත බැදගෙන මඩකලපුවට ගොස් ස්වභාවික ලේවායන් වලින් ලුණු එකතු කේගෙන ඒමට පැරණි බින්තැන්නේ වැසියන් පුරුදුව සිටියේය. පස්සෙන් පහු මට්ට වෙළෙඳුන් තවලම් බැඳගෙන බින්තැන්නට වෙළදාමේ එන්ට පටන් ගත් නිසා ලුණු රැස් කර ගැනීමට මඩකලපු යෑමේ සිරිත නැති විය.
කුරක්කන් කැඳ බතට,පිට්ටුවට,රොටියට, මෙන්ම බින්තැන්නේ ඇත්තන් ගේ කැඳ වේලටද ලුණු අවශ්‍යය. ලෙඩක් දුකක් වු විට ඔවුන් ලුණු කැඳ බොයි. ලුණු කැඳවලට පොල් කිරි මිශ්‍ර නොකරයි.
වෙනත් කිසිදු පෙදෙසකින් අහන්ට නොලැබෙන කැඳ විශේෂයක් වන කුරහන් කැඳ බින්තැන්නේ ඇත්තන්ගේ සුවිශේෂී බීමකි.කුරහන් පිටි, පොල් කිරි සමඟ මිශ්‍ර කර ළිප තබා හොඳට තැම්බෙන තුරු පාස්සා ගැනීමෙන් හදා ගන්නා මේ පෝෂ්‍ය දායක කැඳ වර්ගය මුලින්ම හදන්ට ඇත්තේ වැද්දන්ය.
ගම්මිරිස් හා ලුණු මිශ්‍ර කර සාමාන්‍ය කැඳක් වශයෙන් හදා ගන්නා මෙය ගම්මිරිස් මුහු නොකර නිවෙන්ට හැර මී පැණි හෝ බඹර පැණි මිශ්‍ර කර රසවත් බීමක් වශයෙන් ළමුන්ට බීමට දෙයි. පැණි වෙනුවට සීනි මුසු කිරිමෙන් ද මෙම කුරහන් කැඳ රසවත් කර ගත හැකිය.
බින්තැන්නේ ඇත්තන් ඒරුවුරු හා මඩකලපුව සමඟ සම්බන්ධ කම් පවත් වන්නට වුයෙන් කැලෑ ගම් තුළට දෙමළ හා මුස්ලිම් සංස්කෘතියේ විවිධ බලපෑම් ද ඉතා මද වශයෙන් සිදු වු බව පෙනේ. හබල පෙති, මුදු මාළු, තල් කිරි, තල් පැණි, තල් පැණි කැවුම් , දොදොල්,කොකිස්, ඉදි ආප්ප, වැනි කෑම බීම කැලෑ ගම්වාසින්ට හුරු පුරුදු වුයේ එම බලපෑම් නිසාය.
මුදවන ලද මී කිරි සමඟ හබල පෙති මිශ්‍ර කර හදා ගාන්නා බීමත්, පොඩි කරගන්නා ලද ඉදුන කෙසෙල් ගෙඩි සමඟ මී කිරි මිශ්‍ර කර හදාගන්නා පානයක් රසයෙන් අනුනය. ගිතෙල් හා දුන් තෙල් හිදීමේදී ඉතුරු වෙන තේ රොඩු නම් කොටස බත්, පිට්ටු , රොටී කෑමට කට ගැස්මක් වශයෙන් යොදා ගන්නා බින්තැන්නේ ඇත්තන් ගිතෙල් මුහුකෙරගෙන බත් කොටා බාන්නට ද පුරුදුව සිටියි. දුන‍්තෙල් යනු මී කිරිවලින් හිඳින තෙල්ය.
මික් රොටී
මික් රොටී බින්තැන්නේ රසවත් අතුරු පසකි. මී ගස් බින්තැන්නේ ඇත්තන්ට මික් ගස්ය. මික් ගස්වල මල් කාලයකට ගස් යට පිරිසුදු කොට තබා මල් එකතු කේගෙන අව්වේ ලා වියළා ගන්නා ගැමි ලියන් වේළුන මික් මල් පැසක ලා කොටා රේණු ඉවත් කර ගනියි. රේණු ඉවත් කළ මික් මල් දියේ ලා පොගලා ගෙන කොටා ගන්නා අතර, එම පිටිවලට සමවන ලෙස කුරක්කන් පිටි මුහු කොට හොඳින් කලාවාන් කෙර රොටී මිශ්‍රණය වංඩුවේ තම්බා ගනියි. හැලප හදන ආකාරයට කොළ ගොටු තුළ හෝ කෙසෙල් කොළවල දෙකට නවා හෝ වංඩුවේ තබ්බා ගනු ලබන මෙය රසයෙන් මෙන්ම ගුණයෙන් ද යුතු අතුරු පසයකි. ඉඟුරු , සුදුරුහා ගම්මිරිස් සම තලපයක් ද අඹරා මේ පිටි මිශ්‍රණයට එක්කිරීමෙන් ප්‍රසන්න සුවඳකින් හා රසයකින් අනූන වන මෙය රසවත් හැලප වර්ගයක් වුවද බින්තැන්නේ ඇත්තන් වහරන්නේ මීක් රොටී යනුවෙනි.
තලප කොටබාන විට හෝ බත් පිට්ටු හැමිටි බාන අතරතුර මහත් වු හඬින් සතුටු සාමිචියේ යෙදීම බින්තැන්නේ ඇත්තන්ගේ සිරිතකි. ඔයි වෙලාවෙට බැහැරින් මොකා ආවත් , මොකුත් ආවත් , උන්ට කෑමට අදිරි කේන එක සිරිතකි.
ෙකාටා බානවා කියන්නෙත්, හෑමිටි බානවා කියන්නෙත් ආහාර ගැනීමට ය. එහෙත් හෑමිටි ගානවා යන වහර දඬුවම් කරනවා, ගහනවා යනු අර්ථය දීමටද යොදා ගන්නා බව බින්තැන්නේ වහරේදී ඇසිය හැක.
අඩා මයෙ පුතා ඔයි පොඩි එකාට හැම විඩේම හැමිට් බාන්ට ගත්තොත් ඒකට මෙහෙකොන අපෝවිලා පය හැරුණු අත පනං විලා යයි....ඕකා ඔයි කොලු කෙමට පැණි ටිකක් ඇන්න තොල් පතොල් ගෑවම උඹ අයට වැටෙනවා හෙමයි ? ආයි , විඩක් හෙම ඔයි පැංචට හෑමිටි ගානවා හෙම නෙවෙයි ඕං කිරි අම්මා කෙනෙක් තම පුංචි මුනුපුරාට කොටු පහර දෙන පියකු අමතා කියන මේ වදන් පෙළින්, ‘හැමිටි ගානවා’ යනු කොටුවෙන් දඬුවම් කිරීම යන අර්ථය සඳහා යෙදී ඇති අන්දම වටහා ගත හැකි වෙයි.
සඳරුවන් ලොකුහේවා