
ශ්‍රී ලංකා ක්‍රීඩාවට සිරාලා ඕනෑතරම් සිටින්නට ඇත. ඒ අතරින් බොහෝ සිරාලා ගම්වලම නෂ්ඨාවශේෂ වූහ. ඒ දක්ෂතාව මඳකම නිසාම නොවේ. අවධානයේ අඩුකම හා අධිෂ්ඨානය සිමා සහිතවීම ඊට හේතුවය. එවැනි සිරාලා ගහනවූ මෙරට ක්‍රීඩා ඉතිහායේ නම ගිය සිරාලා දෙදෙනෙක් වූහ. එක් අයෙක් දෙවැනි අගනුවර වන ගම්පහය. අනෙකා අගනුවර වන කොළඹය. දෙන්නාම එකිනෙකා තරග නොකළේ එකෙක්ට දෑත් හුරැ සේම අනෙකාට හුරැව තිබුණේ පාදය හේතුවෙනි. තමන්ට අවශ්‍ය පරිදි දෑත මෙහෙයවමින් වසර කීපයක් තිස්සේ වොලිබෝල් පිටිය එකළු කළ සිරා ගම්පහ වොලිබෝල් සිරා හෙවත් ඩබ්ලිව්. එල්. සිරිවර්ධනය. ඔහු අයිතිවූයේ ගම්පහට බව කීවාට ඒ සිරා රටටම අයිති ක්‍රීඩකයෙකි. දේදුන්නක් ලෙස උඩු ගුවන අරා එදා වොලිබෝල් පිටියේ ප්‍රතිවාදීන්ගේ බාධක ආවරණ සුණු විසුණු කළේ යම්සේද ඔහුගේ ජීවිත කාලය දශක හතකට සීමාවිය. අවුරැදු 77 දී ශාරීරික දුෂ්කරතා මෙන්ම පාකින්සන් වැනි වෙව්ලුම් රෝගයකින් පීඩා විඳිමින් සිටි වොලිබෝල් සිරා කාටත් නොකියාම ජීවිතයෙන් සමුගත්තේය. ඒ 1938 දී ඇරඹි තම ජීවිත කතාවට සමාප්ත පරිච්ඡේදය නිහඩවම එක්කරමිනි.
මෙරට පාපන්දු ක්‍රීඩාව එකළු කළ සිරා හිටියේ කොළඹය. ඔහු දෙපයින් වැඩ පෙන්වූ මෙරට පාපන්දුවේ නම රන් අකුරින් ලියූවෙකි. ඔහු නමින් පී.ඩී. සිරිසේනය. සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ එහි වාර්තා පිහිටවූ පාපන්දු සිරා ජීවත්වූයේ සෝන්ඩර්ස් පිටිය පිටුපසය. පාපන්දු ක්‍රීඩාව ඔහුට සදාකාලික සබඳතාවක් බිහිකළේ මේ හේතුවෙන් විය යුතුය. දැන් අප කතාකරන්නේ පසුගිය 18 වැනිදා ජිවිතයෙන් සමුගත් අසහාය පාපන්දු වීරයා වන පී.ඩී. සිරිසේන සම්බන්ධයෙන්ය. ඔහු මෙරට පාපන්දු ක්‍රීඩකයෙකු පුහුණුකරුවකු වශයෙන් ජාත්‍යන්තරයේ මුද්‍රා තබා ඇති ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන අතර කිසිදු යොවුන් පාපන්දු ක්‍රීඩකයෙකු මෙතෙක් ඔහු ඉක්මවා දක්ෂතා දක්වා නොමැති බව පිළිගැනීමය. ජීවිතයේ සැඳෑ සමය ඇරඹුමේදී පාකින්සන් රෝගයෙන් පීඩා විඳි පී.ඩී. සිරිසේන මිය යනවිට වොලිබෝල් සිරා මෙන්ම 77 වියක් ආයු වළදා තිබුණේය. 1940 වසරේදී උපත ලැබූ පී.ඩී. සිරිසේන මෙරට පාපන්දු ක්‍රීඩාවට පමණක් නොව බොක්සිං ක්‍රීඩාව සම්බන්ධයෙන්ද දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙකි. ඒ අනුව ඔහු 1960 වසරේදී ආධුනික බොක්සිං තරැවක් ලෙස කිලෝග්‍රෑම් 55 බර පංතිය වෙනුවෙන් ජාතික ශූරයා වූයේය.
මේ අතර තවත් සුවිශේෂී කාරණයක් සටහන් කළ යුතුව ඇත. එම කාරණයේදීද සිරාලා දෙදෙනා එකිනෙකාට සමානුපාතිකව උපන් දේශයෙන් ගෞරව හිමිකරගෙන තිබීම සම්බන්ධවය. එහි පළමු වැන්න ගම්පහ නගර මධ්‍යයට වන්නට අපට දැකගත හැකිය. ඒ සිරා වෙනුවෙන් ගම්පහ දුම්රිය පොළ ස්ථානය ආසන්නයේ අදටත් විරාජමාන පිළිරුවය. වොලිබෝල් පිිටියේ සදාකාලික නායකයා වන වොලිබෝල් චාල්ස් සමඟ ජයග්‍රාහී වොලිබෝල් කණ්ඩායම එහි ප්‍රදර්ශනය වෙයි. එය ක්‍රීඩකයන් උදෙසා ලොව ඉදිකළ පළමු ස්මාරකය ලෙස ද සැලකෙන්නේය. දෙවැන්න පී.ඩී. සිරිසේන හෙවත් පාපන්දු සිරා වෙනුවෙනි. එය කොළඹ මාළිගාවත්තේ ක්‍රීඩාංගණය ඔහුගේ නමින් නම් කිරීම මගින් සිදුකර ඇත. ඒ දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි. ජීවතුන් අතර සිටියදී ක්‍රීඩකයකු වෙනුවෙන් එවැනි ක්‍රීඩාංගණයක් නාමකරණය කළ පළමු අවස්ථාව ලෙස ද එය ඉතිහාසයට එක්ව ඇත. ඒ අනුව මේ සිරාලා දෙදෙනා වෙනුවෙන්ම ඔවුන්ගේ උපන් රාජ්‍ය අනුස්මරණීය ත්‍යාග ද්විත්වයක් පිරිනමා තිබේ. ඉන් පළමුවැන්න රාජ්‍ය අනුග්‍රහයෙන් නොවූ අතර ගම්පහ ප්‍රදේශයේ සුප්‍රකට ව්‍යාපාරිකයකු හා වොලිබෝල් ලෝලියකු වන ජිනදාස මහතා විසින් සිදුකරන ලද්දකි. කෙසේ නමුත් ගම්පහ වොලිබෝල් පිළිරුව මේ වනවිට නඩත්තු වන්නේ රජයේ මැදිහත් වීමෙනි. එය මෙරට පාපන්දු රජු පී.ඩී. සිරිසේන සම්බන්ධයෙන්ද එය සාම්‍යයක් වීම මෙම සිරාලා දෙදෙනාගේ අපූර්වත්වය කෙතරම්දැයි නිහඬව ප්‍රකාශ කරන සාක්ෂි වැනිය. අද ඒ සියල්ල ඉතිහාසයට එක්කර පාපන්දු සිරාද වොලිබෝල් සිරා ඇතුළු මියපරලොව ගිය සුවහසක් ක්‍රීඩා පිටියේ සිරාලා හමුවීමට ඔහු නික්ම ගොසිනි. ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘සිරා‘ මිනිසුන් වීම ඔවුන් උපන් බිමෙන් අමරණීය සම්මානිතයන්වීම දැක්විය හැකිය. කෙසේ නමුත් පසුගියදා සිදුවූ පාපන්දු සිරාගේ සමුගැනීම හැඳින්විය හැක්කේ ශ්‍රී ලංකා පේලේගේ නික්මයාමක් ලෙසය. ඔහු එසේ සැලකෙන්නේ එතරමට පී.ඩී. සිරිසේන මෙරට මතුනොව දකුණු ආසියානු කලාපයේ පාපන්දු ක්‍රීඩාවට සිදුකර ඇති බලපෑම් අතිමහත් වන බැවිනි. අප ඔහුට නිවන් සුව නොපතන්නේ එවැනි විරැවන් යළි ලක් දෙරණට මතුත් ඉපැදිය යුතු නිසාවෙන්ය.
K. බණ්ඩාර